ඉදිරියේදී පරිවර්තන කාර්යයටත් යොමු වෙනවා | සිළුමිණ

ඉදිරියේදී පරිවර්තන කාර්යයටත් යොමු වෙනවා

ලේඛිකා චිරංජි රණතුංග

පුහුණු උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක ලෙස නුගේගොඩ අනුලා විද්‍යාලයේ සේවය කරන චිරංජි රණතුංග පාසල් වියේ සිට නිර්මාණකරණයේ නිරත වූවාය. ඇයගේ නිර්මාණ වෑයම තුළ කෘතියක් ලෙස ප්‍රකාශයට පත්වූ පළමු නවකතාව ‘මියුරු කල්පනා’ එළි දකින්නේ 2014 වසරේදීය. එතැන් සිට මේ දක්වා නවකතා 21ක් සහ අධ්‍යාපනික කෘති 4ක් ඇය විසින් ලියා පළ කර ඇත.

1. මගේ නවකතා අතරින් මම වඩාත් කැමති නවකතාව සහ එය ලිවීමට හේතුව

මා අතින් ලියැවුණු හැම නිර්මාණයකටම මම එක සේ ප්‍රිය කරනවා. ඒ අතරින් 2021 වසරේදී මගේ අතින් ලියැවුණු ‘සිනාසෙමු අතීතෙට’ පොත මම වඩාත් ප්‍රිය කරනවා.

මගේ දෙවැනි නවකතාව වන ‘සංසාරයේ අපි’ කතාවට වස්තුබීජය වෙන්නේ වමතින් අකුරු ලියන ළමයෙක් ගෙදරින් වගේම පාසලෙනුත් ප්‍රතික්ෂේප වෙලා අන්ත දුක්ඛිත තත්ත්වයක ඉඳලා ජීවිතය ජයගන්නා ආකාරයයි.

ඒ නවකතාව කියවූ පාඨකයෙක්, යුවතියක් මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා, එයාගේ ජීවිත කතාවත් ඒ වගෙයි කියලා. ඒ වගේම ඇයගේ ස්වාමියාත් ඒ විදිහට තමන්ගෙම පවුලෙන් ප්‍රතික්ෂේප වූ කෙනෙක්.

ඒත් ඒ දෙන්නා එකතු වෙලා බින්දුවෙන් ජීවිතය පටන් අරගෙන අද දියුණුවට පත්වෙලා සිටින බව ඇය පැවසුවා. ඇය පැවසූ ඒ කතාවත් එක්ක ‘සිනාසෙමු අතීතෙට’ පොතට පාදක වූ වස්තුබීජය අවුරුදු 6ක් මගේ හිතේ තිබිලා කතාවක් විදියට දිගහැරුණේ මේ අවුරුද්දෙයි.

2. ඒ නවකතාවේ මා වඩාත් සිත් ගත් සහ සංවේදී අවස්ථාව

මවුපිය, දූ දරු සබඳතාව කියන්නේ බොහොම සංවේදී මාතෘකාවක්. මේ නවකතාවෙන් කියැවෙන්නේ ඒ සබඳතාවයෙන් දුරස් වූ දරුවකුගේ කතාවක් නිසා කතාව පුරාම තියෙන්නේ ඉතාම සංවේදී දේවල්. ඒ අතරින් මගේ හිත වඩාත් සංවේදී වුණේ එක අවස්ථාවක මගේ අතින් ලියැවෙනවා, ඒ දරුවා අත දරුවා කාලේ අම්මා කිරි බෝතලේ කටට දීලා කොට්ටෙකට හේත්තු කරල යනවා. ඒත් ටිකකින් සූප්පුව කටෙන් අතෑරිලා දරුවා හොඳටම අඬනවා. ඉතුරු කිරි සේරම කොට්ටෙට උරාගෙන. දරුවාගෙ කණටත් කිරි ගිහින්. මුකුත්ම නොදන්නා අහිංසක දරුවා ගැන මමත් ඒ වෙලාවේ පුදුම විදිහට සංවේදී වුණා. මගේ ඇස්වලින් කඳුළු වැටුණා. මම පොතේ සෝදුපත් බැලුවෙත් ඒ විදිහටම සංවේදී වෙමින්.

3. මෙතෙක් මට ලැබුණු හොඳ ම පාඨක ප්‍රතිචාරය

‘මගේම වූ ආදරයක්’ නවකතාව මා අතින් නිර්මාණය වෙන්නේ 2015දී. එය බෙහෙත් හරියටම සොයාගෙන නැති ලෙඩකට බෙහෙත් සොයාගන්න උත්සාහ දරන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ පවුල වටා ගෙතුණු කතාවක්.

ඒ පොත කියවූ යුවතියක් දුරකථන ඇමතුමක් දීලා මට කිව්වා පොත ලස්සනයි කියලා. ඒ එක්කම ඇය මගෙන් ඇහුවා ඒ රෝගය ගැන විස්තර හෙව්වද ? වෛද්‍යවරු මුණගැහුනද කියලත්. ඒ ඇමතුමේ තරමක අසාමාන්‍ය ගතියක් තිබුණා. ඒ කියන්නේ වෙනදා සාමාන්‍ය පාඨකයකුගෙන් ලැබෙන ඇමතුම්වලට වඩා වැඩි වේලාවක් ඒ ඇමතුමට ගතවුණා.

ඒ යුවතිය පුංචි පුංචි දේවල් අසමින් කාලය ගතකරද්දි මට සිහින් නොරිස්සුමක් පවා දැනෙන්නට වුණා. ඒත් අන්තිමටම ඇය මට කිව්වා ඇයත් එම රෝගයෙන් පෙළෙන බව. ඒ වගේම මම ඒ රෝගය ගැන කරුණු එය නිට්ටාවටම සුව කළ හැකි වෛද්‍යවරයෙක් ගැන තොරතුරක් දන්නවද කියලා ඇහුවා. ඒ දුරකථන ඇමතුම මාව පුදුමාකාර විදියට සංවේදී කළා.

4. ඉදිරි නිර්මාණ සැලසුම්

මගේ හිතේ පුංචි කතාවක් ගෙතිලා තියෙනවා ශාපලත් පවුලක් ගැන. ඒ නිසා මේ දිනවල ලංකාවේ වගේම පිටරටවලත් ශාප ලැබූ පවුල් ගැන තොරතුරු කියවනවා. විස්තර හොයනවා. මගේ ඊළඟ නිර්මාණය විදිහට ඒ කතාව ලියැවේවි. ඊට අමතරව පරිවර්තනය සඳහා සුදුසු කෘතියක් සොයමින් මේ දවස්වල කියවනවා.

 

Comments