සේනකගේ නිවෙසේ දේශපාලන පන්ති | Page 3 | සිළුමිණ

සේනකගේ නිවෙසේ දේශපාලන පන්ති

 

වෛද්‍ය විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් සේනකට පළමු පෙළ සාමාර්ථ්‍යයක් ලැබිණ. ශුද්ධ වෛද්‍ය විද්‍යා විෂයට සහ ශල්‍යකර්ම විෂයට පිදෙන රන් පදක්කම් දෙකම ඔහු දිනා ගත්තේය.

ප්‍රතිඵල ගෙන ගෙදර ආ ඔහුට ගෙමිදුල පුරා රැස්ව සිටි ගැමි ජනතාවගේ සුහද සුබ පැතුම් වැස්සට මැදිවන්නට සිදු විය.

“දොස්තර හාමුදුරුවෝ බිබිලෙ ඉස්පිරිතාලෙට ම එන්න.”

එක් කාන්තාවක් සතුටු කඳුළෙන් පෙඟුණු දෑසින් යුතුව කීවාය.

“මට කිරි දුන්නු අම්මලාගෙන් එක්කෙනෙක්නෙ ඔයා. ඔන්න අම්මේ මට ආයෙත් නම් හාමුදුරුවෝ කියන්න එපා. හාමුදුරුවෝ ඉන්නේ පන්සලේ.” සේනක ඇගේ දෑතින් අල්ලා ගනිමින් කීය.

කොළඹ මහ රෝහලේ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවයේ යෙදුණු ඔහුට වසරකට පසු බිංගිරියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරි තනතුර ලැබිණ. බිංගිරියේ ග්‍රාමීය රෝහලේ සහ හෙට්ටිපොළ ග්‍රාමීය රෝහලේ සේවය කිරීමට ද ඔහුට සිදු විය.

“අම්මේ, දැන් මට මාසික ආදායමක් ලැබෙනවා. නංගිට, මල්ලිලාට වියදම් කරන්නට මට දැන් පිළිවන්. අම්මා ඒ ගැන හිතට කරදර ඇති කරගන්න එපා. මම ඒ සියල්ල බලා ගන්නම්. අම්මාට දැන් සතුටින් කාලය ගෙවන්න පිළිවන්.” ඔහු අම්මාට ලියූ ලිපියක සඳහන් විය.

* * * * *

1947 මහ මැතිවරණය පැවැත්වෙන විට සේනක සිටියේ බිංගිරියේ ය. ලංකා සමසමාජ පක්ෂයේ ටී.බී. සුබසිංහ සිය ප්‍රතිවාදී අපේක්ෂකයන් සියලු දෙනාගේම ඇප රාජසන්තක කරවමින් බිංගිරිය ආසනය දිනා ගත්තේය. සුබසිංහ පිළිබඳ ප්‍රසාදයෙන් පසු වුව ද සේනක මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වූයේ නැත. රෝගීන්ගේ කටයුතුවලින් ඔහුට නිදහසක් නොලැබිණ. බිංගිරියේ සහ හෙට්ටිපොළ රෝහල් දෙකේ ද, ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරි කාර්යාලයේ ද ඔහුට වැඩ බහුල විය.

ඔහුට මුණ ගැසුණු රෝගීහු මන්ද පෝෂණයෙන් පීඩා වින්දහ. විශාල පොල් වතුවලට මැදි වූ කුඩා පැල්පත්වල සිරවී වැඩ මිස වැඩෙහි ඵල නොලබන ඔවුන්ට පෝෂ්‍යදායි ආහාරයක් සපයන මෙන් බිංගිරිය ප්‍රදේශයේ පොල්වතු හිමි මහ ධනවතුන්ගෙන් සේනක ඉල්ලා සිටියේය. වතු හිමියෝ සේනකට සිනාසුණ හ.

“අපි බුදු බව පතලා නැහැ” ඔවුහු කුටු කුටු ගෑහ.

