හුඹස් පෙට්ටියේ පුස් කන අශ්ශීල ප්‍රකා­ශන පනත | සිළුමිණ

හුඹස් පෙට්ටියේ පුස් කන අශ්ශීල ප්‍රකා­ශන පනත

හන්තුඩාව බොහෝ ප්‍රසිද්ධියට පත් වූයේ එහි සුන්දරත්වය නිසාම නොවේ. ඒ ශ්‍රි ලාංකික යුවළක් විසින් ප්‍රසිද්ධ නිල් චිත්‍රපට වෙබ් අඩවියකට සම්බන්ධ වෙමින් ලිංගික ජවනිකාවක් විඩියෝගත කිරීමය. 2012 වසරේ සිට 2016 දක්වාත්, මේ වසරේත් ගූගල් හි ‌”Sex” යන වචනය වැඩිපුරම සෙවුම් කළ රටක් වූයේද ශ්‍රී ලංකාවයි.

 

අශ්ශීල ප්‍රකාශන සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීමට මේ වන විටත් බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වී ඇති අතර ඒ අනුව මෙවැනි අශ්ශීල ප්‍රකාශන තහනම් කිරීම සම්බන්ධ පනතක් ගෙන ඒමේ කටයුතු සිදු වෙමින් පවතියි. එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කර ඇති අතර කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට හිමි ව ඇත. මීට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 හා 289අ වගන්තීන්ද පරිච්ඡින්න කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත.

අසභ්‍ය, අශ්ශීල චිත්‍රපටයක්, වීඩියෝ පටයක් හෝ ප්‍රකාශනයක් යනු කුමක්දැයි‌ නිශ්චිතව නිර්වචනයක් නැත. යම් ප්‍රකාශනයක් ඇතැමෙකුට “අශ්ශීල” හෝ “අසභ්‍ය” විය හැකි වුවත් ඇතැමකුට අනුව එය එසේ නොවි “සභ්‍ය” විය හැකිය.

“මෙවැනි පනතක් ගෙන ඒමේදි රජය විශේෂ අවධානයක් ඊට යොමු කළ යුතුයි. ප්‍රකාශන අයිතිය, ප්‍රකාශන නිදහස ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. එසේම අශ්ලීල යන්න නිර්වචනය කරන්නේ කෙසේද?, එහි සීමා මායිම් මොනවාද යන්න මෙහිදි මතුවන තවත් ප්‍රශ්නයක්. මෙවැනි පනතක් ගෙන ඒමේදි මේ සම්බන්ධ නිර්වචන ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

අසැබි හා සැබි කුමක්ද යන්න පැහැදිලිව වෙන් කිරීමේ හැකියාව තිබිය යුතුයි. අපේ සිංහල භාෂාවේ විවිධ උපහැරණ තියෙනවා. ඒවායින් විවිධ ව්‍යංගාර්ථ ගෙනෙනවා. මේවා භාෂා විශාරදයන් අතින් නිර්වචනය විය යුතුයි. එවැනි ගැටලු සහගත තැන් මේ පනතට කෙසේ ඇතුළත් කළ යුතුද යන්න ප්‍රශ්නයක්. ඒ නිසා සීමාවන් නොදැන මේ කර්තව්‍යයට රජය මැදිහත් වීම ප්‍රශ්න සහගතයි......“ ඒ ප්‍රවීණ මාධ්‍යවේදි ආචාර්ය රංග කලන්සූරියයි.

ඔහු පවසන්නේ සැබි අසැබි සීමාව නොදැන මේ කටයුත්තට සම්බන්ධ වීමෙන් වන්නේ නැති ප්‍රශ්න පැන නැඟීමකි. සංස්කෘතිකාංග හා සබැඳි දේ සඳහා නොදැන අර්ථ විග්‍රහ කිරීම අපහසුය. “අපේ සමාජයේ බොහෝ දෙනෙක් කුණු රසයට වඩාත් කැමතියි. ඒ මාධ්‍ය හරහා ජනතාවට ඒ දේවල් ලබා දෙන නිසා. නමුත් නිරන්තරයෙන් මාධ්‍ය හරහා ජනතාවට ධනාත්මක දේ ලබා දිය යුතු වෙනවා. සියලු මාධ්‍ය එක න්‍යාය පත්‍රයකට ආ යුතුයි.

අශ්ශීල ප්‍රකාශන තහනම් කිරීමට වඩා කළ යුතු වන්නේ එවැනි දේ නියාමනය කිරීම බව මගේ හැඟිමයි. අප මේ දේවල් තහනම් කිරීමෙන් සිදු වන්නේ වෙනත් මාර්ගයන් හරහා මේ වෙබ් අඩවි කරා ළඟාවිමට යොමු වීමයි. මේ සියලු දේ ඇති වූයේ විවෘත ආර්ථිකය හේතුවෙන්“ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ අංශයේ අංශාධිපති හා කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නලීන් අබයසේකරයි.

ඔහු පවසන පරිදි අශ්ශීල ප්‍රකාශනයක් කුමක්ද යන්න හඳුනා ගැනීම අපහසුය. මන්ද සංස්කෘතිය හා ඒ ඒ පුද්ගලයාට අනුව මෙහි නිර්වචනය වෙනස් වන හෙයින් නිශ්චිත නිර්වචනයක් ගොඩ නැඟීම අපහසු බවයි.

“අශ්ශීල යන වචනයේ කඩඉර අප ඇඳිය යුත්තේ කොතැනින්ද? මෙම ප්‍රශ්නය අපේ සංස්කෘතිය හා සබැඳි දෙයක් නිසා බොහෝ දෙනෙක් මේ සම්බන්ධව විවෘතව අදහස් ප්‍රකාශ කරන් නැහැ.

