කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

යළි එක්වෙමු අපි

පස් වස­රක් පුරා දැඩි පෙම්ද­මින් වෙළී
ගත කළ යුගය ගැන සිහි කළ යුතුය ඇලී
හිත හිර කරපු නීරස හැඟු­ම­කින් පෙළී
විර­සක වුණේ ඇයි දැයි සිහි­ක­රමු යළී

උල­ලේනා අඬන්නේ අප රිද­වන්ට නොවේ
රෑහින් හඬන්නේ උන් සතු උරු­මය වේ
ලොව පව­තිනා තුරු ඒ හැම එලෙ­සම වේ
සොබා දහම ගැන බිය විය යුතුද නොවේ

අළු වී දැවෙන පපු­වට සෙනෙ­හස දීලා
හිත් එක්ක­රමු යළි සිහි­ලස පුර­වාලා
උල­ලේ­නි­යට හැකි නම් හිස හර­වාලා
වර­දක් සිදුව නැති බව දෙයි පහ­දාලා

දින කීප­යක් නෙත’ගින් ඉඟි පෑව අපී
තව ටික කලක් මුව අග රැඳි සිනහ පිපී
ගඟ දිය බොරව ගැලු­වත් ගල්ව­ලම හැපී
සයු­රෙදි සිහින් වැලි තල සෙනෙ­හ­සින් සිපී

හිත ළඟ එකතු වී සෙනෙ­හස පිරුව අපී
හිත වට­ක­රන සුළු දේවල් නොගෙන කිපී
අත්සන් කළේ අත පම­ණයි නොවෙද අපී
හිත එක්වන්ට යළි පෙම් සිත් පුරමු අපී

සොබා­ද­හම පව­සයි රස අන්ද­රය
විඩා නිවන සුළ­ඟත් හරි සුව­බ­රය
දස’තින් නැඟෙන කූජන හඬ සුන්ද­රය
හිත­කින් පිරුණු - පත නොසි­ඳෙන බව තිරය

• කුසුමා වර්ණ­සූ­රිය


නුඹ මලක් හෙටත්

හුස්ම­ටත් ඉඩක් නැති­වුණ
ලැයින් කාමරේ
දිය පොදක් වුණත් බඩ­වත
තෙත් කළා දුවේ
වත් කමක් නැතත් දුක සැප
කැල­තුනා ඔහේ...

හාල් හුණ්ඩුවේ මිල­කට
දොස් පරොස් ගිහින් දුර­කට
සිප් හලේ දොරත් වහ­ගෙන
ඇඳි­ව­තින් ගියා බොහො දුර
බර අරන් නුඹේ දෝතට...

දුක් ගොඩක් හිසින් අර­ගෙන
නික්මු­ණත් අපෙන් ඈතට
පොළො­ව­ටත් උඩින් ඇවි­දින
නෝනාගේ ළමයි
නැළ­වුණා සැන­සිල්ලේ

නුඹේ උණු­හුම ලබා
සෙයි­ලමේ ඉඳන් ගෙද­රට
එවු පනම් වලින් බඩ­කට
පිර­වුණා අපේ

කප්ප­රක් නුඹෙන් වැඩ ගෙන
පර­වු­ණත් නුඹ යෞවනේ
නුඹ මලක් හෙටත් මට
දිය­ණියේ තවම ළය ලැගුම් ගත්

• ජී. ජේ. අමරා ජය­කොඩි


සැබෑව!

විසල්
රුක්ව­ලත්
පිටි මකුණෝ

• ගාමිණී දළුත්ත


කවි දසුන

හැඳි­නීම
වැට­හීම
ඉගෙ­නීම
සුදි­නීම..

පිබි­දීම
කැප­වීම
නැගි­ටීම
සැන­සීම...

වැවූ හිත
කලා­කෙත
අසී­මිත
සුවේ ඇත..

එළි­පිට ය
හිත­යට ය
හොඳ පිට ය
කණ පිට ය..

ගැර­හීම
කෙළෙ­සීම
නොසි­තීම
අඳු­රේම...

උහට රිටි
ගමන කෙටි
ඇදෙන පටි
කැඩෙන හැටි...

අඹර නැඟ
වැටෙන රඟ
දෙමිට හිඟ
අතර මඟ...

සනා­තන
බණේ දැන
බිඳී යන
බාවා තැන....

