පළමු ඉනිමට වඩා දෙවැනි ඉනිමේ කැපී පෙනෙන රංජන් මඩුගල්ල | සිළුමිණ

පළමු ඉනිමට වඩා දෙවැනි ඉනිමේ කැපී පෙනෙන රංජන් මඩුගල්ල

 

'ඔහු රට තුළ ප්‍රසිද්ධ වූයේ බොහෝ කලකට පෙර ය. එහෙත් ඔහු ලොවේ පරසිඳු වූයේ වසර කීපයකට පෙර සිට ය. ක්‍රියාවෙන් ඇසුරෙන් උත්තුංග මහත්මා ගුණයෙන් හෙබි මිනිසකු වූ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ඉනිමට වඩා දෙවැනි ඉනිම ප්‍රතාපවත්ය. මේ ඔහු තැබූ නව වාර්තාවක් ගැන ය.'

ජාත්‍යන්තරයේ, ශ්‍රී ලංකා නාමය රැව්පිළිරැව් නංවන ක්ෙෂ්ත්‍ර අතර ක්‍රිකට් ක්‍රීඩාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ, විනිසුරුවෝ, උප-දේශකයෝ, පුහුණුකරුවෝ රාශියක් එක් ව එදා ‍මෙදා තුර ශ්‍රී ලංකා නාමය ලෝකයට රැගෙන ගිය හ. ඒ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ ප්‍රධාන ක්‍රිකට් තරග තීරකවරු ද වෙති. රොෂාන් මහානාම, සිදත් වෙත්තමුණි සහ රංජන් මඩුගල්ලේ ලක් මව් නාමය ලෝ තලයේ බැබළ වූ ක්‍රිකට් තීරකවරුන් කිහිප දෙනෙකි. ඒ අතරිනුත් රංජන් මඩුගල්ලේ නාමය අද වන විට ලොව ක්‍රිකට් තීරකවරුන් අතර සන්නාමයක් බවට පත් ව තිබේ.

 

රංජන්ගේ ක්‍රිකට් දිවිය

රංජන් මඩුගල්ලේ 20 වැනි සියවසේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැ‍කෙන සටහන් තැබූවෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඔහු රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටනෙහි ශත සංවත්සර තරගයෙහි රාජකීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නට තරම් භාග්‍යවන්ත විය.

ඉන් සිව් වසරකට පමණ පසු ව 1975 වසරේ දී සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියට අත්පොත් තැබුවේ ය. 1979 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති පළමු වටයේ තරගය මඩුගල්ලේ සහභාගී වූ මංගල එක්දින තරගය විය. 1982 වසරේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු අන්තර්-ජාතික ටෙස්ට් තරගය ද නියෝජනය කළ මඩුගල්ලේ එහි පළමු ඉනිමේ දී ලකුණු 65 ක් රැස් කළේ ය.

එම තරගයේ දී අර්ජුන රණතුංග සමඟ එක්ව පස් වැනි කඩුල්ල සඳහා ලකුණු 99 ක සම්බන්ධතාවක් පවත්වන්නට ද ඔහුට හැකි විය. 1988 වසරේ දී ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට මඩුගල්ලේ ටෙස්ට් තරග 21 ක ට සහභාගි වී ශතකයක් සහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 1029 ක් රැස් කර තිබිණි.

එසේ ම ඔහු එක්දින තරග 63 ක ට ක්‍රීඩා කළ අතර, එහි දී අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 950 ක් වාර්තා කර තිබේ. එසේම ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අනතර්ජාතික ටෙස්ට් තරග 2 ක දී සහ එක්දින තරග 13 ක දී කණ්ඩායම් නායකත්වය ද උසුලා ඇත.

 

අන්තර්ජාතික තරග තීරකවරයෙක් ලෙස

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිය ක්‍රිකට් දිවියේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔහු සිය ක්‍රීඩා දිවියේ දෙවැනි ඉනිමට පිවි-

සුණේ තරග තීරකවරයකු ලෙස ය. මඩුගල්ලේ අයි.සී.සී. තරග තීරක ධුරයට පත් වන්නේ 1993 වසරේ දී ය. අනතුරුව හෙතෙම 2001 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරග තීරක ධුරයට උසස්වීම් ලැබුවේ ය.

