ආදරය ආදරයමයි | සිළුමිණ

ආදරය ආදරයමයි

සාංඝික දානය ඉතා හොඳින් ම පිරිනැමීමට හැකිවීම පිළිබඳව, සිරිතුංග හාමිනේ සිහිපත් කළේ කුසල් සිත පෙරදැරි වූ නිරාමිස සතුටකිනි. පරාක්‍රම සිරිතුංග මහතා ගැන පන්ස‍ෙල් නායක හාමුදුරුවන් විසින් කරන ලද ගුණ කථනය, එම හැඟීම් තීව්‍ර කළේය.

මේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරුණේ තමන් මෙලොව තනිකර දමා හදිසි හෘදයාබාධයකින් නික්ම ගිය සැමියා ගේ වියොවින් වසරක් පිරීම නිමිත්තෙනි. ඒ සඳහා සහභාගි වීමට පැමිණ සිටි පිරිස අතරින්, දානය දීමෙන් පසුවද දෙදිනක් ම නතර වී සිටි අයද පිටව ගියහ.

“අනේ මන්දා මැඩම්, උදව්වට ආවට මොකද මේ මිනිස්සු ගේ පුරාම යකා නටලා!”

ගේ අස්පස් කරමින් මේ මැසිවිල්ල නැඟුවේ ඇගේ සහායට නිවසේ නතර වි සිටින මැටිල්ඩාය. ඇය මැදිවියේ නිරෝගී කාන්තාවකි. හොඳ ගෘහ සේවිකාවකි.

හෙට දින විශ්‍රාමික නිවාසයේ දිවා ආහාරය පිරිනැමීමට ද සිරිතුංග හාමිනේ සැලසුම් කර සිටින්නී ය.

දිවා අහාරයට අමතරව, ඇඳුම් බෙහෙත් වර්ග ආදිය ඇතුළත් ලොකු පෙට්ටියක් ද මැටිල්ඩා සමඟ එක්ව ඇය මේ වනවිටත් සකසා අවසන්ය.

තම සැමියා වු සිරිතුංගගේ අල්මාරියෙහි පාවිච්චි නොකළ ඇඳුම් රැසක් ම තිබූ බැවින් ඒවා ද රැගෙන යාමට ඕ කල්පනා කළාය. ඇය කාමරයට ගොස් ඔහුගේ අල්මාරිය විවර කර බැලුවාය.

ඈ සිත ශෝකයෙන් පිරී ගිියාය. පෙර දවස තමන් ප්‍රිය කළ ඔහු ගේ ඇඳුම්වලින් විසිරෙන සුවඳ ඇයට දැනිණි. එසඳ තමන් ප්‍රේමණීය ඇමතුමෙන් නම් කළ “පරා” තවමත් “ජිනා” ගේ සිතින් බැහැර වී නැත. ඇයට සුසුමක් නැඟිනි. හැඟීම් බර සිතුවිලි බැහැර කර ගැනීමට ඇය, දානය අවසානයේ සුමනජෝති හාමුදුරුවන් විසින් අනියතය පිළිබඳව කරන ලද දේශනය සිහි කරන්නට විය.

අල්මාරියෙන්, විවර නොකළ කවරවල තිබූ කමිස කිහිපයක් ද, තුවා, බැනියම්, සරොම් ආදිය ඇය වෙන්කර ගත්තාය.

අල්මාරියේ පහතම තට්ටුවෙහි අසුරා තිබුණේ ඡායාරූප ඇල්බම කිහිපයකි. විවාහ ඡායාරූප එකතු ‍දෙක ඇඳමත පෙරළා බලමින් ඇය අතීතයේ මිහිරි මතකය යළි අවදි කර ගත්තා ය.

විවාහයෙන් පසුව වරින්වර ගත් ඡායාරූප ඇල්බමය ඔහු නම් කර තිබුණේ “අපි දෙන්නා” යනුවෙනි. එම සමීප ඡායාරූප වල එකල ඇය රූමත් තරුණියක ලෙසින් දිස් වූ අතර, සමහර සේයා රූ ඇය කිහිප වරක්ම පෙරළා බැලුවා ය. “සරසවිය’ යයි නම් කළ ඇල්බමය ඇය විසින්ම සකසනු ලැබූවකි.