• නන්ද­සේන පලි­හ­ක්කාර


නිමාව

දහ­වල වෙහෙස වී රෑ නිදි මර­මින්නේ
කවි­යෙකු වූවත් අපි දිය හොද්දෙන් කන්නේ
රුපි­යල් සත නිසා මේ ලෙස වෙහෙ­සෙන්නේ
යන කොට රත්තරං මොන­වද? ගෙනි­යන්නේ

සඳ රාජි­නිය නිල් අහසේ රජ­වීම
සත්තයි සබඳ දිව යුරුගේ පසු බෑම
අනි­යත නියත බව බුදු බණ පැව­සීම
පත­මුද? නිවන් මංච­ක­යෙදි හමු­වීම

කවි­යෙකු විලස ළෙන්ගතු වී සිතට ළැදී
හමුවූ දින පටන් මිතු­දම ඉවත නොදී
දින­යක් හැර දිනක් සිටි­යත් නෙතට රැඳී
හර­බර කවක් ඇසුණේ නෑ සිතට මදී

• ලය­නල් ජය­ලත්


සුර­ඟ­නන් ඇවිත්

සමන් පිච්ච අර­ලිය මල්
දෝතලු පිනි­බර වෙලා
සුවඳ හමයි දසත පුරා
කොවුල් හඬින් පිබි­දිලා

ගුමු ගුමු නඳ පතු­රා­ගෙන
මියැසි බඹරු රොක්වෙලා
හිමි­දි­රියේ මඳ එළියේ
ගෙවත්ත කල­එළි වෙලා

පිපී දිලුන කට­රොළු මල
අහ­ලින් තව මල් කැකු­ළකි
සුරං­ග­නා­වි­යන් ගෙනත්
තැබු­වා­දැයි ලොකු සැක­යකි

දුව පැන නට­මින් ඇවිද්ද දුවගේ තනි­කම නිසා
අම්ම තුරුලු කර­ගෙන ආ කිරි­කැටි බිලි­ඳුන් නිසා
නිවස හරිම කල­එ­ළි­යකි හැඬුම් දෙඩුම් බස් නිසා
සුර­ඟන ලොව අප අත­රෙහි නිම් හිම් නැති­කම නිසා

• ලාංසගේ සිරි­ව­ර්ධන


අම්මා

මුළු ලොව අඳුරු බර වූ ඒ නපුරු දිනේ
මගෙ ලෝකය ද ගිනි අර­ගෙන අඟුරු වුනේ
උතුම් මවුනි, ඇත් රැජි­නක්, සදිසි වනේ
සමු­ගෙන ගියද තාමත් ඔබෙ සුවඳ දැනේ

අප හට එගොඩ වන්නට ඔරු-පහුරු තනා
දිවි තොටු­ප­ළෙන් ඔබ තනි­වම එගොඩ වුණා
නිවු­නත් පහන් සිල නිව­සට එළිය ගෙනා
වෙන මත­යක් නැහැ ඔබ ගැන මතක විනා

දංකුඩ ඩිංග­කින් යන්තම් කුස පිරුනා
ඒකත් කන විටදි ඉර අව­රට හැරුනා
කුස­ගිනි දරා සිටි­යත් ගුණ­යට කරුණා
දරු­වන් හත්දෙ­නෙකු වෙනු­වෙන් කිරි එරුණා

රන් කිරි බින්දු තවරා අපේ දෙතොල් මත
රජ මැදු­රක් කළා දිවි ගෙවපු පැල්පත
පළ­මුව කියා දුන් ජීවි­තයෙ මුල්පොත
අම්මේ ඔබ තමයි ආද­රයෙ උල්පත

• ජේ. රත්නා­යක


හද සිතු­විලි

මා දං ගහක වට­කුරු අත්තක ලැගලා
හූමිටි තලයි බක­මූ­ණෙකු හැංගීලා
දිය හොල්මන හඬයි රුදු පාලුව මකලා
ගඟ රැලි සදිසි සිතු­විලි හද එයි නැඟිලා

සිහි­නය සැත­පේවි රෑ තරු මේලාවේ
මිහි­රෙන් ඔකඳ වෙයි හද වස්දඬු රාවේ
තරු පෙර­හ­රක් දිදු­ලයි බොඳ වලාවේ
මිහි­දන් කරමි සිතු­විලි තවු­ති­සාවේ

• චන්ද්‍ර­සිරි මුණ­සිංහ


අව­බෝ­ධය

කිරි සුවඳ මව් පෙම ගාව
මල් සුවඳ පුද සුන ගාව
ගුණ සුවඳ හිරු සඳු ගාව
සිල් සුවඳ ඔබේ සිත ගාව...

