සංස්කෘතික මිනිසුන් තැනීමේ නොතිත් අභිලාෂයෙන් යුතු නිර්මාණකරුවා | සිළුමිණ

සංස්කෘතික මිනිසුන් තැනීමේ නොතිත් අභිලාෂයෙන් යුතු නිර්මාණකරුවා

ලේඛකයා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ ඔහුගේ හෘදය සාක්ෂ්‍යය අනන්‍යයන්ගේ හෘදය සාක්ෂ්‍ය සමඟ එකට එකමුතු වූ විට පමණී. සල්ටියකොව් ෂෙඩ්රින්ගේ මේ ප්‍රකාශය ලේඛනයේ නිරත වීමට උත්සාහ දරන සැමගේ හදවතේ කෙටිය යුුතු වැකියකැයි සිතේ.

 

ලේඛකයාගේ සහ පාඨකයාගේ හෘදය සාක්ෂ්‍යය එක්තැන් වූ අවස්ථා කීයක් නම් අපට හමුවී තිබේද? ලේඛකයා තමාට නිර්මාණාවේශය ලැබෙන්නට බලපෑම් කරන හේතු සාධක හා පුද්ගල සාධක කෙරෙහි නිරන්තර කෘතවේදිත්වයෙන් යුතු ය.

ඒ කෘතවේදිත්වය ගොඩනැඟෙන්නේ තමාගේ හෘදය සාක්ෂිය තමාට සම්මුඛ වීමේ දී ය. අද නිමැවුමක පෙරනිමිති සොයා යන ගමනේ දී හමුවෙන මේ ජ්‍යෙෂ්ඨ ලේඛකයා, පුවත්පත් කලාවේදියා හා නන්විධ ක්ෂේත්‍රවල ස්වකීය ප්‍රතිභාන්විත කුසලතාව පළට කරන නිර්මාණකරුවා තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් ය. සිය හෘදය සාක්ෂිය කරන ආමන්ත්‍රණයේදී තම සාහිත ජීවිතය ඔපවත් කළ ගුරුවරු ගැන නිර්මාණකරුවාට අමතක වෙන්නේ නැත. ඒ වෙනුවෙන් ලියැවුණු ‘රසදෝත‘ ගැන කතුවරයාගේ නිර්මාණ අත්දැකීම මෙපරිදි ය.

‘ මම මගේ කෘති අතර මා වඩාත් ම කැමති කෘතියක් තමයි රසදෝත. යම් යම් තැන්වල මම කියවපු දේවල්වල රසදෝතක් අරගෙන පාඨකයාට දීමේ අරමුණින් තමයි රසදෝත ලියැවෙන්නේ. මගේ ගුරුවරුන්ට කළ උපහාරයක් වගේ.

මේකට නිමිති වුණේ පාසල් සමයේදී මට ඉතා හොඳ සිංහල ගුරුවරු හමු වුණා. ඒ ගුරුවරුන්ගේ පිරුණු බවෙන් තමයි අප පෝෂණය වුණේ. ඔවුන් සාහිත්‍යයේ පරතරයට ගිය උදවිය. ඒ අතරෙන් එක් අයෙක් තමයි ගුණදාස පෙරේරා කියන ගුරුවරයා; එතුමා සිංහල පාලි සංස්කෘත භාෂාත්‍රයේ ම මනා සේ නිපුණ වූවෙක්. විචාරය, පෙරදිග අපරදිග සාහිත්‍යය මේ සියල්ල ම එතුමා ඇතැඹුලක් සේ දැන සිටියා. එතුමාගෙන් එකම පන්තියේ ඉගෙන ගත්ත තුන් දෙනෙක් ඉන්නවා. එක් අයෙක් කරුණාරත්න අමරසිංහ, අජන්තා රණසිංහ හා මම.

සිංහල සාහිත්‍යය උගන්වන එක වෙනත් විෂයයක් උගන්වනවා වගේ නොවෙයි. අද සාහිත්‍ය ගැන දැනුමක් හෝ ආශාවක් නැති පරම්පරාවක් බිහි වීමේ මුල සිටින්නේ රසට, බරට උගන්වන්න දන්නෙ නැති ගුරු පරම්පරාවක් කියලයි මගේ හැඟීම. අද යාන්ත්‍රික පිරිසක් ඉන්නෙ. මානව සම්බන්ධතා වෙනුවට අද තියෙන්නේ යන්ත්‍ර අතර සම්බන්ධයක්. තව ටික දවසක් යද්දි මේක යන්ත්‍ර දෙකක් අතර සම්බන්ධයක් බවට පත් වේවි.

