සුදු සංස්කෘතියට අනුගතව ඔස්ට්‍රේලියාවේ අමුතු සව්දිය පිරීම | සිළුමිණ

සුදු සංස්කෘතියට අනුගතව ඔස්ට්‍රේලියාවේ අමුතු සව්දිය පිරීම

 

'පෙරදිගට වඩා අපරදිග සංස්කෘතිය තුළ වෙනස්කම් තිබේ. පෙරදිග දුම්වැටි, මත්පැන් භාවිතය ගැටලුවක් වුව ද අපරදිග සංස්කෘතියට අනුව ඒවා සැඟවිය යුතු කරුණු නොවේ. එවැනි දේ භාවිතය විනෝදාස්වාදය පිණිස සිදුකරන්නකි. ඇතැම්විට දේශගුණික බලපෑම ඊට ඉවහල්වන්නට ඇත. කෙසේ නමුත් අපි මේ කියන්නේ විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියාවේ අමුතු සව්දිය පිරීමක් සම්බන්ධව ය.'

ඩුබායි හි පැවැති මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තය කඩුලු 8 කින් පරාජය කරමින් නව ඉතිහාසයක් නිර්මාණය කිරීමට සමත් විය. ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ලෝක කුසලාන ශූරතා ගොන්නට පළමු වතාවට එක්වූ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩකයින් සමරනු ලැබුවේ අමුතු ම ආකාරයකට ය.

සමාජ මාධ්‍ය තුළ මෙකී ජය සැමරුම සංසරණය වූයේ කවුරුන් විසින් ලබා ගන්නාලද විඩියෝවක් මඟින් ද යන්න රහසකි. නමුත් එහි දැක්වෙන ආකාරයට ක්‍රීඩකයන් ජයපැන් බොන්නේ අමුතු ආකාරයකට ය. එසේ ජයපැන් බොන්නේ වීදුරුවකට දමාගෙන ද, නැතිනම් සපත්තුවකට දමාගෙන ද යන්න වෙනම කතා කළ යුතු ය. එහෙත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තම ජයග්‍රහණය සැමරුවේ විශේෂ ආකාරයකට බව පමණක් දැන් මුළු ලොවම දැන ගෙන අවසන් ය. ඒ මාෂ් ස්ටොයිනිස් සහ මැතිව් වේඩ් සපත්තුවලට දමා ගෙන බියර් බොන විඩියෝවක් සංසරණය වීම හේතුවෙනි.

නොවැම්බර් 14 වැනි දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැති අතර එහි දී නවසීලන්තය කඩුලු 8කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. කාසියේ වාසිය අහිමි වූ නවසීලන්තයට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදු විය. ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ගත් අතර ඔස්ට්‍රේලියාවට හිමි වූයේ ලකුණු 173 ක ඉලක්කයකි. එය ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී සපුරා ගත්තේ ලෝක කුසලානයේ නව ජයග්‍රාහී කණ්ඩායම බවට පත් වෙමිනි.

පන්දුවාර 18.5 ක දී කඩුලු 2 ක් පමණක් දැවී ඔවුන් මෙම ඉලක්කය සම්පූර්ණ කළේ ය. ඔස්ට්‍රේලියා ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ මිචෙල් මාෂ් පන්දු 50 ක දී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 77 ක් රැස් කළේ ය. ඔහු තරගයේ වීරයා වූ අතර තරගාවලියේ විරයා වූ ඩේවිඩ් වෝනර් මෙම තරගයේ පන්දු 38කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 53 ක් රැස් කිරීමට සමත් වි ය.

සපත්තුවෙන් මධ්‍යසාර බීම

මෙකී අසමසම විජයග්‍රහණයෙන් අනතුරුව, ක්‍රීඩකයන් ඔවුන්ගේ විවේකාගාරයේ සිට උද්දාමයෙන් ජය සමරනු ලැබීය. එමෙන්ම එම මොහොතේ ම අයි.සී.සී. ය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විඩියෝ මුදා හැර තිබිණි.

එහි දී මැතිව් වේඩ් සහ මාෂ් ස්ටොයිනිස් තමන් පැලඳ සිටි සපත්තුවක් ගලවා එයට බියර් දමා පානය කරන අයුරු දැකගත හැකි විය. විනාඩි 20 ක් වැනි කෙටි කාලයක දී සමාජ මාධ්‍ය තුළ 30,000 ක ට අධික පිරිසක් මෙම වීඩියෝව නරඹා තිබේ. ඔස්ට්‍රේලියාව පළමු විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණයත් සමඟ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ හයවැනි රට බවට පත් විය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය මින් පෙර මෙම ශූරතාව දිනාගෙන ඇත.

 

බන්ධුල ජයමාන්න

Comments