හදිසියේ ලෙඩවුණත් හොඳම හදවතක් ඇත රටේ නාමයෙන් රිස්වාන්ගේ රත්තරන් හදවත | සිළුමිණ

හදිසියේ ලෙඩවුණත් හොඳම හදවතක් ඇත රටේ නාමයෙන් රිස්වාන්ගේ රත්තරන් හදවත

 

'ඕනෑම තැනක, ඕනෑම දෙයක රට එකට තියෙන්න උවමනායි. වචනයට රට එක කියනවාට වඩා ක්‍රියාවෙන් රට එක කියලා ඔප්පු කරන එකයි වඩා වැදගත්. මේ රට එක කියලා පෙන්නපු වීරයෙක් ගැන කතාවක්.'

මොහොමඩ් රිස්වාන් කියන්නේ පාකිස්තාන කණ්ඩායමේ උප නායකයා. විස්සයි විස්ස තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා තම කණ්ඩායම රැගෙන යෑමට විශාල දායකත්වයක් දැක් වූ ක්‍රීඩකයා. ඔහු තමන්ගේ කණ්ඩායමට තමන්ගේ නායකයාට උපරිම දායකත්වය දැක්වූවා.

එහෙත් අවසන් පූර්ව තරගය පැවැත්වීමට පැය කීපයකට පෙර දැඩි ලෙස රෝගාතුර වූ ඔහු ඩුබායි හි රෝහලකට ඇතුළත් කරන්නට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩාමට සිදුවුණා. රිස්වාන් තමන්ට හුස්ම ගන්න අපහසු බවත් හදවත රිදෙන බව පැවසීමත් සමඟ ඔහු රෝහල්ගත කෙරුණා. හදවතේ කම්පනය සම්බන්ධ පරීක්ෂා කිරීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය වහා රිස්වාන්ව දැඩි සත්කාර ඒකකයට යොමු කළේ තත්ත්වය බරපතල බව පවසමිනුයි.

පාකිස්තානු හදවත සුවපත් කළ ඉන්දියානු දොස්තර

එලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ මොහොමාඩ් රිස්වාන් ට ප්‍රතිකාර කිරීම බාර වුණේ ඉන්දියානු වෛද්‍යවරයකුට. ඒ වෛද්‍යවරයාගේ නම ශහීර් සනල්බාඩීන්. මේ වෛද්‍යවරයා තමන්ගේ රටට ප්‍රතිවාදී රට ලෙස ප්‍රකට පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධයෙන් වෛද්‍යවරයකු සතුව පැවතිය යුතු මානව දයාව උපරිමයෙන් ප්‍රකට කරමින් ප්‍රතිකාර කළා. ඒ නිසා ප්‍රතිකාර ලබා රෝහලෙන් නික්ම යද්දී වෛද්‍යවරයාට රිස්වාන් සිය ටී ෂර්ටයක් තෑගි කරන්න අමතක කළේ නැහැ. ඒ මේ ඉන්දියානු වෛද්‍යවරයා තමන්ට එතරම් කාරුණිකව හා කාර්යක්ෂම ප්‍රතිකාර කළ බව සහතික කරමිනුයි.

එකම ඉල්ලීම

ඩුබායිහි මෙඩෝරි රෝහලට ඇතුළත් කළාට පස්සේ රිස්වාන් අසීරුවෙන් එකම එක ඉල්ලීමක් කළා. ඒ තමයි ඊට පසුදින ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තීරණාත්මක විස්සයි විස්ස අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට තමන්ට අවශ්‍ය බව. ‘මට ඒ තරගයට යන්න අවශ්‍යයි. ඒකට මට උදව් කරන්න.’ ඔහු වෛද්‍යවරයාගෙන් ඉල්ලුවා.

'ඇත්තටම ඔහුට පසුවදා ක්‍රීඩා කරන්න දැඩි උවමනාවක් තිබුණා. ඒ වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකුත් ඔහු සතුටුවුණා. ඇත්තටම මට පුදුමයි ඔහුගේ සුවවීම පිළිබඳ. එය ඉක්මන් සුව වීමක්.' රිස්වාන් අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන්න රෝහලෙන් නික්ම ගියාට පසුව වෛද්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබුණා.

එසේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ රිස්වාන් පන්දු පනස් දෙකක් තුළ ලකුණු හැට හතක් රැස්කළා. ඔහු කඩුලු රකිමින් ප්‍රතිවාදීන් ජයග්‍රහණය සහතික කරගන්නා තුරුම සටන් කළා.

මෙහෙම කරපු රිස්වාන් කවු ද?

රිස්වාන් කියන්නේ දෙදරු පියෙක්. ඔහුට පුංචි දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පාකිස්තානයේ කඩුලු රැකවලා වුණේ පෙර කිව්වා වගේ ඔහුයි. රිස්වාන් වැඩිය උස මහත ක්‍රීඩකයෙක් නොවෙයි. හරියටම කියනවා නම් ඔහු අඩි පහයි අඟල් අටක් උසැති ක්‍රීඩකයෙක්.

