නව පරපුරට මඟ කියූ පත්තර ලෝකයේ පහන් තරුව | Page 2 | සිළුමිණ

නව පරපුරට මඟ කියූ පත්තර ලෝකයේ පහන් තරුව

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පත්‍ර කලාවේදී දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහයන්ට දැන් වසර 91යි

පි එක වයසේ දෙදෙනෙක් වෙමු. අපි දෙදෙන අතර ඇත්තේ මාස ගණනක පරතරයකි. 1930 මාර්තු 30 දා ඩී. ආර්. විජයවර්ධන මහතා “සිළුමිණ” පළකිරීම ආරම්භ කළා. ඊට මාස පහකට පමණ පසු අගෝස්තු මාසේ මම ඉපදුණා.” ප්‍රවීණම පුවත්පත් කතුවරයා වූ එඩ්මන්ඩ් රණසිංහ සිනාසෙමින් කීවේය.

යළිත් එඩ්මන්ඩ් රණසිංහ අතීතයට යොමු වුණේය.

“1980 දී “සිළුමිණ” ට වසර 50ක් පිරෙන අවස්ථාවේ එහි කර්තෘ ධුරයේ වැඩ කිරීමට ලැබීම මට මගේ ජීවිතයේදී ලැබූ දුර්ලභ සිද්ධියක් කියලයි මම හිතන්නෙ. පුවත්පත් කලාවේදියෙකුට ලැබිය හැකි උසස් ම සතුට එය වෙන්නටත් පුළුවන්.“

එසේ කී ඔහු 1930 මාර්තු 30 වෙනිදා පළ වූ “සිළුමිණ” කතුවැකියෙන් කොටසක් ආවර්ජනය කළේය.

“අපේ ප්‍රධානාධ්‍යාශය වනාහි අවංකව හා නොපසුබට වීර්යයෙන් යුක්තව රටට සේවය කිරීමට ය. එබැවින් ඊට අදාළ වන අදහස් දැක්වීම ආදියෙන් යමක් අපට සහභාගිවෙත් නම් අපි එය අගය ‍කොට සලකන්නෙමු.”

කඩුවෙල බෝමිරියේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් හරියට ම මීට වසර 70 කට පෙර ලේක්හවුස් ආයතනයේ පඩි පෙළ නැඟ එහි කළමනාකර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහයන් ඉදිරියේ පෙනී සිටියේ ය. ඒ “ඩේලි නිවුස්” පත්‍රයේ පළවූ ඇබෑර්තුවකට අනුවයි.

“පරීක්ෂණය පැවැත්වූයේ ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන්. ඒ 1952 මහා මැතිවරණයේ උණුසුම දැඩිව තිබූ කාලයක්. ඉහත කී පරීක්ෂණයට මා සමඟ මීමන ප්‍රේමතිලක, ඇස්. සුබසිංහ හා ධර්මපාල වෙත්තසිංහ පෙනී සිටියා. පුදුමය අපි හතරදෙනාම පසු කාලයක “සිළුමිණ” කර්තෘවරු වීම. පරීක්ෂ‍ණයෙන් ඉහළම ලකුණු ලැබුණත්, අපිව කර්තෘ මණ්ඩලයට අනුයුක්ත කළේ නෑ. අපිව දැම්මේ “පොලිටිකල් ඩෙස්ක් එකට.” එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක වැඩවලට. මැතිවරණයට පස්සේ අපිව ඩේලිනිවුස්, දිනමිණ පත්‍රවල පාර්ලිමේන්තු වාර්තා කිරීමට. 

එකල හිටිය උගත් බුද්ධිමත් දේශපාලනඥයෝ. කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. බණ්ඩාරනායක, ඇන්. ඇම්, කෙනමන්, රොබට්, දහනායක, ජේ. ආර්., නඩේසන්, සුන්දරලිංගම්, ඊරියගොල්ල, කන්දයියා, පොන්නම්බලම් වැනි කෘතහස්ත දේශපාලනඥයන් ගේ චතුර කතා වාද විවාද ඇසුරින් සිංහල හා ඉංග්‍රීසි පාර්ලි‍මේන්තු වාර්තා අපි වාර්තා සැපයුයේ බුද්ධිය වර්ධනය කරමින්. වැඩි කල් යන්න ඉස්සර මම දිනමිණේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ වුණා.” රණසිංහයන් සිය ආරම්භය පැවැසුවේය.

