කවි කසළ කඳු අතර සැඟවුණු කනක ගිර සිරිලාල් කොඩිකාර | සිළුමිණ

කවි කසළ කඳු අතර සැඟවුණු කනක ගිර සිරිලාල් කොඩිකාර

කාව්‍යකරණය පිළිබඳ හස්තසාර ග්‍රන්ථයක් වන විරිත් වැකියෙහි ‘‘හද හිස් වූ එකකු - ‘පබඳක් සපයමි’ යි ඉඳැ-ගෙනැ, කල් නසා, - කරනුයේ විහිළු යැ’’යි රුවන් වැකියක් වෙයි. අනුනට වැඩ පිණිස අරුත නිසි පදයෙන් සැරසූ හද පබඳකරුවා විහිළු සපයන පද පබඳකරුවන්ට ඉඩ දී පසු ගිය දා අප’තරින් සමු ගත්තේය. සිරිලාල් කොඩිකාර යනු මෙරට පහළ වූ විශිෂ්ටතම කවීන් ස්වල්ප දෙනාගෙන් කෙනෙකි. එහෙත් සිරිලාල් කොඩිකාර ජීවත් වූයේ ඒ බවක් තමාවත් නොදත් පරිද්දෙනි. පවතින බව පෙන්වීම සඳහා කවි පොත් කඳු ගසා කවිසක්විති වීමේ ළදරු ආශා ඔහුට නොවිණ. පිරිවැරුණු කවි බැටළු රැළක් ද ඔහු අසල නොවිණ. පාසල් හෝ විශ්වවිද්‍යාල හෝ විෂය නිර්දේශ සඳහා තම කාව්‍ය නිර්මාණ ඇතුළත් කරවා ගැනීමට කිසි කලෙක උත්සාහ නොදැරීය. ඒ නිසා ම සිරිලාල් කොඩිකාර කවි කසළ කඳු අතර පැතිරුණු දූෂිත විස දුම් වලාවෙන් වසන් වූ කනක ගිරි සිඛරයක් සේ නිසොල්මන්ව අදෘශ්‍යමානව විසීය.

සිරිලාල් කොඩිකාරගේ ලේඛකත්ව පෞරුෂය වර්ධනය වූයේ අසාමාන්‍ය අතිදුෂ්කර පරිසරයකය. එය බොහෝ දුරට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කිවිඳුන්ගේ දිවි සැරිය සිහි ගන්වයි. ඒ පිළිබඳ තථ්‍ය තොරතුරු ඔහු විසින්ම ලියන ලද දිය වැලක් ඔස්සේ නමැති අපදානයෙහි දැක්වෙයි. සිරිලාල්ගේ ළමා විය ගෙවී ගෙසේ තිබෙන්නේ අවිනිශ්චිතභාවයත් අනාරක්ෂිතභාවයත් අතරිනි. 1924 අගෝස්තු 27 වෙනි දින ඔහුගේ උපත සිදු වූයේ මවගේ ගම් පියස වූ මහනුවර තලාතුඔය ගොඩමුනේදීය. උප්පැන්නයේ නම සඳහන් වන්නේ කොඩිකාරගේ ඒබ්‍රහම් පීරිස් යනුවෙනි. සිරිලාල්ට කවියේ ඉඳුල කට ගෑවුණේ මවගෙනි. මව සාම්ප්‍රදායික තොවිල් පවිල් කර ගෙන ආ පරපුරකට අයත් වූවා මොනිටර් විභාගය සමත්ව ගුරු පත්වීමක් ලද ද ප්‍රභූවරුන්ගේ විරෝධය නිසා හිමි වූ වෘත්තීය ජීවිතය අහිමි විය. කුඩා කල මවගේ සෙවණේ අක්ෂර ශික්ෂාව ලද කුඩා ඒබ්‍රහම් මූලික අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල පිටිහුම බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. එවක ගෘහස්ථ පරිසරයෙහි කවියට වැදගත් ස්ථානයක් හිමිව තිබිණ. කවියට ඇදුණු සිතැති ඒ්බ්‍රහම් මහණකමට ආශා කළ අයුරු දිය ‘දියවැලක් ඔස්සේ‘ මෙසේ සඳහන් වෙයි. “අම්මෙ කවි හැදුණෙ කෙහොමද?’ ‘ඉස්සර පන්සල්වල හිටපු හාමුරුවරුයි පුතේ කවි හැදුවෙ. පන්සල්වල ඉගෙනගත්තු පණ්ඩිතයොත් හැදුව. ඒව පුස්කොළ පොත්වල ලියල තිබ්බ.’ ‘දැන් පන්සල්වල ඉන්න හාමුරුවරුත් කවි හදනවද අම්මෙ?’ ‘ඔව් පුතේ දැනුත් හදනව’ මහණකමට මගේ තිබුණු ආශාව තව වැඩි වීමට එයද හේතු විය. ... කුල භේදයට විරුද්ධව රට පුරා ධර්ම දේශනා කරමින් යාමට අවස්ථාව සලසා ගැනීම ද මහණ වීමට මට තිබූ එක් ඕනෑකමකි. එය වෛරයක් මුසු වූ ඕනෑකමකි. අපේ අම්මා ගුරුවරියක වුව ද වැඩි දවසක් ගුරු වෘත්තියෙහි යෙදෙන්නට ඇයට නොලැබුණේ කුලවතුන් විරුද්ධ වීම නිසා ය යි මා දැන ගෙන තිබිණ. මහණකමට මා පෙලඹීමට තව හේතු පැන නැගුණේ අම්මාගේ අකල් මරණයෙන් පසු ය. හතරවෙනි පන්තියට අලුත් පොත් රැගෙන තිබුණ ද මට ඒ පොත් රැගෙන පාසල් යාමට නො ලැබුණි.”