පෙර ඒ රෝහල්වල සේවය කළ වෛද්‍යවරුන් මෙන් ම ප්‍රාදේශීය සේවා අධිකාරි ද සිය නිල නිවෙස තුළදී මුදල් ගෙන රෝගීන්ට ප්‍රතිකාර කළහ. සේනකගෙන් ප්‍රතිකාර ගැනීමට ආ රෝගීහු ද ඔහුට මුදල් දීමට සැරසුණහ. ගැහැනු ලේන්සුවල ගැට ලිහා කිලිටි පොඩි වුණු නෝට්ටු කොළ ඇද්දහ.

“සල්ලි තියෙනවා නම් මාළු ටිකක්, බිත්තර ටිකක් කන්න. කඩෙන් හෝර්ලික්ස් බෝතලයක් අරගෙන බොන්න.” කියමින් ඔහු ඒ මුදල් ප්‍රතික්ෂේප කෙළේ ය.

කොළඹ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය තනතුරක් සේනකට ලැබිණ. විදේශිකයකු වූ මහාචාර්ය කලම්බයින් සේනක සමඟ එක්ව ලාංකිකයන්ගේ ශාරීරික සෞඛ්‍යය සහ ඔවුන්ගේ ආහාර පුරුදු පිළිබඳව ක්ෂේත්‍රීය සමීක්ෂණයක් ඇරැඹීය. එය මෙහෙය වූයේ සේනකය. තවත් කථිකාචාර්යවරු දෙදෙනෙක් සහ වෛද්‍ය ශිෂ්‍ය පිරිසක් ඊට සහභාගි වූහ. දිවයිනේ මධ්‍යස්ථාන 102ක මේ සමීක්ෂණය පැවැත්විණ.

වතුකරයේ කම්කරු ජීවිත, වියළි කලාපයේ හේන් ගොවි ජීවිත, පහත රට ගොවි ජීවිත මේ සමීක්ෂණයට හසු විය. උදේ ආහාර වේල, දිවා ආහාර වේල, රාත්‍රී ආහාර වේල පිළිබඳව නඟන ප්‍රශ්නවලට ජනතාවගෙන් ලැබුණේ හද සසල වන පිළිතුරු ය. තුන්වේලට ම ආහාර ලැබුණේ ඉඳහිට පවුලකට ය. හැම වේලකටම තුබුණේ එක සමාන ආහාරම ය. දවාලටත් රෑටත් තලප. දවාලටත් රෑටත් කොස්, මාළු නොකන ධීවර පවුල්, මුළු පාවරම සිය කරත්තයට පටවාගෙන යන කුඹුරු හිමියන්, කළ ගෙඩි වැනි මාන්දම් බඩගෙඩි සහ ඉරටු කකුල් ඇති ළමයි, පොත් ටික විසිකොට පාසලෙන් සමුගෙන කෙවිට අතට ගෙන ගවයන් සමඟ කුඹුරට බසින ශිෂ්‍යයන් මේ සමීක්ෂණයෙන් ලද තොරතුරු අතර විය.

“අයහපත් ශාරීරික සෞඛ්‍යයට මේ ජනකායගෙන් බහුතරය ගොදුරු වෙනවා. මන්දපෝෂණය දිළිඳු බවේ දරුවා ය. දිළිඳු බව සම්පත් අසාධාරණ ලෙස බෙදීයාමේ ප්‍රතිඵලයයි.”

සේනක ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවේ සංඛ්‍යා ලේඛන තුළ පෙනුණේ මේ අදහස් ය.

“මේ ප්‍රශ්න විසඳීමට වෛද්‍ය විද්‍යාලයට කළ හැක්කේ කවර මෙහෙයක් ද? සමීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් සෑහීමට පත්විය හැකි ද?”

සේනක සිය ප්‍රධානියා වූ මහාචාර්ය කලම්බයින් සමඟ සාකච්ඡා කෙළේ ය.

රට පුරාම මන්දපෝෂණය සහ නූගත්කම මේ සමීක්ෂණය පෙන්වා දුන්නේ එයයි.

