අපි කාටවත් කඩේ යන්නේ නෑ | Page 2 | සිළුමිණ

අපි කාටවත් කඩේ යන්නේ නෑ

 

සබුද්ධි සම්මාන උළෙල සම්බන්-ධයෙන් විස්තර කළ හොත් ?

‘යහපත් පුරවැසි සමාජයක් උදෙසා’ තේමාව යටතේ පුරවැසි සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන අප සංවිධානය මෙරට මාධ්‍යවේදීන්, සාහත්‍ය ‍ෙව්දීන් සහ විද්‍යාර්තවේදීන් අගය කිරීම සඳහා මේ සම්මාන උළෙල පවත්වනු ලබනවා. 2016 වසරේ ආරම්භ කළ අප සංවිධානය මඟින් දෙවන වරට මෙම සම්මාන උළෙල දෙසැම්බර් 03 සවස 3.00ට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.

මේ ගමන පත්තර බලල දෙන සම්මාන උළෙලක්ද පවත්වන්නේ?

ඇත්තටම එහෙම නෙමෙයි. මෙරට ක්‍රීඩා සාහිත්‍ය කියන සංකල්පය හරිම අඩු මට්ටමකයි ක්‍රියාත්මකවයි පවතින්නේ. ඇමරිකාව, ජපානය, චීනය, ඉන්දියාව වැනි බොහෝ රටවල ක්‍රීඩා සාහිත්‍ය ඉහළ මට්ටමක පවතිනවා. අපේ රටේ ප්‍රමුඛ ව පවතින්නේ ක්‍රිකට් ක්‍රීඩාව පමණයි. නමුත් ඒක නෙමෙයි සිනමාව, ගීතය, පර්යේෂණ, ජන සංස්කෘතිය හා ජනස්තෘතිය තුළින් ක්‍රීඩා සාහිත්‍ය අධ්‍යයනය කරන්න පුළුවන්. එවැනි අංශයන්ගෙන් දක්ෂයන් විනිශ්චය මණ්ඩලයක වසරක් පුරා අධීක්ෂණයට ලක්කරලයි අපි සුදුස්සන් තෝරා ගත්තේ.

ක්‍රීඩා සාහිත්‍ය කියන්නේ මොකක්ද?

කිසියම් රටක් කුමන හෝ ක්‍රීඩාවක් නිරන්තරයෙන් ජයග්‍රහණය කරා ගෙන යෑමේ හැකියාව සකසා ගැනීම. උදාහරණයක් ලෙස ඇමරිකාව වගේ රටක් නිරන්තරයෙන් තමන්ගේ රට ජයග්‍රහණය සදහා ප්‍රවර්ධනය කළ හැකි දේහ ලක්ෂණ, ජානමය ලක්ෂණ, පරිසර සාධක, ආර්ථික සාධක සැලකිල්ලට ගෙන තමන්ට අභියෝගයක් වන තරගවලට මුහුණ දෙනවා. උදාහරණ ලෙස කෝවිඩ් වසන්ගත තත්වය හමුවේ ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකාව වැඩිම පදක්කම් ප්‍රමාණයක් ගත්තා. ඒක තමයි ක්‍රීඩා සාහිත්‍යය කියන්නේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ද විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

මෙවර සම්මාන උළෙලේ විශේෂත්වය කුමක් ද?

පළමු වතාවේ සම්මාන ලාභීන් හඳුනාගත්තට සුදුසු නිර්දේශ තිබුණේ නැහැ. උදාහරණ ලෙස ලැබුණු මුද්‍රිත පොත් 5කට සීමා වුණා. මෙවර ගැඹුරටම සොයා බලා ගිය වසර අත්දැකීම් අනුව මෙවර වසරේ හොඳම ජායාරූපය, වසරේ හොඳම ක්‍රීඩා චිත්‍රපටය, වසරේ හොඳම ක්‍රීඩා ගීතය, වසරේ හොඳම ක්‍රීඩා පර්යේෂණ නිබන්ධනය, වසරේ හොඳම ක්‍රීඩා විද්‍යාත්මක කෘති සහ වසරේ හොඳම ක්‍රීඩා ප්‍රකාශන ආයතනය යනාදියටද සම්මාන පිරිනමනවා.