හැට හැත්තෑව දශකයේ කොළඹ සරසවිය, පින්තූරවල දැකීමෙන් ඇයට සිතට සතුට දැනැවිණි. නව කලාගාරය දොඹගහ යට, රවුම් කැන්ටිම, “රේස්කෝස්” පන්ති කාමර, නුදුරින් දිස්වන ග්‍රහ ලෝකාගාරය ඒ අතර දක්නට ඇත. පුස්තකාල ගොඩනැඟිල්ල ඉදිරිපිට සිටිමින් ගත් ඡායාරූපය ඇය නැවත නැවත නැරඹුවේ එහි සිටින පිරිස වෙන් වෙන්ව හඳුනාගැනීමට ය.

මාධවී, සඳුනී, නාලනී, තිළිණි, මුදිතා ඒ අතර සිටිය. එකල සිරිතුංග හාමිනේ “ජිනාදරී රත්නසේකර” විය. ඡායාරූපවල සෑම තැනකම ජිනාදරී ළඟින්ම සිටියේ, වංශනාථ ජයතිලකය. ඔහු ඇගේ සරසවි නිල’ඹරට පැයූ සරා සඳ සිසිල විය.

ඔහු මුලින්ම දුටු අවස්ථාව ඇයට සිහිවිය. ඒ “ජේමිස්” ගේ නවකවදයට හසුවූ දිනයේය. එහිදි ජිනාදරීට නියම වූයේ, වංශනාථ ගේ අත අල්ලාගන පෙම්වතියක සේ පිට්ටනිය වටා දස වාරයක් සක්මන් කිරීමටය. එක් වටයක් අවසානයෙහි දී වංශනාථ, ජිනාදරී ගේ දකුණත සිපගත යුතුය. වාර දහයට “අලගු” වශයෙන්, එක් ගමනාන්තයක දී කෙළවලින් තෙමා ගල් කැටයක් ඇගේ අත්ලෙහි තැබිය යුතු විය.

නවකවද “කැලෑ නියෝගයට” අනුගත වීමට සිදු වූවා මිස මේ ක්‍රියාවන් කෙරෙහි දෙදෙනාගේම හිත් තුළ කැකෑරෙමින් තිබුණේ, කලකිරීම සහිත ආවේගයකි.

වංශනාථ මතකයට පිවිසීම ඇයට විඳින්නට සිතෙන කරුණක් විය. ඇය ඒ

මිහිරිතම අතීත නිධානයක් මතුකර ගනිමින් පින්තූර යළි යළිත් නැරඹුවාය. ඒ සමඟම, දොඹගම යට ජස්ටින් ගේ ඇමතුම, පාර්ලිමේන්තු වැටලීම, පෙළපාළි, සටන් පාඨ සමඟ, කඳුළු ගෑස්, පොලිස් වැටවල්, කුලු, පොලු ඇගේ සිතට පිවිසුණේ එකිනෙක පොර බදිමින් ය. එක් වරක් පෙළපාළි යමින් සිටිය දී කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ඇය බේරා ගැනීමට වංශනාථ ඇගේ අතින් ඇදගන තර්ස්ටන් මාවතට පැන නේවාසිකාගාරය අසලටම පැමිණි අයුරු සිරිතුංග හාමිනේ සිහිකළේ වැළලී තිබූ සෙනෙහස යළිත් මතුකර ගනිමින්ය.

උපාධි පරීක්ෂණය අවසන් වූ පසු “රීට්ස්” සිනමා හලෙහි දී “එක් පූල් දෝ මාලි” චිත්‍රපටය නරඹද්දී ඔහු ඇය ළඟින් සිටියේ ය. එහි සුමධුර ගායනයෙන් ඔවුන් ගේ සිත් මෝහනය වී තිබූ බව ඇයට මේ දැන් සේ මතකය. වෙන්වීම පිළිබඳ වූ දෝමනස්සයෙන් සිත් සතන් කැලඹී සිටිය දී ඔවුහු එකිනෙකාගෙන් සමුගෙන වෙන්වූහ.

එතැන් සිට, මාස කිහිපයක් ම ගතවන තුරු දෙදෙනා මිතුරු මිතුරියන් ගේ නම් වලින් රහස් ලිපි හුවමාරු කර ගත්හ. කල්යාමේ දී වංශනාථ ගේ ලිපි එවීම නතර විය.