සියවස් එක හමාරක් පමණ ලංකාව යටත් විජිතයක් ලෙස තබාගෙන සම්පත් කොල්ල කෑ බ්‍රිතාන්‍යයන්ගේ නිර්මාණයක් මේ මන්ද පෝෂණය හා නූගත්කම. එයින් ජනතාව මුදා ගැනීමට බ්‍රිතාන්‍යයන් අතින් පාලන බලය සුහදව උරුම කරගත් ලාංකික පාලකයන්ට හැකිවේද? නොහැකියි. ඔවුන්ට ජනතාව පිළිබඳ කිසිදු ප්‍රේමයක් නැති නිසා ය.

ජනතාව මෙයින් මුදා ගැනීමේ මඟ වැටී ඇත්තේ සමාජවාදය තුළින් පමණය යන හැඟීම සේනක බිබිලේ තුළ වඩාත් තහවුරු වූයේ ඒ අවධියේ චීනය මහජන චීනයක්, රතු චීනයක් බවට පෙරළූ 1949 විප්ලවය නිසාය.

* * * * *

චීන විප්ලවය ජයගත් වර්ෂයේ 1949 සේනක බිබිලේ උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු විය. එහි සේවය කළ මහාචාර්ය මාත් හෙඩ් මහත්මිය සමඟ ඔහු ස්ටිරොයිඩ ගණයට අයත් ශරීරයේ අඩංගු හෝමෝන කාණ්ඩයක් පිළිබඳව පර්යේෂණයක යෙදුණේ ය. ඒ පර්යේෂණය නිසා ඔහු වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් විය. බ්‍රිතාන්‍ය පුවත්පත් සහ විද්‍යා සඟරාවල එය ඇගයීමට ලක් කෙරිණ. 1951 යළි ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සේවයට පැමිණියේය. වෛද්‍ය ශිෂ්‍යයනට ඔහු අමුතු අපූරු ගුරුවරයෙක් විය.

“පොත්වල ඇති දේ කටපාඩම් කොට උපාධි ලැබීමෙන් පලක් නැහැ. ස්වාධීනව සිතන්නට පුරුදු විය යුතුයි. අලුත් අලුත් දෑ නොතන ජාතිය ලොව නොනඟී කීවේ කුමාරතුංග මුනිදාස මහත්මයා. එය වෛද්‍ය විද්‍යාවටත් පොදු විය යුතු ය. අපට පෙර ජීවත් වූ අපේ මුතුන් මිත්තන් සෙවූ දෙයින් තැනූ දෙයින් අප ප්‍රයෝජන ලබනවා. අපෙන් පසු එන පරපුරට ද අප යමක් දිය යුතුයි. අලුත් දෑ නිර්මාණයට අප පෙලඹිය යුතු යි.” ඔහු කීවේය. කී දෙය ක්‍රියාත්මක කෙළේ ය.

1954 දී භිෂග් වේදය (ඖෂධ වේදය) නමින් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයන අංශයක් බිහිවිය. සේනක එහි ප්‍රථම මහාචාර්යවරයා විය. ඒ අංශයේ සේවක පිරිසට සේනක වැඩිහිටි සහෝදරයෙක් විය. පර්යේෂණ කටයුතුවලදී ඔහුට ඔවුන්ගේ උපරිම සහාය ලැබිණ. ගම්වල ඇවිදින විට සේනකට හමුවූ බොහෝ රෝගීන්ට අතේ පයේ දැවිල්ලක් තිබිණ. ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමක් බී විටමින සංකීර්ණයට අයත් පැන්ටොතිනික් අම්ලය දීමෙන් ඒ රෝගය සුවවන බව කීහ. ඒ අම්ලය ලබාදීමෙන් පසු ලැබෙන සුවය තාවකාලික විය.