මවගේ අභාවයෙන් පසු කුඩා ඒබ්‍රහම්ගේ ජීවිතයට නිසි මඟ පෙන්වීමක් නොලැබිණ. ඔහුට රැකවරණ සැලසීමට ඉදිරිපත් වූ ඥාතීන්ගෙන් තම අධ්‍යාපන අරමුණු සපුරා ගැනීමට ඉඩ නොලැ‌බෙන බව අවබෝධ කර ගත් ඒබ්‍රහම් ගල්කිස්සේ මිනී පෙට්ටි සාප්පුවක් පවත්වාගෙන ගිය පියා වෙත ගියේය. පියාගේ දැඩි මර්දනකාරී පිළිවෙත් ඒබ්‍රහම්ට ඉසිලිය නොහැකි පීඩාවක් විය. කෙසේ හෝ ඒ කාලයේදී බේරුවල හා ගල්කිස්සේ පිහිටි විහාරස්ථාන දෙකක නේවාසිකව ඉගෙනුම ලැබීමට ඔහුට අවස්ථා උදා විය. මේ කාලයේදී කුල දරුවන් විසිපස් දෙනකු සසුන්ගත කෙරෙන අවස්ථාවක් උදා වූයෙන් 1939 වර්ෂයේදී ඒබ්‍රහම් පැවිදි බිමට පිවිසිණ. ශාසනයේ ඉස්සරහ දොරින් ඇතුළු වී වසරක් වැනි කෙටි කාලයකදී ආ තරම් ඉක්මනින් ඒබ්‍රහම් සසුන් බිමෙන් නික්මිණ. “ශාසනයෙහි පාතාල ලෝකයක්ද තිබේ. එය බුදුන් දවස සිට තිබී ඇති බව පෙනේ. සමහර විනය නීති පැනවීමට හේතු වූ බවට ශාසන ඉතිහාසයේ සඳහන් සිද්ධි මේ කාලයේ අසභ්‍ය දෙයන් ආස්වාදය ලබන පහත් රුචියෙන් යුත් ගිහි හා පැවිදි ඊනියා ධර්මධර සමහරුන්ගේ රස කතා බවට පක්ව ඇත. මට ඉතා ම අප්‍රසන්න වූ ඒ පාතාල ලෝකයෙන් මිදෙන්නට ද ඕනෑ විය.” සසුන් බිමෙන් නික්මුණ ද ආරාමික පරිසරයෙන් ශාස්ත්‍ර ශික්ෂණය ලැබ ගැනීමේ අභිලාෂය ඔහු අත් නොහළේය. ඒ නිසා 1940 වර්ෂයේදී පියාගේ අනුදැනුම ඇතිව කොග්ගල දේවගිරි විහාරස්ථානයේ පඤ්ඤාරංසි හිමියන් ඇසුරේ වෙද සතර හැදෑරීම ඇරඹීය. කුඩා කල පටන් තිබූ එක් ජීවන ප්‍රණිධානයක් වූ කවියකු වීමේ අභිලාෂයටද මේ පරිසරය හිතකර විය. දෙවන ලෝක සංග්‍රාම සමයේ කොග්ගලින් වැලිගමට සංක්‍රමණය වීමට සිදු වූ අතර අලුත් පරිසරය තම කවිකම වර්ධනය කර ගැනීමට ආධාරකයක් විය. මේ කාලයේදී සමාජය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ආධාරකයක් වන මිතුරු ඇසුරක් ගොනැගුණු නිසා ඒබ්‍රහම්ගේ ජීවිත පරිඥානයද අනුක්‍රමයෙන් මුහුකුරා වර්ධනය විය. වාමාංශික දේශපාලනය පිළිබඳ මූලික අවබෝධය වර්ධනය වීමට මිතුරු ඇසුර හේතු විය. කවිය පිළිබඳ පැවති බැඳීම දිනෙන් දින වර්ධය වූ අතර විවිධ ප්‍රකාශන සඳහා සිරිලාල් යන ආරූඪ නාමයෙන් කාව්‍ය නිර්මාණ සම්පාදනය කෙළේය.

