දෙසැම්බරයේ ලග්න රැසකට ප්‍රබල ග්‍රහ සංයෝග | සිළුමිණ

දෙසැම්බරයේ ලග්න රැසකට ප්‍රබල ග්‍රහ සංයෝග

•කාර්මික කෘෂිකාර්මික දියුණුව ඉදිරියට
•ජනතා විරෝධතා ඉවතට 
•ආගමික සහජීවනය මතු වේ 
•ලග්න 09කට සුබ පල
•ලග්න 03කට මධ්‍ය පල  

මේ වනවිට කේතු ග්‍රහයා වෘශ්චික රාශියේ උච්චවද පසුගිය 16 දා සිට රවි ග්‍රහයා වෘශ්චික රාශියේ සමව ද දෙසැම්බර් 05 දා වනවිට කුජ ග්‍රහයා ද වෘශ්චික රාශියේ ස්වක්ෂේත්‍රව ද පිහිටීමෙන් චතුර් ග්‍රහ සංයෝගයන් සමඟින් බලවත් ග්‍රහ සංයෝගයක් නිර්මාණය වන්නේය.

මෙම ග්‍රහ තත්ත්වය කාර්මික කෘෂිකාර්මික මෙන්ම දැනුම බුද්ධිය හා බාහු බලය එක්කොට සිදුවන සමාජ ප්‍රතිශෝධනයකට අත වනනු ඇත. රජය ජනතාව අතර සිදුවෙමින් පවතින මතවාද විරෝධතා මග හැරෙමින් සියලුදෙනා එක්ව කටයුතු කෙරෙන යුගයක ආරම්භයක් ලෙස එළඹෙන දෙසැම්බරය හඳුන්වා දිය හැක.

ඥානාන්විතව කටයුතු කරන අයගේ ජයග්‍රහණය ද ආගමික සහජීවනය එකට එක්වීම තුළ ඇතිවන පරිවර්තනකාරි තත්ත්වය ඉහළ යනු ඇත.

තම තමාට පමණක්ය යන සිතුවිල්ල පසෙකලා සැම දෙනා එකට එකතුව අත්වැල් බැඳගන්නා නව යුගයක ආරම්භයක් ලෙස ද මෙය හඳුන්වා දීමට පුළුවන. වෘෂභ, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන යන ලග්නවලට සුබ පලද මේෂ, මිථුන, ධනු යන ලග්නවලට මධ්‍ය පලද මෙහිදී උදාවනු ඇත.

සිංහ රාශියට අයත් ජනරජ කේන්ද්‍රයේ 5 වැන්නේ ද, කුම්භ රාශියට අයත් ලංකා කේන්ද්‍රයේ 11 වැන්නේද, සිදුවන මෙම ග්‍රහ සංයෝගයට අනුව රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කෙසේ හෝ හිමිවන අතර විවිධ ආදායම් මාර්ග ද එළඹෙනු ඇත. ඒ සඳහා දෙස් විදෙස් ප්‍රබල ආයෝජන රට තුළට ගලා එයි.

එළැඹෙන දෙසැම්බර් මාසයේ ඔබේ ලග්නයට මෙම ග්‍රහ සංයෝගය කෙසේ දැයි බලමු.

මේෂ ලග්නය 
දුර බැහැර ගමන්

මේෂ ලග්නයට අනුව මෙම වකවානුව ඔබගේ ජීවිතයේ සුවිශේෂී කඩඉම් කීපයක් පසු කරයි. ආර්ථික ලාභ වාසනාවන්ත දරු සම්පත් හා ඉගෙන ගන්නා වයසේ අයකු නම් විභාගාදියෙන් විශිෂ්ට පලද උදාවේ. තම ගෘහ ජීවිතය කාර්ය බහුල වන අතර දුර බැහැර ගමන් බිමන් ද, වෙහෙසකාරි කටයුතුවල නිරතවීමට ද සිදුවේ. තම ඥාති පාර්ශ්වය සමඟ සහයෝගයෙන් කටයුතු කෙරෙන අතර නව ව්‍යාපාරවලට යොමුවීමට ද අවස්ථාව උදාවේ. ශරීර සෞඛ්‍ය අතින් උෂ්ණරෝග ඇතිවනු ඇත.

