ජන මනස සුවපත් කළ ජන සංගීතවේදියා ! | Page 2 | සිළුමිණ

ජන මනස සුවපත් කළ ජන සංගීතවේදියා !

සංගීතවේදී ලයනල් රන්වලයන්ගේ 82 වැනි ජන්ම සැමරුම යෙදෙන්නේ නොවැම්බර් මස 27 දා ය

‍මේ විශ්වයේ අගය කිරීමට, අනුස්මරණයට මෙන්ම ගෞරවයට පාත්‍ර වන්නේ, විශ්වයට යමක් දායාද කළ මිනිසුන් පමණි. ලයනල් රන්වලයන්ද එවැනි මිනිසෙකි. ඒ එතුමා විසින් ජන සංගීතය තුළින් ජාතික සංගීතයක් බිහිකිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් සිදු කළ බැවිනි. ලයනල් රන්වලයන්ගේ ගුණසැමරුම සහ ජන්ම දිනය යෙදෙන දිනයන් හි, සහන් රන්වල ප්‍රමඛ රන්වල බළකාය විශේෂ කාර්යයන් කිහිපයක්ම සංවිධානය කර තිබේ. ඒ අනුව සහන් රන්වල සඳහන් කළ පරිදි ප්‍රථමයෙන්ම සිදු වන්නේ සිය පියාණන්ගේ ගුණසැමරුම නිමිති කරගෙන අගමික චාරිත්‍රවාරිත්‍ර ඉටු කරමින් පුණ්‍ය කටයුතුවල නියැළීම ය. ලයනල් රන්වලයන්ගේ ජන්ම දිනය යෙදෙන නොවැම්බර් මස 27 වැනි දින “ලංකාරේ” නමින් වෙබ් රේඩියෝවක් ආරම්භ කිරීම සිදු වේ. එහි තේමා පාඨය වී තිබෙන්නේ, “බළකායේ ගුවන් මෙහෙයුම”ලෙසිනි. මෙහි ප්‍රචාරය කිරීමට සූදානම් කර ඇත්තේ ජන ගී සහ ජන ගී ඇසුරින් නිර්මිත ගීත ය. මෙම වැඩ සටහනෙන් ජන ගී ඇතුළු ජන කලා මාධ්‍යයන් ජාතික හා අන්තර්ජාතික මට්ටමින් ප්‍රචලිත වන බව සහන් රන්වලගේ අදහසයි. ඊට අමතරව “ලංකා රිද්ම” නමින් ජාතික සංගීතයක් උදෙසා වූ දස වැදෑරූම් සැලැස්මක් ක්‍රියාවට නැංවීම ද 2021 සැමරුම් මාලාවට අනුගතව සිදු වේ.

මෙම “ලංකා රිද්ම" සැලැස්මෙහි ප්‍රධාන ඉලක්කයක් වන්නේ, ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතික අංග මුළු විශ්වයේ ම ප්‍රචලිත කිරීමයි.

