ඔස්ට්‍රේලියාවේ දිගහැරෙන අළු බඳුන සටන ඉතිහාසය කෙටියෙන් | Page 2 | සිළුමිණ

ඔස්ට්‍රේලියාවේ දිගහැරෙන අළු බඳුන සටන ඉතිහාසය කෙටියෙන්

සුප්‍රකට ‘අළු බඳුන’ වෙනුවෙන් එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවේ මීළඟ තරගාවලිය මෙවර ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත ය. ලොව පැරැණිතම ටෙස්ට් ක්‍රිකට් තරග මාලාව ලෙස විරුදාවලි ලබා තිබෙන ඊට මෙවරත් ටෙස්ට් තරග පහක් ඇතුළත් කර තිබේ. දෙසැම්බැර් 8 වැනි දා ඇරැඹෙන මෙවර තරග මාලාව මසකට වඩා කාලයක් පැවැත් වෙයි. පසු ගිය වර ජයග්‍රහණය අනුව ‘අළු බඳුන’ සතුව ඇත්තේ ඔස්ට්‍රේලියාවට ය.

ඉතිහාසය

එංගලන්ත - ඔස්ට්‍රේලියා තරග මාලාව 1877 දී ඇරැඹෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේ පැවති මංගල තරගයෙනි. ඩී. ඩබ්ලිව් ග්‍රෙගරි මෙහෙය වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එම තරගයෙන් ලකුණු 45 ක ජයක් අත් විය. ජේම්ස් ලිලිවයිට් මෙහෙය වූ දෙවැනි ටෙස්ට් තරගය එංගලන්ත කණ්ඩායම ජය ගත්තෙන් ලොව ප්‍රථම ටෙස්ට් තරග මාලාව 1 - 1 ක් ලෙස නිමාව දුටුවේ ය.

දෙපිලේ ටෙස්ට් තරග අතරට ‘අළු බඳුන’ එක් වුණේ 1882 - 83 තරග මාලාවේ සිට ය. තරග 4 කින් සමන්විත වූ එහි ප්‍රථම තරගාවලිය අයිවෝ බ්ලයි මෙහෙය වූ එංගලන්ත කණ්ඩායමට තරග 2 ක් ද, විලී මර්ඩොක් මෙහෙය වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 2 ක් ද, ජය ගෙන සම තරගාවලියක් ලෙස එය ද අවසන් විණි. එතැන් සිට එංගලන්තය අට වතාවක් 1890 දක්වා අළු බඳුන දිනා ගත්තේ ය.

එංගලන්ත ආධිපත්‍ය බිඳදමමින් ඔස්ට්‍රේලියාව ‘අළු බඳුන’ තමන් සතු කර ගත්තේ 1891-92 තරග මාලාවේ දී ජේම්ස් බ්ලැක්ම් යටතේ ය. ඒ තරග 2-1 ක ජයග්‍රහණයක් ලබමිනි. ඔස්ට්‍රේලියාව වැඩි ම ජයග්‍රහණ මාලාවක් ප්‍රථම වතාවට වාර්තා කළේ 1934-50 කාලයේ ය. එය හය වතාවකි.

1938 එංගලන්තයේ ඕවල් පිටියේ දී එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවි ලකුණු 903 ක් රැස් කිරීම මෙම තරග මාලාවේ තවමත් ඉහළ ම ලකුණු වාර්තාවයි. එහි දී ලෙන් හටන් ලකුණු 364 ක ලෝක වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කළේ ය.

තරගාවලියේ අඩු ම කණ්ඩායම් ලකුණු වාර්තා කොට ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් විසින් 1887-88 තරගවාරයේ දී ලකුණු 42 ක් ලෙසය. සිඩ්නි පිටියේ දී වාර්තා වූ මෙම ඉනිම වසර 133 ක් තිස්සේ නොබිඳී ඇති වාර්තාවකි.

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments