පුව­ත්පත් කලාවේ යුග­යක් බැබ­ළ වූ රංචා­ගොඩ ළමයා | සිළුමිණ

පුව­ත්පත් කලාවේ යුග­යක් බැබ­ළ වූ රංචා­ගොඩ ළමයා

රංචාගොඩ කවි

රෝහණ විජේ­වී­රයි කොටි­යයි හමු වී 
සංවා­ද­යක් විය ඝාතන පිළි­බ­ඳව 
කොටියා හිනා වී හක හක හක ගාලා 
කීවා විජේ­වීි­රට මේ වචන ටික..


බලපං මචං හිටි­යානං උඹ තවම
දැන් මේ ටිකට විකු­ණ­න්නෙත් උඹේ නම
උඹ නැති නිසා කොහො­මද දැං කත­න්දරේ
ඒකත් කොටියා ය මේකත් කොටියා ය ...
(1993 මැයි 15 - ඇත්ත)

“මා බේරා ගන්න රංචා­ගොඩ ළමයෝ
ආණ්ඩුව මාව අල්ලා ගෙන කාවි”
ඇහිලා බලන කොට හැංගෙන කබ­ර­ගො­යෙක්
පැහැ­දිලි කළේ මෙහෙ­මයි ඌ කාර­ණය...

පත්ත­ර­ව­ලට ජේවීපි ලේබ­ලය
අල­ව­න්නට පටන් ගෙන ඇත ආණ්ඩුව
තල­ගොයි ලේබ­ලය අලවා කබ­රුන්ට
කන්නට පටන් ගන්නත් පුළු­වනි එහෙම
(1993 පෙබ­ර­වාරි 27 - ඇත්ත)

හඳ ශ්‍රී ලංකාවේ හැඩේට පායලා
ඉන් පසු හඳේ හැඩ­යට ඇයි පායන්නේ
ඇසූ විට රුව­න්වැලි සෑයේ රුවන් කොත
මේ පිළි­තුරු කවිය හඳ කීවා ඇසුණා..

“පිස්සන් කොටුවේ ආකාසේ පායන්නේ
ශ්‍රී ලංකාව හැඩ­යට සිරි­තක් වශ­යෙන්
පසු ගිය එකම දව­සක පිස්සන් කොටුව
මේ හරියේ වගේ මට වැරදී පෙණුනා..”
(1991 ජූලි 07 - ඇත්ත)

1924 අගෝස්තු මස 29 වැනි දින මහනුවර - පදියපැලැල්ල මාර්ගයේදීී හමුවන තලාතුඔය ප්‍රදේශයේ දී උපත ලද සිරිලාල් කොඩිකාරගේ සමාජ දේශපාලන පසුබිම් කතාව මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන කාලවකවානු දෙකක් නියෝජනය කරයි. මුලින්ම ඔහු තරුණයකු වශයෙන් අයත් වන්නේ මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැඟුණු ධර්මපාලතුමන්ගේ මෙන්ම පියදාස සිරිසේනයන්ගේ ජාතික නිදහස් සටන් ව්‍යාපාරය පසුබිම් කරගත් ඒ කාලවකවානුවට යි. දෙවන වකවානුව වන්නේ අධිරාජ්‍ය විරෝධි සටන් පාඨයම මුල් කොට ගෙන නැගී ආ මෙරට වාමාංශික ව්‍යාපාරයේ නියෝජනය යි. සිරිලාල් මුලින්ම පත්‍ර කලාවට පිවිසෙන්නේ නිදහස් ජාතික ප්‍රබෝධයෙන් බිහි වූ සිංහල ජාතිය පුවත්පතෙනි. පසුව “රංචාගොඩ ළමයා” නමින් ප්‍රකට කවි පෙළ ලියන විට ඔහුගේ මුල් ප්‍රවාහයේත්, 70 - 80 විශේෂයෙන්ම 1990 කාල නියෝජනයේත් සමාජ දේශපාලන ආභාසය පෙන්නුම් කරන තැනක ඔහු සිටියේ ය. 

