විශේෂාංග ප්‍රභේද කළ හැකි ද? | සිළුමිණ

විශේෂාංග ප්‍රභේද කළ හැකි ද?

“ඔබ පුවත්පත් කලාව කලක් මුළුල්ලේ ප්‍රගුණ කළ කෙනෙක් වුවත් වෙන යම් මාධ්‍යවේදයක් ලෙස සැලකිය හැකි දෘශ්‍ය හා ශ්‍රව්‍ය (Visual and Sound) මාධ්‍යයක්ම ප්‍රගුණ කළ කෙනෙක් වුවත් ඔබ විශේෂාංග නිමැවුම් ලේඛනය (the art & feature writing) කෙරෙහි අවධානය යොමු කිරීම නොවැළැක්විය හැකියි.” යනුවෙන් සටහන් කර ඇත්තේ සන්නිවේදන අධ්‍යයනයේ පුරෝගාමියකු වූ කොලින් චෙරි (Colin Cherry) නම් වූ විද්වතාණන් ය. මේ කාරණය සනාථ කිරීම සඳහා ඔහු තම කෘතිය වන ‘මානව සන්නිවේදනය’ (Human Communication) හා සිද්ධියක් (Event) කෙමෙන් මානව ග්‍රහණයට හසුවී ඒ සිද්ධිය කෙමෙන් වාර්තාව (report) මුල් කොටගෙන නිර්මාණාත්මක චින්තනයක් (Creative Thinking Process) මුල් කොටගත් ක්‍රියාදාමයක් වන අයුරු පැහැදිලි කිරීමට වෑයම් කරයි.” ලෝකයේ කොතනක වුව ද වෙසෙන මිනිසාට සිද්ධියක් යනු හිත වෙනස් කිරීමට තුඩු දෙන කාර්යයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය.

ඉතා සාමාන්‍ය සිද්ධියක් (a common event) හා ඉතා අසාමාන්‍ය සිද්ධියක් හෙවත් විශේෂිත සිද්ධියක් (a special event) සිතන්නට මෙන් ම ඒ සිතීම මුල් කොටගෙන ඊට බද්ධවූ බොහෝ දේ ලිවීමට හා ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදෙයි.”

“මේ නිසා මුලින් ම මානව සන්නිවේදනය ප්‍රධානතම සාධකය ලෙස සැලකීමට හැකිවන්නේ සිද්ධි මූලික (event oriented) සන්නිවේදනයයි. ඒ සිද්ධිය සාමාන්‍ය සාධකයක් නම් කෙමෙන් අමතකවී යනු ඇත. එහෙත් ඒ සිද්ධියේ ඇතැම් අපූර්වත්වයක් දැකගත හැකි වී නම් එය සාමාන්‍යත්වය ඉක්මවූ සිද්ධියක් ලෙස සලකන්නට පුළුවන්.

මේ නිසා මානවයාට තම ජීවිත කාලය මුළුල්ලේ දී විවිධාකාර සිද්ධීන් දැන ගැනීමටත්, ඒවා ගැන කතාබහ කිරීමටත්, ලියා සටහන් කර තැබීමටත් පෙරළා ප්‍රතිනිර්මාණය (Recreation) කිරීමටත් සිදුවීම වැළැක්විය නොහැකි ය.

මේ නිසා කුමක්ද සිදුවන්නේ? මුළු ජීවිත කාලයක් මුළුල්ලේ පුද්ගලයා හා සිද්ධීන් දැකීම හා ඒවාට මුහුණපෑම ප්‍රධාන පෙළේ ප්‍රකාශයක (expression) බවට පත්වෙනවා. එය විටෙක අවබෝධයෙන් යුතුව සිදුවෙන දෙයක්. විටෙක නොදැනීම ඉවෙන් මෙන් සිදුවන දෙයක්.

