කවි ලොව පළමු කැරැල්ල ගැසූ කොළඹ යුගයේ පිපි සුන්දර මල එච්. එම්. කුඩලිගම | සිළුමිණ

කවි ලොව පළමු කැරැල්ල ගැසූ කොළඹ යුගයේ පිපි සුන්දර මල එච්. එම්. කුඩලිගම

හස, පොළොව, කඳු හෙල් මිටියාවත් ගැන අපරිමිත දයාවෙන් නෙක විසිතුරු මවමින් ලියූවද ඒ ලියැවිලි සියල්ල අතර ජීවන දහම දිය කර හැරි කවියෙක් වෙයි. කොළඹ යුගයේ පිපි ලස්සනම මල ලෙසින් මේ කවියා හැඳින්වූයේ ඔහුගේ අභාවය දා ඒ දුකෙන් පුවත්පත් හි කඳුළු දිය කළ කවියෝ ය. එය අතිශයෝක්තියක් නොවේ. කොළඹ යුගයේ පිපි නෙක පැහැ මල් අතරින් ලස්සන ම මලක් වන එච්. එම්. කුඩලිගම කවියේ පද අතර සිර නොවී ස්වකීය කවිත්වය නිදහසේ විඳි අපූරු කවියෙක් වෙයි. වාක් සංවරය කවියාට ආභරණයකි. ඒ ආභරණයෙන් සැනසෙන්නට නම් හේ භාෂාව පිළිබඳ වඩාත් සුහුරු විය යුත්තේ වෙයි. කුඩලිගම අත භාෂාවට පැලඳෙන සුන්දරත්වය කෙතෙක් ද යන්න කීමට වදන් නැත. වලසුන් මීවද කෙරෙහි කෙතරම් ආසක්ත වන්නේ ද කුඩලිගම කවි ඇසුරු කරන්නෙක් ඒ නයින් ම ඊට ආසක්ත වෙනු ඇත. ඒවා එතරම්ම රසයෙන්, සුන්දරත්වයෙන්, මනරම් බවෙන් හා ගුණයෙන් ආඪ්‍යය ය.

කුඩලිගම ජීවිතයත් සොබාදහමත් අවලෝකනය කරන්නේ උපේක්ෂාවෙනි. සොබාදහම ඇතුළත මිනිස් ස්වභාවයත් මිනිස් ස්වභාව ඇතුළත සොබාදහමත් දැකීමේ ගුණයද කුඩලිගම කවිතාවේ විශේෂයෙන් දැකිය හැකි ලක්ෂණයකි. ඒවා හුදු සොබාදම් වර්ණනය ඉක්මවා ජීවිතයේ දාර්ශනික තලය ස්පර්ශ කරන්නේ ය. ආවාට ගියාට පද නොගැළපූ ඔහු ඒ පද අතර ජිවිතය වියමන් කිරීමට උත්සුක වූයේ ය. එහි පදයක් දෙකක් වෙනස් වූවා නම් කියා කිසිවකුටත් නොසිතෙන තරමට හේ ලියූ කවි ඔපමට්ටමෙන් යුතු වීය. පුවත්පත් කලාව ඇතුළත ඇති කාර්යබහුලත්වය හා ඒ සැණින් ලිවීමේ කුසලතාව අබියස පවා ඔහු බෙහෙවින් සාර්ථක වූයේ හැදෑරීම හා දරා ගැනීම නිසා ය. ඔහුගේ සුගම පද මාලාවෙන් හැඩ නොවුණු වෙසක්, පොසොන්, අවුරුදු මුල් පිටුවක් එකල නොවීය. කාරියකරවන ලොකු මහත්තයා ඒවා කියන්නේත් ගහෙන් ගෙඩි එන්නා සේ ය. පැය දෙකකින් කුඩලිගමගෙන් ඒ විශේෂ කවිය බලාපොරොත්තු වූ ඩී. එෆ්. කාරියකරවනයන්ට කවදාවත් පසුතැවෙන්නට ද අවැසි වූයේ නැත. කුඩලිගම ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් අදාළ කාර්යය කර අවසන් ය. එසේ ලියූ කවි පන්ති ප්‍රමාණය දහදහසකට වැඩි මිස අඩු නැති බව අප හා කීවේ ඔහු දෙටු පුතු ගීතනාත් කුඩලිගම ය. තාත්තාගේ සියල්ල ඔහු උරුමයක් සේ රකින්නට වෑයම් කරන්නේ සමහර අවස්ථාවල තමාට තාත්තා මග හැරුණි ද කියන පශ්චාත්තාපය ද සිත රඳවා ගනිමිනි. නොමේරූ සිතිවිලිවලට යටවී අකැප දේශපාලනයක් නිසා සිරබත් කෑ ගීතනාත්ට සිය පියාගේ මළ ගමට ඒමට නොහැකි වූ වේදනාව තවමත් ඔහුගේ දෑසේ ලියැවුණු ගමන් ම ය.

