සදා ක්‍රිකට් වීරයෝ | Page 2 | සිළුමිණ

සදා ක්‍රිකට් වීරයෝ

 

අලුත්ම සහතිකය මහේල ෂෝන් හා ජැනට් ට

'සම්මානිත වීම අපූරු ය. සදාකාලයට ම සම්මානිතයෙක් වීම තවත් විශිෂ්ට ය. කලක් ගතවී හෝ ඔහු සදාතනික වීරයකැයි ලෝකය තීරණය කළේ ය. මේ ඒ ගැන ය.'

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් ඇතුළත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුව සඳහා නම් කළේ පසුගිය දා ය.

මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර මහේල ජයවර්ධනට අමතර ව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනට්

බ්‍රිටින් ද කීර්තිමත් අන්තර්-ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 'හෝල් ඔෆ් ෆේම්' ලැයිස්තුවට නම් කරනු ලැබී ය. ඒ බව ප්‍රකාශයට පත්කරන ලද්දේ ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ් විසිනි.

නොවැම්බර් 14 ඉරිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අවසන් මහා තරගයේ දී මෙම නිල තත්ත්වය ලබාදීම සිදුකෙරිණි. 2009 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම නම් කිරීම සිදුකරන අතර ප්‍රවීණ ක්‍රීඩකයින් වූ මුත්තයියා මුරලිරදන් 2016 වසරේ දී ත් කුමාර සංගක්කාර 2021 වසරේ දී ත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.

ඒ අනුව එම ලැයිස්තුවට ඇතුළත් වූ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ මහේල ජයවර්ධන යි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හෝල් ඔෆ් ෆේම් ක්‍රිකට් ලැයිස්තුවේ ක්‍රීඩකයින් 106 දෙනෙකු ගේ නම් දැනට ඇතුළත්ව ඇත.

මෙවර ඇතුළත් වූවන් දෙදෙනා සමස්තයක් වශයෙන් ටෙස්ට් තරග 284 ක ට, එක්දින තරග 814ක ට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 67 ක ට ක්‍රීඩා කර තිබේ. ජැනට් බ්‍රිටින් 1979 සහ 1998 අතර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට මඟ පාදමින් වසර 19 ක් පුරා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම චරිතයක් විණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙම සම්මානයට ලක් වූ ෂෝන් පොලොක් හොඳම පන්දු යැවීමේ දක්ෂතා ප්‍රකට කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් අංශ දෙකේ දී ම ලකුණු 3,000 සහ කඩුලු 300 ද්විත්වයක් වාර්තා කළ එකම හා පළමු ක්‍රීඩකයා ය.

'මෙම සම්මානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අයි.සී.සී. වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන්ට ගෞරව කිරීමේ හොඳම ක්‍රමවේදය මෙම සම්මාන උලෙළ බවයි. 'මහේල සහ ෂෝන් මෙම කීර්තිමත් කණ්ඩායමට ඇතුළත් වීම ගැන මම සුබ පතන්න කැමතියි, එය ජැනට් ගේ ද ජීවිතය සහ වෘත්තිය සැමරීමට ලැබුණු අපූරු අවස්ථාවක්.”

තමන්ට ලැබුණු මෙම අනගිභවනීය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල ජයවර්ධන,

'මම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හෝල් ඔෆ් ෆේම් සමාජයට ඇතුළත් වීමට ලැබීම ගැන අතිශයින් සතුටු වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ගෞරවණීය සමාජය තුළ රැඳී සිටින කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් හා සමතැන් ගැනීමට මටත් අවස්ථාවක් හිමිවීම අතිශය සතුටට කරුණක්.' යැයි ප්‍රකාශ කළේ ය.

'සැබැවින්ම මෙම පිළිගැනීම සම්බන්ධයෙන් මම අයි.සී.සී. යට කෘතඥතාව පළකරන්න කැමතියි. මගේ පවුලේ අය, මිතුරන්, පුහුණුකරුවන්, කණ්ඩායම් සගයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඇතුළු මගේ ගමනට උපකාර කළ සියලු දෙනා සමඟ එම ජයග්‍රහණය භුක්ති විඳින්න මම කැමතියි.' යැයි ද ඔහු පවසා තිබේ.

තමන්ට ලැබුණු මෙම අපූර්ව ගෞරවය සම්බන්ධයෙන් අදහස් දක්වන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු වූ ෂෝන් පොලොක් ,

'මගේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු මෙම පිළිගැනීම ගැන මමත් අයි.සී.සී. ය ට ස්තූති කිරීමට කැමතියි. ඉතා කීර්තිමත් සාමාජිකයන් පිරිසක් සමඟින් හෝල් ඔෆ් ෆේම් සමාජය වෙත ඇතුළත් වීමට ලැබීම පුදුමාකාර ගෞරවයක්. මගේ ක්‍රිකට් ගමනේ දී මෙතරම් දැවැන්ත පිළිගැනීමක් ලැබීමට මට සහාය දැක්වූ මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට මම ස්තූති කරනවා.' යැයි පැවසී ය.

බන්ධුල ජයමාන්න

 

Comments