ලස්සනට හිනා වෙන්න සුන්දර දත් දෙපළක රහස මෙන්න | සිළුමිණ

ලස්සනට හිනා වෙන්න සුන්දර දත් දෙපළක රහස මෙන්න

දන්ත වෛද්‍ය අසේල විජේසුන්දර

අපි ගන්නා ආහාර නිසා දත් අවපැහැ වෙලා නම් දත් සුද්ද කිරීම සහ පොලිෂ් කිරීමේ ප්‍රතිකාරයෙන් අවපැහැ වීම ඉවත් කර ගන්න පුළුවන්.

තාරුණ්‍යයේ ඉන්න කෙනෙක්ගේ දත් අවපැහැ වෙලා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අවපැහැ වෙන්න විවිධ හේතු තියෙනවා.

කලාව කියන්නේ එකම ප්‍රස්තුතය වෙනස් වෙනස් විදියට දැකීමයි. ඒ වගේම හැම රැකියාවකම කලාවක් තියෙනවා. ඒ සෑම රැකියාවකම වෘත්තිකයන් කලාව හඳුනා ගත්තොත් තමන් කරන රැකියාව ලස්සන කරන්න පුළුවන්. ගැහැනු ළමයකුගේ ලස්සන කියන්නේ එයාට තියෙන ලොකුම වටිනාකම. ගැහැනු ළමයකුට තියෙන ලොකු ම වත්කම පංච කල්‍යාණිය ලස්සනට තියෙන එක. එකේ එක කල්‍යාණියක් තමයි දන්ත කල්‍යාණිය. ඇයි අපේ පැරැන්නන් දන්ත කල්‍යාණිය ගැන කතා කළේ. ඒ කියන්නේ කෙනෙක් ලස්සනට හිනා වෙනවා නම් තව කෙනෙකුට ප්‍රිය මනාපයි. තව කෙනකුට ආකර්ෂණියයි. ඒ නිසා තමා මුතුකැට වගේ දත් ගැන ලස්සන හිනාව ගැන සාහිත්‍යයේ පවා ලියැවිලා තියෙනවා.

එතකොට අද වෙද්දී දන්ත වෘත්තීය ඇතුළත මේ කොටස අමතක වෙලා තියෙනවා. දැන් වැඩි අවධානය යොමු වෙලා තියෙන්නේ දත ආරක්ෂා කරගන්න ඕනේ දත රැක ගන්න ඕනේ කියන විද්‍යාත්මක කොටස ගැන විතරයි. නමුත් පංච කල්‍යාණියේ කොටසක් මේ දන්ත කල්‍යාණිය කියන එක අමතක වෙලා තියෙනවා.

ඒ නිසා තමා පංච කල්‍යාණියේ කොටසක් වන මේ දන්ත කල්‍යාණිය ලස්සනට තියාගන්නේ කොහොමද කියන එක ගැන අපි පියවරෙන් පියවර කතා කරන්න හිතුවේ.

මේ ලිපිය කියවන ඔබේ දත් අවපැහැ වෙලා ඇති, තව කෙනෙක්ගේ දත් අතර හිඩැසක් ඇති. දත් ඉස්සරහට ඇවිත් වෙන්න පුළුවන්, උල් දත් ඇවිත් වෙන්න පුළුවන්. නළ දතක් තියෙන්න පුළුවන්. මෙතැනදී නළ දතක් තියෙනවා නම් මම එහෙම අයට පොඩ්ඩක් හිනා වෙන්න කියලා බලනවා. මොකද ඒ නළ දත නිසා එයාගේ ජිවිතේ ගොඩක් ලස්සන වෙන්න පුළුවන්. ඒ නළ දතට ප්‍රතිකාර කළොත් ඒ ලස්සන නැති වෙන්න පුළුවන්. තව තියෙනවා දත් වල හැඩතල වෙනස්වීම්. හිනාවෙද්දී විදුරුමහ පේන එක. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ හැම දෙයක් ගැනම එකින් එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අද ආරම්භක ලිපියෙන් අපි කතා කරන්නේ දත් අවපැහැ වීම ගැන.

මුලින්ම දත් අවපැහැ වීම සිදු වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. දත් අවපැහැ වෙනවා වයසත් එක්ක. වයසට යද්දී අවපැහැ වීම සාමාන්‍ය සොබා ධර්මයේ තියෙන සිදුවීමක්. එනමල් කොටස තමා සුදු පැහැයක් ගන්නේ. දන්තීනය කොටස කහ පාටයි. ඒ නිසා වයස 35-40 න් පස්සේ වයසට යද්දී එනමල් කොටසට වඩා දන්තීනය කොටස වැඩි වෙනවා. එතකොට මුළු දතේම පැහැය වෙනස් වෙනවා.

නමුත් තාරුණ්‍යයේ ඉන්න කෙනෙක්ගේ දත් අවපැහැ වෙලා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අවපැහැ වෙන්න විවිධ හේතු තියෙනවා.