සිරිලාල් කොඩිකාරගේ දේශපාලන නිර්භීතකම හා විචාරාත්මක බව එකවර ප්‍රකාශ කරන නිර්මාණාත්මක ලිවීමක් හැටියට රංචාගොඩ ළමයා නිදසුනක් යැයි පවසන විචාරකයෝ සිටිති. “දවස” පුවත්පතේ සිටි ඔහු “ඇත්ත” පුවත්පතට සම්බන්ධ වී ලියූ රංචාගොඩ ළමයාගේ කවි පෙළ හුදෙක් දේශපාලන නිර්භීතකම පමණක් නොව ඔහුගේ වාමවාදී දේශපාලන අනන්‍යතාව හෙළි කරන්නාවූ ලිවීමක් වේ.

60 දශකය වන විිට මෙරට වමේ දේශපාලනය අදහස් මෙන්ම පක්ෂ වශයෙන්ද දෙකඩවීමක් පෙන්වයි. ඒ අනුව කොළඹ මූලික කරගත් වාමාංශිකයන්ට වඩා දකුණේ කොමියුනිස්ට් දේශපාලන ක්‍රියාකාරීත්වය මෙරට සමාජ සංස්කෘතික මුල් මුලින් සිඳ නොගත් ජාතිකවාදී මුහුණුවරකින් ඉදිරිපත් වූ බව පැහැදිලි ය. ඒ නිසාම ජාතික තලයේ උගතුන්ගේ නියෝජනයක් දකුණේ කොමියුනිස්ට්වාදී දේශපාලනය තුළ දකින්නට ලැබුණි. මහාචාර්ය සේනක බිබිලේ මෙන්ම අදීන පුවත්පත් කලාවේදීන් බොහෝ දෙනෙක් ද එම පක්ෂය සමඟ සම්බන්ධකම් පැවැත්වීම ඊට කදිම නිදසුනකි. සිරිලාල් කොඩිකාරගේ රංචාගොඩ ළමයා එදා කියවූ පාඨකයන් එක් අතකින් ඔහුගේ ජාතිකවාදී පසුබිම මෙන්ම අනික් අතින් මෙරට පොළවෙන් බිහිවූ වාමවාදී ප්‍රගතිශීලිත්වයත් හඳුනාගෙන ඇති බවට සැක නැත.

සුදු පැහැ ජාතික ඇඳුමකින් සැරසුනු මේ කුඩා මිනිසාගේ නිර්භීත දේශපාලන ප්‍රකාශන වඩාත් සටන්කාමී මුහුණුවරක් ගන්නා ආකාරයක් 70 දශකයේ මධ්‍ය භාගයේ සිට ම අපට දකින්නට ලැබේ. සමගි පෙරමුණේ බිඳ වැටීම, 77 න් පසු ආරම්භ වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා “ඒකාධිපති වියරුව” නමින් හැඳින්වූ දක්ෂිණාංසික දේශපාලන පෙරළිය හමුවේ රංචාගොඩ ළමයාගේ උපහාසාත්මක කවි සිත වඩාත් දැඩි දේශපාලන විචාරයක් බවට පත් වේ. මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ ඇත්ත පුවත්පත එතෙක් පැවති සාම්ප්‍රදායික ජාතික පුවත්පත් කලාව වෙනස් කරමින් ඇති කළා වූ විවේචනාත්මක සහ ආණ්ඩුවේ වැරදි නිර්භීතව හෙළිකරන පුවත්පත් සම්ප්‍රදායයි. රංචාගොඩ ළමයාට ඉහත කී ආකාරයට නිර්භීත වූත්, උපහාසාත්මක වූත් එමෙන්ම ආණ්ඩුවේ වැරදි හෙළි කරන්නා වූත් පුවත්පත් කාව්‍ය විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට පුළුල් අවකාශයක් ලැබෙන්නේ ඒ නව පුවත්පත් සම්ප්‍රදාය නිසා ය.