• ෂෙල්ටන් හෙට්ටි­ආ­රච්චි


මේ කොරෝනා කාලේ


අලු­ය­මින් පාසැ­ලට
පාසැ­ලෙන් ටියු­ස­න­යට
සෙල්ල­මක් කර­න්නට
වෙලා­වක් නැති­වෙලා
හිටිය යන්තර වෙලා

ගමේ උන් පොඩි උන්ට
කොරෝනා ආ නිසා
නිද­හ­සක් ලැබීලා
අපේ ගම්බද අහසෙ
සරුං­ගල් පිරීලා

• සිරි­සේන පල්ලෙ­වත්ත


මාන­වයා කොයි ද...?


හදේ දොර­ගුළු
හැර බලන කල දුටු­වෙමි
වර්ණ භේද­යෙන්
ජාති භේද­යෙන්
ආගම් භේද­යෙන්
කුල කොන්ත­ර­යෙන්
භරිත වූ...

උතුම් මනු­ෂ්‍ය­ත්වය
පූජ­නීය ප්‍රේමය
නොකැ­ළැල් දාරක ස්නේහය,
අස­ම­සම මිතු­දම,
වෙස් මුහු­ණ­කට වසන් කර...
ඩිජි­ට­ල්ක­ර­ණ­යට මත් වී
සිහින දකි­න‍
­නු­තන මාන­වයා...

• විහඟ සඳ­ගෝමි රත්නා­යක


එහෙත් හරි වැස්ස

නිර­තුරු එහෙත් හරි වැස්සයි හැලෙන්නේ
එලෙ­සින් මෙහෙත් හරි වැස්සයි වහින්නේ
වැස්සට ගඟත් උතු­රාලා ගලන්නේ
සිදු­වන විපත් අපි කාටද කියන්නේ

නිය­ඟෙන් හානි වුණ ගම්බිම් පෙළා­ගෙන
යයි ගංව­තුර මහ වේගෙන් ගලා­ගෙන
ඒ සම­ඟින් ම සුළ­ඟත් එයි හමා­ගෙන
ගහ­කොළ වියළෙනව බිය­කරු විලා­සෙන

රළු වූ අහස කළු වීගෙන ගොර­ව­නවා
කඳු ඉස්මත්ත මත වැහි කළු පොර­ව­නවා
උස් වී තිබුණ පස් කඳු වැටි දිය­වෙ­නවා
පහ­ළට හැලී ගේ දොර ගම වැන­සෙ­නවා

බිඳුනා කියයි අහ­වල් තැන වැව් බැම්ම
අර­ගෙන එවිට දිය කඳ අප­මණ ගැම්ම
ජීවිත යට කරා­ගෙන පනි­නව පිම්ම
සිදු­වෙයි මහා විය­ස­න­යක් සැණ­කින්ම

නිය­ඟය දා යදියි දෙවි­ය­න්ගෙන් වැස්ස
වැඩි­වුණ දා කියයි පායා­පන් වැස්ස
දැන­ගෙන පමණ කර­මින් කළ­යුතු නිස්ස
අඩු වැඩි නොවී හරි­යට වැහැ­පන් වැස්ස

• ගාමිණී ලිවේරා



එම්බල වැස්ස


මහ වැව පිරි වික­සිත වුණ තඹුරු පෙතී
අසු වී බොර දියෙහි නිහ­ඬව කඳුළු බොතී
කොර­වක් රෑන හඬ නැඟූ මාන­යක නැතී
සිප­එන සුළං රැලි වැද ගත සිසිල වෙතී

බක්මී ගහේ මල් සුළ­ඟට බිමට වැටී
පාවී තැනින් තැන දිය­රැලි සමඟ සිටී
කණ්ඩියෙ ගල් අතර සියු­මැලි උවන ගැටී
දිව ගොස් සොරොවු කවු­ළුව තුළ රැදෙනු දිටී

නිල් පැළ­පත ගොයම සිප­ගත් දිය සීරා
විය­රුව නියර හිස යට­කර යයි රූරා
වක්කඩ කැඩී තැන තැන වැලි­කඳු හාරා
සිදු­වුණ වෙනද දිටි­යෙමි එයි හඳ පාරා