•අය - 07, වැය - 04, ජය අංකය - 07, ජය වර්ණය - දම්, සුබ දවස - බදාදා

වෘෂභ ලග්නය 
නිවාස ලාභ

වෘෂභ ලග්නයට අනුව මෙම වකවානුව ඔබට යහපත උදාවනු ඇත. විශේෂයෙන් වාහන ලාභ නව නිවාස ලාභ පෙන්වන අතර රැකියාවේ අභිවෘද්ධිය සහිතයි. විවිධ ක්‍රමෝපායන මඟින් ඔබ ධනය සොයනු ඇත. තම විවාහ පාර්ශ්වයේ අයගෙන් ලැබෙන සහයෝගය නිසා බොහෝ උසස් තලයට යාමට ඔබට හැකිවේ. තමා විසින් කරගෙන ආ ව්‍යාපාර නව මුහුණුවරකින් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමට බො‍හෝ හිතවතුන්ගෙන් උපකාර ද හිමිවේ. දණහිසට අගුණයි.

•අය - 08, වැය - 06, ජය අංකය - 05, ජය වර්ණය - ළා නිල්, සුබ දවස - සඳුදා

මිථුන ලග්නය 
ආගමික කටයුතු වලට මුල්තැන

මිථුන ලග්නයට අනුව තම ජීවිතයේ නැවුම් අත්දැකීම්වලට මුහුණදෙන වකවානුවකි. පුණ්‍යවන්ත කටයුතු රැසකට සම්බන්ධ වීමට වාසනාව උදාවේ. ඒ වෙනුවෙන් මුදල් වියදම් වේ. සිතේ දැඩි භක්තිය නිසා මනස සුවපත්වේ. තමාට හිමි වීමට තිබී අන් සතුවී තිබූ දේපළකට හිමිකම් කීමට වාසනාව උදාවේ. විවාහ පාර්ශ්වයෙන් ලැබෙන නොමසුරු සහාය නිසා බොහෝ අතහැර දමා තිබූ කටයුතු නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට පුළුවන්වේ.

• අය - 08, වැය - 07, ජය අංකය - 02, ජය වර්ණය - රතු, සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක ලග්නය 
ව්‍යාපාර බිඳ වැටීමක්

‍කටක ලග්නයට අනුව ඔබට මෙම වකවානුව නොසිතූ බාධක රැසකට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන් තම දරුවකු නිසා පීඩාවිඳීමට සිදුවේ. ඒ වෙනුවෙන් හදිසි මුදල් වැය වීමකට ද ඉඩ ඇත. ඔබ කරන රැකියාවට අමතරව පත්වාගෙන ආ ව්‍යාපාරයක බිඳවැටීමක් නිසා සිතේ කණස්සල්ල උදාවේ. නමුත් පසුවී හෝ ඔහුගේ හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගය නිසා සහනය උදාවේ. පිටස්තර බලවේග නිසා සිතට පීඩා සිදුවනු ඇත. ශරීර සෞඛ්‍ය අතින් ද සීත අධික රෝග පීඩා පැමිණෙනු ඇත.

• අය - 07, වැය - 08, ජය අංකය - 04, ජය වර්ණය - ළා දම්, සුබ දවස - සඳුදා

සිංහ ලග්නය 
වාසනාවන්ත දරුපල

සිංහ ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා සුබයි. මනසේ නිර්මාණශීලී බව වැඩි දියුණුවේ. කලා කටයුතු කෙරේ යොමුව සිටින අයගේ එම කටයුතු සාර්ථකවේ. අවිවාහක අයට මංගල ‍යෝග ද විවාහවී දරුපල බලාපොරොත්තුව සිටින අයට එම බලාපොරොත්තු ඉටු කරමින් වාසනාවන්ත පුත්‍ර පල හිමි වනු ඇත. රැකියාවෙන් තිබූ පීඩාකාරි මනස සැහැල්ලුවට පත්වන ආකාරයේ විසඳුමකට හේතුවේ. ශරීර සෞඛ්‍ය අතින් එතරම් බිය විය යුතු නොවුවද හිසට, පපුවට සෙම බහුල වන ලකුණු පෙනේ.