ගුරු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ සිරිලාල් 1948 වර්ෂයේ මරදාන මාලිගාකන්ද පාරේ චන්ද්‍රසේන පොත් සාප්පුවේ සේවයට බැඳුණද නොබෝ කලකින් එතැනින් ඉවත් විය. නිරුවත් දෙපයින් දැවෙන තාරපාරවල් දිගේ ඇවිද යමින් රැකියාවක් සොයමින් ගිය සිරිලාල්ට 1948 වර්ෂයේදී ම සෝදුපත් කියවන්නකු වශයෙන් සිංහල ජාතිය පුවත්පත් ආතනයේ රැකියාවක් ලැබිණ. කෙටි කලකින් ඔහුට කර්තෘ මණ්ඩලයට බැඳීමට අවස්ථාව උදා විය. 1955 වර්ෂය තෙක් ඔහු සිංහල ජාතිය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කළේය. සිංහල ජාතිය පුවත්පත නතර වූ පසු තවත් පුවත්පත් කිහිපයකට සම්බන්ධව සේවය කළ සිරිලාල් 1957 වර්ෂයේදී දවස පුවත්පතේ වාර්තාකරුවකු ලෙස බැඳී 1964 වර්ෂය වන තෙක් සේවය කෙළේය. 1964දී සිරිලාල් දවස පුවත්පතෙන් ඉවත් වී ලංකාවේ පුවත් පත් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් බිහි වූ ඇත්ත පුවත්පතට සම්බන්ධ විය. සිරිලාල්ගේ පුවත්පත් කලා දිවියේ සැනසුම්තොට වූයේ ඇත්ත පත්තරයයි. හත්හවුල් කවි මඬුව, රංචාගොඩ ළමයා, කෝසල සිහින, රඟ දෙන බයිලා ඇතුළු විශේෂාංග රැස් සිරිලාල් අතින් ඇත්ත පත්තරයට සම්පාදනය විය. ඇතැම් දිනක ඇත්ත කතුවැකිය ද සිරිලාල් අතින් ලියවිණි. ඇත්ත පත්තරයෙන් ලැබුණු වේතනයට වඩා පුවත්පත් කලාවේදියකු ලෙස ලැබුණු තෘප්තිය සිරිලාල්ට වැදගත් විය.

මේ තෘප්තිමත් පරිසරය සිරිලාල්ගේ නිර්මාණාත්මක පරිකල්පනය ලියලවන තෝතැන්නක් විය. පුවත්පත් කාර්යාලය ආසන්නයේ රසවතුන්ගේ ඇසුරට ඇරුණු ආපන ශාලා නිර්මාණාග්නිය දල්වන සංස්කෘතික කේන්ද්‍ර වැනි වූයේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කණවේර ජාතකය ඇසුරෙන් රචනා කළ විලාසිනියකගේ ප්‍රේමය නමැති ගද්‍ය කාව්‍යයේ සෝදුපත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට දී ඒ ජාතක කථාව වඩාත් යෝග්‍ය වන්නේ කාව්‍යයකට බව පවසා තිබිණි. සුනන්ද ඒ බව සිරිලාල්ට පවසමින් මීරස පවස නිවනු වස් ආපාන ශාලාවක් කරා යන තැන කණේරු ගසක් තිබිණ. සිරිලාල් අතින් ඔහුගේ ශ්‍රේෂ්ඨ කාව්‍ය ආඛ්‍යානය වන කණේරු මල් නිර්මාණය වූයේ එවන් සහෘද සම්පර්කයක් පසුබිම් කොට ගෙනය. කණේරු මල් කාව්‍යාඛ්‍යානයට මුල් වූයේ බරණැස් නුවර බඹදත් රජුගේ කාලයට සම්බන්ධ පුවතක් වුව සිරිලාල් අපූරුවට නවසිය හැත්තෑහතෙන් පසු මෙරට ස්ථාපනය වූ ඊනියා ධර්මිෂ්ඨ පාලනය සංකේතවත් කරමින් බරණැස ලංකාවේ නිර්මාණය කළේ ස්වකීය නෛසර්ගික කවිකම බිඳකිනුදු පළුදු නොකර ගනිමිනි. බක ජාතකය පාදක කොට රචනා කෙරුණු බක වත කාව්‍ය නිර්මාණයද සමකාලීන ජනතා ද්‍රෝහී දේශපාලනයට එල්ල කෙරුණු ප්‍රබල සංයත ප්‍රතිචාරයකි. ප්‍රේමසිරි කේමදාස මානස විල යනුවෙන් ඔපෙරාවට නැඟුවේ ඒ නිර්මාණයයි. දේශපාලන විවේචනය හා නිර්දය උපහාසය ගැබ් කොට ගත්තද සිරිලාල්ගේ කවිබස ධ්වනිගුණයෙන් පරිපූර්ණ විය. එය නූතන කවි පරපුරට ඔහුගෙන් ලද හැකි මහා ආලෝකයකි. කාව්‍ය නිර්මාණ පමණක් නොව තවත් රසාලිප්ත නිර්මාණ රැසක් පාඨක ලෝකයට දායාද කළ සිරිලාල් අනූහත් වෙනි වියේදී දිවියෙන් සමු ගත්තේද තමා දිවි හිමියෙන් රැකි ප්‍රතිපත්ති අසකිනිදු පාවා නොදෙමිනි.

Comments