එදවස ඇය රැය පුරා නිදිවරමින් හැඬූ කඳුළු වලින් කොට්ටය තෙත් වී තිබිණි. පසු කලෙකදී වංශනාථ ඇගේ සිතින් බැහැර කිරීමට සිදුවූ මුත්, තම ප්‍රථම ප්‍රේමය වළලා දමන්නට සිත ඉඩ නොදුණි. උපාධි ප්‍රදානෝත්සවයට ඇය ගියේ වංශනාථ හමුවීමේ දැඩි අපේක්ෂාවකිනි. එහෙත් ඔහු ඇයට හමු නොවීය. එම දුක්බර සිතුවිලි ඇගේ වතින් දිස් විය.

“ක්ලාස් එකක් නැති එක ගැන ඔය තරමට හිතන්න එපා දුව....” යනුවෙන් මෑණියන් පැවසුවේ දියණිය ගේ දුක්බර ස්වභාවය ඇයට වැටහුණු ආකාරයට ය.

ජිනාදරී රත්නසේකරට උපාධි ගුරුපත්වීම ලැබුණේ, නගරයේ මිශ්‍ර පාසලකට ය. උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම ඇයට ඉතාම ප්‍රියමනාප විය. සිත නිදහස් කර ගනිමින්, දරු දැරියන්ට සමීපව රාජකාරියෙහි යෙදීම නිසා නව පණක් ලද සේ ඇය පිබිදිණි.

ඇගේ කඩිසර, ප්‍රියමනාප ගතියට බෙහෙවින් ඇලුම් කළ, සිංහල විෂය භාර මනමේන්ද්‍ර ගෙන් ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් විණි. ඔහුගේ පෞරුෂය ප්‍රිය කළ ද ඇය යෝජනාව පිළිකෙව් කළාය. තවමත් ඇගේ ගේ යටි සිතෙහි වංශනාථ සැඟවී සිටින බව සිහි කරමින්, තව දුරටත් නිදහස්ව සිටීමට අදිටන් කර සිටියා ය.

තම පියා විසින්, ඔහු ගේ හිත මිතුරකුගේ පුත්, පරාක්‍රම නිවසට කැඳවූයේ මේ අතරතුරදී ය. ජිනාදරී එයට එකඟ නොවුව ද පියා පරාක්‍රමට තම දියණිය විවාහ කරදීමේ අදහස අකාමකා දැමීමට කැමති ‍නොවීය.

ඔවුන් ගේ ඇරයුමෙන් පරාක්‍රම අවස්ථා කිහිපයක දී ම නිවසට පැමිණ, ජිනාදරී සමඟ කතාබහ කළේය. නමුදු ජිනාදරී විවාහ නොවන්නේ කිසියම් වෙනත් සබඳතාවයක් නිසා බව දෙමවුපියනට ඉව වැටී තිබිණි. කෙසේ නමුදු අවසානයේ දී දෙමව්පියන් ගෙනආ යෝජනාවට කැමති වීමට ජිනාදරීට සිදුවිය. තවදුරටත් වංශනාථ ගැන සිතමින් මනසට වධදීම ඒ වන විට වෙහෙසකර බවක් දනවමින් තිබිණි.

පරාක්‍රම කඩවසම් තරුණයෙකි. බැංකු කළමනාකරුවෙකි. දවසින් දවස ළෙන්ගතු වෙමින් ඇය ගේ සිතට පිවිසීමට ඔහු සමත් විය. අතීත සබඳතාවයෙහි සියලු නටබුන් යළි භූගත කර, පරාක්‍රම සමඟ විවාහ වීමට ඇය අවසානයේ සිත හදාගත්තාය.

කල්පනා සයුරෙන් මතු වූ සිරිතුංග හාමිනේ ගේ මතකයට පරාක්‍රම තමන්ට සැලකූ අයුරු ද බොහෝ සුළු දෙයක් පවා ඔහු අවධාරණය කළ බව ද එක් වරක් ඇය ලියූ නිසදැසකට ඔහු ප්‍රතිචාර දැක්වූ පිළිවෙළ ද සිහිපත් විය. එම පබැඳුම තවම මතකයෙහි ඇත.

