ගොවි ජනපද ජීවිත ජීවමාන කළ නිර්මාණවේදිනිය ශාන්ති දිසානායක | සිළුමිණ

ගොවි ජනපද ජීවිත ජීවමාන කළ නිර්මාණවේදිනිය ශාන්ති දිසානායක

නිර්මාණකරුවා ස්වකීය නිර්මාණ අත්දැකීම් උදෙසා කුමක් භාවිත කරන්නේ ද කුමක් අරමුණු කරන්නේ ද යන්න බාහිරින් බලා කිව නොහැකි ය. ඔහු හෝ ඇය තමන් ජීවත් වෙන වටපිටාවෙන් විවිධ විවිධ දෑ ස්වකීය අත්දැකීම් ගොන්නට උකහා ගනී. දකින සියලු දෑ ඒ නිර්මාණයට එකතු නොවූව ද ලියද්දී ආරළු බූරළු එකතු වෙන්නේ එකී දකින කියන පුංචි පුංචි දෑ නිසා ය. 

වඩාත් සූක්ෂ්ම නිර්මාණ බිහි වෙන්නේ මෙකී ඔපමට්මටම් වීම් පාඨක හදපත්ලට දැනෙන නිසා ය. ස්වකීය ජීවන අභිලාසයෙන් ම අත්දැකීම් එකතු කරගන්නා ලේඛකයා තමා අවට ලෝකය පාඨක පරම්පරාවකට තක්සලාවක් කරන්නේ ය; ජීවිත පරිඥානය වෙනුවෙන් නිර්මිත වෙන දෑ කලක් තිස්සේ දැනුම්වත් ව හෝ නොදැනුම්වත් ව නිර්මාණකරුවාගේ මනසේ හක්කලන් කරන්නේ ය. ශාන්ති දිසානායක ලේඛිකාව ගොවි ජනපද ඇසුරේ වෘත්තීයම ය කාර්යබහුලත්වයෙන් නොව ගෘහස්ථ කාර්යබහුලත්වයෙන් යුතු නිර්මාණවේදිනියකි. ස්වකීය දරුවන්ගේ ලෝකයේ සුන්දරත්වයෙන් තම සරතැස නිවා ගන්නා ඇය දහසකුත් කාර්යය මැද්දේ තම සිතේ පිළිසිඳින නව කල්පනා ධාරාව අකුරු කරන්නී ය. ඒ අකුරු දිගේ බොහෝ සිතිවිලි සේ ම බොහෝ ජීවන විලාසිතා ද නෙක පැවැත්ම ද දිග හැරෙන බැවින් ඒවා පරම්පරාවක් ඥානණය කරන්නේ ය. නගරයෙන් ඔබ්බෙහි ඇති ජනපදයක සිටින ඇය හුදෙකලා ලේඛිකාවක යැයි හඳුන්වනු මම දැක ඇත්තෙමි. එහෙත් ඇය හුදෙකලා නැති බව මා හැඳිනුයේ ඇගේ අකුරු අතරෙනි. ඒවා විසල් ලෝකයක පරම්පරා කිහිපයක ආලෝක කදම්බ අප වෙත තිළිණ කරන්නේ ය. ඉදින් හුදෙකලා වන්නේ කෙසේද?

‘මම ඉන්නෙ ගොවි ජනපදයකනෙ. එතකොට මෙහේ ඉන්නෙ විවිධ පළාත්වලින් ඇවිල්ලා පදිංචි වුණු ජනතාවක්නෙ. ඒ අය මේ පරිසරයට හැඩගැසුණා. ගොවි ජනපදයක් හදන්නෙ කැලෑවට යට වෙච්ච බිමක් හෙළි කරලනෙ. එතනදි අහිමි වුණු කලා ඔය අසබඩ කැලෑවෙන් කොටසක් ඉතිරි වෙනවා. ගොවි ජනපදයට එන කාන්තාවන් බොහොම සාම්ප්‍රදායිකයි. ඒ පරිසරයේ බිහිවුණු වෙනස් ගැහැනු කෙනෙක් තමයි අනුහාමි. මම එහෙම චරිත විටෙන් විට දකිනවා. මුළු චරිතය ම එක්කෙනෙක් අනුසාරයෙන් බිහි වුණා නොවෙයි. කොටස් එකතු වීමක් කිව්වොත් නිවැරදියි. අපි දන්න සාම්ප්‍රදායික ගැහැනිය ගහක එතුණු වැලක් වගේ කියලනෙ සම්මත ය. පිරිමියාගේ හයිය නැතිව බැහැම වගේ දෙයක්නෙ අපි නිතර අහන්නෙ. හැබැයි ඒ අතරතුර මම දැකලා තියෙනවා සමහර ගැහැනු අය තනියම කුඹුරු කරනවා; ගස් නැගලා පොල්, කොස් කඩනවා. ඒ දැක්කම හරි සතුටක් මට දැනෙනවා. හරියට ධෛර්යයක් වගේ‘