1918 ඔක්තෝබර් 22 කළුතර කුඩලිගමදී උපන් හේවාවසම් මුනිදාස කුඩලිගමගේ පියා ව්‍යාපාරිකයකු වූ හරමානිස් කුඩලිගම ය; මව පොඩි නෝනා ය. වැඩිමල් සහෝදරයකුගෙන් හා සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා කුඩලිගම ය. ඔහු සිය වැඩිමල් සහෝදරිය නැන්සි නෝනාට වඩා වසර 16කින් බාල ය. සිය ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් මිෂනාරී විදුහලක් වන දියමන්ති ජුබිලි විද්‍යාලයට යන හේ අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා කළුතර ධර්ම විජය පිරිවෙනට ඇතුළත් වෙයි. කුඩලිගම සිය ජීවිත කාලය පුරා ම විවිධ වේදනාවලට ලක් වූවෙකි. සිය පියාගේ සමු ගැන්මත් සමඟ අසරණ වෙන ඔහුගේ ලෝකය ම වී ඇත්තේ මව යි. ටික කලකින් ඔහුට ආදරය සෙනහස නොඅඩුව පෑ අම්මා ද ජීවිතයෙන් සමු ගන්නේ ය. එය ඔහුට දරා ගත හැකි වූයේ නැත. කළල් දියෙහි පිපි නෙළුමක් සේ හේ සියලු අතවර මැදින් ජීවිතය ජයගන්නට පාර තනන්නේ සොබාදහමට අසීමිත ව පෙම් බඳිමිනි. මිනිස් ඇසුරෙන් පහසෙන් නොලද ආදරයක්, කරුණාවක් හේ පරිසරයෙන් ලබන්නට ඇත. 1954 දී පළ වූ කුණාටුව කාව්‍ය සංග්‍රහයේ සිය ජීවිතයට හමා ආ කුණාටුව ගැන ඔහු පද පබඳින්නේ රිදුණු සිතැති ව වුව රමණීය බස් වහරෙනි. නිර්මාණකරුවාට පර්යාය වෙන නමක් ඇත්තේ නම් ඒ දරා ගැනීම බව හේ සපථ කළේ නිහඬ ව ම ය.

1932 වසර වෙන විට හේ කවි පොතක් පළ කරන්නේ ය. ඒ ඔහුට අවුරුදු 14 දී ය. පත්තර කඩදාසියේ මුද්‍රිත ඒ පොත ජිනේන්ද්‍ර ප්‍රශංසා නම් වෙයි. සිය පියාගේ ලියන මේසය මත මේ පොතේ පිටපතක් තිබෙනු තමාට මතක බව සිය මතකය අවදි කළ ගීතනාත් ලොකු පුතු අප හා පැවසීය. 