“රන්හුය අත් බැඳ එදා මෙදා තුර

දස වසරක් ගෙවුණා.

කල්ප කාල දුටු සොඳුරුම සිහිනය

බොඳවන බව දැනුණා....

ඒ පින් මහිමය දෝත දරන්නට

පෙරමින් නැති බව හැඟුණා.

මියෙන තුරාවට

නොනිවෙන ගින්නක

දැවෙනා බව දැනුණා“

දරුවෙක් වෙනුවෙන් නොකළ දෙයක් නොගිය තැනක් නැති තරම්ය. වරක් කුසෙහි පිළිසිඳි දරුවා උපතෙහි දී ම මිය ගොස් තිබිණි. මේ කව ලීවේ ඒ දුකින් කම්පනයෙන් දැවෙමින් සිටියදීය. සිතේ නොමැකී රැඳුණු දිනයක් ඇයට සිහිවිය.

එදින ඔහු නිවසට පැමිණියේ පුවත් පතක් අතැතිවය.

“ජිනා, මෙන්න පත්තරේ...”

“ඇයි පරා, මොකක්ද විශේෂය....?”

“බලන්න.... බලන්න....” ඔහුගේ ස්වරය වෙදනාකාරිය. කිසිවක් සිතා ගැන්මට නොහැකි වූ තැන ඇය පත්තරය දිගහැර බැලුවාය.

“ආ... ඒක පළ කරලා...!” තම කවිය පළවීමේ සතුට බෙදාගන්නට කෙනෙකු ඇයට ඕනෑ විය. පරාක්‍රම හාන්සි පුටුවේ හිඳිමින් ඈත අහස දෙස බලා සිටියේ ය. එහෙත් ඒ මුවෙහි සිනාවක සේයාවක්වත් නැත.

“ජිනා, මං කී දවසක් නම් කීවද ඔය දේ අමතක කරන්න. ඔයා, ඔයා ගේ හිත විතරක් නෙවෙයි මගේ හිතත් පාරනවා. ප්ලීස්... ආයෙමත් ලියන්න එපා. ඔය ලතෝනියට මං කැමති නෑ.”

හිතේ දුකට පරාක්‍රම ගේ වචන මුසු වීමෙන් දෑසෙහි කඳුළු පිරුණු ඇය හැඬුවාය. ඉකි බිඳිමින් හැඬුවාය. එදෙස නො බලා නිහඬව සිටි පරාක්‍රම ටික වේලාවකින් ඇය ද කැටුව ගෙතුළට ගියේය.

“ජිනා, අපට දරුවෙක් හදන්න බැරි බව අපි දෙන්නම දන්නවා. මටත් ඔයාට වගේම ඒකේ අමිහිර දැනෙනවා... ඒත් මං කැමති නෑ ඒ මත්තේ ජීවිතේ තිත්ත කර ගන්න. ප්ලීස් අපි එ්ක අමතක කරමු“.

සීලිම දෙස බලාගත්වනම හිඳිමින් ඔහු එසේ පැවසුවේ ඇ‍ඳෙහි අනෙක් පසින් සිටි ජිනාදරිය ගේ ළය මත දකුණත තබමින් ය. ඇයට ඔහුගේ අතෙහි උණුසුම තදින්ම දැණිනි

“නෑ... සත්තයි. මං ඒ ගැන හිතන්නෙ නෑ... සමාවෙන්න... ඔයාගේ හිත පෑරුවාට...” යයි කීවාය.

එදින තරම් පරාක්‍රම ආදරය පෙන්වූ දිනයක් නැති තරම් යයි ඇයට සිහිවිය.

ඉන්පසු ජීවිත නිදහසේ ගලා ගියේය. දුක සැප මුසු වුව ද සාමකාමී සහජීවනයෙන් කැදැල්ල රසවත් අන්දරයක් විය. එහි ඛේදවාචකය වූයේ නොසිතූ ලෙස සිදු වූ තම ප්‍රියයා ගේ නික්ම යාමය.

මේ සියල්ල සංසාර දහම යයි සිතමින්, ඇය කල්පනාවෙන් මිදී, ඡායා රූප ඇල්බමය අල්මාරියට දමා යතුරු ලෑවා ය.