කල­බල වී සුළං රැලි තුරු මතට වැදී
අතු ඉති කඩා වෙන්කර බිම හෙලන ලදී
සැඟ­වුනි විහඟ ගී නඳ දෙස­ව­නට නොදී
කිම වුණ වෙනස නෙතු යයි නුඹ කුසට ඇදී

ගිගි­රුම් දෙයි ගුවන විදු­ලිය ඉරි පාවේ
හිරු­බස අඳු­ර­මුත් දහ­ව­ල­කට යාවේ
බිය­කරු රැහැයි පළ­ඟැටි, ගෙබි නඳ රාවේ
රළු විය පරි­ස­රය මේ මොන­වද වුවේ

පැමි­ණිය කොරෝ­නා­වෙන් දුක් විඳින ලද
මහ විය­ස­න­ය­කට ලක් වී කඳුළු බිඳ
කබ­ලෙන් ලිපට වැටුනා වැනි කරන වද
එම්බල වැස්ස දැන්වත් අත­හ­රිනු යුද

• පිය­සේන හේවගේ


(මඩ) ගොහො­රුවේ හඬ

තමා ගොහොරු මඬින් උපන් බව
නෙළුම් මල නොදනී
ආත්මීය හා වරු­ණෙන්
සුවඳ සලා සිනා­සෙයි
ගොහො­රු­වෙන් උපන් බව එමල
දන්නේ නම්....

පොකුණු ගැබ උඩු මාලයේ
බොකුටු දිය­රැල් මත නොව
යට ම මාලයේ කලල් රජස් හි
විපි­ළි­සර වෙයි
හීන් හීන් පණුවෝ එමත
නළි­යති රන් මස්සෝ දුහුල්
වරල් සලා මතු පිටට එති.
බැලුම් මල උඩු මාලයේ නොදැන
විම­සි­ලි­මත් වෙති

“මලේ නුඹ උපන්නේ යට­මා­ලයේ
ගොහො­රු­වෙහි. එහි සොඳුරු බව
විනි­විද බලා වරල් සැලුවේ අපය
අද එතැන ළත­විලි නම් සෙවෙල්ය
කාට වරල් සල­න්නද?

උඩු­මා­ලය යට මාල­යට එබෙන්නේ ද නැත
උඩු මාලය විහි­දු­වන සුවඳ උඩු සුළඟ හා
එක්ව වැනෙ­මින් පවතී
අපි තවම වරුන් හා සුවඳ සොයමු

එතෙක් ගොහො­රුව අපේ නටු අතු ඉති පත්
වස‍ා­ගෙන, යටි මාලයේ ගබඩා වෙමින් ම
උඩු­මා­ලයේ ද හිඩැස් පුර­වයි
“මඩ ගොහො­රු­වක හඬ”

• ජය­ම්පති අල්ගම


තනි­කම

තනි වූ මගේ සිත හරි පාළුයි
සතු­ටක් සැන­සු­මක් නෑ හිත රිදු­මයි
මුව­ගට මඳ සිනා නැත හරි පුදු­මයි
මුළු ජීවි­තය ආලෝ­කය නැති අඳු­රයි..
ලෝකය වෙනස් වෙයි ගත වෙන මොහො­ත­කම
උදේ පිපුණු මල පර­වෙයි හව­ස­කම
කියන දහම බොරු­වක් නොව සද­හ­ටම
මම තනි වුණේ ඒකයි ඇත්ත­ටම..
.
මට පෙර ඇයි ගියේ මා හිත රිද­වාලා
ඒ දුක විඳි­න්නෙමි අද මා තනි­වීලා
මගේ හෙව­ණැල්ල මා ළඟ නෑ දැව­ටීලා
මට දැනෙ­නවා මම අද තනි­විලා...

• චන්ද්‍ර­සිරි ගෝමස්


සතියේ කවිපොත

කෘතිය - ඉරි
නම - වෛද්‍ය ශ්‍යාම කුමාර රණසිංහ
මිල රුපියල් - 400/= පිටු - 80
ඊමේල් ලිපිනය -
[email protected]
ගොඩගේ ප්‍රකාශනයකි.

ශ්‍යාම් කුමාර විතානගේ තුන්වන කාව්‍ය සංග්‍රහය ‘ඉරි‘ පසුගියදා නිකුත් විණි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ 2013 වසරේ නිකුත් වූ ‘වෙරළ සහ අතීතය‘ යි. ‘පාරමි‘ දෙවන කාව්‍ය සංග්‍රහය වන අතර නිකුත් වන්නේ 2017 වසරේය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ශ්‍යාම කවියට පෙම්බඳින්නෙක් යැයි අපට හැඟෙන්නේ ඔහු ගෙන එන නිර්මාණ තුළිනි.