කාන්තා ලාලිත්‍ය වෙනුවට ඇය තෝරා ගන්නේ ධෛර්යවන්ත ගැහැනිය ය. ඇගේ නිර්මාණ කියවා ඇති ඔබ ඒ ගැන නිසැකයෙන් ම දනී. ඒ චරිත ජීවමාන ලෙස මහ පොළොව හා ඔට්ටු වන්නේ ය. පෙරළා ඒවා මහ පොළොව සේ දරා ගන්නා ගුණයෙන් යුක්ත ය. ගහකොළ මහ පොළව හා ඔට්ටු වෙන අය මහමෙර සේ ජීවිතය ද දරා ගන්නන් ය. 

‘මම දන්න කාන්තාවක් හිටියා; එයා හරි ම සුන්දරයි; ඒවගේම සැරයි. මනමේ ගත්තත් මනමේ කුමරිය ආසක්ත වුණේ වැද්දට. කාන්තාවන් කොහොමත් ගොරහැඩි වනචාරී අයට සහජයෙන් කැමතියි. කොච්චර දරදඩු වුණත්, නපුරු වුණත් කාන්තාවන් එහෙම අයට කැමතියි. මම දැකපු දේවල් වුණත් ඒවට ටිකක් සමපාතයි. ඒවා තමයි මට වාලුකා ලියන්න බෙහෙවින් බලපෑවෙ‘ ඇය ගම කෙරෙහි දක්වන ආකල්පය ද යම් තරමකට රැඩිකල් ය. එය ගම උත්කර්ෂයට නංවන්නන්ට පහරක් වුව ද යථාර්තය එය බැව් එවැන්නෝ පවා දනිති.

‘ගම හොඳයි කියලා එකක් නෑ. ගම හෝ නගරය කියන දෙකේ ම ඉන්නෙ මිනිස්සු. නගරය හෝ ගම එකක් වෙන් කරලා කළු සුදු කියන්න බෑ. මම ගමේ වගේ ම නගරයේත් කළු සුදු මිනිස්සු දැක්කා. වාලුකා කතාවෙ කබර තෙල් සිද්ධිය වුණත් එහෙමයි. විවෘත ආර්ථිකයට කලින් සංවෘත ආර්ථිකයක් තියෙන කොටත් ආදරය, වෛරය දෙක ම තිබුණා. දිවි නසාගන්න ග්‍රාමීය මිනිස්සු විවිධ දේ පාවිච්චි කරානෙ. ඒ අතරෙ කබරතෙල් කතාවත් මම අසා තිබුණා. එහි විද්‍යාත්මක පසුබිම මම හොයන්න ගියේ නෑ. නවකතාවක සියල්ල ඇත්ත විය යුතු නෑ‘

ශාන්ති දිසානායක ලාංකේය නවකතාවේ එක්තරා ලකුණකි. ස්වාධීන ව කොදෙව්ගතව ඇය බොහෝ පුපුරවා හැරීම් කරන්නේ ය. ඒවා අකුරු අතර පමණක් සිර නොවී දෘෂ්‍ය ලෝකය ද ස්පර්ශ කරන්නේ ය. ගිරිදේවි නවකතාව ලබාගත් අසීමිත පාඨක ආකර්ෂණය නිසා එය ටෙලිනාට්‍යයක් බවට ද පත් වෙන්නේ ය. එය වෙනස් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නේ ය.

