මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතන වල නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය | සිළුමිණ

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතන වල නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති  වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
 
ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
 
ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා  ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙහි අරමුණ වේ
 
 ඊට සමගාමීව ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබේ. ඒ සඳහා වර්තමානයට ගැළපෙන පරිදි මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයේ සහ ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර  එම කාර්යයන් සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහ මාධ්‍ය, අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව කමිටුවක් පත් කිරීම  සිදු කෙරේ.
 
අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ  මාධ්‍ය හමුවට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා  පැවැසුවේ මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති  වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම තුලින් එම ආයතන ශක්තිමත් කිරීම ,එම සේවකයන් සෞභාග්‍යමත් සේවකයන් බවට පත් කිරීම මෙන්ම  එම ආයතන රටට බරත් නොවන ආයතන බවට පත්කිරීම මේ තුළින් හැකි වන බවයි.
 
දැනට තිබෙන අණපනත් යල් පැන ගිය ඒවායි.උදාහරණයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තු පනත සම්මත වී ඇත්තේ 1908 දී. ඒ වසර 113 කට පෙර.එයට අවසන් සංශෝධන එකතු වී ඇත්තේ 1973 දී .නව කාක්ෂණය උපයෝගි කරන්නාවු ක්‍රමවේද කිසිවන් ලෝකයේම නිසිලෙස ප්‍රමාණවත්ව   තැපැල් ක්ෂේත්‍රයට එක්වී නැහැ.
 
තැපැල් දෙපාර්තමේන්තුව නව මංපෙත් සොයා යාමේදී මෙය විශාල බාධාවක් .ගෙදර දොරකඩට යන රාජ්‍ය සේවකයා සිටින්නේ තැපැල් සේවයේයි.පසුගිය කොවිඩ් වසංගත තත්ත්වයේදී ගෙදරටම ඖෂධ ගෙනැවිත් දුන්නේ තැපැල් සේවකයායි.ග්‍රාමසේවා වසම් 14,000ක තැපැල් කාර්යාල 4463 ක් මේ සදහා දායක වුනා.තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින වෘත්තිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම  නව සංශෝධන මගින් හැකිවනු ඇති.
 
ඒ වගේම ගුවන් විදුලි සංස්ථා පනත 1967 දී ගෙන ආවා.එය සංශෝධනය වුනේ 1977 දී .එදා ගුවන්විදුලි යන්ත්‍රය සාලයේ තිබෙන ප්‍රධාන උපකරණයක් වුණා  අද එය තරංගයක් විතරයි.රූපවාහිනි පනත 1982ගෙන ආවේ .අවුරුදු 39 කට පෙර මේ නිසා මෙම ආයතන ශක්තිමත් කරන්න ,සේවකයන් සෞභාග්‍යමත් කරන්න ,මේ ආයතන රටට බරක් නැති ආයතන කරන්න ඩිජිටල්කරණයට අප සූදානම් වනවා.ජපානයත් සමග අප එම කටයුතු කරන්න සුදානම් .මේ කටයුතු සදහා  ,වසර 04 ක කාලයක ඉලක්කයක්  අප හඹාගෙන යනවා.එයට අදාල නව නිති රීති රැසක් හඳුන්වා දිය යුතුයි.යැයිද ඇමැතිවරයා කීය.
 
 
 

Comments