• අය - 08, වැය - 06, ජය අංකය - 09, ජය වර්ණය - කහ, සුබ දවස - බදාදා

කන්‍යා ලග්නය 
ව්‍යාපාර සපලවේ

කන්‍යා ලග්නයට අනුව ඔබට මෙම වකවානුව පිටරට යෝග උදාවේ. කලක් බලාපොරොත්තුව සිටි එබඳු දුර බැහැර ගමන්වලට හේතුයි. තම දේපළක් විකුණා දැමීම නිසා ලැබෙන ආදායමක් නව ව්‍යාපාර කටයුත්තකට යොමු කිරීමට හැකිවේ. ඒ තුළින් නව ආදායම් මාර්ග පෑදෙනු ඇත. ඉගෙන ගන්නා වයසේ අයකු නම් විවිධ පැතිකඩ ඔස්සේ අධ්‍යාපනයට යොමු වීමට හැකිවේ. අතහැර දමා තිබූ කර්මාන්තයක් යළි ආරම්භ කිරීමට හැකිවේ. යුගදිවියේ තිබූ ගැටලු රැසකට පිළිතුරු ලැබෙන වකවානුවකි.

• අය - 07, වැය - 06, ජය අංකය - 07, ජය වර්ණය - රතු, සුබ දවස - ඉරිදා

තුලා ලග්නය 
නීති ගැටලු

තුලා ලග්නයට අනුව ඔබට තම වෘත්තිය ගැටලුවකට මුහුණදීමට සිදුවේ. සතුරු බලවේගයක් ක්‍රියාත්මක වීම තුළ තම රාජකාරි ස්ථානයෙන් දුරස්වීමකට පවා ඉඩ ඇත. වියදම් පැත්ත ඉහළ යාමක් ලැබීම් අවම වීමක් නිසා සිතට අසහනය මතු කෙරෙනු ඇත. තමාට තිබූ ඉඩම් ගැටලුවක් දුර දිග යාම නිසා නීතියේ පිහිට පැතීමට ද සිදුවනු ඇත. තම ඥාති පාර්ශ්වවලින් එල්ල වන තර්ජන ගර්ජන නිසා සිතට අසහනකාරී සිතුවිලි ජනිත වන වකවානුවකි.

•අය - 06, වැය - 08, ජය අංකය - 04, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - සිකුරාදා

වෘශ්චික ලග්නය 
හදිසි ධන ලාභ

වෘශ්චික ලග්නයට අනුව මෙම වකවානුව සිතේ සතුට රජයන අතර තම පිය පාර්ශ්වයේ උරුමකම් පවා හිමි වනු ඇත. හදිසි ධන සම්පතකට හිමිකම් කියන අතර දේපළ ඉඩකඩම් හිමිකමක් ද ඒ අතර වෙයි. තමාගේ වෙහෙසට අනුව ප්‍රතිඵල උදාවේ. දුර බැහැර සේවා කාලයකින් පසු තම නිවෙසට කලකට පසු පැමිණීමට හැකිවන වකවානුවකි. එමෙන්ම සිතේ සැහැල්ලුව නොඅඩුව ලැබෙන කාලයකි. නිවසේ ආගමික කටයුතු රැසක් ද සංවිධානය වනු ඇත.