මැටිල්ඩා ගේ ශබ්දයක් නො ඇසේ. ඇගේ වැඩ අවසන් වූවා විය හැකිය. ඇය හමුවීමට සිරිතුංග හාමිනේ නිවෙස පුරා ගියාය.

“මැටිල්ඩා, තේ එකක් බොමුද....?”

සිරිතුංග හාමිනේ හඬ නඟා ඇය ඇමතුව ද පිළිතුරක් නොලදින්, මැටිල්ඩා ගේ කාමරයට ගියා ය. මැටිල්ඩා තද නින්දෙහි ය.

“පව්.... මහන්සියටම නින්ද ගිහින්...” කියමින් දොර අඩවල් කළ සිරිතුංග හාමිනේ තේ කෝප්පයක් සාදා ගැනීමට මුළුතැන් ගෙට ගියාය. කිරිපිටි, සීනි, තේ කහට මුසුව දුම් නඟින තේ බඳුනෙන් නැ‍ඟෙන සුවඳ මිහිරි ආස්වාදයක් දැනවීය. ඇය විසිත්ත කාමරයෙහි අසුන් ගෙන, රූපවාහිනිය ද නරඹමින් තේ පානය කළේ, හෙට දිනයේ දී සිදු කෙරෙන පින් කටයුත්ත පිළිබඳව සිතෙහි නැ‌ෙඟන සතුට විඳිමින් ය.

පසුදින ඔවුන් “සංහිඳ” විශ්‍රාම ශාලාවට යනවිට දහවල් දහයට ආසන්න වී තිබුණි. නවාතැනෙහි සේවකයන් දෙදෙනා ගේ ද සහාය ඇතිව, ප්‍රේමසිරිගේ වෑන් රියෙන් ගෙන ආ සියලු දෙය ගෙතුළට ගත් මැටිල්ඩා ඒවා නිසි ලෙස එක් තැනෙක රැස්කර තැබුවාය.

හරිත වර්ණිත වන උයනක් වැනි එහි අවට තරමක් උසට නැගි ඇසළ ගස් කහ මලින් සුසැදි මනස්කාන්ත දසුනක් මවා ඇත. නිවාසය ඉදිරි පස සැලසුම් කළ මල් පාත්ති රැසකි. වර්ණවත් චිත්‍රයක් සේය. පිටුපසින් භෝග, එළවළු වගාවන් ය. අක්කරයක පමණ වූ ඉඩමේ නිවාසය පරිසරයට මධ්‍ය ගතව පිහිටි, පැරණි සහ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිතව ගොඩ නැඟුවකි. මෙය වයෝවෘද්ධයන් ගේ සිත් සතන් නිවා සැනසීමට කදිම ඔසුවකැයි සිරිතුංග හාමිනේ සිතිණි.

මෙහි නිවැසියෝ විසි තුන් දෙනෙකි. ඔවුන් තමන් රිසි දෙයෙහි නිරතව විවේකීව පසුවනු ඇය දුටුවාය.

දිවා ආහාරයට පෙර, ඔවුන් ගෙන ආ, කේක් කෙසෙල් ගෙඩි, අතිරස, වැලිතලප ආදිය කඩදාසි පිඟන්වල අසුරා තැබූ මැටිල්ඩා කිරි පැකැට්ටුව බැගින් ද ඒවා අසල තබමින් තේ පැන් සංග්‍රහය පිළ‍ියෙල කර තිබුණි. නිවැසියෝ මහත් රුචියකින් සංග්‍රහය පිළිගත්හ.

ඔවුන් සතුටින් සංග්‍රහය භුක්තිවිඳිනු දුටු සිරිතුංග හාමිනේ ගේ දෑස තෙත් වූයේ, “මේ ගමනට පරාක්‍රමත් හිටියානම්” යන සිතුවිල්ල නිසාය.