‘ගිරිදේවි ලියන්න මට බලපෑවෙ මං අහපු සහ දැකපු ප්‍රවෘත්ති දෙකක්. එකක් තමයි ගබ්සාව සම්බන්ධ යම් යම් සංශෝධන ගේන්න හදන එක. අපේ නීති ගොඩක් යල්පැන ගිහින්. ඒවා සංශෝධනය විය යුතු මට්ටමේ තියෙන ඒවා. ගබ්සා නීතිය ගත්තොත් අම්මාගේ ජීවිතයට හානියක් වෙනවා නම් විතරයි එය කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් විවිධ නීති සංශෝධනය කරන්න හදද්දි පන්සලයි, පල්ලියයි විරුද්ධ වුණා. කෙනෙක් බලහත්කාරයෙන් දූෂණයට ලක්වෙලා දරුවෙක් ඉපැදීමට ආවොත් ඇත්තට ම ඒ දරුවට ආදරයක් ඇති වෙන්නෙ නැහැනෙ. මේ වැනි සමාජ, ආර්ථික අර්බුද තියෙනවා. ඒ නිසා මම හිතන්නෙ ගබ්සා නීතියට සංශෝධන අත්‍යවශයයි.

මට ඒ වෙලාවෙ ලොකු වේදනාවක්, කෝපයක් ඇති වුණා. ඒ වගේම මට තවත් ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා, සමාජ ශාලාවකට බලහත්කාරයෙන් රවට්ටලා අරන් ගියපු ගැහැනු ළමයෙක් අරන් ගිය දවසෙ ඉදන් අඩන නිසා වැඩ කරන පිරිමි ළමයෙක් එයාට එතැනින් පැනලා යන්න උදව් කරලා තිබුණා. ඒ දෙක ම මාව කම්පනය කළා. ඒ එක්ක ම මම දැක්කා ආච්චි කෙනෙක් සහ මිනිබිරියක් ඉන්නවා; මේ දෙන්නා නිතර ම රණ්ඩු වෙනවා. හැබැයි මේ දෙන්නා ඇතුළත ම එකිනෙකාට හෙළිදරව් නොකරන ආදරයකුත් තියෙනවා. මේකත් මට බලපෑවා. ප්‍රාදේශීය දේශපාලඥයකු අතින් දූෂණයට ලක්වෙලානෙ ආශා උපදින්නෙ. එයාට ඉපදෙන්න ඉද්දිවත්, ඉපදුණාට පස්සෙවත් ආදරයක් ලැබෙන්නෙ නෑ; ඉතින් මුළු ජීවිත කාලෙ ම ගෙවෙන්නෙ අනාදරයෙන්. එයා මුළු සමාජය ම දිහා බලන්නෙ වෛරයෙන්’.

ඇය ගිරිදේවි අවසන් කරන විදියට සමහර පාඨකයන් කැමති නැත. පාඨකයන් කැමැති වන්නේ සුඛාන්තවලට ය. එයට හේතුව වන්නේ බොහෝ දෙනෙක් ජිවිත කාලය පුරා දුක්ඛාන්තවල ජීවත් වීමයි.

‘මේ වගේ දේවල් නතර වෙන දේවල් නොවෙයි. ආශා කියන්නෙ එක්කෙනෙක් විතරයි. මේ ක්‍රියාදාමය නිරන්තරයෙන් සිදු වෙනවා. දූෂණය, අපයෝජනය වගේ දේවල් නොවරතින ක්‍රියාදාම. මේ සියල්ල නිසා රිදුණු සිතැතිවයි මම ගිරිදේවි ලියන්නේ‘

ශාන්ති දිසානායක නිර්මාණවේදිනිය සහකම්පනයෙන් යුතු ලේඛිකාවකි. ඇය නිරන්තර අන්‍ය සිත් කියවන්නට තතනයි. ඒවායේ දුක කඳුළ හඳුනාගන්නට, තමාට හැකි පරිද්දෙන් ඒවා ලියන්නට ගොනු කරන්නට තැත් කරන්නීය. සද්ජන ඇසුර තරම් කිසිවකුටත් කිසිවක් වටින්නේ නැත. ඒවා ජීවන සරසවි කියා කියුවාට වැරැද්දක් නැත්තේ ඒ නිසා ය.