දොන් එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ අවිස්සාවේ‍ල්ලේ පුවක්පිටියේ දී 1930 අගෝස්තු 14 වැනිදා උපත ලැබීය. ඔහුගේ පියා දොන් අර්නෝලිස් රණසිංහ ය. ඔහු රැකියාව කළේ අවිස්සාවේල්ලේ බෙලයාර් වතුයායේ ප්‍රධාන ලිපිකරුවකු වශයෙනි. ඔහුගේ බිරිය වූයේ මේරි රණසිංහ මෙනවියයි. රණසිංහ යුවළට එඩ්මන්ඩ් ඇතුළු දරුවන් පස්දෙනෙකි. එඩ්මන්ඩ් තම වැඩිමහල් සොහොයුරිය සමඟ මුලින්ම ඉගෙනිමට ගියේ රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විද්‍යාලයට ය. ඔහු ද්විතිය අධ්‍යානය ලබන්නේ අවිස්සාවේල්ලේ ශාන්ති මේරි විද්‍යාලයට ය.

එඩ්මන්ගේ මුල්ම රැකියාව වූයේ ගුරු වෘත්තියයි. වග තුම්මෝදර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයා ලෙස කටයුතු කරන අවධියේ, ලේක් හවුස් ආයතනයට ඉල්ලුම් පතක් යොමුකර තිබුණේය. ධර්මපාල වෙත්තසිංහ “දිනමිණ” ප්‍රධාන කර්තා පදවිය දරන කාලයේ එඩ්මන්ඩ් ප්‍රවෘත්ති කර්තෘවරයා විය. එකල ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රවෘත්ති ලියූ වාර්තාකරුවන්ගේ නම පළ වූයේ නැත.

ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් එඩ්මන්ඩ් රණසිංහ ගේ නම මුල්වරට පළ විය. පසුකලෙක ඔහු “ජනතා” පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ ද “දිනමිණ” කර්තෘවරයා ද විය. “දිනමිණ” මුල්වරට ලක්ෂය ඉක්මවා අලෙවි වූයේ ඔහුගේ කාලයේ ය. 1973 ලේක්හවුසිය ජනසතු කළ පසු රණසිංහයන්, සිසිර කුමාර මානික්ක ආරච්චි හා එල්මෝ ගුණරත්න සමඟ ඉල්ලා අස් වී ය.

“මම ‘සිළුමිණ’ කර්තෘවරයා ලෙස පත්වූ 1980 වසරේ කර්තෘ මණ්ඩලයේ හිටියේ දහදෙනයි. නියෝජ්‍ය කර්තෘ ඩබ්ලිව්. පී. කේ. ගුණවර්ධන (කීර්ති ගුණවර්ධන), විශේෂාංග කර්තෘ දයාසේන ගුණසිංහ, පී. බී. ඉලංගසිංහ, ලක්ෂ්මන් ජයවර්ධන, නන්දසේන සූරියආරච්චි, පර්සි ජයමාන්න, ශාන්ත සේනාධීර, චිත්‍ර ශිල්පී ගුණපාල හේමචන්ද්‍ර, කැමරා ශිල්පී රාජා පෙරේරා ඒ අතර සිටියා. ඉරිදා පත්තරයකට දහදෙනෙක් ප්‍රමාණවත් යයි එඩ්මන්ඩ් රණසිංහ පවසා තිබුණි.

1981 වසරේ ලේක්හවුස් හි තමා දැරූ තනතුරුවලින් අස්වී එඩ්මන්ඩ් රණසිංහ උපාලි විජේවර්ධනගේ ඇරැයුමින් උපාලි පුවත්පත් සමාගමට බැඳී “ඉරිදා දිවයිනට” වූයේ එවකට ලේක්හවුස් පාලන අධිකාරිය සමඟ තිබූ මතභේදයක් නිසා ය. එයට හේතුව වූ සිරිමා බණ්ඩාරනායක රජයේ ප්‍රබල ඇමතිවරකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ මන්ත්‍රීවරයකු වූ ටී. බී. ඉලංගරත්නගේ නවකතාවක් කොටස් වශයෙන් ‘සිළුමිණෙ’ පළකිරීම නිසාය.