අප විටෙක මිනිසුන් වර්ග කරන්නෙමු. ඒ ජාති ආගම් කුල දෙය පමණක් නොව ගම්පළාත් අනුව මෙන්ම විවිධ සමාජ මට්ටම් අනුව පමණක් නොව රට රටවල් අනුව ද මිනිසුන් වර්ග කරන්නෙමු. නමුදු මිනිසුන් කොයි රට සිටියද මිනිසුන්මය. ආදරය දයාව කරුණාව මේ ආදි වූ අනේක ගුණ පෙන්වන, දක්වන මිනිසුන් අතරම කපටිකම්, මෝඩකම පිරුණ මිනිසුන් ද නැත්තේ නොවේ. මේ එවැන්නෙකු ගැන කවියා ලද අත්දැකීමක් යැයි හැඟේ. ‘මෙහෙත් එහෙමයි‘ මාතෘකාව යටතේ ඔහු මෙසේ ලියයි.

මා නම් නොවේ නෝනගේ ඕනෑකමට
සීතල කාලේ එන්නට පෙර නත්තලට 
ගේ දොර අලුත් කර ගන්නට ලස්සනට
බාසෙක් හමුවුණා කාගෙත් වෙලාවට...
සුද්දනෙ කියපු දවසෙම ආවා වැඩට
කොයි දැන් අරව මේවා ඇහුවා දිගට
කිසි පිළිවෙළක් නැති බව දැනුනා අපට
කඩලා දාපී සේරම පැය භාගයට..

සියල්ල කඩා බිදදමා ගිය බාස් අවශය බඩු ගෙන ආපසු එන්නෙමියි කියා යන්නට ගියේය. නමුදු නිවැසියෝ බලා සිටියද ඔහුගෙන් ඇමතුමක් හෝ යළිත් එය සාදන බවට හෝඩුවාවක් වත් නැත. දැන් නිවසේ සියල්ල අපිළිවෙළය. ඉතින් කාට නම් කියන්නද ?

හදනා හැම එකම ගලවන්නට යෙඳුණා
ගලනා දියෙන් සාලේ සිවිලිම තෙමුණා
ඉංග්‍රීසියෙන් කියවන එක හැර මුමුණා
කොයි ලෝකයෙත් බාස්ල ඔහොමයි හිතුණා

මේ පාසල් විශ්වවිද්‍යාල වැසී ගිය කොරෝනා කාලයේ මෙන් නොව එකල පාසල් ජීවිතය විශ්වවිද්‍යාල ජීවිතය බෙහෙවින් සොඳුරුය. එක එක පළාත් වලින් ගම්වලින් පැමිණි නාන්නාඳුුන තරුණ තරුණියන් එකම විදු බිමකදී එකට හමුවේ එකම ගමනක් යන්නට අධ්‍යාපනය ලබති. නමුදු මේ එකිනෙකාගේ සිතුම් පැතුම් ජිවන රටාවන් එකිනෙකට වෙනස්ය. එවන් යුගයක විශ්වවිද්‍යාල මිතුරන් දෙනෙකුගේ අත්දැකීමක් කවියා ලියයි. මේ සොඳුරු අතීයක් පමණි.

මාතෘකාව 
‘දෙන්නා දෙපොළේ‘.
ඉඳ ඉඳ එක පැලේ
විඳ විඳ දුක ද සැපසේ
එක පොත පත කළේ
වාසිටියේ අපි දෙන්නා එ් කාලේ..


පැද පැද බයිසිකලේ
වැඳ වැඳ තේස බවනේ
නාටකම බැලුවේ
වෙලා තිබුණොත් 
පොතුත් බැලුවේ

මේ ආදි ලෙසින් එක් වී ජීවිතය ගත කළ ඔවුන් දැන් දෙපළකය. කාලය විසින් ඔවුන් වෙන්කර ඇති අයුරු ය ඒ. කතකයාට ඒ වෙන්වීම ගැන ඇත්තේ යම් දුකක් යැයි මෙය කියවන විට හැගේ.