මෙය සදාචාරමය නොවන වෙළෙඳාමක්. මෙම වචනයට සීමාවක් නැති අතර භාවිතා කරන කෙනාටත් සීමාවක් නැහැ.

මෙම අශ්ශීල ප්‍රකාශන නැවැත්විය නොහැක්කේ, නැවැත්වීමෙන් ඊට වෙනත් ප්‍රවේශ මාර්ග සොයා ගන්නා නිසා. එසේම මේ සඳහා නීතියක් ගෙනෙනවා නම් එම වචනය නිර්වචනය කළ හැකි විය යුතුයි.

නමුත් මම හිතන්නේ නීති දැමීමට වඩා පාසල් අවදියේ සිටම දරුවන්ව ලිංගික අධ්‍යාපනයට යොමු කිරීම වැදගත්.....“ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකර හා මුල්‍ය පීඨයේ මහාචාර්ය බී නිශාන්තය. සමාජ විද්‍යාඥයෝ මේ සම්බන්ධව දකින්නේ වෙනස් පැතිකඩක්ය. “ අසභ්‍ය ප්‍රකාශන ව්‍යාප්ත වුණේ ලෝක සංග්‍රාමයෙන් පසුවයි. විවෘත ආර්ථිකයෙන් පසු මේ දේවල් තවත් වේගයෙන් ව්‍යාප්ත වුණා. කොරෝන වසංගතය නිසා මේ තත්ත්වය තවත් ශීඝ්‍ර වුණා. මේ දේවල් මනසට ඔරොත්තු නොදෙනවා සේම සමහරු මානසික ආතතියෙන් මිදීමට මේ දේවල් පරිහරණය කරනවා.....“ ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ගිතානී අමරතුංගය. ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ “අසභ්‍ය ප්‍රකාශන” බෙදා හැරීම වරදකි.

පොදු ස්ථානවල ‘අශෝභන ලෙස හැසිරීම’ ද දඬුවම් ලැබිය හැකි වරදකි.

සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙරට තරුණ පරපුරට මින් සිදුවන අගතීන් බොහෝමය.

වර්තමානයේ එම වෙබ් අඩවි තහනම් කළ නොහැක්කා සේම මෙවැනි නිල් චිත්‍රපට ඇතුළත් වෙබ් අඩවිද (Pornography Sites) තහනම් කිරීම කළ නොහැකි බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

තාර්කිකව ගත් කල එවැනි වෙබ් අඩවි තහනම් කිරීම හා වාරණය කිරීම කළ හැකි වුවද, ලොව ඉහළම අන්තර්ජාල ආරක්ෂණ පද්ධතීන්ගෙන් සමන්විත වන රටවල පවා මෙම වෙඩ් අඩවි නැරඹීමේ කූට ක්‍රමවේද ඇත.

“දැනට දණ්ඩ නීති සංග්‍රහය හැරුණු විට අශ්ශීල ප්‍රකාශන සම්බන්ධ ප්‍රධාන ලෙසම යොදා ගන්නේ වසර 94 ක් පැරණි අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතයි. එම පනතට සංශෝධන ගෙනවිත් තිබූ නමුත් මේ සම්බන්ධව නීති පැහැදිලිව වර්තමානයට ගැළපෙන අයුරින් සැකසිය යුතුව ඇත.

මෙතුවක් කල් භාවිත වූ පැරණි නෛතික ප්‍රතිපාදන තුළින් ආවරණය කළ නොහැකි ක්ෂේත්‍ර ගණනාවක් මතුව තියෙනවා. එනිසා එම අවශ්‍යතාව සපුරාලීමටත්, අන්තර්ජාලය තුළ හා සමාජ මාධ්‍ය භාවිතයෙන් නිරුවත් ඡායාරූප දර්ශන සංසරණය කරන වෙබ් අවකාශය තුළ සිදුවන අපරාධ සඳහා නව්‍ය ප්‍රතිපාදන හඳුන්වා දීමටත්, එවන් වෙබ් අඩවි පාලනය කිරීමටත්, දිනෙන් දින ඉහළ යන අපරාධ, කාන්තා හා බාල වයස්කරුවන්ට සිදුවන අපරාධ මැඬලීමටත් නව පනතක අවශ්‍යතාව මතුව තියෙනවා.

කාලානුරූපීව අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ වැරදි හඳුන්වා දීමටත් දඬුවම් හා දඩ මුදල් ප්‍රමාණාත්මකවකව ඉහළ දැමීමටත්, තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉහළ ගොස් ඇති නොයෙක් අපරාධ පාලනය කිරීමටත් නව පනතක් ගෙන ඒමෙන් හැකියාව ලැබෙයි....“ ඒ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සය.

අන්තර්ජාල අන්තර්ගතයන් සීමා කිරීම හෝ පාලනය කිරීම අසීරු කටයුත්තකි. එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ක්‍රියාත්මක නීතිය අනුව, පහන්තුඩාව වීඩියෝපටය වැනි ලිංගික ජවනිකා ඇතුළත් වීඩියෝපට නිෂ්පාදනය කිරීම, ප්‍රදර්ශනය කිරීම වැනි කටයුතු නීති විරෝධීව සිදුවන බව පැහැදිලිය.

එසේම මෙවැනි ප්‍රකාශනයක් අසභ්‍ය ප්‍රකාශනයක්ද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා පොදු නීති රාමුවක් පැවතීමද අත්‍යවශ්‍ය වේ.

Comments