මයිකල් ගුණරත්න ස්කාගාරයේ ලිපිකරු ලෙස වෘත්තිය ජීවිතයට පිළිපන් කුඩලිගම එතැන රැකියාව කරන්නේ කෙටි කලකි. සිංහල බලය පුවත්පතට සම්බන්ධ වෙන්නේ ඉනික්බිතිව ය. ඔහු ඒ වනවිටත් සිළුමිණ, දිනමිණ, ජනතා වැනි පුවත්පත්වලට ද සුවඳ වැනි කවි සඟරාවලට ද කවි ලීවේ ය. හේ ලේක්හවුස් ආයතනයට බැඳෙන්නේ 1945 දී ය. මීමන ප්‍රේමතිලක, අල්විස් පෙරේරා, උපනන්ද බටුගෙදර, මාකඳුරේ ගුණවර්ධන, ඩී. එෆ්. කාරියකරවන වැනි සුධීමතුන් ඇසුරේ ඔහුට ලැබුණු පන්නරය හා ආදරය ජීවිතය ලයාන්විත හා අරමුණු ගත කරන්නට සමත් වෙන්නට ඇත. පුවත්පත් කලාවේදී ලැබෙන මේ පයුරු පාසානය තරම් සරසවියක් පුවත්පත් කලාවේදියකුට තවත් නැත. ඔවුන් සිටින තැන රස ගුලාවකි. මී විත තිබුණ ද නැත ද ඒවා බෙහෙවින් සාර සුභාවිත හා සුන්දර කතාබහෙන් සුසැඳුණකි.

1950 වර්ෂයේ දී අශෝකා කරුණාශීලි සමඟ විවාහ දිවියට ඇතුළත් වෙන කුඩලිගම ට දරුවන් 4කි. ඔවුන් ගීතනාත් කාශ්‍යප, රාසිං ගංගනාත්, අනෝජා සරෝජිනී, චම්පා ශ්‍යාමලී ය; මුනුපුරු මිනිබිරියන් 7කි. ඒ හේෂානි මධුකල්පනී, අපර්ණා මන්දාකිනී, කිරන් කුමාර්, කාවින්ද විශ්වනාත්, මහේෂික ගීතනාත්, මලින්ද, චමල් ලෙසිනි. මී මුනුපුරු මිනිබිරියන් 6කි. ඒ දනුජ පන්සිළු, රවිඳි දුලන්‍යා, ඔමායා ක්‍රිස්ටිනා, යෙහෙනි සාරා, අංජලී, යතිඳු ය. 1973 අගෝස්තු 21 දා හේ නාමශේෂභාවෝපගත වන විට 55 වැනි වියේ පසු විය. පුවත්පත්වලට ලියූ කවි, ලිපිවලට අමතර ව ඔහු ට ජීවිත කාලය පුරා ලියන්නට හැකි වූයේ පොත් 4කි. ඒ ජිනේන්ද්‍ර ප්‍රශංසා, ඈ, කුණාටුව, එකමත් එක රටක් ලෙසිනි. ඒවා රම්‍ය නිර්මාණ ය. බෙහෙවින් චමත්කාර හා මනරම් භාෂාවකින් නිර්මිත කාව්‍ය සංග්‍රහ ය. පාඨක, විචාරක උභය පාර්ශ්වයේ ම සම්භාවනාවට පත් ඒ කාව්‍ය සංග්‍රහ සිංහල බසේ ලාලිත්‍ය මොන යම් සේ චමත්කාර ද යන්නට උදාහරණ සපයන්නේ ය.

සිංහල ෂෙලී ලෙසින් කාව්‍ය රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් හේ අර්ථ, ශබ්ද, එළිවැට හා රිද්මය යන අංග සියල්ල ම සිය කවි ඇසුරේ මනා ව කැලැත්තුවේ ය. අගනුවර තරුණ කවි සමාජයේ ආරම්භක සාමාජිකයකු වන හේ එහි කාරක සභික ධූරයේ සිට සභාපති දක්වා ම කවියට වෙසෙස් මෙහෙයක් ඉටු කිරීමට මුල් පෙළ ක්‍රියා කළේ ය.

