සියදෝරිස්ගේ නිරෝගී සම්පත! | සිළුමිණ

සියදෝරිස්ගේ නිරෝගී සම්පත!

 

සියදෝරිස් කරුණු තුනක් සම්බන්ධයෙන් හොඳටම ආඩම්බර විය. එක; තමන්ගේ නිරෝගීකම ගැන ය. දෙක තමන්ගේ බිරියගේ විශාල නිතඹ ගැන ය. තුන; තමන්ගේ මී - වස්සාගේ ජවසම්පන්නකම ගැන ය.

 

උණක්, හෙම්බිරිස්සාවක්, ඉහේ ඇම්මක්, බඩේ රුජාවක් තබා දතේ කැක්කුමක්වත් ඔහුට නැත. සියදෝරිස්ට කිවිසුමක් පිටවන්නේ ද ඉතා කලාතුරෙකින් ය. කැත්ත, උදැල්ල, පොරොව, වෑය, මේස පිහිය යන කුමන ආයුධයක් පරිහරණය කළ ද ඔහු ඒවායින් අනතුරක් සිදු කරගන්නේ නැත. අව්වට - වැස්සට - පින්නට - මීදුමට හොඳින් ඔරොත්තු දෙන ඔහු ඉඟුරු කොත්තමල්ලි ටිකක් පානය කළේ ද නැත. වෙලාවට - කලාවට ඇවිදින ඔහුගේ පයේ කටුවක්වත් ඇනී නැතැ’යි කීම ඉතා නිවැරැදි ය.

සියදෝරිස්ගේ ආදර බිරිය දැදිගම අක්කා ය. ඇය කාලවර්ණ එහෙත් ඉතා පිරිසුදු විශාල නිතඹක් ද සහිත තිදරු මවකි. සැමියා තරමට ම නිරෝගී දැදිගම අක්කා දෙතුන් වරක් ඇඟෙහි සබන් උළාගෙන බොහෝ වේලාවක් ස්නානය කරයි. ඉනික්බිති පොල්තෙල් සාත්තුවකින් හමේ දීප්තිය ඇති කර ගනී. ඇයගේ විශේෂ ලක්ෂණය වූයේ පිරිසුදුකම ය.

සියදෝරිස්ගේ මී - වස්සා මේ කිසිවකුටත් දෙවැනි නැති අපූරු සතෙකි. ගම් තුළානේ සියලු නාම්බන්ට වඩා හොඳින් වැඩී ඇති සියදෝරිස්ගේ මී - වස්සා පිරිමි සතුන්ට පමණක් නොව; ගැහැනු සතුන්ට ද පිඹගෙන ගොස් ඇන්නේ ය. ඌ දම්වැල් දෙකක් දමා බැඳ තිබූ අතර කීකරු වූයේ සියදෝරිස්ට පමණි. ඔහු දවසේ පැය තුන හතරක් වස්සා වෙනුවෙන් කැප කළ අතර හා පුතා! කියමින් ඌගේ හිස අත ගෑවේ ය.

තිදෙනාම ගම් තුළානේ ප්‍රකට චරිත තුනක් බවට පත්ව සිටියෝ ය. සී සෑමක් කලට - වේලාවට අවසන් කර ගැනීමට නම්; සියදෝරිස්ගේ මී - වස්සා හීයේ මුල් බාණට එකතු කරගත යුතු ය. ඌ කම්මැළි නැත. මහ ජවයක් ගෙන නඟුල ඇදගෙන යන වස්සා නිසා අනෙක් මී වස්සන්ට ද ගැම්මකට නඟුල් අදින්නට සිදු විය. මේ කොයි දේටත් නායකත්වය දුන්නේ සියදෝරිස් ය. ඔහු එක සීරුවට වැඩ කරන්නට දනී. ඇඹුල බෙදන්නට දැදිගම අක්කා ද සිටියහොත් සියල්ල අංගසම්පූර්ණ වෙයි. සමහර ගොවියෝ ඇඹුල පසෙක තබා දැදිගම අක්කාගේ නිතඹ දෙස බලා සිටිති.