දවස පුවත්පතින් ඔහු ඉවත් වන්නේ, එහි දේශපාලන හැසිරීම වමේ පක්ෂවලට එරෙහි මතවාදයකට තල්ලු වීම නිසා ය. පසුව 80 දශකය වන විට සිරිලාල් කොඩිකාරගේ ලිවීම පුවත්පත් කලාවෙන් ඔබ්බට සාහිත්‍යකරුවෙකුගේ නිර්මාණ ආස්ථානය දක්වා විකසනය වනු දැකිය හැක. ඔහු හුදෙක් පුවත්පත් කලාවේදියකුගේ සීමාවේ නැවතී නොසිටි සාහිත්‍ය කරුවෙකුගේ නිර්මාණ ශක්තිය මෙන්ම විද්වත් විමර්ශකයකුගේ හැදෑරීම තුළින් බිහිවූ ලේඛකයෙක්ය යන්න එම සාහිත්‍ය කෘතිවලින් පැහැදිලි වේ. “මහාවංශ වීමංසන” නම් කෘතිය ඊට එක් නිදසුනකි.

සිරිලාල් 80 දශකය වන විට මුහුණ පා සිටි සමාජ දේශපාලනය, හුදෙක් ශාස්ත්‍රීය ප්‍රබෝධයෙන්, විවේක සුවයෙන් පොත පත පරිශීලනය කරමින් සිටිය හැකි කාලයක් නොවුණත් ඔහු පුවත්පත් කලාවේදියකු හැටියටත් සාහිත්‍යවේදියකු හැටියටත් සිදු කළ කාර්යභාරය අසීමිත එකක් විය. ඔහු අත්වින්ද ඒ සමාජ දේශපාලන පෙරළිය ජීවිතාවලෝකනයක් ලෙසින් ද ගනිමින් මගේ සාක්කිය, දියවැල ඔස්සේ, මහල්ලාගේ හෑල්ල, කියමි සිහිකර යන කෘතිවලට ඇතුළත් වී තිබේ. එහෙත් එය හුදෙක් ගම් පෙරළියක් වැනි සිද්ධිදාමයක් වශයෙන් පමණක් නොව එම සිදුවීම් සම්බන්ධයෙන් විග්‍රහයක් ද ඇතිව බව පෙනේ. එසේ ගත් කළ ඔහුගේ ඒ කෘති වෙසෙස් සමාජ අධ්‍යයනයක් ද වේ. එතනදී ඔහුගේ ඒ ලේඛන විලාශය රංචාගොඩ ළමයාගේ උපහාසාත්මක විවේචනයට වඩා වෙනස් ඇතැම් විට තැන්පත් නිර්මාණශීලි ඉවසීමක් ප්‍රකට කරයි. විචාරකයින්ට අනුව සිරිලාල් මෙහිදී ගත් කතුවරයාගේ සහ පුවත්පත් කලාවේදියාගේ කාර්යභාරය මැනවින් හඳුනාගෙන තිබුණි.

වෘත්තීය පුවත්පත් කලාවේදියකු වීමට පෙර සිරිලාල් විහාරස්ථානයක ගුරු ඇසුර ලබමින් සිටියදී කවි ලිවීමට යොමු වී තිබේ. ඒ වනාහි මහණකමත්, බණ දහමත් ජාතික ප්‍රබෝධයම මිස අනිකක් උදෙසා නොවේ යැයි කියමින් එස්. මහින්ද හිමියන් ලියූ කවි ජනප්‍රිය වූ කාලය යි. සිරිලාල් ලියූ මුල්ම කවි පළවී ඇත්තේ ද ජාතික ප්‍රබෝධයෙහි නිල පුවත්පත ලෙස ප්‍රකටව තිබූ සිංහල ජාතිය පුවත්පතෙහි මෙන්ම නවලෝකය සඟරාවෙහි ය. එනිසාම අධිරාජ්‍ය විරෝධයත්, ජාතික ප්‍රබෝධයත් නිවැරැදිව හඳුනා ගත් දෘෂ්ටි වාදයක සිරිලාල් අවසානය දක්වාම සිටි බව පැහැදිලි ය. කුමාරතුංග මුනිදාසයන්ගේ භාෂා ප්‍රේමීත්වය පසුබිමේ වූ ප්‍රගතිශීලි දේශපාලන දෘෂ්ටිය ඔහු හඳුනා ගත්තේ ද ඒ නිසා ය. සිංහල ගැමි සංස්කෘතිය ආස්වාදනය කළ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රගතිශීලි ජාතික විමුක්ති දැක්ම වරදවා වටහා නොගත් සාහිත්‍යධරයකු හැටියට ද සිරිලාල් කොඩිකාරව හඳුන්වා දිය හැක. විශේෂයෙන්ම සිය භාෂා සාහිත්‍ය දැනුම, ඒ විශාරදත්වය මත පිහිටමින් ඒ උල්පත් වලින් මතු කර ගත් නිර්මාණාත්මක හැකියාව ඔහුගේ සෑම කෘතියකම වාගේ දැකිය හැක. මා දුටු කෝසල සිහින, මානස විල සහ කණේරු මල් වැනි කෘති මෙහිදී සිහිපත් වේ. සාහිත්‍ය රසාස්වාදය, දේශපාලන විවේචනය ඉවසීමෙන් ප්‍රගුන කළ ඔහුගේ ඒ කාර්යභාරය විමසීමෙන් උගත යුතු දහමක් වැනි ය.