සිංහල කවියේ කැරැල්ලක් ඇරඹුවේ ඔහු ය. කොළඹ කවියේ සමාරම්භක කවීහු මුල සහ අග එළිසමය පිළිබඳ දැඩි ව ක්‍රියා කළෝ ය. 1942 වර්ෂයේ සිංහල බලය පුවත්පතේ නලිනී සෙනවිරත්න නමින් යුද්ධයට ගිය අයියා ට යනුවෙන් කවි පෙළක් පළ විණි. පැරණි ආකෘතික හරඹ අස්සේ හිර නොවුණු අග එළි සමය පමණක් රැක නිදහසේ ලියූ ඒ කවිවලට අල්විස් පෙරේරා ද උත්තර පැබැඳුවේ ය. එය ප්‍රචලිත වූයේ නලිනි- පබළු සංවාදය නමිනි. කවියේ නූතන කැරැල්ල ගැසූ ඔහුට විරුද්ධව කවුරුත් කැරලි නොගැසුවේ විචක්ෂණශීලී හා විදග්ධ එහෙත් සරල බස් වහර නිසා ය. එකල මේ සංවාද ආකෘතිය කෙතරම් ජනකාන්ත වූයේ ද යත් ඉන් පසුව ද එවැනි කාව්‍ය සංවාද කිහිපයක් ම ඇති විණි. ස්ත්‍රී රත්න වාදය, විද්‍යා කලාවාදය, දස්කොන් වාදය ඉන් කිහිපයකි.

කාව්‍ය යන්න වචනාර්ථයෙන් ම හේ රිද්මීය කළේ ය. ඔහු විවිධ විරිත් සුරු ව භාවිත කළේ ය. පත්තරයක දශක තුනකට වඩා වැඩ කරද්දී නව ආර කවි ලියන්නට ඔහුට සිදු විණි. පුවත්පතේ අවශ්‍යතාව ට වුව ද ඔහු ඊට ඕනෑවටත් වඩා සාධාරණය ඉෂ්ට කළේ ය. ඒ විවිධ විවිධ විරිත් හදාරමින් ඒවා බිය සැකකින් තොරව භාවිතයෙන් ය. සිය ජීවිතයේ නිවීමක් හෝ නැවතීමක් පතන කා හට වුව ද කුඩලිගම කවියාගේ කවි කමටහනකි. ඒවා නොපෙනෙන ආලෝකය ගැන ඉඟි කරයි. ජීවිතය ගැන, ලෞකිකත්වය ගැන කතා කරයි. වාක් සංවරයෙන් යුතුව මනස ද සංවර කරයි. හේ කරුණාවේ ආලෝකය කෙරෙහි රසිකයා කැඳවා ගෙන යයි. අම්මාට තමා ආදරේ කරන්නේ යම් සේ ද හේ ඒ වැනිව කළු ගඟ ට ද ආදරේ බව ඔහුගේ කවි ඇසුරේ පෙනෙයි. කළු ගඟ එක්තරා සංකේතයකි. එනයින් බලන කල හේ තම ජිවිතය ආදරයෙන් පිරිද්දූ සොබාදහමට තම මවට පියාට සේ ආදරය කරයි.