සේනක ගමට ගොස් ඒ රෝගය ඇති කීප දෙනකුට පැන්ටොතිනික් අම්ලය දුන්නේය. තවත් රෝගී පිරිසකට ව්‍යාජ බේත් පෙති දුන්නේ ය. කණ්ඩායම් දෙකටම සුවය ලැබිණ. ටික කලකින් සුවය නැති විය. පැන්ටොතිනික් අම්ලයෙන් ඵලක් නැති බව ඔප්පු විය. ඒ ඖෂධය සඳහා පිටරටට විශාල මුදලක් ඇදී ගියේය. මේ සම්පත් නාස්තිය පිළිබඳව සේනක රජයට කීය. ‘සී’ විටමින් ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව නොවැලඳෙන බව පිළිගත් මතයක් විය. ඒ පිළිබඳ ඖෂධ සමාගම් ප්‍රචාරය කෙළේය. විටමින් ‘සී’ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය විය.

සේනක වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් ගෙන පර්යේෂණයක් කෙළේ ය. මිලි ග්‍රෑම් 500 විටමින් ‘සී’ පෙති ඔවුන්ට දෙනු ලැබිණ. එහෙත් සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදෙන්නට ඔවුන්ට අපහසු විය. ඖෂධ සමාගම්වල ප්‍රචාරය අසත්‍යයක් බව සේනක ඔප්පු කෙළේ ය.

“ජනතාව රවටමින් ඖෂධ ජාවාරම්වල යෙදෙන කූට ව්‍යාපාරිකයන්ට පහර දිය යුත්තේ විද්‍යාත්මක පර්යේෂණ තුළින්” ඔහු කීවේය.

සේනක දිනක් වෛද්‍ය ශිෂ්‍යයකුගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

“මේ රට නිදහස්ය කියල හිතනවද?” ශිෂ්‍යයා අන්දුන් කුන්දුන් විය.

මඳ වේලාවකට පසු ඔහු “ඇයි සර් අවුරුදු කීපයකට පෙර රටට නිදහස ලැබුණානේ.” සේනකගේ මුවඟට සිනාවක් නැඟී මැකී ගියේය.

“එහෙම කියනවා. සුද්දන් නිදහස දුන්නාය කීවත් ලණුව තාමත් උන්ගේ අතේ. රට පාලනය වන්නේ උන්ගේ ක්‍රම අනුව. නිදහස මිනිසුන්ට දැනෙන්න ඕන. මිනිසුන්ගෙ හිතට වගේ ම ඇඟටත් ඒ නිදහස දැනෙන්න ඕන. බලන්න අපේ රටේ ගොවියා කුඹුරු හිමියාගෙන් නිදහස් වෙලා ද? කම්කරුවා කර්මාන්ත ශාලා හිමියාගෙන් නිදහස් වෙලාද? මෙහෙකරුවා ස්වාමියාගෙන් නිදහස් වෙලාද? සාගින්නෙන්, නූගත්කමෙන් අපේ ජනතාව නිදහස් වෙලාද?”

වෛද්‍ය ශිෂ්‍යයා ගුරුවරයාගේ දෑසත්, මුවත් දෙස බලා සිටියේය.

“නැහැ සර් ඒ කිසිවකින් නිදහස් වෙලා නැහැ”

“ඔව්, වහල්කම තිබුණු තැන එහෙමමයි. මේක පැයෙන් පැයට දලු ලනවා. පැටවු ගහනවා. මිනිස්සු නිදහස් කර ගැනීමට මේ රටේ පාලනය බාරගත් අලුත් කණ්ඩායමට වුවමනාවක් නැහැ. ඔවුන් ද වතු හිමි, කම්හල් හිමි, කුඹුරු හිමි ධනපති පිරිසක්. උන් රටේ ජනතාවට නිදහස දෙන්නේ නැහැ. සුද්දාගේ අතේ තිබුණු ලණුව තවත් තදින් අල්ලා ගන්නවා මිස උන් ඒක බුරුල් කරන්නේ නැහැ. ජනතාව පිළිබඳ සහෝදර හැඟීමක් උන්ට නැහැ. රටේ සම්පත් තාම අයිති සුද්දට. ඒවා ජනතාවට අයිති විය යුතුයි. මේ පාලකයෝ ඒ ගැන හිතන්නේ නැහැ. සුද්දන් රටේ හොඳම හරිය අල්ලගෙන බොරු නිදහසක් දුන්නේ. රටේ ආර්ථිකයට නිදහසක් නැහැ. රටේ සම්පත් කොල්ලකාගෙන ගිය ආකාරය වෙනස් වෙලා නැහැ. ඒ කපොලු වැහිලා නැහැ.”

