ගියොත් පා පුවරුවේ අනතුරු පාඩු සිදු වේ | සිළුමිණ

ගියොත් පා පුවරුවේ අනතුරු පාඩු සිදු වේ

ලංගම හෝ පුද්ගලික බසයක ගමන්කරන අපි ඒවායේ අලවා ඇති විවිධාකාරයේ කවි පබැඳුම් දැක ඇත්තෙමු. නමුත් ඒ සියල්ල අතුරින් බසයේ කවුළුවකට ඉහළින් රතු පැහැති පසුබිමේ සුදු පැහැ අකුරු වලින් මුද්‍රිත සිව්පද පේළි කවියකුත් ඊට යටින් කුඩා අකුරින් මුද්‍රිත 'විල්බට් අඹතලාව' නාමයත් සඳහන් ස්ටිකරයත් එක් දිනක් දුටුමතින් ඔබගේ සිත්හි ගැඹුරින් සටහන්ව ඇතුවාට සැකයක් නැත. ඊට හේතුව වන්නේ සියලු බස් රථවල එකම වර්ණයකින් යුත් අනන්‍යතාවයක් සහිතව මෙලෙස කවි සිතුවිලි පළකරන දැනට ලංකාවේ සිටිනා එකම 'බස් කවියා' විල්බට් අඹතලාව වීමයි.

මේ වනවිට අඛණ්ඩව වසර 20ක් පුරා බස් රථ වලට කවි සැපයීමේ නිරත අඹතලාව 80 වියැති පුද්ගලයෙකි.

දැනට කොට්ටාව ප්‍රදේශයේ වෙසෙන ඔහුගේ උපන්ගම ගිනිගත්හේන, අඹතලාවයි.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංස්කෘතික බල මණ්ඩලයන්ට අයත් කවි සංගම් ගණනාවක සාමාජිකත්වය හොබවන අඹතලාව සැබවින්ම කවියට උපන් හපනෙකි.

"මම මුලින්ම කවියක් කිව්වෙ ඉස්කෝලෙ අටේ පන්තියෙ සාහිත්‍ය සමිතියෙදි. ඒත් ඒකෙ පද වල එළිවැට ගළපගන්න බැරුව මට වැරදුණා. එදා ඉස්කොලේ ළමයි හූ කිව්වා. ඒ ලැබිච්ච පන්නරය තමා අද මාව මෙහෙම රටම දන්න කවියෙක් කළේ" අඹතලාව සිය අතීතාවර්ජනය ඇරඹුවේ එලෙසිනි.

"මම ලියපු කවියක් මුලින්ම පළවුණේ සිළුමිණ පත්තරේ. ඉන්පස්සේ මම හැම පත්තරේකටම කවි ලිව්වා. ලංකාවේ ප්‍රසිද්ධ කවියෙක් වන ජෝන් රාජදාස මහත්තයගෙන් තමා මම කවි කලාව ඉගෙනගත්තේ" ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

කෙනෙකු පොදු ප්‍රවාහන සේවාවන්ට කවි ලියා සැපයීමෙහි ඇත්තේ සැබවින්ම සුවිශේෂත්වයකි. එම කාරණාව සම්බන්ධයෙන් අඹතලාව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"කවි කියන්න මට තිබුණේ පුදුමාකාර උවමනාවක්. මේ බස් වලට කවි ලියන එක පටන්ගත්තේ හරිම අහඹු සිදුවීමකින්. දවසක් මම කොට්ටාවෙ තොරණක කවි කිය කියා හිටියා. ඒ කවි අහගෙන හිටපු ප්‍රයිවට් බස් සේවකයෙක් මා ළඟට ඇවිල්ලා ඇහුවා එයාගෙ බස් එකේ ගහන්න කවියක් ලියලා දෙන්න බැරිද කියලා ඇහුවා. එදා වගේම අදත් සෑම බස් රථ සේවකයෙකුටම පොදු ගැටලුවක් වෙන මඟීන් පාපුවරුවේ ගමන්කරන එක ගැනයි එයාට කවියක් ලියාගන්න ඕනෑවුණේ. බස් එකකට කවියක් ලියන එක මටත් අමුතුම අත්දැකීමක් වුණා. ගොඩක් හොඳට කල්පනා කරලා මම ලිව්වා කවියක්..."