මෙරට ක්‍රීඩා උපාධියක් ගත හැකි විශ්ව විද්‍යාල 3යි තියෙන්නේ. එනම් කැළණිය, ජපුර සහ සබරගමුවයි. ඒ විශ්ව විද්‍යාලවලිනුත් අපට ගන්න පුළුවන් මූලික උපාධියක් පමණයි. එම නිසා ක්‍රීඩා සාහිත්‍ය යේ දැනුම ගොඩක් අඩුවෙන් සිදුවෙන්නේ. ඒක හඳුනාගෙන ක්‍රීඩාව දිරි ගන්වන්න තමයි අපි මේ සම්මාන උළෙල විශේෂයෙන්ම පවත්වන්නේ.විශේෂයෙන්ම ආචාර්යවරු, විශ්ව විද්‍යාල සිසුන් සහ විද්‍යාර්ථයන් සම්මානයට ලක්කිරීම අපේ ඉලක්කය වී තියෙනවා.

මෙවර සම්මානයට ඉලක්ක කළ කෘති මොනවාද?

අන්තර්ජාලයේ පිළිගැනීමට ලක්වූ ක්‍රීඩා පර්-යේෂණ සහ ක්‍රීඩා නිබන්ධන.

පසුගිය වසරට වඩා මෙවර සම්මාන උළෙලේ වෙනස සඳහන් කළ හොත්?

අපේ ප්‍රතිපත්තියක් ලෙස විචිත්‍රත්වයට බර නොවී ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති වන අයුරින් සංවිධානය කෙරෙන සම්මාන උළෙලක් මෙවර පෙළගස්වා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල සහයෝගිතාවෙන් එක්වී සිදු කෙරෙන මේ සම්මාන උළෙලට SLT මොබිටෙල් දෙවන වරටත් සන්නාම අනුග්‍රාහන දායකත්වය ලබා දී තියෙනවා.

සුදුසුකම්ලාභීන් තෝරා පත්කරන්නේ කෙසේ ද ?

පස් දෙනෙකුගෙන් යුත් බුද්ධි මණ්ඩලයක අධීක්ෂණය යටතේයි. එම මණ්ඩලයේ සභාපති ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බී අබේකෝන්, කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය ෆාතිමා ශානාත්, කැලණි විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ සමන් ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතයි.

සම්මාන ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත් කැඳවීමක් සිදු කරනවාද?

අපි ඉල්ලුම්පත් කැඳවීමක් නම් කිසිසේත්ම කළේ නැහැ. නමුත් හැම මාධ්‍ය ආයතනයක්ම ප්‍රකාශන හා පුරවැසි අංශ යටතේ වසරක් පුරා අධ්‍යයනය කළා. මාධ්‍ය ආයතනවල ක්‍රීඩා ප්‍රවෘ-ත්ති වාර්තා කරණයත් තරගාවලි විකාශනයත් නෙමෙයි එතනින් ඔබ්බට ගොස් සියලු ම ක්‍රීඩා ආවරණය වන පරිදි සිදු කරන ලද වැඩ සටහන් විශේෂාංග ලිපි, ක්‍රීඩා සාහිත්‍ය චරිත, ක්‍රීඩාවේ අසිරිමත් සිදුවීම්, ක්‍රීඩාවේ දේශපාලනය,ක්‍රීඩාවේ සමාජ ලක්ෂණ, ක්‍රීඩාවේ සංස්කෘති, ක්‍රීඩාවේ ආර්ථිකය සහ දූෂණ,ක්‍රීඩාවේ වාර්ගිකත්වය, ක්‍රීඩාවේ නව දැනුම, ක්‍රීඩාවේ රාජ්‍ය තාන්ත්‍රික බව, ක්‍රීඩාවේ යහපාලනය, ක්‍රීඩාවේ මනෝවිද්‍යාව යනා දී පුළුල් ක්ෂේත්‍ර අධ්‍යයනයට ලක්කරලයි සම්මානලාභීන් තෝරා තියෙන්නේ.

මෙවරත් තමන්ගේ අයට සම්මාන බෙදන උළෙලක් වෙයිද?

