ලයියා නොහොත් ගෑනු ටොක්කා! | සිළුමිණ

ලයියා නොහොත් ගෑනු ටොක්කා!

ඔහුගේ සම්පූර්ණ නම රත්නායක මුදියන්සේලාගේ ලයනල් ෂෙල්ටන් රත්නායක ය. එහෙත් ඒ නම භාවිත වූයේ ඉල්ලුම් පත්‍ර පිරවීමට පමණි. අනෙක් සෑම අවස්ථාවකදී ම ඔහු හැඳින්වූයේ වෙනත් නම්වලින් ය. ලයියා, ඔඬා, දිමිගොට්ටා, ලේන්සු හොරා හා ගෑනු ටොක්කා ඉන් කිහිපයකි. මේ සෑම නමකට ම අර්ථයක් හා පසුබිම් කතාවක් ද තිබිණි.

ලයියා යනු ලයනල් යන්නට කෙටි යෙදුමකි. කොල්ලෝ හා කෙල්ලෝ සුඛෝච්ඡාරණය සඳහා ලයියා යන්න භාවිත කරති. ලයියා - බයියා වන අවස්ථා ද තිබේ. ඔඬා යනු ඔහුගේ ඇසෙහි ආබාධයක් නිසා පටබැඳුණු නමකි. ලයියාගේ දකුණු ඇස පමණට වඩා සිහින් වූ අතර එය ඇලයකට පිහිටා තිබිණි. කොල්ලෝ ලයියා හා උරණවූ කල ඔඬා! ඔඬා! යැයි බැණ වදිති. දිමි ගොට්ටා යන්න එක්තරා සිදුවීමක් නිසා ඇති වූවකි. ලයනල් වරක් තම ලොකු අක්කාගේ පස්ස පැත්ත මිරිකා ඇති අතර ඇය එම සිද්ධිය පියාට රපෝර්තු කර තිබේ. පියා ලයියා ගසක බැඳ දිමිගොටු දමා පහර දී ඇත. එතැන් සිට ඔහු දිමිගොට්ටා ය. කෙල්ලන්ගේ ලේන්සු හොරා ගෙන ඒවා තම කළිසම් සාක්කුවේ ලාගෙන වරින් වර අතගා බැලීම ඔහුගේ කැත පුරුද්දකි. ඔහු කෙල්ලන්ගේ ලේන්සු දෙස ගිජු ඇසින් බලා සිටී. මේ අනුසාරයෙන් ලේන්සු හොරා යැයි පටබැඳී ඇත. ලයනල්ට කෙල්ලක දුටු කල උන්හිටි තැන් අමතක වෙයි. එලෙස ම එක්තරා උන්මාදයකට ද පත්වෙයි. තැන නොතැන නොබලා කටයුතු කරයි. කෙල්ලන්ගේ පපු පෙදෙසට ඇඟිල්ලෙන් ඇනීම, කකුල් ඇල්ලීම හා පසුපස ප්‍රදේශයට තට්ටු කිරීම ලයියාගේ ප්‍රධාන විනෝදාංශ විය. කවුරුන් ගුරුහරුකම් ලබා දුන්න ද ඔහුට එය අත්හළ නොහැකි විය. සමහර එය ස්වයං සිද්ධියක් ලෙස හැඳින්වූහ.

ලයියාට අවුරුදු දාහතකි. සෙන්ට්‍රල් කොලීජියේ උසස් පෙළ කලා පන්තියේ ඉගෙනුම ලැබීය. එම පන්තියේ කෙල්ලෝ දොළොස් දෙනෙක් වූහ. කොල්ලෝ හතර දෙනෙක් වූහ. ලයියාගේ සමීප ඇසුර පැවැතියේ කෙල්ලන් සමඟ ය. මේ අතරින් සීලවතීට ඔහු වඩාත් කිට්ටු විය. සීලවතීගේ පපු පෙදෙස මෙන් ම නිතඹ විශාල ය. ඇගේ ගවුම ද ටිකක් කොට ය.