හීයත්, බින්නැඟුමත්, පෝරුගෑමත්, වැපිරිල්ලත් නිමා කරන සියදෝරිස් හොඳට නා - කියාගෙන රා ඇබිත්තක් ද පානය කරයි. ඉක්බිති ඔහු සේන්දු වන්නේ කඩමණ්ඩිය වෙත ය. එහි රැස්ව සිටින කොලු - කුරුට්ටෝ සියදෝරිස් බීමතින් එනවිට හූ කියති. අත්පොළසන් දෙති. තවත් නොයෙක් දේවල් කරති. සියදෝරිස් කොලු - කුරුට්ටන්ගේ ආස්වාදය සඳහා නාට්‍ය ජවනිකා තුනක් පවත්වයි. පළමුවන ජවනිකාව ශාරීරික සුවතාව සඳහා ය. මෙහි දී ඔහු හිටි පිනුම්, බඩ පිනුම්, කරණම් ගසා පෙන්වයි. සෑම පිනුමකදීම සියදෝරිස්ගේ සරම උඩ යන අතර ඔහුගේ රහසඟ ප්‍රදේශය මුළුමනින් ම විවෘත වෙයි. කොලු රෑන සෑම පිනුමකට ම හූ කියති. එහෙත් සියදෝරිස්ට ගණනක් නැත. තමන් අමුඩය ගසා ඇතැ’යි ඔහු සිතනවා විය යුතු ය. දෙවැනි ජවනිකාවෙන් රඟ දැක්වෙන්නේ දැදිගම අක්කාගේ ගමන් විලාසය යි. සියදෝරිස් උකුළ පද්දමින් ද, පාද තාලයකට තබමින් ද ගමන් තාලය අනුකරණය කරයි. ඒ අතර කවියක් දෙකක් ද ගායනා කරයි. වැඩිහිටියෝ එම ජවනිකාවට වඩාත් ආකර්ෂණය වෙති. තුන් වැනි ජවනිකාවට අයත් වන්නේ ඉංග්‍රීසි කියමන් ය. කාගෙන්දෝ අහුලාගත් ඉංග්‍රීසි වාක්‍ය දෙක තුනක් වැරදියට උච්ඡාරණය කරමින් එම ජවනිකාව රඟ දක්වනු ලැබේ.

නාට්‍ය දර්ශනයේ උපරිමය ළඟාවීමට පෙර කවුරුන් හෝ කොලු ගැටයෙක් සියදෝරිස්ගේ නිවසට දිව ගොස් දැදිගම අක්කාට ඔත්තුව දෙයි. ඇය සියලු වැඩ නවතා චීත්තය ද දණ තෙක් ඔසවාගෙන කඩමණ්ඩියට කඩා වදී. දැදිගම අක්කා ඈතින් එනු දුටු කොල්ලෝ ‘ආං දැදිගම අක්කා එනෝ!’ යැයි හයියෙන් කෑ ගසති. ඒ හඬ ඇසෙත් ම සියදෝරිස් වහා අතුරුදන් වෙයි. ගෙදරට යන කෙටි පාරවල්, හොර පාරවල් ඔහුට හොඳට මතක ය. දැදිගම අක්කා පෙරළා නිවසට එනවිට සියදෝරිස් සිටින්නේ ඉස්තෝප්පුවේ ලණු ඇඳ මත ගොරව - ගොරවා නිදමින් ය.

දැදිගම අක්කා සීරු - මාරුවට ලණු ඇඳ මත වාඩිවෙයි. තම නිතඹ හැකිතාක් සියදෝරිස්ගේ සිරුර දෙසට නැඹුරු කරන ඇය “උඹලට තේ කහට ටිකක් ඕනෑ ද?” යැයි අසයි. අවුල එතැනින් නිම වෙයි. සියදෝරිස් කිසි දිනෙක දැදිගම අක්කාට බණින්නේ නැත. දැදිගම අක්කා ද කිසි දිනෙක සියදෝරිස්ට බැණ වදින්නේ නැත.

සියදෝරිස් වැහි මන්දාරම සහිත දිනයක මහ නියරේ තණකොළ කපමින් සිටියේ ය. වස්සාට හැන්දෑවීමට පෙර විශාල තණ කොළ කූඩයක් රැගෙන ගොස් දීම ඔහුගේ සිරිත ය. තණකොළ කූඩයට අමතරව කෙහෙල් කොටයක් පෙති ගසා දෙන්නට හැකි නම්; එයත් වහාම ලබාදීමට සියදෝරිස් උත්සුක වෙයි. එහෙත් දිනපතා ම කෙසෙල් කොට සෙවීම අමාරු ය.