පාලන අධිකාරිය වහාම එය නවත්වන්න යැයි කර්තෘට බල කළේය. එඩ්මන්ඩ් රණසිංහ එයට විරුද්ධ විය. ප්‍රසිද්ධ නවකතාකරුවකු වූ ඉලංගරත්නගේ මේ නවකතාව නිසා සිළුමිණේ අලෙවිය ඉහළ ගිය බව රණසිංහයන් සාක්ෂි ඇතිව ඔප්පු කළ විට පාලන අධිකාරිය කීවේ, “එසේ නම් කතාව කෙටිකොට ඉක්මනින් ඉවර කරන ලෙස” ය.

“දක්ෂ ලේඛකයකුගේ නවකතාවක් කප්පාදු කිරීම දක්ෂ ප්‍රතිමාකාරයකු විසින් නෙළන ලද ප්‍රතිමාවක අත පය කඩා දැමීම මෙන් දරුණු ක්‍රියාවක්. ඉලංගරත්න ගේ දේශපාලන අදහස් මේ කතා‍වේ නෑ. මම කර්තෘ හැටියට එය අනුමත කරන්නේ නෑ.”

පාලන අධිකාරිය තව තවත් බලකරද්දී එඩ්මන්ඩ් රණසිංහ කොන්ද නොනමා ඉල්ලා අස් වී ඇත.

ලේක් හවුසියෙන් අස් වී ගිය එඩ්මන්ඩ් රණසිංහ 1981 දී “ඉරිදා දිවයින” ආරම්භක කතුවරයා ලෙස පත් විය. ලේක් හවුසියේ දක්ෂ කර්තෘ මාණ්ඩලිකයන් කිහිප දෙනෙක් ඔහු සමඟ “ඉරිදා දිවයිනට” ගිය අතර නවක දක්ෂ තරුණයන් රැසකට එහි දොර කවුළු විවෘත කර දුන්නේය.

එඩ්මන්ඩ් රණසිංහ “දිවයින” කර්තෘවරයා මෙන්ම උපාලි පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ද විය. 1982 පෙබරවාරි 4 වෙනිදා “දිවයින” දිනපතා පත්‍රය ඇරඹුණි. එදා රටේ දේශපාලන, සමාජ තත්ත්වය ගැන මෙසේ ආවර්ජනය කළේය.

“දිවයින මේ රටේ පුවත්පත් ඉතිහාසයට නව පිටුවක් එක් කළා සේම මිතුරන් මෙන්ම සතුරන් ද එක සමානව ඇති කර ගත් පත්‍රයක්. “දිවයිනේ” කිසියම් හරයක් ඇත්නම් ඒ හරය නිර්මාණය කර ලද්දේ කර්තෘ මණ්ඩලය විසින්. ජනාධිපති ‍ජේ. ආර්. ජයවර්ධන යුගයට “දිවයින” එතරම් මිහිරි යුගයක් නොවෙයි. ආර්. ප්‍රේමදාස යුගය ද එලෙසම වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගය ද එලෙසම එදා සිදු වූ දෙයින් පැහැදිලිය. දිවයිනට සුබදායක යුගයක් වූයේ ඩී. බී. විජේතුංග යුගයේ පමණයි.

ජේ. ආර්. යුගයේ දී එල්ල වූ තර්ජනවල එක් ලක්ෂණයක් නම් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්ම තෝරන අධ්‍යක්ෂවරයෙක් උපාලි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීමයි.

කෙසේ හෝ ඒ අධ්‍යක්ෂවරයා පුවත්පත් කෙරෙහි මිත්‍රත්වයක් දැක් වූ කෙනෙකු වීම නිසා ඒ කාල සීමාව එතරම් කුරිරු එකක් වුණේ නැහැ. ප්‍රේමදාස යුගය තුළ ‘දිවයින’ මුහුණ දුන්නේ සතුරු උවදුරකට සමාන කළ හැකි තත්ත්වයකට.”

එඩ්මන්ඩ් රණසිංහයන් 1970 මහ මැතිවරණයෙන් පසු අගමැතිනිය දිවුරුම් දීමට ගිය විට, ලේක්හවුස් ආයතනයට ගිනි තැබිම දකින්නේ කැඩපතකට ගල් ගැසුවා වැනි සිද්ධියක් හැටියට ය. 

ගල් පාර වැදී කැඩපත ඉරිතලා කැඩි බිඳී යන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ නිදහස් පුවත්පත් කලාව ද කැඩී බිඳී සුනුවිසුනු වී ගිය අවස්ථාවක් ලෙස ය. නිදහස් පුවත්පත් කලාවක් බිහිවීමට හා වර්ධනය වීමට තිබූ ඉඩකඩ එයින් ඇහිරී ගිය බව ය.