කොහෙත්ම අපි මැදිහත් වෙන්නේ නැහැ. පත්කර ඇති විනිසුරු මඬුල්ලේ අවසන් තීන්දුව අනුව තමයි සියලු කටයුතු සිදු කෙරෙන්නේ. සමහර ඒවට සුදුසුකම් ලත් අය නැහැ කියනවා. එහෙමනම් අපිට පුළුවන්නේ අපේ අයට බෙදා ගන්න. පටු අරමුණක හිරවුණොත් නිවැරැදි අරමුණ කරා යන්න බැහැ.

මෙවර ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යවේදීන්ට සම්මාන තිබේද?

වසරේ සාහිත්‍යෙව්දියා තෝරා ගන්නා විට සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම කටයුතු කළ කෙනා තෝරා ගන්නවා. එසේම රන් සම්මානය හිමි වන්නේත් භාෂා එකකට වැඩියෙන් භාවිතා කර කටයුතු කළ කෙනාටයි.

මෙහිදී මූල්‍ය ත්‍යාගයක් හෝ ශිෂ්‍යත්වයක් එහෙම දෙනවද?

අපි ප්‍රතිපත්තියක් ලෙස මුදල් ත්‍යාග දෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී කෘති හා නිබන්ධන ප්‍රකාශයට පත්කිරීමට සහයෝගය ලබා දෙනවා. අපේ අරමුණ පුද්ගලයන් ප්‍රවර්ධනය නොව ක්‍රීඩා සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීමයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සම්මාන උළෙල වෙනුවෙන් අනුග්‍රාහකයන් හොයා ගන්න අපහසු වුණාද?

ඇත්තෙන්ම ඉතා දුෂ්කවුණා. නමුත් රටට වගකියන SLT මොබිටෙල් හා ද චාන්ස් ස්පොට්ස් ආයතනය එකතුවී මෙවරත් අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා. එම ආයතනවල සභාපතිවරුන් වන රොහාන් ප්‍රනාන්දු හා ලසන්ත අමරසිංහ යන මහත්වරුන්ට මෙහිදී මම ප්‍රශංසාව පිරිනමනවා.

වසරේ සුවිශේෂී සම්මානය මෙවරත් පිරිනමනවද?

සබුද්ධි සම්මානය මෙවරත් පිරිනමනවා. ඊට අමතරව ක්‍රීඩා සම්මානය වසරේ ක්‍රීඩා සාහිත්‍ය වේදියාට පිරිනමනවා.

 

සාකච්ජා කළේ- උදුලා පීරිස්

------------------------

අන්තර්ජාතික මලල ක්‍රීඩා පාඨමාලාව සම්පූර්ණ කරති

අන්තර්ජාතික මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරී අධ්‍යාපන සහතික පත්‍ර පාඨමාලාවේ ඉහළ ම සහතිකය හිමි කර ගත් කණ්ඩායම ඉහත ඡායාරූපයේ වේ.

දෙවසරකට වතාවක් පැවැත්වෙන ඉහළත ම තාක්ෂණ නිලධාරී අධ්‍යාපනික පාඨමාලා ව සඳහා 22 දෙනකු මෙවර සහභාගි වූ හ.

අසුන් ගෙන වම්පස සිට -ඊ. අරුලම්පලම් මිය (කථිකාචාර්ය) පී.එච්.ඩී. වෛද්‍යතිලක මහතා (පාඨමාලා අධ්‍යක්ෂ), මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා (සභාපති - ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය), ප්‍රේමා පින්නවල මහතා (ලේකම් - ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය), ජී.එල්.එස්.පෙරේරා මහතා (උප සභාපති - ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය) සහ ගීතා පතිරණවසම් මිය (කථිකාචාර්ය)

දෙවන පෙළ සිට ගෙන වමේ සිට - රංගිකා මහවත්ත මිය, මහේෂ් වැලිකල මහතා, එස්. තිරුමාරන් මහතා, එස්. ශිවපරන් මහතා, ටී. ප්‍රසාද් මහතා ,ඩී.එස්.එල්.පෙරේරා මහතා, එස්.වසන්ත කුමාර් මහතා, එන්. සතීස් කුමාර් මහතා, යූ. එස්. එන්. සේනාරත්න මහතා, ඊ.ඩී. කේ. සිරිවර්ධන මිය.