‘නිදි මර මර රැයේ
ලොකු ලොකු තර්ක කෙරුවේ
හැමදේම මතකේ
අනේ අපි දැන් දෙන්නා දෙපොළේ‘

‘එන අය යන අය‘ මේ තවත් කවියකි. බොහෝ දෙනෙකු අපට හමුවෙති . එහෙත් එසේ හමුවන අයගෙන් රැදෙන්නේ කිහිප දෙනෙකු පමණි. හමු වුණත් නොවුණත් සිතෙන් සිත් හී රජකරන්නෝද අපේ මතකයන් අතර සිටිති. මේ එවන් අය පිළිබඳ ලියැවුණකි.

හිතට එන අය
වහා දුව එති
සියලු වැට ඉනි
කඩාගෙන ඇති..
හිතෙන් යන අය
නොකියාම යති
සුනාමිය මෙනි 
තියා සෝ ගති..
හිතේ ඇති අය
සදා වැජඹෙති
මුල්ලකට වී
ඔහේ හිනැහෙති..

ශ්‍යාම් කුමාරගේ කවි මඟ කවි සරලය. ඇතැම් සිතක ඇති දුක ශෝකය මෙන්ම සංවේදී හැඟිම් බෙදා ගන්නට සමත්ය. ඔහු තවමත් කවිය හදාරමින් සිටින්නේ යැයි සිතේ. ඉරි කාව්‍ය සංග්‍රහය ඔහුගේ තුන්වැනි කවි එකතුවයි. ඔහුට තවත් බොහෝ දුර යා හැකිය යන්න ඔහුගේ නිර්මාණ විදීමේදි අපට හැඟේ.


විදෙස් කවිය

සතුට

 

තනි වූ සුදුම සුදු රුවලක් පෙනෙයි එසැණින
දිස්න දෙනුයේ කොහෙද මහ මුහුද රේඛාවක්ය ඝන නීල
කුමක්ද දා ගියේ එය ඈත වූ මව්බිමේ තම
මොනවා ද සොයනුයේ තව තවත් භූමියේ පරදේශ
රඟ දෙයි තරංග නැමෙයි කිරි කිරි ගගා කුඹ ගස
වැලපෙයි සුසුම් ලයි නො ඉවසිලි වූ සුළඟ
එය නො වෙයි එය සොයා යන සතුට
නො වෙයි එය සතුට ද ඉගිළ යන
නටයි නිල් දිය තරඟ, නට නටා ගැහෙයි වෙවුලයි
ඉරේ රැස් දිලිහෙන, සිප ගනියි මහ මුහුද
යදිනුයේ එනමුදු කුණාටුවකටයි කැරලි කරුවන්
සැඟවුණු ලෙසින කුණාටුවක සාමය සහ සන්සුන් බව.

මිහයිල් ලර්මන්තෝව් Mihail Lermantov

මිහයිල් යුරියෙවිච් ලර්මන්තෝව් උපත ලැබුවේ 1814 ඔක්තෝබර් 15 දින මොස්කව් හි දී ය. ඒ රුසියානු මහා කවි පුෂ්කින් ඉපදී හරියට ම වසර 15 කට පසු ය. මේ කවීන් දෙදෙනා ම මතු වී ආවේ එවකට ප්‍රසිද්ධව සිටි රොමෑන්ටික් කවීන්ගේ ආභාසය ලබමින් වුවත් කෙටි කලකින් ම තමන්ටම ආවේණික අපූර්ව ශෛලීන් දෙකක් ගොඩ නගා ගැනීමට දෙදෙනා ම සමත් වූහ. රුසියානු සාහිත්‍ය කෙත වපුරා අස්වැද්දූ මහා කවියා පුෂ්කින් ලෙස ද එහි අස්වනු නෙළන, සංවර්ධනය වන අවධිය නියෝජනය කළ කවියා ලර්මන්තෝව් ලෙස ද සැලකේ. පුෂ්කින් රුසියානු සාහිත්‍ය අම්බරයේ සූර්යා ලෙස ද ලර්මන්තෝව් චන්ද්‍රයා ද ලෙස සැලකිය හැකි ය. සූර්යාලෝකයෙන් තොර චන්ද්‍රාලෝකයක් ද නැත. ශෘංගාරය ද චමත්කාරය ද විචිත්‍රවත් අන්දමින් සිය නිර්මාණ සඳහා යොදා ගත් රුසියානු විශිෂ්ටතම කවියා ලර්මන්තෝව් ය.

• පරිවර්තනය : කරුණාතිලක හඳුන්පතිරණ.

Comments