“නිදහස සඳහා අපට කළ හැක්කේ කුමක්ද?”

“ඔය ප්‍රශ්නය මාත් කුඩා කාලයේ සිට මගෙන් ම ඇසුවා. වැඩ කරන ජනතාව වහල්බවෙන් මුදා ගැනීමට මේ වෛද්‍ය වෘත්තියට බැහැ. චීනයේ ලූෂන් වෛද්‍ය ශිෂ්‍යයා හිතුවෙත් එහෙමයි. සමාජයම ලෙඩ වෙලා. ඒ ලෙඩේට බේත් හොයා ගත්තේ වෛද්‍යවරු නොවෙයි. අපි ඒ මාර්ගය අධ්‍යයනය කළ යුතුයි.”

“මොකක්ද ඒ මාර්ගය?”

“‍මා එදා මෙන් ම අදත් නොපැකිළව කියනවා අපට ඇති මාර්ගය මාක්ස්වාදය බව.”

ශිෂ්‍යයාගේ දෑස මඳක් විශාල විය. ඔහු නොසන්සුන් පෙනුමක් පළ කෙළේ ය.

පාලකයන් මාක්ස්වාදය බිල්ලකු ලෙස, තහනම් වචනයක් ලෙස හඳුන්වා තුබුණු හෙයිනි.

“අද රෑ අපේ ගෙදරට එන්න. අපි සාකච්ඡා කරමු.”

ශිෂ්‍යයා පැමිණියේ තවත් මිතුරන් කීප දෙනකු ද සමඟය. කාසල් කාන්තා රෝහල අසල පිහිටි සේනක බිබිලේගේ නිවසට රෑ අඳුරත් සමඟ තරුණ පිරිස් පැමිණියහ. වටපිට බලමින්, බියෙන්, සැකයෙන් එන වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ඒ නිවස පිරෙන්නට විය. සේනකගේ සුහද, මෘදු කට හඬ සෙමින් නැඟෙන්නට වෙයි. ශිෂ්‍යයන්ට ඔහු වැඩිමල් සහෝදරයකු මෙන් පෙනෙන්නට වෙයි. දයාව හා කරුණාව තුළ සිය හදවත් සිහිල්ව යනු දැනෙන්නට වෙයි.

“ඔබ හැම දෙනාම විද්‍යාව හැදෑරූ අය. ඔබ හැම දෙනාම විද්‍යාඥ පිරිසක්. බහුතර ජනතාව ජීවත් වන්නේ අවිද්‍යාව තුළ, නූගත්කම තුළ. ඒ අවිද්‍යාව නිසා තමයි ඔවුන් වහල් ජීවිත ගත කරන්නේ. නිදහස් ය කියන රටක වහලුන් සිටින්නේ ඒ නිසා. මේ තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමට ඇති ඖෂධය මාක්ස්වාදය. එය විද්‍යාත්මකයි. තර්කානුකූලයි. එය හොඳින් හදාරන විට මේ සමාජය මෙසේ වූයේ ඇයි දැයි වැටහේවි. සමාජයේ ප්‍රශ්න හොඳින් තේරුම් ගැනීමට, දැකීමට ඇති හොඳම කණ්ණාඩිය මාක්ස්වාදය. තේරුම් ගන්නවා පමණක් නොවෙයි ප්‍රශ්නවලට විසඳුම ද ඉදිරිපත් කරන දර්ශනයක්. ක්‍රියා මාර්ගයක් එය. කාල් මාක්ස් ම මෙහෙම කියනවා.”

“මෙතෙක් ලොව පහළ වූ දාර්ශනිකයන් කළේ සමාජය විග්‍රහ කිරීමයි. මාක්ස්වාදය කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා එය වෙනස් කිරීමයි.”

දිනපතා රාත්‍රියේ ඒ නිවෙස දේශපාලන පන්ති සඳහා වෙන් විය. සමාජ ඉතිහාසය ඔහු විද්‍යාත්මකව පැහැදිලි කෙළේය.