දෙවන පෙළ සිට ගෙන වම් පස සිට - එස්.මයුරන් මහතා, එස්.එස්.කුමාර මහතා, ජේ.ජයකාන්ත් මහතා, බී. ප්‍රදීපන් මහතා, ඒ.එස්. ප්‍රියන්තලාල් මහතා, වයි.ශිවකුමාර් මහතා, ඩී.දිවාකර් මහතා, කේ.සී ලක්මාල් මහතා, බී.ආර්.සේරසිංහ මහතා, කුමාරසිරි ද සිල්වා මහතා සහ ඩබ්ලිව්.ජී.ආරියසේන මහතා.

 

සපුමල් වීදියබණ්ඩාර

----------------------

නෙදර්ලන්තයට එරෙහි චමරිගේ ශතකේ

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරග වටය මේ දිනවල සිම්බාබ්වේ හි දී පැවැත් වෙයි. එහි දී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වේගවත් ශතකයක් රැස් කරන්නට සමත් වූවාය. චමරි එහි දී ලබා ගත්තේ සිය එක්දින ක්‍රිකට් දිවියේ සයවැනි ශතකයයි.

ඇය පන්දු 70 ක් තුළ දී ලකුණු 111 ක් ලබා ගත් අතර, එම ඉනිම හතරේ පහර 11 කි න් සහ හයේ පහර 5 කි න් වර්ණවත් විණි. ඇය ශතක සීමාව පසු කළේ තමන් මුහුණ දුන් 64 වැනි පන්දුවේ දී ය. චමරි සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ හසිනි පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක විශිෂ්ට ලකුණු සබඳතාවක් පැවැත් වූවා ය. චමරි එම තරගයේ දී පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් දවාගත් අතර දුවද්දී දවා ගැනීමකට ද දායක වූවා ය.

මීට පෙර මෙම තරගාවලි‍යේ ම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවති පුහුණු තරගයේ දී චමරි විසින් පන්දු 28 ක දී ලකුණු 41ක් ලබා ගන්නට සමත් විණි. ඇයගේ එම ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය.

 

------------------

ඇඹුල්ගෙන්, ප්‍රවීන්ගෙන් ක්‍රිකට් ඉතිහාසයට පැණිරස මතකයක්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයෙහි පෙරළිකාර භූමිකා රඟ දැක් වූ ප්‍රබල ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ බොහෝමයක් වෙති. ඒ අතරින් ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන්ට වඩාත් සුවිශේෂී තැනක් හිමි වෙයි.

මෑතකදී ටෙස්ට් ක්‍රිකට් පිටියට අත්පොත් තැබූ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම වර්තමාන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළිකාර චරිත ද්විත්වයකි. ඔවුන් දෙදෙනාම පසුගිය දා ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට සමත් වූහ. ඒ ශ්‍රී ලංකා - බටහිර ඉන්දිය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදීය.

එම තරගය ඇඹුල්දෙණිය සහභාගී වූ 12වන ටෙස්ට් තරගය වූ අතර ඔහු එහිදී ටෙස්ට් කඩුලු 50 සීමාව පසු කරන්නට සමත් විය. ඒ අනුව ඇඹුල්දෙණිය වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50 සීමාව පසු කළ තුන්වැනි ශ්‍රී ලාංකිකයා බවට පත් විය.එහි පළමු තැන තරග 11 ක දී කඩුලු 50 සීමාව පසු කළ ඩිල්රුවන් පෙරේරා සතු වන අතර ඇඹුල්දෙණිය සමඟ අජන්ත මෙන්ඩිස් එහි සම දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.

මෙම ටෙස්ට් තරගයේම කොදෙව් පළමු ඉනිමේදී ප්‍රවීන් ජයවික්‍රම විසින් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගන්නට සමත් විය. මෙම තරගය ප්‍රවීන්ගේ තෙවැනි ටෙස්ට් තරගය වූ අතර ඔහු මීට පෙර ඉනිම් දෙකේදීත් කඩුලු 5ක් සහ 6ක් දවා ගත්තේය. ඒ අනුව පළමු ටෙස්ට් ඉනිම් තුනෙහි කඩුලු 4ක් හෝ ඊට වැඩියෙන් දවාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක් විය.

පසිඳු මිහිරාන් රැටියල

Comments