40 දශකයට පෙර සිටම අධිරාජ්‍යවාදයට එරෙහි ජාතික ප්‍රබෝධය 80 දශකය වන විට නින්දිත දේශපාලන උපායක් හැටියට එනම් ජාතිවාදය යන අරුතින් ක්‍රියාවට නැ‍ෙඟන්නට විය. උතුරු නැඟෙනහිර සිවිල් යුද්ධය නිර්මාණය වූයේ ද මේ නිසා ය. මාක්ස්වාදයේ නාමයෙන් ව්‍යාජ දේශ ප්‍රේමය ද පටලවා ගනිමන් 80 දශකය අවසානයේදී ඇති වූ ප්‍රචණ්ඩ දේශපාලන කැරලි ද මීට අයත් ය. සිරිලාල් මේ විනාශකාරීත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අයෙකි. ව්‍යාජ ජාත්‍යන්තරවාදයේ අවස්ථාවාදය පැහැදිලිවම දුටු පුද්ගලයෙකි. ටයර් සෑය, නොරටුන්ගේ අන්තංපුරය වැනි කෘති ඊට නිදසුන් ය.

සාහිත්‍යකරුවෙකු හැටියට ඔහු ඒ අත්දැකීම් ගොනු කර ගැනීමේ දී දැක්වූ ඉවසීම වෙසෙසින් අවධානයට ලක්විය යුත්තකි. එවැනි ප්‍රචණ්ඩ අත්දැකීම් මිථ්‍යාව හා බැඳුණු ව්‍යාජ දේශපාලනික බලපෑම් මැද මනා පරිචයකින් මෙන්ම සංයමයකින් යුතුව සාහිත්‍යකරණයේ යෙදීම විරල හැකියාවකි. එනිසාම එවැනි ප්‍රචණ්ඩ යුගයක දැමුණු පුද්ගල මනසකින් යුතුව සිය ලේඛන කෞශල්‍යයකින් යුත් නිර්මාණ කරුවෙකු හැටියට අහිමි නොකර ගත් උත්ප්‍රාසවත් පැවැත්මක් සිරිලාල්ට තිබිණි. අවසාන විග්‍රහයේ දී අප හමුවේ අපූරු මිනිසකු නොවැළක්විය හැකි ලෙසින් නිර්මාණය වූයේ ඒ පසුබිමේ ය.


රංචාගොඩ ළමයාව ඔහුට කවදාවත් හමුවුණේ නෑ
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

සිරිලාල් කොඩිකාර ඉපදුණේ 1924 අගෝස්තු 25 වෙනිදා. ඔහු මුලින්ම ලියූ පොත තමයි “නොනෙලු මල” ඒත් ඒ පොතේ මුල් නම වුණේ නොනෙලූ නෙළුම. පස්සෙ ඒ නෙළුම මල වුණා. එය රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කෘතියක් ආභාසයෙන් ලියවුණු එකක්. ඔහු පුවත්පත් කලාව ආරම්භ කරන්නේ “සිංහල ජාතිය” පත්තරෙන්. ඔහුගේ ජීවිතය සහ නිර්මාණ ගැන “සිරිලාල් කොඩිකාර - ඔහු සහ ඔහුගේ නිර්මාණ” යනුවෙන් පොතක් පළකරන්න වින්සන්ට් කුරුඹාපිටිය සමඟ මම කටයුතු කළා. ඒත් වින්සන්ට්ගේ අකල් මරණය නිසා බොහෝ තොරතුරු රැස් කොට මා ලිවීමට කටයුතු කළ ඒ පොත පළකිරීම අතරමඟ නැවතුණා.