සිහින් වැසි පොදක් වැටෙන්නට වූයෙන් ඔහු තම දෑත වේගවත් කළේ ය. තණකොළ කපන විට සියදෝරිස් ඇඳ සිටින්නේ අමුඩය පමණි. එබැවින් වැහි පොද ඔහුගේ සිරුර පුරා දුවන්නට විය. සුළු වේලාවකින් වැස්ස තද කළේ ය. තණකොළ කූඩය හිසෙහි තබාගත් සියදෝරිස් හැකි විගස ආසන්න නිවෙස වෙත ගියේ ය. ඔහුගේ අදහස වූයේ වැස්ස තුරල් වනතුරු එහි සිට පසුව තවත් තණකොළ ටිකක් කපාගෙන යෑම ය.

පුදුමයකි! එම ගෙදර ගැහැනු වහාම කුස්සිය දෙසට දුවන්නට වූහ. සියදෝරිස්ට ගෑනුන්ගේ විකාර ඒ හැටි අල්ලන්නේ නැත. මුන්ට ඔල්මාදෙ යැයි කියූ ඔහු ඊළඟට අල්ලපු ගෙදරට ගියේය.

ඒ ගෙදර ගැහැනුද අතින් කටවල් වසාගෙන කුස්සිය දෙසට දුවන්නට වූහ. සියදෝරිස් නිකමට මෙන් දෙකට නැමී තම ඉණ දෙස බැලුවේය. අමුඩයේ ඉදිරිපස කොටස දිය ලණුවෙන් ගිලිහී පසුපසින් වලිගයක් සේ එල්ලෙමින් තිබිණි. ඔහු වහාම අමුඩය සකස් කරගෙන නො නවත්වා ම ගෙදර ගියේ ය.

දින දෙකක් ඇතුළත දී සිද්ධිය ගම පුරා ප්‍රචලිත විය. එය දැදිගම අක්කාට ද දැනගන්නට ලැබිණි. එහෙත් ඇය කලබල වූයේ නැත. සිද්ධිය හගිස්සවන්නට ගියේ ද නැත. ඒ වෙනුවට වරුවක් මහන්සි වූ ඇය තරමක් විශාල අමුඩ ලේන්සු දෙකක් ද අලුත් දිය ලණුවක් ද සකසා ගත්තා ය. ඒවා සිය ස්වාමියාට පිළිගන්වනඅතර ඇය අපූරු උපදේශනයක් ද ලබා දුන්නා ය.

“මින් මනත ගමේ ගෑනුන්ට

ඕවා පෙන්නන්ට එපා!

වුවමනාවක් තියෙනව නම්

මට කියන එකයි ඇත්තෙ?

සියදෝරිස් ඉන්පසු තම අමුඩය ගැන වඩාත් පරෙස්සම් වූ අතර වැඩ නිමවූ සැණෙන් ගෙදර ආවේ ය. රා - බීමත් අඩු කළේ ය.

මේ අතර 1971 මහ කන්නය ආරම්භ වී තිබිණි. මහ වෙලේ සී සෑම ආරම්භ වූ අතර සියදෝරිස් තම මී වස්සා ද පළමු බාණේ විය ගසට බැඳ පළමු රවුම ගියේ ය. දෙවැනි රවුමේ දී නඟුල වෙනත් කෙනකුට භාරදුන් ඔහු ‘ඇඟට හරි නෑ!’ කියමින් නියර මත ඉඳ ගත්තේ ය. ටිකකින් ඔහු නියර මත හාන්සි වුණේ ය. හීය දිගටම පැවතුණේ ය. සියදෝරිස් නියර මත නිදා සිටියේ ය. දහවල ඇඹුල වෙලට රැගෙන ආ පිරිස සියදෝරිස්ට කතා කළහ. සියදෝරිස්ගෙන් උත්තරයක් නැත. ඔහුගේ ශරීරය ශීතල වී තිබිණි. පිරිස සී සෑම නවත්වා සියදෝරිස් රෝහලට ගෙන ගියහ. පලක් නැත. ඒ වනවිටත් ඔහු මිය ගොසිනි.

හදිසි මරණයක් බැවින් සිරුර කපා වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්විණි. එම වාර්තාවේ සඳහන් වූයේ සියදෝරිස් අධි රුධිර පීඩනය සහිත රෝගියකු බව හා එය උපරිම තලයකට පැමිණ මොළයේ නහරයක් පුපුරා මරණය සිදුවී ඇති බව ය. එහෙත් ගමේ කිසිවකු එය පිළිගත්තේ නැත. දැදිගම අක්කා කියා සිටියේ දැන් ඉන්න දොස්තරලාට හරියට වරදිනවා යන්න පමණි.

 

Comments