ඇය අවට බැලුයේ දෑස් හී නැඟි කඳුළු කිසවෙකුටවත් නොපෙන්වන්නටය. ඒ ඇසිල්ලේ ඇය දුටුවේ මිදුලේ කොණක වූ සුවිසල් උණ පඳුර යට රවුම් මේසය අසල පුටුවක වාඩි වී කෙනෙකු පොතක් කියවන අයුරුය. ඇය ඒ අකුරු කියවන්නට උත්සාහ දරුවාය. ‘සම්භාව්‍ය රුසියන් කෙටිකතා‘ එබඳු පොතක් කියවීමට තරම් රසඥතාවයකින් යුතු මහල්ලා සමඟ කථා කිරීමට, ඇගේ සිතෙහි නලියන හැඟීමක් ජනිත විය. ඇය සෙමෙන් එදෙසට පියමැන්නාය.

“මමත් හරිම ආශාවකින් කියවන පොතක්.” ඕ කීවාය.

“හ්ම්.... මෙහේ පුස්තකාලෙ හොඳ පොත් තියනවා.... මිස්ට පතිරණ ගෙන් ඉල්ලගන යන්න පුළුවනි...”

ඔහු කථා කළේ පොතට යොමු වූ දෑස් ඉවතට නොගෙන හිඳිමින් ය.

“වුවමනා නැහැ. මට පොත් තියනවා. මං ඇහුවට කමක් නැද්ද. මහත්තය ඔය පොතට කැමති ඇයි කියලා....?”

“කාරි නැහැ. මේ පොතේ හුඟක් තැන්වල මං ඉන්නවා. ඒකයි.”

“ඒක සාර්ථක උසස් කෙටිකතා ලක්ෂණයක්...!”

ඇය විචාරාත්මක විලාසයෙන් කීවාය.

“ඔව්... “සහෘද” වීමක්.... පිළිතුරු ලෙසින් ඔහු පැවසීය.

සිරිතුංග හාමිනේට ඔහු සමඟ කථා කිරීමේ රුචිය තවත් වැඩී යනු දැනිණි.

“අපි ටිකක් කථා කරමුද....?” කියමින් ඇය අසල වූ පුටුවක් ගෙන ඔහුට මුහුණලා වාඩි විය.

“පෙන්ෂන් යන්න කලින් මොනවද කළේ....?”

“එකක්, දෙකක් අන්තිමට ගුරුකම... ඉගැන්නුවේ ආර්ථික විද්‍යාව....”

“උපාධි පත්වීමක් ද?”

“ඔව්....”

“කොහේ ද....”

“කොළඹ....”

“කළම්බු කැම්පස්..! අවුරුද්ද..?”

“හැට හත - හැත්තෑව....”

“මමත් හිටියනේ.. එකම බැච් එක...”

“ඔව්.. මං දන්නවා...”

“මාව දන්නවා ද...?”

“ඔව්....” පො..ල්..කිච්චි... “ජින්” උන් නම් දැම්මේ එහෙමනේ.... මං ජසියා”

“දෙයියනේ, වංශනාථ! මේ ඔයා...!”

“කෑ ගහන්න එපා....! කියමින් ඔහු මුහුණ පොතෙන් ඉවතට ගෙන ඇගේ වත දෙස එක එල්ලේ බැලුවේය.

ඇගේ සිත බෙහෙවින්ම සසල විය. සිරුර වෙවුලන සේ ඇයට දැනිණි. ඕ අත් බෑගය විවර කර ලේන්සුව ගෙන දහඩිය පිස දැමුවාය. යළි වචන පෙළ ගැස්වීමට මඳක් පමාවිය.

“මං මැරි කරන්නේ නැතිව කාලයක් බලා සිටියා... ඇයි මාව මඟ ඇරියේ...?”

“ඒක ලොකු පැටලෙන කතාවක් ජින්....”

“අනේ කියන්න වංශා..මට අහන්නම ඕනෑ....”

“කියන්නං..මං හිතුවෙ නෑ කවදාවත් මේක කියන්න ඔයාව මුණ ගැහෙයි කියලා...”

දැන් සිරිතුංග හාමිනේ වංශනාථ ඉදිරියෙහි සරසවියේ ‘ජින්” ය. “පොල්කිච්චි” ය. ඔහු එසඳ ඇගේ ප්‍රේම වසන්තයේ සුපිපි පුෂ්පය. “වංශා” ය. නැතහොත් ළෙන්ගතු “ජසියා” ය.

තුරුණුවියේ පෙම්කතාව දෙදෙනාට ම නව නළු රස මුසුය. එහි අනුවේදනීය නිමාව ගැන ඇයට තිබුණේ දුකකි.