මගේ මතකයේ හැටියට ඔහු ඇත්ත පත්තරයට සම්බන්ධ වෙන්නෙ 1964 දීයි. ඒ කාලයේ ඔහු ලියූ රංචාගොඩ ළමයා ගැන කවුරුත් කතා කරනවා. කොඩිකාර “ශ්‍රී ලංකාවේ කිවිදියෝ” නමින් ලියූ කෘතියේ අවසානයටම හිටපු කිවිදිය තමයි රංචාගොඩ ළමයා.

“හැම දෙවියනේ මගෙ වාහෙ සකෝ රකෝ“

ඔය විදිහට ලියවුණු කවි ආරක් තමයි ඇයට තිබුණේ. එච්. ජී. එස්. රත්නවීර ඒ වගේම බී. ඒ. සිරිවර්ධන කළ යෝජනාවක් අනුව තමයි සිරිලාල් ඔය රංචාගොඩ ළමයා නමින් කවි පෙළ ලියන්නෙ. ඔහු මගෙනුත් ඒ ගැන ඇහුවා.

මහාචාර්ය සරත්චන්ද්‍ර, විලාසිනියකගේ ප්‍රේමය ලියමින් සිටි කාලයේදී කණවේර ජාතකය ගැන මාත් සමඟ කතාබහක් ඇති වුණා. සරත්චන්ද්‍රගේ අදහසට අනුව එය ගැළපුණේ ගද්‍යයට වඩා පද්‍යයටයි. ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් ගැන ඔහු මගෙන් ඇහුවා. මම ඒ සුදුසු පුද්ගලයා හැටියට සිරිලාල්ව තෝරා ගත්තා. සිරිලාල්ගේ “කණේරු මල්” කෘතිය ලියවෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. පසුව ජාතක කතා සාහිත්‍ය ගැන උනන්දුවක් ඇති කරගන්නා ඔහු “බක වත” ලියා පළ කරනවා. “කැලිස්ටාගේ සවාරිය” ඔහුගේ නවකතාව වන අතර කෙටි කතා පොත් දෙකක් ද ලියා තිබෙනවා. මුලින්ම ලියුවේ “ගහෙන් වැටුණු ගැහැනිය”. පසුව ලියූ “විශ්වයේ විස්ම” හොඳ කෙටි කතා එකතුවක්.

අපි දෙදෙනා අතර හොඳ සම්බන්ධයක් තිබුණා. රංචාගොඩ ළමයා කිවිඳියව හොයා ගෙන, ඇය උපන් ගම යැයි ඔහු විශ්වාස කළ හික්කඩුවේ සිට ගල්කිස්ස දක්වාම ගමන් කළ කාලයක් ද තිබුණා. නමුත් ඔහුට ඇය හමුවුණේ නැහැ. ඇය කොහේ හෝ පන්සලක සිටමින් කවි කියමින් සිටියාය කියලා ඔහු විශ්වාස කළා. ඒ කාලයේ අපි නිතර හමුවුණු බොරැල්ලේ ඔලිවර් අයියාගේ කාමරය ගැනත් මෙහිදී මට මතක් වෙනවා. එතැනට නිතරම ආ ගිය අය අතර අජිත් සමරනායකත් සිටියා. සිරිලාල් කොඩිකාර කියන්නේ අදීන පුවත්පත් කලාවේදියෙක්. නිර්මාණශීලි ලේඛකයෙක්.