සංගීතඥ ඩබ්ලිව්. බී. මකුලොළුව සූරීන්ගෙන් ඉන්දියානු සංගීතයත්, ජන සංගීතයත් හදාරනු ලැබූ ලයනල් රන්වලයන් මකුලොළුව සූරීන්ගේ බොහෝ නිර්මාණවල ගායනයෙන්, වාදනයෙන් මෙන්ම රංගනයෙන්ද දායක වී තිබේ. ඒ අතුරින් හෙළ මිහිර, හිරගෙයි මරුමුව, දෙපානෝ, ඇහුම් බැලුම්, පහනින් පහන ආදී ගීත නාටක ප්‍රධාන වේ. එලෙසින්ම මකුලොළුව සූරීන් සමඟ විශේෂ අධ්‍යයනයන් සිදු කරමින්, ගම් නියම්ගම්වල සැරිසැරූ ලයනල් රන්වල, 3000 ට අධික ජන ගී පටිගත කර සංරක්ෂණය කිරීමට ද පියවර ගෙන තිබේ. පසුව ඒ ජන ගී එකතුව මතු පරපුරට උරුම කර දීමේ අරමුණින් රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ. ලයනල් රන්වලයන් ජන සංගීතය සම්බන්ධව පර්යේෂකයකුගේ භූමිකාව ද නිරූපණය කර තිබේ. එතුමා තම දැනුම් සම්භාරය ඵලදායී ලෙස භාවිත කරමින්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජන ගී, රූකඩ සහ ළමා නාට්‍ය යන අනුමණ්ඩලවල සාමාජිකයකු මෙන්ම උපදේශකවරයකු ලෙසද සේවය කර තිබේ. සංගීත ගුරුවරයකු ලෙසද ප්‍රකට වූ රන්වලයන්ගෙන් පාසල් ප්‍රජාවට ද ඉටු වූ මෙහෙවර ඉතාම විශිෂ්ට ය. වර්ෂ 1964 දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාල‍යේදී ප්‍රථම පාසල් පෙරදිග තූර්යවාදක කණ්ඩායම බිහි කළ ඔහු, කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පාසල් අතර කෙටි නාට්‍ය උළෙලක් ආරම්භ කිරීමට ද පුරෝගාමී වී තිබේ.

ලයනල් රන්වලයන්ගේ කුලුඳුල් නාට්‍ය නිෂ්පාදනය වන්නේ, “නොගිය ගමන” යි. එමෙන්ම “කාලගෝල නාඩගම” එතුමාගේ තවත් නිෂ්පාදනයකි. ඊට අමතරව “බීරි අලි” සහ “වැඩිය කඩන නරක ළමයි” වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබුවේද ඔහු විසිනි.

ලයනල් රන්වලයන් විසින් නිර්මාණය කළ ප්‍රථම ගීත එකතුව ජනගත වූයේ, වර්ෂ 1999 දී ය. සිය 60 වන ජන්ම දිනය මූලික කරගෙන සම්පාදනය වූ එම ගීත එකතුව “අහසේ ඉන්නවලු” ලෙස නම් කර තිබිණි. අදටත් බහුතර රසික ප්‍රජාවක් ඇළුම් කරන ගීත ඇතළත් “ගම අවුලඤ්ඤං” නැමති පර්යේෂණාත්මක ගීත එකතුව ජනගත වූයේ, එතුමා කලා ලොවෙන් සමුගෛන වසරකට පසුව ය. එනම් 2003 වර්ෂයේ දී 64 වන ජන්ම දිනයේ දී ය.

පෞඩ ඉතිහාසයක් සහිත ජාතියකට භාෂාවක්, ධජයක්, ඇඳුමක් මෙන්ම ජාතික නාට්‍ය, නර්තන, සංගීත සහ ගීත සම්ප්‍රදා සතු විය යුතු ය. එම සම්ප්‍රදා ජාතියේ අනන්‍යතාව තහවුරු කරන සාධක ලෙස පිළිගැනේ. සිංහල අලුත් අවුරුදු සමයේදී දසතින් ඇසෙන ජන නාදයන් අතර “මේ අවුරුදු කාලේ ... සිනහ ‍‍වෙයන් රාළේ ... තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ ...“ යන වදන් පෙළ ශ්‍රවණය වන විට අපට ලයනල් රන්වල නාමය හා බැඳුණ සොඳුරු මතකය අවදි වේ. සිංහල අලුත් අවුරුදු සමයට පමණක් නොව, එතුමාගේ මතකයත්, එ් සමඟ බැඳුණු නිර්මාණ එකතුවත්, නිරතුරුවම අපට සමීප කරවීමට නූතන රන්වල බළකාය මඟින් ඉටු කරන මෙහෙවරද ඉතාම ප්‍රශංසනී ය. එමෙන්ම රන්වල බළකාය, ලයනල් රන්වලයන්ගේ නාමයත් සමඟ සිංහල ජන කලා මාධ්‍යයන් සමාජයෙන් වියැකී යාමට ඉඩ නොදී රැක ගැනීමට දරන වෑයම පිළිබඳව අගය කළ යුතු ය.

 අනුෂාද් වෙදගේ

Comments