“උපාධියෙන් පස්සෙ මං කැම්පස් එකෙන් මතුවුණ විමුක්ති කණ්ඩායමට බැඳුණා. සමාජ, ආර්ථික විෂමතාවයට, අසාධාරණයට විරුද්ධව අරගල කළා. සටන් පුහුණු වුණා. කැලේ හිටියා.. කෑවෙ නෑ. බීවේ නෑ... නොවින්ද වේදනාවක් නෑ...”

ඔහු ඉතාමත් අමිහිරි වූ කතාව නතර කර ඇය දෙස බලා සිටියේ ය. වියපත් ඒ නෙත් යට සැඟව ඇති ප්‍රේමය හඳුනා ගන්නට ඇය ඔහු දෙස හොඳින් බලාසිටියාය.

“ඉතිං ඊට පස්සේ....?” වංශනාථ සරදමට මෙන් සිනාසුණේය.

“ඉස්සරත් ඔයා ඔහොමමයි. අපි මොනවා හරි කියනකොට, “ඉතිං ඊට පස්සෙ” කියනවා. මතකද අන්තිමට අපේ ක්ලික් එකේ අය, ඔයාට “ජින්” නොකියා “ඉතිං ඊට පස්සෙ” කියලා නමක් පටබැන්දා....”

සිරිතුංග හාමිනේ ලේන්සුවෙන් කට වසාගෙන සිනහ වෙන්නට විය.

“ඔයාට ඒවා තාම මතකද වංශා...?”

“අනේ ඔව් ජිනා, ඒවා මට කවදාවත් අමතක වෙන එකක් නෑ....”

“ඉතිං ඊට පස්සෙ ඔයා මැරි කරාද....?”

“නැහැ ජින්... මට තවත් කෙනෙක් ගැන හිතුනෙම නෑ..... මගේ රස්තියාදු චරිතෙත් අරං ඔයා ළඟට එන්න හිතුණෙත් නෑ. ඔයා හොඳින් වග දැන ගත්තම හිත හදාගත්තා....”

“කොහොමද මං ගැන දැන ගත්තේ....?”

ජස්ටින්ගේ මළගමට මාත් හදිසියෙම ගියා. මට එදා සඳුනියි, මාධවියි මුණ ගැහුණා. එයාලා විස්තර මට කීවා...”

අනතුරුව, ඔහු රැකියාවට යාම, නිදහස් චින්තන මතධාරියකු වීම, තනියට සිටි මව මියයාම ආදී බොහෝ තොරතුරු ඇය උපේක්ෂාවෙන් අසා සිටියා ය.

“එතකොට ඔයා මෙතැනට ආවේ...?” ඔහු මඳක් නිහඬව සිටියේ ය.

“ඉතිං ඊට පස්සේ....?” ජිනා ගේ විමසීමට යළිත් ඔහු සිනාසුණි.

“ඒක තමයි මගේ ඛේදවාචකය ජිනා.... මං ඒක කාටවත් කියන්න කැමති නෑ... ඒත් ඔයාට කියන්නං.”

“මගෙ අම්මත් නැති වෙලා මං තනියම ගෙදර හිටිද්දි යාළුවෙක් මා එක්ක නතර වෙන්න ආව... අපි ඉතින් කාල බීලා සතුටින් හිටියා. මිනිහා කළේ එක එක බිස්නස්... ඒ වැඩවලට ප්‍රයිවෙට් බෑන්ක් එකකින් ලොකු ණයක් ගත්තා. පළවෙනි ඇප කාරයට මං අස්සන් කළේ. නමුත් එයා ඒ ණය ගෙවලා නැහැ. ඒ වන විට පොලියත් එක්ක කෝටි දෙකකටත් වැඩියි. මිනිහා මගේ ගෙදරින් ගිහින් අවුරුද්දකුත් පහුවෙලා. බැංකුවෙන් මාව හොයාගෙන ආවා. ඒ මුදල මට ගෙවන්න කිව්වා. මං හැංඟි හැංඟි හිටියා. නමුත් අවසානයේ ඉඩමයි, බැංකුවේ තිබුණු සල්ලි ටිකයි සේරම දීල මං නිදහස් වුණා. අවසානයේ යන්න එන්න තැනක් නැති නිසා මෙතැනට ආවා.