ඔහු ඇත්ත පත්තරේ සිටි ප්‍රමුඛ ප්‍රඥාවන්තයෙක්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා

ඇත්ත පත්තරේ යෝධ කණු පහක් මත රැඳී තිබුණා යැයි මා සිතනවා. එච්. ජී. එස්. රත්නවීර, බී. ඒ. සිරිවර්ධන, සුරත් අම්බලන්ගොඩ (ජයසීල ද සිල්වා), ජෙෆ්රි යූනුස්, සිරිලාල් කොඩිකාර තමයි මේ යෝධ කණු පහ. රත්නවීර ශූර උපහාස ලේඛකයෙක්. සිරිවර්ධන දක්ෂ දේශපාලන කතු වැකි රචකයෙක්. සුදත් අම්බලන්ගොඩ ප්‍රාමාණික දැනුමක් තිබූ අයෙක්. යූනුස් එවකට සිටි දක්ෂතම කාටුන් ශිල්පියෙක්. සිරිලාල් කොඩිකාර ඇත්ත පත්තරේ හිටපු ප්‍රඥාවන්තම පුද්ගලයා හැටියටයි මා දකින්නෙ. ඊට හේතුව තමයි ඔහු හුදෙක් පත්තර කාරයකුගේ කාර්යයට පමණක් සීමා නොවුණු ඊට එහා ගිය පුළුල් සාහිත්‍ය කාර්යභාරයක් ඉටු කළා වූ චරිතයක් වීීම. පත්‍ර කතුවරයකු හැටියට ගත්තත් ඔහු විවිධ ලිපි විවිධ ශෛල්ි‍යකින් ලියූ පුද්ගලයෙක්. සමහර දවස්වල එකම පත්තරේ පිටු කිහිපයකම ඔහුගේ ලිපි පළවූ අවස්ථා තිබුණා. විෂය දැනුමින් පුළුල් නිසා ඔහුට ඒ කටයුත්ත අපහසුවක් වුණේ නෑ.

ඇත්තටම ඔහු ඥාන වෘද්ධ ලේඛකයෙක්. දේශපාලනය විතරක් නෙමෙයි සාහිත්‍ය විචාරය, ශාස්ත්‍රීය ගවේෂණ ලිපි ද ඔහු අතින් ලිය වුණා. මහාවංශ විමංසන කෘතිය ලියමින් ඔහු සාකච්ඡා කළේ අතීතයේ සිටම මෙරට පැවති ජාතික සහයෝගිතාවය යි. සිරිලාල් කවදටත් ජාතිවාදය, ආගම්වාදය වගේම මිථ්‍යාව ප්‍රතික්ෂේප කළ අයෙක් බව කියන්න ඕන.

ඒ කාලයේ ඇල්විටිගල තට්ටු නිවාසයේ සිටි ඔහු කොටා රෝඩ් (ඒ කාලේ විප්ලවීය මාවතක්) ඔස්සේ කාර්යාලයට ආවේ පයින්ම යි. ඒ එන අතරවාරයේ දී ඔහු එදා දවසේ පත්තරේ වැඩ කටයුතු සැලසුම් කරගන්නා තත්වයක් තිබුණා යැයි මා සිතනවා.

පහුගිය කොරෝනා සමයේ අප කිහිප දෙනෙක් ඔහුගේ නිවසට ගියේ සුවදුක් බලන්නයි. මළහිරු බැස යමින් තිබූ ඒ සැන්දෑවේ හාන්සි පුටුවක දිග ඇදී පොතක් කියවමින් සිටි සිරිලාල් තමන් හදාරමින් සිටි විෂය කරුණු ගැනත් එහිදී අප සමඟ කතා කළා. එවිට 97 වන වියේ සිටි ඔහු වෙතින් පල වූ සනීපවත් නිරෝගි පෙනුම අවසානයේදි මෘත දේහයක් ලෙස දකිනවිටත් ඒ විදිහටම තිබුණා. ඒ සනිීපවත් සත්කාරය ඔහුට ලබා දුන්නෙ වෛද්‍යවරියක වූ ඔහුගේ දියණියයි. ඒක හොඳ ආදර්ශයක්.

තමන් මිය ගිය පසුව උපදින්නෙ බඹ ලොව යැයි වරක් ඔහු මා හමුවේ පැවසූ හැටි මට මතකයි. අවසාන වශයෙන් ඔහු වෙතින් දුටු ඒ සනීපවත් ප්‍රියමනාප පෙනුම හමුවේ මට සිතුනේ ඇත්තටම ඔහු බඹ ලොවට යන්නට ඇතිය කියායි. සිරිලාල් කොඩිකාර කියන්නේ අතිශයින්ම තෘප්තිමත් ජීවිතයක් ගත කළ මිනිසෙක්.


