වොලිබෝල් පවුලෙන් ඉගෙන ගනිමු | සිළුමිණ

වොලිබෝල් පවුලෙන් ඉගෙන ගනිමු

 

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට සිදු වූයේ ය. ඒ පෙනි පෙනී තිබූ ශූරතාවක් තම දෑත් අතරින් ලිස්සා යෑමට සැලැස් වූ හෙයිනි.

එය එසේ වූයේ සම්පූර්ණයෙන් ම පුහුණුකරුවාගේ සදොස් තීර-ණයක සෘජු ප්‍රතිඵලයක් ලෙස බවට දිගින් දිගට ම චෝදනා එල්ල වූයේ ය. ගෝල තුනට එකක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මිනිත්තු දෙකේ දී ප්‍රතිවාදී කණ්ඩායමට ගෝල දෙකක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම එලෙස තමන් සතු ජයග්‍රහණය අහිමි කරගැනීමට ඉවහල් විණි.

අවසන් මහා තරග පරා-ජයෙන් අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ජාතික පුහුණුකාරීත්වය උසුලන විදේශීය පාපන්දු පුහුණුකරුවාගේ පැටිකිරිය සම්බන්ධයෙන් කාරණා ගලා එමින් තිබේ. ඒවාට අනුව කියැවෙන්නේ ඉතිහාසය තුළ ඔහු පුරුද්දක් ලෙස මෙවැනි අසාර්ථකතා ප්‍රදර්ශනය කළ පුහුණුකරුවකු බව ය.

මෙතැන දී අපට මතුවන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබේ. ඉන් පළමු වැන්න වත්මන් ජාතික පාපන්දු පුහුණුකරුට අදාළ වගකීම ලබා දුන්නේ ඔහුගේ ඉතිහාසය ගැන නිසි ලෙස සොයා නොබලා ද යන්න ය. දෙවැන්න ඔහු මෙවැනි අර්බුදකාරී තීන්දු ගන්නේ යැයි පැවසෙන්නේ නම් ඊට වඩා ප්‍රතිඵල ලබා දිය හැකි පුහුණුකරුවකු දේශීයව සිටී ද?

එසේ නම් ඔහු කවුරුන් ද? හා මෙතෙක් මෙතරම් දක්ෂතා ප්‍රකට කිරීමට අසමත් වූයේ ඇයි ද යන්න ය.

අප සිතන ආකාරයට බොස්නියා ජාතික පාපන්දු පුහුණුකරු අමීර් අලජික් අවසන් තරගයේ දී යම් සදොස් තීන්දුවක් අරගන්නට ඇතු-වාට සැක නැත. තරගය පැහැදිලි ව ජය ගෙන තිබිය දී අවසන් මිනිත්තු කීපයේ දී ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉවත්කර ඒ වෙනුවට නව ක්‍රීඩකයන් දෙදෙනෙක් ආදේශ කිරීම ගැටලු සහගත බව සැබෑ ය. එහෙත් දැන් සිදු කළ යුත්තේ එය සිදු කළේ කුමන කාරණයක් නිසා ද යන්න සම්බන්ධයෙන් බොස්නියා ජාතික පුහුණුකරුවාගෙන් නිදහසට කරුණු විමසීම ය.

මීට කෙටි කලකට පෙර මේ ආකාරයේ ම සිදුවීමක් ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ විදේශීය පුහුණුකරුවා සම්බන්ධයෙන් පැනනැංගේ ය. එහි දී සිදුවූයේ දක්ෂ ක්‍රීඩකයන් තිදෙනෙක් කණ්ඩායමට ඇතුළත් නොකොට තරගයක ක්‍රීඩා කර පරාජය අත්පත් කර ගැනීමට සර්බියා ජාතික පුහුණුකරුවා ක්‍රියා කර තිබීමයි.

ඒ සම්බන්ධයෙන් වහා සංවේදී වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කළේ විධිමත් පරීක්ෂණයක් පවත්වා අවසානයේ විදේශීය පුහුණුකරුවා වරදකරු බවට තීරණය කර පුහුණුකාරීත්වයෙන් නෙරපා හැරීම ය. අප කියන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ද වහා අමීර් අලජික් නම් බොස්නියා ජාතික පුහුණුකරුවා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු ය. තරගයේ වීඩියෝ දර්ශන, ඔහු අදාළ තීන්දු ලබා ගත් යම් යම් හේතූන් සඳහා ඉදිරිපත් කරන සාධාරණ හේතූන් මොනවා ද යන්න ගැන විමසා බැලිය හැකි ය.