කුඩලිගම කවියා රසික ආමන්ත්‍රණය කරන්නේ තම ඇතුළු හද ගැන විශ්වාසයෙනි. බලය, තනතුරු හා ධනය අද තිබී හෙට නැති වන්නට හැකි දෑ ය. එහෙත් තමා සොයාගෙන සිටියහොත් ඔහුට තමා අහිමි වෙන්නේ නැත. ලොකුම ඛේදවාචකය වන්නේ තමාට තමා අහිමි වීම ය. අපට අප අහිමි නොකරන්නට මං පෙන්වන නිර්මාණකරුවකු වේ නම් හේ පරිසමාප්ත අර්ථයෙන් ම නිර්මාණකරුවෙකි. අව්‍යාජත්වයේ සුවඳ ඔහුගේ කවි පුරා විහිදේ. සිර කූඩුවෙන් එපිට ලෝකය කෙතරම් නිදහස් ද නිවහල් ද යන්න හේ පසක් කරන්නේ ක්‍රියාවෙනි. නව පරපුරක් තැනීමේ ආධ්‍යාශයෙන් නිරන්තර පෙළුණු හේ ඒ වෙනුවෙන් ලියූ පැදියක් මෙහි සටහන් කරන්නේ කවියාගේ උත්තම අරමුණු පසක් කරනු වස් ය.

“නව පරපුරක් ගොඩනඟනුවට රොඳ බැඳී 
හරි මඟ කියා නැඟිටිනුවනට අත දිදී 
නොනැවති එතත් බාධක සමඟ පොර වැදී 
නිවටව නියාලුව නැත කිසිදු තැනකදී”

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියූයෝ කුමරතුඟුවෝ ය. නව පරපුරක් දලුලා එනවිටම දල්ල කඩා දැමූ පරපුරක් අබියස කුඩලිගම උත්සාහ කළේ සුපොහොසත් ඥාන සම්භාරයකින් යුතු නව පරපුරක් ගොඩ නඟන්නට ය. නිර්මාණාලෝකයට ඥානාලෝකය සැපයූ එවන් කවි මෙන්ම තීරු ලිපි ද ඔහුගේ ආධ්‍යාශය මැනවින් විශද කරයි. කවි ලොවට පෑයූ පුන් සඳක් වන් වූ කුඩලිගම ලොකු කුඩා සැමගේ ආදරය දිනා ගන්නේ ඔහුගේ අසීමිත මානව දයාව නිසා ය. රිදුණු සිතැති ව ගත කළ හේ ඒ රිදුමෙන් ම උගත් පාඩමෙන් යුතුව අනෙකාට අසීමිත ව ආදරය කළේ ය. ඒ ශරීරය එතරම් කරුණාවක් දරා සිටියේ කෙසේද යන්න ගැන එකල රසිකයෝ විමැසූහ.

නිවාස දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් ඉඩම් කැබලිවල ළඟ ළඟ නිවෙස් තැනුණ ද කුඩලිගම තමාට ලැබුණු පර්චස් 22 කුඩා වනරොඳක් බිහි කළේ ය. ඒ ගහකොළ අතරේ සැරිසැරූ ඔහු සොබාදහමේ ම කොටසක් විණි. වරක් ඒ කැලෑව හෙළි කළ දුකෙන් ඔහු තම කාමරයට ම වී ගත කළ බැව් කවි ලොව පසිඳු රහසකි. හේ එතරම් ම ගහ කොළට සතා සීපාවාට ආදරය කළේය. සිය චමත්කාර ජනක හා සොඳුරු මනස ඔහු නඩත්තු කරන ලද්දේ එපරිද්දෙනි.

අපමණ කවි පහන් දල්වා හේ කලින් ම නික්ම ගිය ද ඒ කවිවල සුන්දරත්වයෙන් තවමත් ලොව නැළවෙනු පෙනේ. සොබාදහමට අනුව නික්ම යා යුතු ම ය. එහෙත් නික්ම යන්නේ කවරකු ලෙසින් ද යන්න තීරණය කිරීම තිබෙන්නේ ජීවත්වන්නා අත ය. කුඩලිගම ඒ සත්‍ය මනාව දැන සිටියේ ය. එහෙයින් ම ඒ සුවඳ ඉතිරි කර රොන්සුනු සියල්ලන් වෙත බෙදා හැරියේ ය.

Comments