උදෑසන ම පන්තියට එන ලයියා පන්ති කාමරය අතුගාමින් සිටින කෙල්ලක ස්පර්ශ කොට පලා යයි. කෙල්ලෝ ඉදල්, කොසු, අඩි කෝදු ආදිය රැගෙන ලයියා පසුපස එළවා ගෙන යති. දිනක් සීලවතීගේ පපුවට ඇඟිල්ලෙන් ඇන්න ලයියා වැසිකිළිය දෙසට දිව්වේ ය, කොස්ස ද රැගෙන ලයියා හඹා ගිය සීලවතී හරියට වැසිකිළිය ළඟදී කොසු - මිටි ප්‍රහාරය එල්ල කළා ය. එය ලයියාගේ ඔළුවේ වැදිණි. පහරෙන් අන්ද - මන්ද වූ ලයියා බිම වැටිණි. ඔළුව තඩිස්සි විය. සීලවතී කොස්ස බිමට දමා ඔහු දෙස බලා සිටියා ය.

“උඹට තුවාලද?”

සෙමෙන් නැඟී සිටි ලයියා තව වරක් සීලවතීගේ පපුවට ඇඟිල්ලෙන් ඇන පන්තිය දෙසට වේගයෙන් දිව්වේය. සීලවතී කිසිවක් ම කීවේ නැත. යළි පහර දුන්නේ ද නැත.

ලයියාගේ ස්ත්‍රී ස්පර්ශය හැරෙන්නට අනෙක් සෑම වැඩකම පිළිවෙළක් තිබිණි. ඕනෑම වැඩක් කදිම නිමාවකින් අවසන් කිරීමට ලයියා වෑයම් කළේ ය. ඔහුට චිත්‍ර අඳින්නට පුළුවන. දැන්වීම් ලියන්නට පුළුවන. කැටයම් කපන්නට පුළුවන. ගෙවල්වල තීන්ත ගාන්නටත් පුළුවන.

මැදිවියේ සිටි එක්තරා ගුරුවරියක් ලයියාට වැඩක් පැවරුවාය. එනම්; ඇගේ නිවසට පැමිණ ඉදිරිපස ගේට්ටුවේ කළු තීන්ත ආලේප කොට එහි ම ‘බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු!’ යනුවෙන් බෝඩ් ලෑල්ලක් සකස් කොට එල්ලා දෙන ලෙසට ය. ලයියා නියමිත දින උදෑසන ම ගුරුතුමියගේ නිවසට ගොස් වැඩ පටන් ගත්තේ ය. මධ්‍යාහ්න වනවිට ලයියාගේ සිත චංචල විය. ඔහු උන්මාදයට පත්වූ අතර තමා අසල සිටි ගුරුතුමියගේ කකුලක් ඇල්ලුවේ ය. කෝපයට පත් ගුරුතුමිය ලයියාගේ කම්මුල හරහා පහරක් දුන්නා ය. ඉක්බිති කලකිරුණු සිතින් යුතුව ඔහු දෙස බලා සිටියාය. ලයියා බිම බලාගෙන ම ආපසු ගෙදර බලා ආවේය. එහෙත් ටීචර් විමසූ දෙයක් ලයියාගේ සිතෙහි තදින් තැන්පත් විය. එය නිරන්තරයෙන් ම ඔහුගේ සිතට වද දුන්නේ ය.

“අයිෂෙ තමුසෙට සහෝදරියෝ නැද්ද?”

ලයියාට සිය මවගේ ඇඟේ එල්ලී කිරි උරා බිව් හැටි සිහිපත් විය. ලොකු අක්කාගේ අතේ එල්ලී එහෙ - මෙහෙ ඇවිද්ද ආකාරය සිහිපත් විය. සහෝදර ප්‍රේමය, මාතෲ ප්‍රේමය, දාරක ප්‍රේමය ආදිය ගැන කල්පනා කරන්නට ගොස් ලයියා තවදුරටත් අමාරුවේ වැටුණේ ය.

ටීචර් ඉහත සිද්ධිය විදුහල්පතිවරයා වෙත රපෝර්තු කර තිබූ අතර ඔහු වහාම රැස්වීමක් කැඳවා, ශිෂ්‍යයන්ගේ විනය, සංවරය හා ගුරු ගෞරවය ගැන දීර්ඝ කතාවක් කළේ ය. උසස් පෙළ ශිෂ්‍යයන් ජ්‍යෙෂ්ඨයන් බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නට වග බලා ගත යුතු බව විදුහල්පතිවරයා අවධාරණය කෙළේ ය. ඔහු සිය කතාව කරගෙන යන අතර වරින් වර ලයනල් දෙස ද බැලුවේ ය.