“පන්ති භේදයෙන් තොරව සමාජයක් පෙර විය. ස්වයංපෝෂිත ඒ සමාජය පසුව වෙනස් වූයේ නිෂ්පාදන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් සමඟය. වහලුන් හා වහල් හිමියන් වශයෙන් පන්ති දෙකක් ඉන්පසු ඇති විය. ඒ සමාජයේ වහල් හිමියන්ගේ කුරිරු මර්දනය හමුවේ වහල්ලු කටුක ජීවිත ගෙවූහ. ස්පාටකස් වැනි වහල් නායකයන් වහලුන් සමඟ එක්ව වහල් හිමියන්ට එරෙහිව ගැසූ කැරලි ඒ යුගයේ දක්නට ලැබිණ. ඒ පන්ති දෙකේ ගැටුම තුළින් අලුත් සමාජයක් බිහි විය. රදළ, ප්‍රවේණිදාස වශයෙන් ඒ සමාජය බෙදිණ. ඉඩම් හිමි රදළයන්ගේ මෙහෙවරෙහි යෙදුණු ප්‍රවේණිදාසයෝ ද කටුක ජීවිත ගෙවූහ. එහෙත් වහල් යුගයට වඩා ඔවුන්ගේ ජීවිත යහපත් විය. ඒ සමාජය තුළ ද ගැටුම් ඇතිවිය. රදළ - ප්‍රවේණිදාස ගැටුම් තුළින් උපන්නේ ධනපති ක්‍රමයයි. ධනපතියකු හා කම්කරුවකු ඉන්පසු දක්නට ලැබිණ. රදළ යුගයට වඩා ඒ යුගය යහපත් සේ හැඟුණ ද වැඩ කරන්නාගේ ජීවිතය විවිධ බැමිවලින්, විලංගුවලින් සිරවී තිබිණ.

ප්‍රතිවිරුද්ධ පන්ති අතරවූ ගැටුම තුළින් ඉදිරියට ආ සමාජයේ ගමන ධනපති යුගය තුළ නතර නොවේ. කම්කරු හා ධනපති පන්ති දෙක අතර ගැටුම් ඇතිවේ. උපක්‍රමශීලීව කම්කරු පන්තිය බෙදා අවුල් කරන ධනපතීහු ඔවුන්ගේ එක්සත්වීම වළක්වති. කලක් රැවටී සිටිය ද ඔවුහු සත්‍යය හා සිය ශක්තිය වටහාගත් දා නැඟිටිති.

ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව නැඟී සිටි විට ධනපති කඳවුරු බිඳ වැටෙනු ඇත. ඒ සමාජවාදී විප්ලවය ය. ඉන්පසු කම්කරු පන්ති රජය ගොඩ නැඟේ. එහෙත් ගැටුම් - ප්‍රතිවිරෝධතා අවසන් නොවේ. කොමියුනිස්ට් සමාජය උදාවන තුරු ඒ සමාජය තුළ ද ගැටුම් පවතී. ඉන්පසු වැඩ කරන ජනතාව වැඩ කරන විට ද, වැඩෙහි ඵල ලබන විට ද මුල් තැනට එති. සියලු සමාජ අසාධාරණතා දුරුවනු ඇත.”

ශිෂ්‍යයන් මැදියම් රැයේ සිය ගුරුවරයාගෙන් සමුගත්තේ සමාජ අසාධාරණය නැති කිරීම වෙනුවෙන් කැප වෙමු යි යන අදිටන සහිතවය. මේ ශිෂ්‍යයන් අතර පසුව මහාචාර්යවරයකු වූ කාලෝ ‍ෙෆාන්සේකා ද, පසුව මහාචාර්යවරයකු සහ සමසමාජ පක්ෂ නායකයා වූ තිස්ස විතාරණ ද සිටියහ.

තවත් කොටසක් ලබන සතියේ

ඔබ සතුව මහාචාර්ය සේනක බිබිලේගේ ඡායාරූප ඇත්නම්

[email protected] යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය.

Comments