“එතකොට ණයගත් මිනිහා?”

“එයා දැන් රටෙත් නෑ.... කොහොමත් මට මෙතන හොඳයි...

සිරිතුංග හාමිනේ සුසුමක් හෙළුවාය. ඇගේ හිස මත මහා බරක් පතිත වූවා සේ දැනිණි.

දිවා ආහාරයට වේලාව ළංවී ඇති බැවින් ඇය කෑම කාමරයට පිවිසියා ය. මැටිල්ඩා කෑම මේසය අපූරුවට පිළියෙල කර තිබුණි.

විශ්‍රාමිකයෝ ද, අමුත්තෝ ද එක්ව ආහාර ගත්හ. ප්‍රණීත ආහාර පානාදියෙන් ද සුහද කතා බහෙන් ද කවුරුත් සෑහීමකට පත්ව සිටියහ. ඔවුහු සිරිතුංග හාමිනේට තුති පුද කර යළිත් තම තමන්ගේ කාර්යයයන් හී නිරත වුහ.

වංශනාථ විවෘත ආලින්දයේ ඇඳි පුටුවක වාඩි වි බොහෝ ඇත බලා සිටින්නට විය

“ලෑස්ති වෙන්න දැන් අපි යමු...”

ඔහු අසලට පැමිණි සිරිතුංග හාමිනේ කීවාය.

“අනේ බැහැ ජීන්.... මේ නහින දෙහින කාලේ.. ඉතුරු ටිකත් මෙහෙම ගෙවුනාවෙ... ඔයාට පුළුවන් නං ඉඳහිට මාව බලන්න එන්න.”

“වංශා මේ අහන්න... ඔයාට ඉන්න පුළුවන් වෙයි. ඔයා හිතනවද මට ගෙදර ගිහින් හිත හදාගන ඉන්න පුළුවන් කියලා... දරුවෙක් නැතුව, මහත්තයත් නැතුව මගේ හිත තනිවෙලා තියන තරම ඔයාට හිතන්න බැරිද....?”

“වංශා, අපි දැන් අපිස් ජීවිතයට ළංවුණත් “මනුස්සකම” වයසට යන්නේ නෑ...

“යමු... අපි යමු වංශා...”

නිවාස පාලක පතිරණ මහතා ලිපි ලේඛන ගොනුවක් ද සේවකයකු විසින් ගෙන එන ලද බෑගය ද සිරිතුංග හාමිනේට භාර දුන්නේ ය.

“වංශනාථ මහත්තය යන්න. “නංගි” මට විස්තර කිව්වා. පස්සෙ අපිව බලලා යන්න එන්න...” කියමින් ඔහු සමුගෙන ඉවත් විය.

“මං කිව්වා ඔයා මගේ ලොකු අම්ම ගේ පුතා කියලා.... මං ඔයාගෙ ‘නංගී’ කිව්වා.

වංශනාථට මඳ සිනාවක් නැඟිණි..

“ජීන්... ජීන්... ජීන්... තවමත් ඉස්සර වගේම හිතුවක්කාරී....” කියමින් ඔහු අ‍සුනෙන් නැගී සිටියේ ය.

සිරිතුංග හාමිනේ ගේ දුරකථන පණිවිඩය ලැබී මඳ වේලාවකින්, වෑන් රථයෙන් රියදුරු ප්‍රේමසිරි පැමිණියේ ය. සේවකයන් ගේ සහාය ඇතිව මැටිල්ඩා හිස් බඳුන් ආදී සියල්ල පිටුපස අසුනෙහි තබා එම අසුනෙහිම වාඩි වූවාය.

සිරිතුංග හාමිනේ ගේ පිටට දකුණත තබා වමතින් ඇගේ අතින් අල්ලා ඇයට වාහනයට නැඟීමට උදව් කළ වංශනාථ රියට ගොඩ වී ඇය අසලින් වාඩි වී ඇගේ උරහිස් පිටුපසින් සිටින සේ ඔහු ගේ දකුණත අසු‍නේ උඩ කොටසෙහි පතිත කළේය.

නාලනී තෙන්න‍කෝන්

Comments