අනික් කාරණය වනුයේ වත්මන් ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිල ට ද්විත්ව පුරවැසි භාවය සහිත ක්‍රීඩකයන් ගණනාවක් ක්‍රීඩා කරන හෙයින් එය ඉතිහාසයේ වඩාත් ශක්තිමත් පාපන්දු කණ්ඩායම ය යන්න ය. එවැනි කණ්ඩායමක් ජයග්‍රහණය කරා තල්ලු කරගෙන යෑම වෘත්තීයත්වයෙන් අඩු කණ්ඩායමක් ඉදිරියට රැගෙන යෑමට වඩා පහසු ය. එ් අනුව බලන කල වත්මන් පුහුණුකරුවාගේ භූමිකාව යළිත් විමර්ශනාත්මක තලයකට පැමිණීම සාධාරණ ය. එහෙයින් මේ සියල්ල සමෝධානික කර අමීර් අලජික් පුහුණුකරුවාගේ භූමිකාව සම්බන්ධයෙන් සාධාරණ විභා-

ගයක් සිදු කිරීම කාලීන අව-ශ්‍යතාවයකි. එයට ශ්‍රී ලංකා වොලිබෝල් පවුලෙන් කදිම පාඩ-මක් උගෙනීමට පාපන්දු පවුලට හැකියාව ඇති බව ද මෙහිලා සිහිපත් කළ යුතු ය.

 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කොවිඩ්

මේ අතර සිම්බාබ්වේ හරාරේ නුවරින් වාර්තා වන්නේ කනගාටුදායක තොරතුරකි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටින ක්‍රීඩිකාවන් තිදෙනකු කොවිඩ් වසංගතයට ගොදුරුව ඇති බව පැවසීම ඊට හේතුවයි.

 

පැසිපන්දු අනුශූරතාව

බංගලාදේශයේ ඩකා නුවර පැවැති 6 වැනි දකුණු ආසියා පැසිපන්දු ශූරතාවයේ අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම සමත් විණි. ඉන්දියාව හමුවේ ලකුණු 114 – 48 ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම අනුශූරතාවයට හිමිකම් කීවේ ය.

රටවල් 7 ක් නියෝජනය කළ මෙම තරගාවලියේ දී සත්කාරක බංග්ලාදේශයට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. අනුශූරතාව රැගත් ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම යූ.එල්. 200 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේ ය.

 

හය වැනි තැන

පසුගිය සතියේ පැවැති සත් සමාජික රග්බි තරගාවලියෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට හයවැනි ස්ථානය හිමි වූ අතර, කාන්තා කණ්ඩායමට හය වැනි ස්ථානයෙන් සැහීමකට පත් වීමට සිදුවිය.

 

සංගම් හයක් තහනම්

අන්තර්ජාතික ජයග්‍රහණ මෙරට ක්‍රීඩාවට ගලාගෙන එද්දී ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි එහෙත් ක්‍රියාකාරීත්වයෙන් තොර මෙන් ම නිසියාකාර ලියාපදිංචියක් නොමැති ක්‍රීඩා සංගම් 6 ක් තහනම් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමිනි.

ශ්‍රී ලංකා පවර්බෝට් සංගමය, ශ්‍රී ලංකා යුනිෆයිට් සම්මේලනය, ශ්‍රී ලංකා ගැම්බෝ සම්මේලනය, ශ්‍රී ලංකා ජුජිට්ස් සම්මේලනය, ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සම්මේලනය හා ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය මේ අතර වෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඇති 71 ක් වූ ක්‍රීඩා සංගම් සංඛ්‍යාව මේ අනුව 65 දක්වා අඩුව ඇති අතර, මෙයට පෙර ශ්‍රී ලංකා බාල් නැටුම් ( බෝල්රූම් ) සම්මේලනයද අහෝසි කෙරිණි.

අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා සුළං ඔරු සංගමයට ද අතුරු කමිටුවක් පත් කිරීමට ද උත්සුක විය.

 

 

මන්ත්‍රීත් බැඩ්මින්ටන්වලට ස්පාඤ්ඤයට

ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සහන් ප්‍රදීප් විතාන පසුගිය 23 වැනි දා ස්පාඤ්ඤය බලා පිටත්ව ගියේ ය.

 

ශ්‍රී ලංකාව අමෙරිකාව 200 කින් පරදවයි

 

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබේ සංචාරයක නිරතව සිටින අතර, සිම්බාබ්වේ හි හරාරේ නුවර දී අමෙරිකාව සමඟින් පැවැති පුහුණු තරගයෙන් ලකුණු 200 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගියදා සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 327 ක් ලබා ගත් අතර, අමෙරිකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

 

කබඩි විනිශ්චයේ අවුල

 

ජාතික තරුණ සේවා සභාවේ සංවිධානයෙන් පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කබඩි තරග විනිශ්චය කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය තිරණය කර තිබිණි. පසුව අදාළ බලධාරීන්ගේ මැදිහත්වීම මත එම ගැටලුව නිරාකරණය කර ගැනීමට සමත් වුවත් මෙම වර්ජනය හේතුවෙන් කබඩි තරග සඳහා විශාල අමතර වියදමක් දැරීමට ද සිදුව ඇතැයි පැවසේ.

 

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙනුත් ලෝකඩ පදක්කමක්

බහරේන් අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ දී සචින් ඩයස් හා බුවෙනක ගුණතිලක ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ හ. පිරිමි යුගල තරග ඉසව්ව නියෝජනය කළ සචින් හා බුවෙනක ඉන්දුනිසියාවේ පුත්‍රා එර්වියන්සා හා හරපාන් රින්දොර්න්දෝ හමුවේ 19 21, 21 – 16 ක් හා 21 – 17 ක් ලෙස පරාජයට පත් විණි.

ගීෂා මුණසිංහ

Comments