රංචාගොඩ ළමයාට කලින් ඔහු ලියුවේ සයිබු නානා ගැනයි
නීතිඥ එස්. ජි. පුංචිහේවා

අපි ඉස්කෝලෙ යන කාලේ වඩාත් උනන්දුවෙන් කියවූ පත්තරයක් තමයි සිංහල ජාතිය පුවත් පත. එහි සයිබු නානා නම් චරිතයක් මුල් කරගෙන කතා පෙළක් පළ වුණා. සයිබු නානා කියන්නේ හොර මැරකම්, වංචාවලින්ම ජීවත් වුණ මිනිහෙක්. ඒ එක කතාවක් කෙටියෙන්. දවසක් මේ සයිබු නානා හොරෙන් කැපූ “හොර” ගස් වගයක් කෙනෙකුට විකුණනවා. ඒ මනුස්සයා ඒවා අරගෙන විකුණන්න ගියාම ඒ ගැනුම්කරුවා මේවා මගේ ගස්ය කියලා කියනවා. කොහොමද මේවා කැපුවෙ කියලත් අහනවා. පසුව අර පුද්ගලයා සයිබු නානාව හමුවෙලා මේ විත්තිය කිව්වාම සයිබු නානා දුන් උත්තරය තමයි ඉතින් මම තමුන්නැහෙට කිව්වානේ මේවා හොර ගස්ය කියන එක. ඒ පිටුවට සිරිලාල් ලියපු කතාවක් තමයි ඔය මම කිව්වෙ. පසුකාලයක තමයි මම ඒ බව දැන ගත්තෙ.

සිරිලාල් පුද්ගලයෙක් විදිහට මම හඳුනා ගත්තෙ ඇත්ත පත්තර කන්තෝරුවට යන්න එන්න ගත්තට පස්සෙයි. සුරත් අම්බලන්ගොඩ, බී. ඒ. සිරිවර්ධන කියන්නෙ විශාල දැනුම් සම්භාරයක් තිබුණ අයයි. අපි හැන්දෑ කාලවලදි එකතුවෙලා කතා කරන සිරිතක් තිබුණා. ඔය අතරට සිරිලාලුත් එකතු වුණා. ඔහුට බෞද්ධ සාහිත්‍ය ගැන වගේම පොදුවේ පැරණි සාහිත්‍ය ගැන පුළුල් දැනුමක් තිබුණු බව මා දැන ගත්තෙ එවිටයි. සිරිලාල් කියන්නෙ හුදෙක් උපහාස කතා රචකයෙක් විතරක්ම නෙවෙයි.

ඒත් ඔහු සදය උපහාසයකින් ලියූ රචකයෙක් බව රංචාගොඩ ළමයා ගෙන් විතරක් වුණත් පැහැදිලි වෙනවා. එකල ජනාධිපතිවරයෙක් මවු ගම පිය ගම කියා ගම්මාන දෙකක්ම හැදූ බව ඔබට මතක ඇති. එය නිමිති කොට ගෙන රංචාගොඩ ළමයා ජනාධිපතිවරයාට යෝජනාවක් කරනවා ඔහුගේ බිරිය වෙනුවෙන් ද ගමක් හදන්නය කියලා. හැබැයි ඒ ගමේ නම යෝජනා කරන්නේ මම යැයි කියන රංචාගොඩ ළමයා ඊට තැබූ නම තමයි පෙට්ටගම.

පැරණි සාහිත්‍ය සහ භාෂාව ගැන පළල් දැනුමක් තිබූ ඔහු කුමාරතුංග මුනිදාසයන්ගේ භාෂා ශෛල්ී‍ය භාවිතා නොකළාට ඊට කැමති වුණා. සිරිලාල් කොඩිකාර කාර්යභාරයක් සමඟ සිටි චරිතයක්. ඒත් ඒ සම්බන්ධව සාකච්ඡා වුණා මදි යැයි මා සිතනවා.

Comments