ලොව ධනවත් ම ලේඛිකාවන් 7 මෙන්න | සිළුමිණ

ලොව ධනවත් ම ලේඛිකාවන් 7 මෙන්න

ලොව බිහිවූ ධනවත් ම ලේඛිකාවන් අයත්වන්නේ 20 වෙනි හා 21 වෙනි සියවස්වලටයි. ඔවුහු ළමා කතා, යොවුන් සාහිත්‍ය, ප්‍රේමය හේතුකොට ගත් නවකතා, අභිරහස් කතා ආදී කෘතින් රචනා කළ අය වෙති. සිය කෘතීන් අලෙවියෙන් සුවිසල් ධන සම්භාරයක් රැස් කිරීමට මෙන්ම ඉතිහාසයට එක්වීමට ද ඔවුන්ට හැකි විය. නිදසුනක් ලෙස ජේ.කේ. රෝලින්ග් ලොව පළමු බිලියනපති ලේඛිකාව බවට පත්වීම දැක්විය හැකිය. මෙම ලේඛිකාවන් එවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීමේදී බොහෝ කැපකිරීම් සහගතව නිර්මාණකරණයේ යෙදී ඇති අයුරු පැහැදිලි වේ. ලොව ධනවත් ම ලේඛිකාවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින ලේඛිකාවන් 7 යි මේ.

ජේ.කේ. රෝලින්ග්

‘ෆෝබ්ස්’ සඟරාව පවසන පරිදි ලොව දෙවන තැනට සිය කෘති වෙනුවෙන් වැඩි ම මුදලක් උපයා ඇත්තේ ජේ.කේ. රෝලිංග් ය. ඇය දෙවැනි වූයේ ජේම්ස් පැටර්සන්ට පමණි. ඔහුගේ ශුද්ධ වටිනාකම ඇ.ඩො. බිලියනයක් වනවිට රෝලින්ග්ගේ වටිනාම ඇ.ඩො. මිලියන 670 කි. අද වන විට ලේඛිකාවන් අතර හිණිපෙතෙහි ඉහළින් ම සිටින්නේ ඇය ය.

ඇයට වාසනාව රැගෙන ආවේ “හැරී පොටර්” කතා මාලාවයි. කෙසේ වුවද ඇයගේ මූලික ආදායම් මාර්ගය ‘පොත්’ නොවේ. හැරී පොටර් තේමා කොටගත් විවිධ ආයෝජන ඒ අතර තිබේ.

ඩැනියෙල් ස්ටීල්

ඇය සතු ධන සම්භාරයේ ශුද්ධ වටිනාකම ගණනය කර ඇත්තේ ඇ.ඩො. මිලියන 835ක් වශයෙනි. ඩැනියෙල් වඩාත් ප්‍රකට ව සිටින්නේ රොමාන්තික නවකතා හේතුවෙනි. ඇයගේ පළමු අත්පිටපත ප්‍රකාශයට පත්වන විට ඇය 28 හැවිරිදි වියේ පසුවිණි. ඒ වනවිට ඇය පළමු විවාහයෙන් දික්කසාදව සිටියාය. ‘ෆෝබ්ස්” සඟරාව පවසන පරිදි, ජීවතුන් අතර සිටින ලේඛිකාවන් අතරින් ලොව වැඩිම කෘතීන් ගණනක් අලෙවි වන්නේ ඇයගේ කෘතීන්ය. මේ වනවිට ඇයගේ කෘතීන් මිලියන 800ක් පමණ අලෙවි වී ඇත. දශක 4ක සාහිත්‍ය නිර්මාණ ජීවිතය තුළ ඇය ප්‍රකාශයට පත්කළ කෘතීන් ගණන 170 ඉක්මවා තිබේ.