මේ කාරණය ගැන කෙමෙන් හිත යොමු කරන විටදී ‘නවතාව’ යන යෙදුම වෙනස්වී විශේෂාංග යන අර්ථය සන්නිවේදන අධ්‍යයනයට ප්‍රවේශ වුණා. මේ නිසා ‘Novelty’ හා ‘feature’ යන්න අපට හඳුනාගැනීමට සිදුවෙනවා. නවතාව යන්න ‘Newness’ යනුවෙන් ද ප්‍රකාශිතය. හතරදිග් භාගයෙන් ලැබෙන සිද්ධි මූලික තොරතුරු නිවේදනය (Newness) නමින් මුලින් හැඳින්වී කෙමෙන් නිව්ස් (News) බවට පත්වුණා.

මෙසේ ගලා ආ තොරතුරු කෙමෙන් ‘පුවත් ගලනය’ යන අර්ථය දෙන ‘News flow) යනුවෙන් ද හැඳින්වෙන්නට පටන් ගත්ත. ඒ තොරතුරු ගලනයට අතිරේක විවරණ සැපයීම හේතුවෙන් ‘පුවත් විවරණ’ හෙවත් ‘පුවත් ලෙස විශේෂාංග බැලීම’ යන අර්ථය දෙන ‘News Feature’ යන යෙදුමක් භාවිතයට ආ බවක් පේනවා. තමන් දුටු දෙයක් හෝ ඇසූ දෙයක් පිළිබඳ අතිරේක කල්පනාවක් යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශබ්දය මුල් කොට විශේෂාංග (Sound based Features) හා වදන් හෙවත් ලේඛනය මුල් කොට විශේෂාංග (Word based Features) යනුවෙන් විශේෂාංග ළඟා කරවූ බව පේනවා.

කෙමෙන් රූපගතකිරීම හෙවත් Picturisation or Visualisation යන සන්නිවේදන තාක්ෂණය විධිමත්වීම නිසා යට කී ශබ්දය හා වදන (Sound and Word) රූපයක් (Visual) හෙවත් දෘශ්‍යයක් බවට පත් වුණා. මේ නිසා විශේෂාංග නිර්මාණය (Feature Creation) යන්න නිර්මාණශීලී විශේෂාංග (Creative Features) බවට කෙමෙන් පත්වීම වැළැක්විය නොහැකි වුණා.

“කාලයාගේ ඇවෑමෙන් හා සන්නිවේදන තාක්ෂණය විධිමත්වී‍ම නිසා පුවතක යටි පත්ල සෙවීම (digging into a news) හේතුවෙන් විශේෂාංග චින්තනය කෙමෙන් පුළුල්වීමක් සිදුවුණා.

මේ නිසා ගුවන් විදුලිය, පුවත්පත හා සිනමාව හා රූපවාහිනිය යන මාධ්‍යයන්ට වෙන්වූද විශේෂිතවූ ද විශේෂාංග සමුදායක් එම මාධ්‍යයන්හි පවතින ශක්තිය (Strengths) හා දුබලතාවය (Weakness) මෙන් ම සීමාවන් ද (limitations) අනුව වෙනස් මඟක් ගැනීමට සිදුවුණා. මේ සාධක පැහැදිලි කෙරෙන්නේ මානව සන්නිවේදන සන්ධිස්ථාන පරිශීලනය කිරීමෙන් එය පරිශීලනය කිරීමේදී පුවතක් හෙවත් තොරතුරක් විශේෂාංගයක් බවට පත්වී ඒ විශේෂාංග විවිධාකාර ප්‍රභේදවලට බෙදී වෙන්වී ගිය අයුරු දැකගත හැකියි.

මේ අනුව අද ලොව පවතින විශේෂාංග ප්‍රධාන කොට සිදුවීමක් හෙවත් සිද්ධියක් මුල් කොටගෙන කියැවීමක් හෝ ලියැවීමක් බවට පත්වෙනවා. දෙවැනුව එහි ගැබ්වූ ප්‍රධාන සාධක විමසිල්ලට භාජනය වෙනවා. ‘කෙසේ ද සිදුවුණේ’, ‘කවුද සිදු කළේ’, කාගෙන්ද දැනගන්නේ?’, ‘කාටද පවසන්නේ?’, ‘කොහොමද හොයන්නේ?’, ‘මොන පැත්තෙන් ද බලන්නට වෙන්නේ?’ මේ ප්‍රශ්නවලට උත්තර ලබා ගැනීමෙන් විශේෂාංග නිර්මාණය පුළුල් වෙනවා.

Comments