‘මම අගාධ ලියන්නෙත් ඇත්තට ම රිදුණු සිත නිසා. කැලෑ පත්තර කියන එක අපි හිතන්නෙ අපෙන් වියැකිලා ගිය දෙයක් කියලනෙ. හැබැයි තාමත් ගමේ ඉදහිට කැලෑ පත්තර ඇලවෙනවා. කැලෑ පත්තර කියන්නෙ අහිංසක දෙයක් නොවෙයිනෙ. අකාරුණික හෙළා දැකීමක් නෙ. අගාධ පොතේ සාමාවතීටයි විලියම්ටයි කුල භේදය නිසා එකතු වෙන්න බැරි වෙනවා. අපි හිතන් ඉන්නෙ කුල භේදය අපෙන් වියැකිලා ගිය දෙයක් කියලා. ඒවුණාට ඒක අළු යට ගිනි පුපුරු වගේ තියෙනවා. ඒක හොඳටම පේන්නෙ අපේ ආගමික සංස්ථාවලින්. නිකමට මංගල දැන්වීම් තීරය බැලුවොත් අපිට එය පැහැදිලි වෙනවා. අපි කොයිතරම් දියුණුයි කිව්වත් පැරණි හණමිටි අදහස් හා පැවැත්ම අපි අතරෙ තියෙනවා. සාමාවතීට කැලෑ පත්තරයක් නිසා තමන්ගෙ මව අහිමි වෙනවා. සොහොයුරා ගම්රටවල් අතහැර යනවා. සියල්ල අහිමි වෙනවා. එයා නොසැලී ඉන්නවා; ජීවිතයට මුහුණ දෙනවා‘

ඒ එදා ය. එදා හන්දියක් ගානේ, තාප්පයක් ගානේ ඇලවුණු කැලෑ පත්තර අද වෙනත් වේෂයකින් තිරයක් මත පළ වේ. තාක්ෂණය හරහා මුහුණු පොත ඔස්සේ ද වන්නේ මෙහි ම නව ආර යි. කාර්යය එක ය; වෙන විදිය විතරක් වෙනස් ය. මුහුණ දෙන ආකාරය ද වෙනස් ය.

‘ඇත්තටම ඔව්. අපි අද මුහුණු පොත වුණත් යහපතට වඩා අයහපත වෙනුවෙන් භාවිත කරන්නේ. මිනිස්සු වෙනස් වෙනවටත් අකැමැතියි. මම මේ දේවල් දිහා බලන් ඉන්නවා. වෙනස් අදහස් නිසා තමයි ලෝකයේ විවිධ දේවල් ජයග්‍රහණය කරන්නේ. වෙනස ඉවසන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා. මේ සියල්ල නිසා තැළුණු හිත මම සුවපත් කරගන්නේ ලිවීමෙන්‘

ඇයට ලිවීම භාවනාවකි. අනේකවිධ දෝමනස්සයන්ට කදිම පිළිතුරකි. ජීවිතයේ ඈ ඉසිඹුවක් ලද්දී නම් ඒ ලේඛනයෙන් ම පමණී. පුතුන් සමඟ කුටුම්බයේ බෙහෙවින් කාර්යබහුල ඇය ඒ සියල්ල මනාව ඉටු කරමින් ම සමාජය වෙනුවෙන් ද පෙරළා යමක් දෙන්නට වෑයම් කරන්නී ය.

ඒ සඳහා අවැසි ම පාඨක ආදරය ඇය වෙත නොඅඩුව ලැබී ඇත්තේ තව තවත් නිර්මාණ ඔස්සේ ජීවිතේ විවිධ ඉසව් හඹා යන්නට ය. ගොවි ජනපද ඇතුළේ සිය ජීවිතය දිය වී යන්නට ඉඩ නොතැබූ ඇය බොහෝ අය වෙනුවෙන් සිය යුතුකම ඉටු කළා ය.

Comments