උසට උසේ ක්‍රිකට් කෙල්ලය ඈ විසේ ජුලාන් ගෝස්වාමී ලොව උසින් වැඩිම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ඇයයි | Page 2 | සිළුමිණ

උසට උසේ ක්‍රිකට් කෙල්ලය ඈ විසේ ජුලාන් ගෝස්වාමී ලොව උසින් වැඩිම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ඇයයි

 

ලොව උසින් වැඩි ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ඇය ය. නමින් ජුලාන් නිෂිට් ගෝස්වාමී වන ඇය ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවකි. දකුණතින් පිත්ත හසුරු වන ඈ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන අතර, ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටත ම කාන්තා වේග පන්දු යවන්නියක ලෙස සැලකේ.

ජුලාන් ගොස්වාමී වන අපේ කතා නායි-කාව ඉපැදී ඇත්තේ 1982 නොවැම්බර් 25 වන දින බටහිර බෙංගාලයේ නාඩියා දිස්ත්‍රික්කයේ චක්දාහා නගරයේ මධ්‍යම පාන්තික පවුලක ය. ඇය වයස අවුරුදු 15 දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අතර, ඊට පෙර පාපන්දු රසිකාවියකි. ගොස්වාමී ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු වීමට පටන් ගත්තේ 1992 වසරේ සිට ය. ඒ ක්‍රිකට් කුසලානය රූපවාහිනියෙන් නැරඹීමෙන් අනතුරුව ය.

1997 පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිතිකාරිනී බෙලින්ඩා ක්ලාක් ඈ ක්‍රීඩාව කෙරේ ආකර්ෂණය කරවූ ප්‍රධාන ම ක්‍රීඩිකාව විය. එකල චක්දාහා ප්‍රදේශයේ ක්‍රිකට් පහසුකම් නොතිබූ බැවින් ගොස්වාමී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කොල්කටා වෙත යාමට තීරණය කළා ය.

කොල්කටා හි පුහුණුවීම් අවසන් වූ වහාම ඈ බෙංගාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කැඳවනු ලැබිණි. එවිට ඇගේ වයස අවුරුදු දහනවයක් විණි. මෙලෙස ඇරැඹි ඇගේ ක්‍රිකට් සංචාරය 2002 වසරේ දී එංගලන්තයට එරෙහිව චෙන්නායි හි පැවති එක්දින අන්තර්ජාතික තරගය සිය මංගල අන්තර්ජාතික තරගය බවට පෙරළාගන්නට ඇයට හැකිවිණි. ඇයගේ මංගල ටෙස්ට් තර-ගය පැවතුණේ 2002 ජනවාරි 14 වැනි දින එංගලන්තයට එරෙහි ව ලක්නව්හි දී ය.

ගොස්වාමී සහ මිතාලි රාජ් විසින් 2006-07

තරග වාරයේ එංගලන්තය පළමු ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මඟ පෙන්වී ය. එම තරග වාරයේ දී ම ගෝස්වාමී එංගලන්තයට එරෙහි ව ඔවුන්ගේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දායක වූ වා ය. ලෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී සැඳෑ ආරක්ෂිකාව ලෙස පිටියට පිවිසෙමන් අර්ධ ශතකයක් ලබා ගත් අතර, සිය වෘත්තීය දිවියේ හොඳ ම පන්දු යැවීම ද වාර්තා කළා ය.

ඇය 2007 වසරේ අයි.සී.සී. කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය සහ 2011 වසරේ හොඳම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි එම්.ඒ. චිදම්බරම් කුසලාන දිනා ගත්තා ය. ගොස්වාමී 2016 ජනවාරි මාසයේ දී අයි.සී.සී. කාන්තා එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්විය. මේ අතර 2018 අප්‍රේල් මාසයේ දී ඇයට ගෞරවයක් වශයෙන් ඉන්දියානු තැපැල් මුද්දරයක් ද නිකුත් කෙරිණි.

කාන්තා එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වැඩි ම කඩුලු ලාභිනිය වන්නේ ගොස්වාමි ය.