විදුහල්පතිවරයාගේ දේශනය අවසන් වෙත් ම ලයියා ගුරු විවේකාගාරය වෙත දිව ගියේ ය. ඔහු ටීචර් ඉදිරියේ දණින් වැටී වැඳ නමස්කාර කළ අතර සිය දෑතින් ම ඇයගේ පිටිපතුල් අත ගෑවේය. ලයියා සිය නළල් තලය ද එම පිටිපතුල් මත තබා ගත්තේ ය. ටීචර් නැමී හා... හා නැඟිටිනවා! යනුවෙන් කියන තෙක් ම ලයියා එක ම ඉරියව්වේ පසු වුණේ ය. එය කිසිවකුටත් වෙනස් කළ නොහැකි විය. ඉහත සිද්ධියත් සමඟ ලයියා පිළිබඳ ආරංචිය ගම පුරා පැතිර ගියේය. වනචරයා, වලත්තුවා, කොබා, කුකුළා යන තවත් නම් ඔහු සඳහා යෙදෙන්නට විය. මේ ආරංචිය ලද ලයියාගේ අම්මා කියා සිටියේ තමන්ගේ පොඩි පුත්‍රයා වසර දහයක් පමණ වනතුරු ම මවුකිරි උරා බිව් නිසා කාන්තාවන් කෙරෙහි විශේෂ බැඳීමක් ඇතිවිය හැකි බව හා එය නරක දෙයක් නොවන බව ය.

මේ අතර වර්ෂාවසාන අධ්‍යාපන චාරිකාව සංවිධාන වී තිබිණි. චාරිකාව සඳහා අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල වැනි ස්ථාන තෝරාගෙන ඇති බැවින් උසස් පෙළ කලා අංශයේ සියලු ශිෂ්‍ය ප්‍රජාව ඊට සහභාගි විය යුතු බව විදුහල්පතිවරයා කියා සිටියේය. ලයියා කලින් ම මුදල් ගෙවා චාරිකාවට සූදානම් වූ අතර බස් රථයේ පිටුපස අසුනේ දකුණු පස කෙළවර සීලවතීට හා තමන්ට යැයි කියා තිබිණි. ලයියාට ලැජ්ජාවක් හෝ බියක් හෝ නැත. කෙල්ලන් හා කොල්ලන් අතර සම්බන්ධතා ස්වාභාවික යැයි ඔහුට හැඟී තිබිණි.

අධ්‍යාපන චාරිකාව නියමිත දින නියමිත වෙලාවට පිටත් විය. එහෙත් ලයියා නැත. කෝ ලයියා? ලයියට මොකද වුණේ? වැනි ප්‍රශ්න නැඟිණි. ‍උත්තරය ලැබුණේ බොහෝ වේලාවකට පසුවය. හරියට ම අධ්‍යාපන චාරිකාව පිටත් වන දිනයේ උදෑසන ඔහුගේ සීයා මිය ගියේය. ලයියාට ගමන නවතා දමන්නට සිදු විය.

චාරිකාවෙන් පසු තවත් එක් උදෑසනක ඔවුන් මුණ ගැසී තිබිණි. සීලවතී ළඟ කොස්ස තිබුණු අතර ඈ එය අල්ලාගෙන සිටියේ ඕනෑවට - එපාවට මෙනි.

“කොහොමද ට්‍රිප් එක!?” ලයියා ඇසුවේ ය.

“අන්තිමයි කිසි ගතියක් නෑ!” ඇය උත්තර දුන්නාය.

“ඇයි ඒ!?”

“කොල්ලෙක් නැතිව ජොලියක් කොයින්ද?”

“ඇයි හලෝ කොල්ලො ගොඩක් ගියේ!?”

“ගියා තමයි උන් ළඟ කොලු ගතියක් නෑ!”

කල් යල් බලා සිටි ලයියා සීලාගේ පපුවට ඇඟිල්ලෙන් ඇන්නේ ය. ඈ බැණ වැදුණේ නැත. ගැස්සුවේ ද නැත. ඒ වෙනුවට මෙසේ කීවාය.

“කවුරුවත් නැත්නම් හිමින් අල්ලල බලනවා!”

ලයියා විස්මයට පත්වූ අතර සියලු කෙල්ලන් මේ වගේ නම් ලෝකය කෙතරම් සුන්දර තැනක් වේ දැ’යි කල්පනා කළේ ය.

Comments