සම්ප්‍ර­දා­ය නොතකා හැරි මහා­ධි­ක­ර­ණ විනිසුරු | සිළුමිණ

සම්ප්‍ර­දා­ය නොතකා හැරි මහා­ධි­ක­ර­ණ විනිසුරු

රණ දඩුවම ක්‍රියාත්මක නැත්නම් සම්ප්‍රදායෙන් වැඩක් නෑ. සාමාන්‍ය නඩුවක තීන්දුවක් දෙන ස්වරූපයෙන්ම මා මෙම මරණීය දණ්ඩනයට අදාළ තීන්දුව ද ලබා දෙනවා යැයි තංගල්ල පූර්වගාමි මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද පසුගිය 11 දින පුද්ගලයෙකුට මරණ දඩුවම පමුණුවමින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

පුද්ගල ඝාතනයක සැකකරුවකුට එරෙහිව පවතින නඩුවකදී නඩු විභාගය අවසානයේ සැකකරු වැරදිකරු බවට පත් වුවහොත් නීති ප්‍රතිපාදන අනුව එම සැකකරුට හිමිවන්නේ මරණීය දණ්ඩනයයි.

එලෙස මහාධිකරණයකින් පුද්ගලයකුට එරෙහිව මරණීය දණ්ඩනයක් පමුණුවාලීමේදී අනාදිමත් කලක සිට පැවත ආ සම්ප්‍රදායන් කිහිපයක්ද වෙයි. වැරදිකරුවකුට මහාධිකරණයක් මගින් මරණීය දණ්ඩනය පමුණුවාලීමේදී මේ සම්ප්‍රදායන් අනුගමනය කිරීම සාමාන්‍ය සිරිතයි.

මරණීය දඩුවම පමුණුවාලීමට පෙර විවෘත අධිකරණයේ ක්‍රියාත්මක සියලුම විදුලි පංකා හා විදුළු බුබුළු නිවා දැමීම, විනිසුරතුමන් විනිශ්චය ආසනයෙන් නැඟී සිටීම හා අදාළ මරණීය දඩුවම පමුණුවාලීමෙන් පසු එම තීන්දුවට අත්සන් තබන ලද පෑන කඩා දැමීම කාලාන්තරයක සිට පැවති ආ සම්ප්‍රදායන් කිහිපයකි.

එහෙත් පසුගිය 11 වන දින තංගල්ල මහාධිකරණය මගින් පුද්ගලයකුට එරෙහිව ලබා දුන් මරණ දඩුවමකදී එම සම්ප්‍රදායන් කිසිවක් තමන් විසින් අනුගමනය නොකරන බවට තංගල්ල පූර්වගාමි මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද විවෘත අධිකරණය අමතමින් පැවසීය. එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් විවෘත අධිකරණය අමතමින් මෙසේද පැවසීය.

‘මහාධිකරණයකදී චුදිතයකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැඟී සිටීම හා අදාළ තීන්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම සිදු කරන නමුත් අද දිනයේ මා එම සාම්ප්‍රදායික ක්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි. එයට හේතුව වන්නේ ගරු ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරුවරයකු වු සරත් අඹේපිටිය ඝාතනය කර ඒ සඳහා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයන්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඒ තීන්දුව ස්ථිර කිරීමෙන් පසුව ද අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩණය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම මෙන්ම ඇතැම් තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවල දී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනයන් ද ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයන් පවතිනා නිති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යාම යනාදී ක්‍රියා කලාපයන් තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් නියම කිරීමේදී සාම්ප්‍රදායිකව එසේ කරනු ලබන පෙර කී ක්‍රියාවන්හි අදාළතාවක්, ප්‍රායෝගිකතාවක් නොමැතිය. ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තීන්දු ප්‍රකාශ කරන ආකාරයෙන් ඉඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි යැයි මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් පැවසීය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නැමති 55 හැවිරිදි විවාහක පුද්ගලයකුටය. චුදිත 2006.10.16 දින හෝ ඊට ආසන්න දිනකදී වලස්මුල්ල හොරේවලදී 70 හැවිරිදි සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා නැමැත්තියගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වැරදි කරු බවට පත් වීමෙන් පසු මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණි.