2018 පෙබරවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව කිම්බර්ලි හි දී පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගයේ දී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකාරිනී ලෝරා වොල්වාඩ්ගේ කඩුල්ල දවාගනිමින් ඇය එක්දින කඩුලු 200 ක් දවාගත් පළමු පන්දු යවන්නිය බවට පත්වූූූ වා ය.

පසුව 2008 දී මිතලි රාජ්ගෙන් කණ්ඩායමේ නායකත්වය ලබා ගත් ඇය 2011 දක්වා ඉන්දීය පිලේ නායකත්වය දැරුවා ය. 2008 දී ඇය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ කඩුලු 100 පසු කළ සිව්වැනි කාන්තාව බවට පත් විය.

ගෝස්වාමී එක්දින තරග 25 ක දී ඉන්දියාවට නායකත්වය දුන්නා ය. 2010 දී ඇය අර්ජුන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2012 දී ඩියානා එඩුල්ජීට පසු ව පද්ම ශ්‍රී සම්මානය ලැබූ දෙවැනි ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්විය.

ටෙස්ට් තරග 10 ක ට ක්‍රීඩා කර එහි දී කඩුලු 40 ක් දවාගෙන ඇති ඈ සමස්තයක් වශයෙන් තරග 223 ක දී අනතර්ජාතික කඩුලු 271 ක් දවාගෙන තිබේ. ලකුණු 1593 ක් රැස්කර ඇත්තේ අර්ධ ශතක 3 ක් සමඟිනි. ඇය 2018 වසරේ දී එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි ම කඩුලු ලාභිනිය බවට පත්වුණේ ඔස්ට්‍රේලියාවේ කැත්රින් ෆිට්ස්පැට්රික්ගේ කඩුලු 180 ක වාර්තාව පසු කරමිනි. දකුණු අප්‍රිකාවේ පැවති කාන්තා තරගාවලියක දී ඇය මෙම කඩඉම පසු කර ගියා ය.

2019 දී ජූලාන් එක්දින ක්‍රිකට් කඩුලු 200 සීමාව පසු කළ පළමු කාන්තා ක්‍රීඩිකාව බවට පත් විණි. ඇය තරග 166 ක දී කඩුලු 200 ක් දවාගෙන ඇති අතර එහි සාමාන්‍ය 21.76 ක් ලෙසින් සටහන් වෙයි. කඩුලු 5 බැගින් දෙවරක් හා කඩුලු 4 බැගින් 4 වතාවක් දවාගැනීමට ඈ සමත්ව තිබේ.

එක්දින තරගවල දී ඇය තරග 166 ක ට ක්‍රීඩා කර ලකුණු 995 ක් රැස් කරගෙන ඇත. 2011 දී

ඇය නවසීලන්තයට එරෙහිව ලකුණු 31 ක ට කඩුලු 6 ක් දවා ගෙන තිබේ. එසේම 20-20 අන්තර්ජාතික තරග 60 ක දී කඩුලු 50 ක් දවාගෙන ඇත.

ගොස්වාමී 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පැමිණි ඉන්දීය කණ්ඩායමේ සාමාජිකාවක ද වේ.

2017 දී චක්දාහ එක්ස්ප්‍රස් නමින් ජුලාන් ගොස්වාමී පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ද නිර්මාණය ‌විණි. එය සුශාන්ත දාස් විසින් අධ්‍යක්ෂණය කළ අතර, එංගලන්තයට එරෙහි ව ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වූ කොල්කටාවේ විවේකානන්ද පාක් දැල් හා ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටිය ආශ්‍රිත ව එය එලෙස නිර්මාණය වුණේ ය.

2018 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඇය අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ 300 වැනි කඩුල්ල දවා ගත් අතර, 2020 නොවැම්-බරයේ දී ගොස්වාමී ICC කාන්තා එක්දින

ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා ද නම් කරනු ලැබුණා ය.

පසු කාලීනව ගොස්වාමී ප්‍රධාන පුහුණුකරු රමේෂ් පවර් යටතේ ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකවරියක් ලෙස පත් කළේ ඇගේ ඇති විශිෂ්ට හැකියාවට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ලබා දුන් ඇගයීමක් වශයෙනි. මේ අතර ඇය ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩිකා පුහුණුකාරිනියක් ලෙසද කටයුතු කරයි.

 

උදුලා පීරිස්

Comments