“ගියොත් පා පුවරුවේ 
අනතුරු පාඩු සිදුවේ 
අපිද හිරකූඩුවේ 
මඟියොත් අතරමංවේ“

"එදා ඒ කොන්දොස්තර මගේ මේ කවිය ප්ලැටිග්නම් පෑනකින් ලියලා එයාගෙ බස් එකේ ගැහුවා. ඒ කවිය දැකලා මට තව තව ඉල්ලීම් එන්න ගත්තා අනිත් බස් හිමියන්ගෙනුත්. ඒ කවි පද පේළි හතරෙන් පටන්ගත්ත බස් කවි කර්මාන්තය අද වෙනතුරු මම එකදිගටම කරගෙන යනවා. කියන්න සතුටුයි අද වෙකොට ලංකාවෙ බස් වලට කවි ලියන එකම කෙනා මම" අඹතලාව පැවසුවේ නිහතමානී ආඩම්බරයකිනි.

මේ පාපුවරුවෙ යන ප්‍රශ්නෙට මම ලියපු තව කවියක්...

එපා එපා දොරේ යන්න 
අපිට වෙනවා හිරේ යන්න 
අකමැති නම් ඇතුළුවෙන්න 
සල්ලි එපා බැහැලා යන්න

"මම වන්ෂොට් මෑන් කෙනෙක්. කවි ලියන්නෙත් මම, ඒවා අච්චු ගහන්න ඕනෑ කොළ හොයාගෙන ඒ වැඩ කරගන්නෙත් මම, විකුණන්න යන්නෙත් මම, පාඩු ලබන්නෙත් ලාබ ලබන්නෙත් මම. ඒ ඔක්කොම අත්දැකිම් ලබන්නේ මම. ඒකයි වන්ෂොට් කිව්වෙ" අඹතලාව සිනාසෙමින් පැවසුවේය.

"දවසක් අච්චු කන්තෝරුවකින් මට කිව්වා රුපියල් පන්දාහක් බඳින්න කියලා මගෙ කවි මුද්‍රණය කරන්න. ඒ මම බස්වල කවි ලියන වැඩේ පටන්ගත්ත කාලෙ. අවුරුදු පහළොවකට විස්සකට උඩ. ඒ කාලෙ පන්දාහක් කියන්නෙ සෑහෙන ලොකු ගානක්. මමත් ආසාවට ලොකු තොගයක් එකපාර මුද්‍රණය කරගන්නයි හැදුවෙ. රත්තරන් බඩුත් විකුණලයි ඒ සල්ලි හොයාගත්තෙ. අනේ ඒ මුදලාලි කඩෙත් වහලා ගිහින් මම ගිහින් බලනකොට" ඔහු තම කටුක අතීත සිදුවීමක් අප ඉදිරියේ ගොනුකළේ එලෙසිනි.

"තව දවසක් මම බස් එකක යද්දි දැක්කා මගෙ කවියකට යටින් වෙන කෙනෙක්ගෙ නමක් මුද්‍රණය කරලා ගහලා තියෙනවා. බැලූ බැල්මට මම අලවපු එකක් වගේමයි. කිසිම වෙනසක් නෑ පාට වලවත්. ‍ලස්සනම වැඩේ කියන්නේ යටින් තිබුණේ හාමුදුරු කෙනෙක්ගෙ නමක්..."

"කොහොම කොහොමහරි බාධක මැද්දෙ මම මගේ ගමන තවමත් යනවා. සමහරු මගෙන්ම අහනවා 'අර බස් වල කවි ලියන අඹතලාව දන්නවද කියලා. මොකද බස් වලට නැඟලා මගේ කවි අලවන්නෙත් මමමයි" ඔහු පවසා සිටියේය.

තව දවසක් පිරිසක් මැද්දේ මම පුද්ගලික බස් වලට හොඳ කියලා කවියක් කිව්වා මෙන්න මෙහෙම...

ලංගම මගම පණ ගියවිට අතරමඟ 
දුන් මුදලටද ගමනට කියනවද වග 
යළි ඒවාම සිටියොත් එනතුරුම ලැග 
යන්නට වෙන්නෙ ප්‍රයිවට් බස් වලම නැඟ

"මේක කිව්වා කියලා ලංගමේ කෙනෙක් මගෙ කමිස කොලර් එකෙන් ඇදලා අරන් ගහන්න හැදුවා. මම එන අතරමඟදි. එදා මම බේරුනේ හරිම අපූරු විදියහට. මම ටක්ගාලා ලංගමට හොඳ කියලා එයාට කවියක් කිව්වා.