ඔහු ඉපැදුණේ පේෂාවර් හි කිබර් පටුන්කාවා ප්‍රදේශයේ යි. දැන් වයස ගත්තොත් රිස්වාන්ට අවුරුදු විසි නවයක්. ඔහු 2015 වසරේ සිට පාකිස්තානය නියෝජනය කරනවා. ඒ කියන්නේ වසර විසි තුනේ සිට ඔහු පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයෙක්. පළමු වරට ටෙස්ට් වර්ණ හිමිකරගැනීමේ දී ඔහු නවසීලන්ත කණ්ඩායම මුණගැසුණා. ඒ 2016 නොවැම්බරයේ දී යි. එක්දින වරම් දිනාගත්තේ 2015 වසරේ දී යි. ඔහු දේශීය ක්‍රිකට් තරගවල දී කණ්ඩායම් ගණනාවක් නියෝජනය කර දක්ෂතා දක්වා තිබෙනවා. රිස්වාන් කොතරම් දක්ෂ පිතිකරුවකු ද යත් ඔහු ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරග රටා තුනේ ම ශතක රැස්කිරීමට සමත්ව තිබෙනවා. රිස්වාන් උපනායක වශයෙන් තෝරාගත්තේ 2018 වසරේ දී යි.

කොව්ඩි වැලඳිලා

රිස්වාන්ට 2020 වසරේ දී කොවිඩ් වයිරසය ශරීරගත වුණා. ඔහු ඇතුළු තවත් ක්‍රීඩකයන් සත් දෙනෙකුට මෙලෙස කොවිඩ් වැලඳුණා. එයින් වසරක් ඉක්ම ගියාට පස්සේ තමයි ඔහු මේ විධිහට හදිසියේ හෘදයාබාධයකට ලක්වන්නේ. එයට කොවිඩ් ආසාදිතයෙක් බවට පත්වීම හේතුවෙන් ඇති වූ සංකූලතාව හේතුවූයේ ද යන්න ගැන දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි යි. සමහරවිට කොවිඩ් ඔහු හදිසියේ හදවත් රෝගියකු බවට පත්කළා වෙන්නත් පිළිවන්.

රිස්වාන් සැලකෙන්නේ වර්තමානයේ පාකිස්තානය සතු හොඳම කඩුලු රකින්නා ලෙස යි. හිටපු නායක සෆ්රාස් අහමඩ් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රිස්වාන්ට කඩුල්ල පිටුපස වගකීම පැවරෙන්නේ ඒ නිසයි. පළමුවරට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය හිමිවුණේත් රිස්වාන්ට යි. එහෙත් ආබාධයක් හේතුවෙන් ඔහුට එය අහිමිවී ගියා.

එසේම රිස්වාන් යනු පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක ශතකයක් රැස්කළ පළමු හා එකම කඩුලු රකින්නා කියන එකත් අපිට අමතක කරන්න බෑ. එවැනි දස්කමක් කළ ලෝකයේ කඩුලු රකින්නන් අතුරින් දෙවැනියා තමයි ඔහු. ඔහුට පෙර මෙම දස්කම කරලා තියෙන්නේ නවසීලන්තයේ කඩුලු රකින්නෙක් වන බ්‍රෙන්ඩන් මැකලම්. එසේම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානය වෙනුවෙන් ශතකයක් රැස්කළ දෙවැනි පිතිකරුවා වෙන්නෙත් රිස්වාන්. ඔහුට පෙර එම දස්කම දක්වා ඇත්තේ අහමඩ් ෂෙශාඩ්.

කෙසේ නමුත් රිස්වාන් යනු කාලයකට වරක් පහළවන තමන් නියෝජනය කරන රට ගැන ගැඹුරු කැක්කුමක් තිබෙන ක්‍රීඩකයෙක්. එතැනදී ක්‍රීඩාශීලිත්වය යම් පමණකට ආරක්ෂා කරගනිමින් තමන්ගේ රට වෙනුවෙන් උපරිම ගෞරවයෙන් හා කරුණාවෙන් කටයුතු කරන ක්‍රීඩකයෙක් ලෙස ඔහු ට ගෞරවය හිමිවෙන එක වළක්වන්න බෑ.

හැබැයි රිස්වාන් ගේ ක්‍රිකට් අනාගතය ගැන අපට පැහැදිලි යමක් කියන්න බෑ. මොකද අවුරුදු විසිනවයක් වැනි වයසකදී හදිසියේ හෘදයාබාධ තත්ත්වයක් ඇතිවුණාම එය මොන වගේ තැනක පවතිනවා ද? කියන්න නොදන්න නිසා. ඒ වගේ තත්ත්වයක ඔහුට තවදුරටත් අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කළ හැකි වේවි ද යන්න අපහැදිලියි. ඒත් එක දෙයක් කිව යුතු. කොයි තරම් හදවත ලෙඩ වුණා කීවත් රටක් පැත්තෙන් හොඳම හදවතක් තිබෙන ක්‍රීඩකයෙක් තමයි රිස්වාන් කියන්නේ. ඒ වගේ හදවත් පහළ වන්නේ කලාතුරකින්. සාමාන්‍යයෙන් තමන්ගේ රට, තමන්ගේ කණ්ඩායම ගැන තමන්ගේ සෞඛ්‍යටත්, ජීවිත ආරක්ෂාවටත් වඩා හැඟීමක් පහළ වෙනවා කියන්නෙම පුදුම දෙයක් නිසා. හදිසියේ ලෙඩ වුණත් රිස්වාන්ට තිබෙන්නේ මහා හැඟීම්බර, බොහෝම වටින හදවතක්.

කාන්ති ජයසිංහ

Comments