ගෑස් අව­දා­නමට රජයෙන් පියවර | Page 4 | සිළුමිණ

ගෑස් අව­දා­නමට රජයෙන් පියවර

 

ගෑස් සිලින්ඩර් භාවිතය හේතුවෙන් රට පුරා ගිනි ගැනීම් සහ පුපුරා යෑම් 6ක් නොවැම්බර් මස තුළ සිදු වීම හේතුවෙන් ගෑස් සිලින්ඩර භාවිතය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන විසින් පෙන්වා දී තිබේ.

උද්ගතව ඇති මේ තත්ත්වය නිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා ගෑස් සංයුතිය පිළිබඳව පුළුල් ලෙසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සිළුමිණට ප්‍රකාශ කළ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික

ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අවධාරණය කෙළේ අනතුරුවලට හේතුව පාරිභෝගිකයන්ගේ නොසැලකිල්ල ලෙස අනුමාන කරන බවය. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ‘ඉන්ටෙක්’ පෞද්ගලික ආයතන මෙරටට ආනයනික ගෑස් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාරිභෝගික සුරැකීමේ සංවිධාන වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මේ දක්වා භාවිත කළ බියුටේන් ප්‍රතිශතය 80% ක් හා ප්‍රොපේන් ප්‍රතිශතය 20%ක් වූ නමුත් ගෑස් සමාගම් විසින් එම සංයුතිය 50% - 50% වන සේ වෙනස් කිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවය.

ගෑස් සිලින්ඩර් භාවිතය නිසා ජීවිත හානි දෙකක් දැනටම සිදුවී ඇති බවද ඔවුහු අවධාරණය කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ හා ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ. එච්. වැගපිටිය පවසන්නේ මෙරට සිලින්ඩර නිසි ප්‍රමිතියකින් යුක්ත බවත්ය. ඒවා සාමාන්‍ය පීඩනය මෙන් 6 ගුණයක පීඩනයකට ඔරොත්තු දෙන ලෙසින් නිපදවා ඇති බවත් වසර 5කට වරක් සිලින්ඩරයක් සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවකට භාජන කර නවතම සිලින්ඩරයක් ලෙසින් වෙළෙඳ පොළට එක් කරන බවද එම සමාගම් පෙන්වා දෙති. මේ අතර ලිට්රෝ සමාගම විසින් වෙළෙඳ පොළට නිකුත් කරන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයද අත්හිටුවීමටද රජය පියවර ගෙන ඇත.

Comments