චුදිත පුද්ගලයා 2006.10.16 වන දින රාත්‍රි බීමතින් මරණකාරිය වූ සයින්දරාගේ නිවසට පැමිණ සිය බිරිය නිවසට පැමිණියේදැයි විමසා තිබේ.එහිදී මරණකාරිය වු සයිදරා විසින් ඇය තම නිවසට නොපැමිණි බවත් නොපැමිණෙන හේතුව පිළිබඳවත් චුදිතට පවසා තිබේ. එහිදී බීමතින් සිට ඇති චුදිත අත තිබූ මකුලත පොල්ලකින් මරණකාරිය වූ සයින්දරාගේ හිසට පහරදී තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සයින්දරා මරණයට පත් වීය.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ මරණකාරියගේ 07 හැවිරිදි මුණුබුරා ද ඒ අසලම සිට ඇති අතර සිද්ධිය පිළිබඳව ඔහු පොලිසියට හා අධිකරණයේ සාක්ෂි දෙමින් සිද්ධිය පිළිබඳව මනාව පැහැදිලි කර තිබේ. සිද්ධියට අදාළව වලස්මුල්ල පොලිසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කෙරුණි. ඒ අනුව අපරාධකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර චුදිත ඔහුගේ නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත 2006.10.17 දින අලුයම 04ට පමණ සිදු කළ සෝදිසියකදී අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව චුදිතට එරෙහිව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව 2009.04.08 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කෙරුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු මිනී මැරීමේ වරදක් සිදු කළ බවට ය.

ඒ අනුව හම්බන්තොට හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වු ටියුඩර් ගුණරත්න ඉදිරියේ 2009.09.09 වන දින මුල් වරට මෙම නඩුව කැඳවුයේ චුදිතට අධිචෝදනා පත්‍ර බාර දීම සඳහාය. හම්බන්තොට මහාධිකරණය තුළ මුල්වරට කැඳවූ මෙම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් දෙපළක් ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබූ අතර පසුව තංගල්ල මහාධිකරණය පිහිටුවීමත් සමඟ අධිකරණ කලාප බෙදීයාම මත මෙම නඩුවද එවකට හිටපු අග්‍රවිනිශ්චයකාර තුමන්ගේ 211.02.02 දිනැති දැනුම්දීමේ ලිපිය මත නඩුව තංගල්ල මහාධිකරණය වෙත මාරු කර යැවුණි. ඉන් පසුව නඩුව පළමු වරට තංගල්ල මාහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණේ 2011.03.17 වන දින එවකට තංගල්ල හිටපු මාහාධිකරණ විනිසුරු චන්ද්‍රෙස්න රාජපක්ෂ ඉදිරියේදීය. පසුව තංගල්ල හිටපු මාහාධිකරණ විනිසුරු ලලිල් එම්. විජේසේකර හා මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම ඉදිරියේද නඩුව විභාගයට ගැනුණි.

පසුව 2018.06.25 වන දින නඩුව තංගල්ල හිටපු මහාධිකරණ විනිසුරු වු ආර්.එස්.එස්.සපුවිද ඉදිරියේ පළමු වරට නඩුව විභාගයට ගැණුනි. නඩු විභාගය සඳහා පැමිණිල්ල විසින් සාක්ෂි කරුවන් 09 දෙනෙකු නම් කර තිබූ අතර නඩු භාණ්ඩ ලෙස පහර දීම සිදුකළ බව කියන මකුලත පොල්ල ඇතුළු නඩු භාණ්ඩ 06ක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පැවති නඩු විභාගයෙන් අනතුරුව දෙපාර්ශ්වයට දේශන සඳහාද අවස්ථාව ලබා දීමෙන් පසු නඩුව තීන්දුව සඳහා නියම කර තිබේ.

මෙහිදී නඩුවේ තීන්දුව සකස් කර අවසන් කර තිබුණ ද අවස්ථා කිහිපයකදීම පූර්වගාමි මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිදට සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නොහැකි විය. ඒ පිළිබඳව ද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ සටහනක් තබා තිබිණි.

ඒ අනුව රාජපක්ෂලාගේ ලාල් රංජන් වන යුෂ්මතා සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා යන අයගේ මරණය සිදු කිරීමේ අපරාධය සිදුකොට ඇති බව මෙම නඩුවේ ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් එකී සාපරාධී ක්‍රියාව සඳහා නිතිය අනුව පමුණුවන ලබන දඩුවමේ වග නම් යුෂ්මතා වැලිකඩ බන්ධනාගාරයට ගෙනියනු ලබන බවත්, ඉන් අනතුරුව ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිතිතුමා විසින් නියම කරනු ලබන දිනයකදී, වේලාවකදී හා ස්ථානයකදී මිය යන තුරු බෙල්ලෙන් එල්ලා ජීවිතක්ෂයට පත් කරනු ලැබිය යුතු බවට නියම කරමි. බන්ධනාගාර ජේලර් වරයකු කැදවා චූදිත බාරදෙන තෙක්‍ චූදිත සුරක්ෂිතව අධිකරණ සිර මැදිරියේ තබා ගත යුතු බවත් මහාධිකරණ විනිසුරුවරයා නියම කෙරුණි.

චුදිත වෙනුවෙන් රජයෙන් පත් කරන ලද නීතීඥවරයකු අධිකරණයේ පෙනී සිටි අතර නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගයාන් එල්.පෙරේරා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.


 

Comments