“අනික් පත්‍රවලින් ජාතික විමුක්ති පෙරමුණට ප්‍රචාරයක් නුදුන් කාලේ “දිවයින” ඒ සඳහා ඉඩකඩ සලසා දුන්නා. මේ නිසා මට මරණ තර්ජන, නිර්නාමික ලිපි එව්වා. ‍ජේ. වී. පී. නායක රෝහණ විජේවීර මට ස්තුති කරලා ලිපියක් එව්වා. මම ජේ. වී. පී, එකේ ප්‍රවෘත්ති දැම්මාට පත්‍රය අයිති උපාලි විජේවර්ධන මට නිදහස දුන්නා. ඒත් සමාගමේ හිටිය පේලි මුහන්දිරම් අධ්‍යක්ෂවරයා මට බලපෑම් කළා. මම ‘දිවයිනේ’ පළ කිරීමට අනුමත කර තිබූ ලිපියක් ඔහු තනි මතයට ගලවලා තිබුණා. මම කර්තෘකම දමල ගහල යන්න ගියා. උපාලි විජේවර්ධන මැදිහත්වෙලා ප්‍රශ්නය විසඳුවත් ඔහු මිය ගිය පසු බලපෑම් ආ නිසා මා අස්වුණා.” රණසිංහ මතකය අලුත් කළේය.ඉන්පසු එඩ්මන්ඩ් රණසිංහ මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් රැසක උපදේශක තනතුරු දැරීය. රණසිංහ ග්‍රන්ථ තුනක් රචනා කර ඇත.” “දේශයක කඳුළු” 1999 ඔහු විසින් ලියූ කෘතියෙන් මේ රටේ දශක පහක පැවති ආකාරය විවේචනයට ලක්කර තිබුණි.

“මා පාසලින් සමු ගත්තේ දේශපාලන මතිමතාන්තර පිළිබඳ හිමිදිරියක මා පසුවන සමයකයි. මේ කාලයේ දේශපාලනය හා සම්බන්ධ දර්ශන හා න්‍යායන් කෙරෙහි මගේ උනන්දුව ඇදී යමින් තිබුණේ. එයින් මගේ දැනුම මේ නිසා පුළුල් වුණා. එදා ‘දිනමිණ’ ට බැඳෙන විට එස්මන්ඩ් වික්‍රමසිංහගේ (එදා කර්තෘ මණ්ඩලය භාරව සිටි කළමනාකර අධ්‍යක්ෂ) උපදේශකයෙකුව සිට පසුව දිනමිණ පත්‍රයේ කර්තෘව සිටි ඇම්. ඒ. ද සිල්වා මගේ පත්‍ර කලා ජීවිතය හදා වඩා ගන්න අත දුන් මිත්‍රයෙක්.

ඕනෑම රටක දේශපාලනය ක්‍රියාත්මක වන අන්දම පිළිබඳ අධ්‍යයනයක් කිරීමට පත්තර කන්තෝරුවකට වඩා හොඳ තැනක් නැහැ.

මේ රටේ දේශපාලන කටයුතුවලට කිට්ටුවෙන් සිටීම තුළින් මා ලත් අත්දැකීම් සහ ඉගෙන ගත් පාඩම් සහ පොතපතින් ලත් දැනීම “දේශයක කඳුළු” පොතින් මම කියන්න උත්සහ කළා.” කී රණසිංහ 2001 වසරේ “උරුමයක හිමිකරුවෝ” කෘතියත් “සෝම හාමුදුරුවෝ” කෘතියත් ලියලා 2003 වසරේ “ශ්‍රියාලතා - පෙරළියක නායිකාව” නම් නවකතාව ලිව්වා.”

“ශ්‍රියාලතා” - පෙරළියක නායිකාව රණසිංහ විසින් ලියූ පළමු නවකතාව ය. මේ නවකතාව ලියන්නට ඔහු තුළ උනන්දුවක් ඇතිව තිබෙන්නේ කලින් ලියූ පොත් දෙක සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් ය.

“ශ්‍රියාලතා” නවකතාව ගමක තරුණියකගේ නායකත්වය පිළිගත් ගමේ කාන්තාවන් සිය ගම “රටක් ඇතුළත රටක්” බවට පත් කළ ව්‍යායාමයක කතාවක්.” ඔහු කීවේය.