•අය - 08, වැය - 06, ජය අංකය - 05, ජය වර්ණය - රෝස, සුබ දවස - ඉරිදා

ධනු ලග්නය 
ගැටලු රැසකට පිළියම්

ධනු ලග්නයට අනුව ඔබට මෙම වකවානුව සතුට සමාදානය සිතට දැනෙන වකවානුවකි. ඔබට ලැබීමට තිබූ බොහෝ හිමිකම් භුක්ති විඳින කාලයකි. තමාගේ උරුමයන් පිළිබඳ පැහැදිලි හිමිකම් පෙන්වන අතර පැවති නීති ගැටලුවක නිමාව දැකීමට ද ඔබට හිමිකම ලැබේ. බුද්ධියෙන් ගන්නා තීන්දු තීරණවල ප්‍රතිඵල උසස් වේ. තමා කරන අධ්‍යාපන කටයුත්තක් වෙත්නම් එහි ජයග්‍රාහී ප්‍රතිඵල උදාවන වකවානුවකි. එදිනෙදා දිවිය කාර්ය බහුල වුව ද

ආර්ථික අතින් ඔබ පොහොසතකු කරවයි.

•අය - 07, වැය - 05, ජය අංකය - 05, ජය වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

මකර ලග්නය 
විදේශ ගමනකට බාධා

මකර ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ගැටලු රැසකට මුහුණදීමට සිදුවේ. තමා හදිසියේ ගන්නා තීන්දු තීරණ කීපයක් නිසා පාඩු සිදුවන අතර තම මවු පාර්ශ්වයේ අයකු වෙනුවෙන් ධනය වියදම් වනු ඇත. තමා බලාපොරොත්තුව සිටි විදේශ ගමනකට ද බාධා එල්ලවේ. ඒ වෙනුවෙන් කළ වැය කිරීමක් ද අපතේ යන බවක් පෙනෙන්නට තිබේ. මොනම කරුණක් නිසාවත් මුදල් මුල් කර ගැනීම නුවණට හුරු නැත.

තමාගේ පෙර වැරැද්දක් නිසා කෙනෙකු වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදුවනු ඇත.

•අය - 05, වැය - 06, ජය අංකය - 04, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - බ්‍රහස්පතින්දා

කුම්භ ලග්නය 
සමාජයෙන් ගැරහුම්

කුම්භ ලග්නයට අනුව මෙම වකවානුව සුබයි. රැකියා ලාභ හා ඒ පිළිබඳ රාජ්‍ය තන්ත්‍රයේ ඇප උපකාර ලැබෙන වකවානුවකි. තමා කරගෙන පැමිණ අතරමග නවතා දමා තිබූ ව්‍යාපාරයක් යළි ආරම්භ කෙරෙන වකවානුවකි. මහ පාරේ තමාට කිසියම් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවීමෙන් සමාජ අපකීර්තිය උදාවනු ඇත. වංචනික අයකු නිසා එසේ සිදුවුව ද

ඉතා ඉක්මනින් එය නිවැරැදි කර ගැනීමට ඔබට හැකිවේ. නව ජවයකින් යුතුව කටයුතු කරගෙන යාමට ඉන් අනතුරුව අවස්ථාව උදාවේ.

•අය - 06, වැය - 05, ය අංකය - 04, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - බ්‍රහස්පතින්දා

මීන ලග්නය 
අධ්‍යාපන කටයුතු සාර්ථකවේ

මීන ලග්නයට අනුව ඔබට මෙම වකවානුව සුබයි. ආගමික මුහුණුවරකින් යුතුව ඇරඹෙන මෙම වකවානුව සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත් වීමට ද ඔබට හැකිවේ. තමාගේ අධ්‍යාපන කටයුත්තක් වෙත්නම් එය ඉතා සාර්ථක වනු ඇත. අන්‍යයන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් සිදු කිරීමට පෙලඹෙන වකවානුවකි. යටි බඩේ මතු කෙරෙන අසනීපයක් නිසා පීඩා විඳීමට සිදුවේ. ඒ වෙනුවෙන් මුදල් වියදම් වන වකවානුවක් ද වෙයි.

•අය - 05 වැය - 07, ජය අංකය - 04, ජය වර්ණය-කොළ, සුබ දවස - සිකුරාදා

Comments