එදා සිට අද දක්වාම අඛණ්ඩව ඔහු අන්තර්ජාතික ක්‍රිකට් තරග තීරකයෙක් ලෙස කටයුතු කරමින් සිටී. මේ වන විට මඩුගල්ලේ අයි.සී.සී අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් (පිරිමි) තරග 200 ක් එක්දින (පිරිමි) තරග 369 ක් විස්සයි20 (පිරිමි) තරග 125 ක් සඳහා තරග තීරක දායකත්වය ලබා දී ඇත.

එපමණක් නොව අයි.සී.සී අන්තර්ජාතික කාන්තා එක්දින තරග 14 ක් සහ විස්සයි20 කාන්තා ක්‍රිකට් තරග 8 ක් සඳහා තරග තීරකවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

එසේම අන්තර්ජාතික ටෙ-ස්ට් තරග සහ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග වැඩි ම සංඛ්‍යාවක් සඳහා තරග තීරකවරයෙක් ලෙස කටයුතු කර ඇත්තේ රන්ජන් මඩුගල්ලේ ය. අන්තර්ජාතික විස්සයි20 තරග තුළ ද ඔහු එහි දෙවැනි වන්නේ නවසීලන්තයේ ජෙෆ් ක්‍රෝට පමණි.

ලොව පළමු වරට අන්තර්ජාතික ටෙස්ට් තරග 100 ක් මෙන් ම එක්දින තරග 150 ක තරග තීරක ධුරය හෙබවූ පළමු වැන්නා වන්නේ ද රන්ජන් මඩුගල්ලේ ය. අද වන විටත් ‍එහි 150 වන කඩඉම පසු කිරීමට මඩුගල්ලේ හැර ලොව කිසිදු තීරකවරයකුට අවස්ථාව උදා වී නැත. පසුගිය දා නිමාවට පත් වුණු ශ්‍රී ලංකා - බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරගයේ දී ද තරග තීරකවරයා ලෙස කටයුතු කළේ ඔහු ය.

මඩුගල්ලේ එහි දී සිය 200 වැනි අන්තර්ජාතික ටෙස්ට් තරගයට තීරක දායකත්වය ලබා දුන් අතර අන්තර්ජාතික ටෙස්ට් තරග 200 ක තීරක ධුරය දැරූ ලොව පළමු වැන්නා බවට පත් වන්නට ද ඔහුට අවස්ථාව උදා විය. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එම තරගය පැවැත්වුණු හෙයින් එය තම මව්බිම තුළ දී සමරන්නට රන්ජන් මඩුගල්ලේට අව-ස්ථාව උදා විය.

2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරන්නට ද තීරක රංජන් මඩුගල්ලේ ට අවස්ථාව හිමි විණි. හෙතෙම මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් තරග 694 ක ට තම තරග තීරක දායකත්වය ලබා දී තිබේ. ලොව වැඩි ම අන්තර්ජාතික ක්‍රිකට් තරග සංඛ්‍යාවට දායකත්වය ලබා දුන් තරග තීරකවරයා ලෙස ද ඔහු ඉදිරියෙන්ම රැඳී සිටින්නේ එහෙයිනි. එසේම අනාගතයේ ඔහු මෙම වාර්තාව රැගෙන යන්නේ කොතරම් දුරකටදැයි අපට සිතන්නට නොහැකි ය. අපි එය එසේ කියන්නේ රංජන් මඩුගල්ලේ යනු අපූර්ව මිනිසකු වන නිසාවෙනි. ඔහුගේ වදනින්ම එයට හේතු පැහැදිලි කරන්නේ නම්, “මම දවසක් උදේ නැඟිටිද්දී හිතුවා ක්‍රිකට් ක්‍රීඩා කළා ඇති කියලා. ඉතිං මම ක්‍රීඩාවෙන් විශ්‍රමා ගත්තා. යම් දවසක ක්‍රිකට් තරග තීරක වෘත්තිය ඇති යැයි මට සිතුණොත් ඊට පහුවෙනිදාම මම තීරක වෘත්තියෙන් විශ්‍රාම ගන්නවා.” යනුවෙනි.

පසිඳු මිහිරාන් රැටියල

 

 

Comments