හොර බොරු නොමැති කොන්දොස්තරවරුද හැම 
ලංගම තුළින් දැනගමු හැම දිනයකම

අද කාලෙ දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට ආසනයක් දෙන්න ගොඩක් දෙනා කැමති නැහැ. අනිත් කාරණේ තමා ඒ කාන්තාව දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ද කියලා මඟියො දන්නෙ නැතිවෙන්නත් පුළුවන්. ඒත් එයාලට වෙන්කරපු අසුනක් හැම බස් එකකම තියෙනවා. ඒ අසුන ඉල්ලගන්න එක එයාලගෙ අයිතිවාසිකමක්. ඒත් එහෙම කටින් කියලා තමන්ට හිමි අසුන ඉල්ලගන්න කාන්තාවො ඉන්නෙ හරිම කලාතුරකින්. මේ මම එහෙම අයට ලියපු කවියක්.

දරු සම්පතක් කුස තුළ‍ හෝ අතෙහි ඇති 
අසුනක් නොඉල්ලන මෑණියො බොහෝ වෙති 
දුන්නොත් නොඉල්ලා සැකසිත් මවාගති 
වෙන්කළ අසුන ඉල්ලනු මැන ලබාදෙති

ඒ වගේම තමා දරුවෙක් වඩාගෙන ඉන්න කෙනෙකුට, ගැබිණි මවකට සීට් එකක් නොදී ඇහින් දැක දැකත් අහක බලාගෙන යන අය ඉන්නවා. වැඩිපුරම මෙහෙම කරන්නෙත් කාන්තා පක්ෂයමයි. මම එහෙම අයටත් කවියක් ලිව්වා කලින් කවිය පොඩ්ඩක් වෙනස් කරලා"

දරු සම්පතක් කුස තුළ හෝ අතෙහි ඇති 
මව්වරු දකිනවිට ඇතමෙක් නිදියගති 
දරු දුක දත් නොදත් කතුනුත් එලෙස වෙති 
මව්කුස ඉපිද ඇති අය සිය අසුන දෙති“

මේකෙදි මම වක්‍රව පහරගහනවා ඒ වගේ අහක බලාගන්න අයට 'මව්කුස ඉපිද ඇති අය' කියන කොටසෙන්. ඒ කියන්නෙ ඕපපාතිකයෙකු ඇරෙන්න අනිත් අය ආසනය දෙනවා කියන එක..." අඹතලාව පැවසුවේ සිනාමුසුවය.

"බස් වල තියෙන තවත් එක ප්‍රසිද්ධ ගැටළුවක් තමා මුදල් නොදී හොරෙන් යන එක. නැත්නම් චණ්ඩිකමට මුදල් දෙන්නෙ නැහැ. තව අය බේබදුකමටත් එහෙම යනවා. එහෙම අයට වදින්නයි මේක ලිව්වෙ"

“නෑකම මිතුරුකම නිල බලය පිට 
හොරෙනුත් නොමිලෙනුත් යති එති කලක සිට 
දැන් මේ කාලෙ වියපැහැදම් බලනවිට 
බස් හිමිගෙනුත් අය කළයුතු වෙනවා හෙට“

මම කාර්යාල සේවකයො වගේම පාසල් දරුවන් ගෙනියන වෑන් රථ වලට, වෙළඳසැල් හිමියන්ට, ඩෙංගු රෝගය ගැන වගේම තව සෑහෙන පැති ආවරණය වෙන්න කවි ලියලා තියෙනවා. ලංකාවෙ කොහේ ගියත් ඒ හැම බස් එකක්ම ‍කොළඹට එනවා. මම මගේ කවි බස් රථ වල අලවන්නෙ ‍එහෙමයි. කොරෝනා කාලෙ බස් කර්මාන්තයත් අන්තයටම වැටුණ නිසා මටත් උදාවුණේ හරිම නරක කාලයක්. ඒත් දැන් ආයෙත් බස් කර්මාන්තය පටන්අරන් නිසා ඉදිරිය සුභ වෙයි කියලා මම හිතනවා. ඉතා සුළු ලාභයකට කරන මේ කාර්යයෙන් මුදලකට වඩා මම ලබන ආත්ම තෘප්තිය වගේම අභාවයට යන කවිය මිනිසුන් අතර ජනප්‍රිය වීම මට වටිනවා“ විල්බට් අඹතලාව පවසා සිටියේය.

Comments