ප්‍රධාන දේ තමා අපි ගන්නා ආහාරවල සහ බිම වර්ග වල (කැෆෙන් වගේ දේවල් නිසා) තියෙන වර්ණක දත් වල බැඳෙන්න පුළුවන්. තව කටේ සමහර බැක්ටීරියා වර්ග ඉන්නවා. ඒ බැක්ටීරියා එක එක වර්ණක හදලා දතේ කළු පාට ලප විදියට තැන්පත් කරන අවස්ථා තියෙනවා.

ඊට පස්සේ දුම් බොන අයගේ සහ බුලත්විට කන අයගේ දත් අවපැහැ වෙන්න පුළුවන්. ඒ වගේ දෛනිකව පාවිච්චි කරන දේවල් දත් වල බැඳෙන්න පුළුවන්.

එහෙම නැත්නම් දත් නරක් වෙන අවස්ථාවලත් දත් අවපැහැ වෙනවා. තව පොඩි කාලයේදී ලබා දෙන බෙහෙත් වර්ග නිසා දත් අවපැහැ වෙනවා. උදා විදියට Tetracycline වගේ බෙහෙත භාවිතා කරාම දත් ඇතුළට ගිහින් දත් අවපැහැ කරනවා. සමහර විට දත් සියල්ලම දුඹුරු පාට වෙනවා. ඒ එක්කම තමා වතුරේ තියෙනවා ෆ්ලෝරයිඩ් අයන, අධික ෆ්ලෝරයිඩ් අයන තියෙන පළාත් වල ළමයින්ගේ විශේෂයෙන්ම ගැහුනු ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. දත් වල දුඹුරුපාට ලප එනවා. ගොඩක් වැඩි වුණාම දත් හුණු වගේ කැඩිලා යනවා.

ඊට පස්සේ තව ප්‍රශ්නයක් තමයි දත් හැදෙනකොටම එන ගැටලු, එනමල් එක හොඳට හැදිලා නැහැ. දන්තීනය කොටස හරියට හැදෙන්නේ නැහැ. එහෙම වුණාමත් දත් අවපැහැ වෙනවා.

එතකොට අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ පළපුරුදු දන්ත වෛද්‍යවරයෙක් මුණගැහිලා තමන්ගේ දත් අවපැහැ වෙලා නම් එයට ප්‍රධාන හේතුව මොකක්ද කියන එක ගැන දැන ගැනීම.

ඊට පසුව කරන්න ඕනේ ප්‍රතිකාර වර්ග ගොඩක් තියෙනවා.

අපි හිතමුකෝ පොඩි කාලේ භාවිත කළ ඖෂධ වර්ගයක් නිසා මුළු දතේම පැහැය වෙනස් වෙලා නම් අපිට බැහැ එක සැරේට ට්‍රිට්මන් එකකින් දත් සුදු කරන්න. ඒකට වෙනම ට්‍රිට්මන් ප්ලෑන් එකක් තියෙනවා.

අපි ගන්නා ආහාර නිසා දත් අවපැහැ වෙලා නම් දත් සුද්ද කිරීම සහ පොලිෂ් කිරීමේ ප්‍රතිකාරය තුළින් අවපැහැ වීම ඉවත් කර ගන්න පුළුවන්.

හැබයි දත් නරක් වෙලා නම් මුලින්ම දත් පුරවා ගැනීම කළ යුතුයි. එයත් දැන් දතේම වර්ණයෙන් කරගන්නට පුළුවන්. අනිත් එක ටූත් වයිට්නින් කියලා ප්‍රතිකාරයක් තියෙනවා. ඒකෙන් වෙන්නේ දත් සුදු කිරීම. එනමල් එක තුළ යම් කිසි කාලයක් තිස්සේ බැඳිලා තියෙන ද්‍රව්‍ය සහ වයසත් එක්ක එන කහපාට වීම ටූත් වයිට්නින් කියන ප්‍රතිකාරය තුළින් සුදු කර ගන්න පුළුවන්. හැබැයි එය අවුරුදු තුනකට හතරකට සැරයක් ආයේ කරන්න ඕනේ.

ඒ එක්කම දත් කුඩා වෙලා කැඩිලා තියෙනවා නම් දත් වලට අපි කොපු වර්ගයක් දානවා. ඒ දන්ත කොපුව පෝසිලේන් වලින් හරි සර්කෝනියා කියන වර්ග වලින් හදපු කොපු වර්ගයක් වෙන්න පුළුවන්.

මෙවැනි ප්‍රතිකාර වර්ග රාශියක් තියෙනවා දත් අවපැහැ වෙලා නම් ඒ වෙනුවෙන් කළ හැකි ප්‍රතිකාර වර්ගවිදියට. විශේෂයෙන් මෙතැනදී මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි අද වෙද්දී දත් සුදු කරන ආලේප කියලා විවිධ නම් වලින් විවිධ දේවල් අන්තර්ජාලයෙන් දැක ගන්න ලැබෙනවා.

ඒ කිසි දෙයක් හිතුමනාපෙට පාවිච්චි කරන්න යන්න එපා. ඒවා නිසා දත්වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. කළ යුතු හොඳම දේ තමා සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ලබා ගැනීම.

Comments