නෝරා රොබට්ස්

‘රොමාන්තික නවකතා ලොව රැජන’ යන විරුදාවලියට හිමිකම් කියන්නී ඇයයි. ඇයගේ ධනය ගණන් බලා ඇත්තේ ශුද්ධ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 400ක් වශයෙනි. නෝරා සිය ලේඛන දිවිය ආරම්භ කළේ 1970 ගණන්වල අගභාගයේදීය. මේ දක්වා ඇය රචනා කර ඇති කෘති සංඛ්‍යාව 230 ඉක්මවා ඇත. ෆැන්ටසිමය රොමාන්තික නවකතා, අපරාධ නවකතා රචනයට වඩාත් නැඹුරු ඇය තුන්ඈදුතු නවකතා එළිදැක්වීමෙහි ද ප්‍රකට ය. සාමාන්‍යයෙන් වසරකට කෘතීන් 4ක් හෝ ඊට වැඩියෙන් ඇය එළිදක්වයි. ඇයගේ නවකතා 11ක් ඇසුරින් රූපවාහිනී නිර්මාණ බිහිවී ඇති අතර එය ඇයගේ ආදායම තවත් ඉහළ දැමීමට හේතුවිය.

ස්ටෙෆන් මෙයර්

Twillight මෙන්ම වැම්පයර් කතා මාලාවේ රචිකාව වන ඇයගේ ධනය ඇමරිකන් ඩොලර් මිලියන 120ක් බවට ගණන් බලා ඇත. Twillight ට පෙර ඇය කෘතියක් පළ කර නැත. ඒ වනවිට ඇය 29 හැවිරිදි වියේ පසුවූ අතර ඊට පාදක වූයේ ඇය දුටු සිහිනයකි. ඇයගේ කෘතීන් අලෙවි වාර්තා තබන අතරම රූපවාහිනී චිත්‍රපට ආදියට ද පාදක විය. ඉන් ද ඇයට විශාල ආදායමක් ලැබිණි.

බාබරා ටේලර් බ්‍රැඩ්ෆර්ඩ්

ඇයගේ ශුද්ධ ආදායම ගණන් බලා ඇත්තේ ඇ.ඩොලර් මිලියන 300ක් වශයෙනි. නවකතා 35ක් රචනා කර ඇති අතර පිටපත් මිලියන 100කට ආසන්න ගණනක් අලෙවි වී තිබේ. බාබරා සිය පළමු නවකතාව එළිදැක්වූයේ, 1979 දීය. ඉතිහාසයේ බිහිවූ වැඩිම අලෙවියක් සහිත කෘතිවලට හිමිකම් කියන ලේඛිකාවන් 10 දෙනා අතරට ඇය ද අයත් ය. ඇයගේ කෘතීන් 10ක් පමණ රූපවාහිනී නිර්මාණ සඳහා පාදක විය. එය ද ඇයගේ ආදායම් ඉහළ දැමීමට බලපෑවේ ය.

අගතා ක්‍රිස්ටි

1976 දී ජීවිතයෙන් සමුගත් අගතා ක්‍රිස්ටිගේ ධනය ගණන් බලා ඇත්තේ ඇ.ඩො. මිලියන 600ක් වශයෙනි. අපරාධ සාහිත්‍යයට එක්වන අභිරහස් නවකතා 66 ක්ද කෙටිකතා වෙළුම් 14 ක්ද ඇයගේ නිර්මාණ අතරට ඇතුළත්ය. මේ කෘතීන් වලින් පිටපත් බිලියන 2ක් අලෙවි වී තිබේ. ඉතිහාසයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී ඇත්තේ ඇයගේ කෘති ය. එය ශේක්ස්පියර් ද ඉක්මවා යන වාර්තාවක් වන අතර භාෂා 103 කින් ඇයගේ කෘති පළවී ඇත.

වෙරෝනිකා රෝත්

ධනපති ලේඛිකා ලැයිස්තුවේ සිටින ළාබාල ම ලේඛිකාව ඇයයි. 32 හැවිරිදි ඇයගේ ආදායම ගණන් බලා ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 30ක් වශයෙනි. ඇයගේ පළමු කෘතීන් වන Divergent සහ Insurgent “නිව්යෝක් ටයිම්ස්” වැඩිම අලෙවියක් සහිත කෘති ලැයිස්තුවට එක්විය. ඇයගේ නිර්මාණ සිනමාවට ද නැඟී තිබේ.

ධම්මික සෙනෙවිරත්න

 

Comments