එඩ්මන්ඩ් රණසිංහට සිය බිරිය හමුවන්නේ ඔහු ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කළු අග්ගල වග තුම්මෝදර විද්‍යාලයේ දී ය. රණසිංහ ගුරු වෘත්තියෙන් සමුගෙන ලේක් හවුසියේ රැකියාවට යන විට එම පුරප්පාඩුවට රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයකින් පුහුණුව ලැබූ දැකුම්ලෙු තරුණ ඉංග්‍රීසි ගුරුවරියක් පැමිණියාය. ඇය මිලිනා කුමාරගේය. පළමු දැක්මෙන්ම ඇය කෙරෙහි ඔහුගේ සිත ගියේය.

ඇය එවකට හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු (පසුව අමාත්‍යවරයකු වූ) එම්. ඩී. එම්. ජයවර්ධනගේ ළඟම ඥාතිවරියකි. එඩ්මන්ඩ් හා මිලිනා විවාහයෙන් දියණියන් දෙදෙ‍නකු ලැබූහ.

වැඩිමහල් දියණිය නිර්මලා රණසිංහ ය. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යයෙන් උපාධිය ලැබූ ඇය ඉංග්‍රීසි ගුරුවරියක ලෙස විශාඛා විද්‍යාලයේ ද විදුර විද්‍යාලයේ ද සේවය කළාය.

සිවිල් ඉංජිනේරුවකු වූ ලක්ප්‍රිය රත්නායක සමඟ විවාහ වී සිටී. දෙවැනි දියණිය දර්ශනී රණසිංහ පරිගණක දත්ත නිලධාරිනියක ලෙස උපාලි පුවත්පතේ සේවය කළාය. ඇය වෙ‍ෙළඳ ව්‍යාපාරික ලක්සිරි වික්‍රමාරච්චි සමඟ විවාහ වී සිටී.

“මගේ තාත්තාට නිරතම තරහ යන්නේ නෑ. නිවිච්ච චරිතයක්. තරහක් ආවොත් ටිකක් තදින් කතා කරනවා. පත්තර කලාවට තාත්තා ගෝලයෝ රැසක් හඳුන්වා දුන්නා. තාත්තා ඒ අයට තමන්ගේ දරුවෝ වගෙ සැලකුවේ. තවත් කාරණයක් තමයි තාත්තාට පිරිමි දරුවෝ නැති නිසා ඒ සෙනෙහස දුන්නේ ගෝලයන්ට.

තාත්තා ළඟින් ඇසුරු කළ දේශපාලනඥයන් වුණේ ගාමිණී ජයසූරිය හා එම්. ඩී. එච්. ජයවර්ධන. ඒ අයව ඇසුරු කළේ දේශපාලනය කළ මහත්වරු නිසාලු.

මේ දෙදෙනාම හිතට එකඟව වැඩ කරලා දේශපාලනයෙන් ඉවත් වූ මහත්වරු කියලා තාත්තා අම්මට කියනවා මම අහලා තියෙනවා. තාත්තාගේ සමීපතම මිතුරා අධිනීතිඥ ගාමිණී ඊරියගොල්ලයි. (හිටපු ඇමති ඊරියගොල්ලග් පුතා)

“තාත්තා කවදාවත් අපට දඬුවම් කරල නෑ. ඒ වගේම අපට ආදරය පෙන්නුවෙත් නැහැ. ඈතින් ඉඳලා ආදරය කළේ. නමුත් සමහර දේට අපිට සැර කරලා තියෙනවා. අපේ අම්මා 2017 වසරේ මිය ගියා . ඒ වනවිට ඇගේ වයස අවුරුදු 88ක් වෙනවා. තාත්තගේ වත්ත තියෙනවා රණාලේ. තාත්තා පත්තර කියවමින්, පොත්පත් කියවමින් එහි කාලය ගත කරනවා. ගමේ එළවළු, පලා වර්ග අනුභව කරමින් නිසංසලව තාත්තා ඒ නිවසේ ජීවිතය ගත කරනවා.” රණසිංහගේ වැඩිමහල් දියණිය නිර්මලා කීවාය.

එඩ්මන්ඩ් රණසිංහගේ 91 වැනි උපන් දිනය නිමිත්තෙන් නිර්මලා සහ දර්ශනි දියණියන් දෙදෙනාත් ඔවුන්ගේ සැමියන්, දූ දරුවන් බෝමිරියේ රණ‍ාලේ වත්තේ ප්‍රිය සාදයක්ද පසුගිය 13 වෙනිදා සංවිධානය කර තිබුණි.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

Comments