අනෙක් ගුරුවරයා වුණේ පරිවර්තන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් කළ කේ. ජී. කරුණාතිලකයන්. එතුමාගෙනුත් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. භාෂාව සම්බන්ධයෙන් බොහෝ දේ එතුමා සාකච්ඡා කළා. මේ අයගෙන් ලද ආභාසය ඉතා වැදගත්. අපි පොත් අතර ඇති මේ වැනි දේවල් සොයා යන්න පෙලඹුණේ මේ අය නිසා. රසදෝත ලියන්න මේ අය කෙරෙහි වන මගේ ගෞරවය බෙහෙවින් බලපෑම් කළා‘

ලේඛනය හෝ නිර්මාණ කාර්යය තවත් එක් ශිල්ප ක්‍රමයක් පමණක් ද? නැතහොත් ජීවන මාර්ගයක් පමණක් ද? නිර්මාණයක ජීවය රඳා පවතින්නේ නිර්මාණකරුවා තම නිර්මාණයට අවංක වනතාක් පමණී. හෘදය සාක්ෂියේ ආමන්ත්‍රණය ආත්ම කථනයක් ව නිර්මාණය පුරා ජීව ගුණය විහිදුවන්නට නම්, නිර්මාණකරුවා නිර්මාණය හා ආත්මගතව බැඳිය යුත්තේ ය. මේ එවන් බැඳීමකි. සිය ළමා විය එකලු කළ දෑ විසින් බබළවන ලදුව ඒ බැබළීම තවකකුගේ සවිඥානිකත්වය වෙනුවෙන් ලියා තැබීමේ කෘතගුණය කුරුවිටබණ්ඩාරයන් ඉටු කරන්නේ වත්මන් පරපුර වෙනුවෙන් උපන් දයාවෙන් යුතු ව ය.

අපට ජීවිතයේ හමුවන අනේකවිධ අත්දැකීම් වරෙක අපට නොවටින්නේ ය. තවත් විටෙක ඒවා වටිනවා යැයි දැනුණ ද එකතු කර ගැන්මට නොසිතේ. තවත් ‍විටෙක අපි ඒවා එකතු කොට පසු ප්‍රයෝජනය තකා පැත්තකින් තබන්නෙමු. තවත් විටෙක ඒවා නොදැක ම, නොදැනීම අප ජීවන ගමන යන අවස්ථා ද නැත්තේ නොවේ.

අතිශයින් දුර්ලභ අවස්ථාවක මේ අත්දැකීම් නෙත ගැටී පන්හිඳෙහි රැඳී, එකී පන්හිඳෙන් වඩාත් ඔපමට්ටම් වී හෘදයාංගම වෙමින් තවත් බොහෝ දෙනකුට ජීවිතාවබෝධය ලබා දෙන්නේ ය. මේ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවා අතින් ද එවන් වූ අත්දැකීම් හා දැනුම් සම්භාරයක් එක් කළ කෘතියක් බිහි වෙයි. කෘතිය කීර්තිශේෂ ය. විවිධ සද් පුද්ගල චරිත ඇසුරේ වත්මන් පරම්පරාවට ගත හැකි ආදර්ශ බොහෝ ය. එවන් චරිත 55ක් ගැන කරන ලද අපදානමය විමර්ශනයක් මෙහි අන්තර්ගත ය.

‘කීර්තිශේෂභාවෝපගත කියලා ලස්සන වචනයක් තියෙනවානේ. කීර්තිය ශේෂ කොට නික්ම ගිය යන්න තමයි එහි අරුත. ඒ ඔස්සේ තමයි මම මේ නම තෝරා ගත්තේ. මේ ලියැවුණු චරිත 55ත් එවන් වූ චරිත. අපේ රටේ කලාවට සංස්කෘතියට ඉතා විශිෂ්ට සේවයක් කළ කලාකරුවන්ගේ තොරතුරු මෙහි අන්තර්ගතයි. මේ කෘතිය ලියන්න මම හිතුවෙ සමාජය දෙස බැලීමෙන් ඇතිවුණු හැඟීම නිසයි. අද සමාජය සංවේදී, ගුණවත්, පාරිශුද්ධ හෝ පරාර්ථකාමී නැහැ.

දරිද්‍රතාව හා සම්පත් විෂම ලෙස බෙදී යෑම මෙයට හේතුවක්. උදාහරණයක් ලෙස මෙය සිතන්න. අපි බස් රථයක ඉඳගෙන යෑම සඳහා බොහෝ වේලාවක් පෝලිමේ ඉදලා ආසනයක ඉඳ ගත්තම අපහසුකම් තියෙන පුද්ගලයෙක් බස් එකට නැග්ගට අපේ ආසනය දෙන්න කැමති වෙන්නෙ නෑ. මොකද අපි විශාල පරිශ්‍රමයක් දරලා තියෙනවා මේ ආසනය ලබා ගන්න.

ඒ ආත්මාර්ථකාමී බව එන්නෙ හැමෝටම සුවසේ යන්න පුළුවන් විදියේ පහසුකම් නැති නිසා. හැම තැනම එහෙමයි. මෙයට හේතු සාධක තියෙනවා. මිනිසුන් සංස්කෘතික මිනිසුන් නොවීමත් එයට හේතුවක්. මිනිස්සු දැඩි ආත්මාර්ථකාමියි. එසේ වීමට මේ පුද්ගල චරිත ගැන නොදැනීමත් හේතු වෙනවා. සංස්කෘතියට බෙහෙවින් ගරු කළ චරිත ගැන පාඨකයන්ට දැන ගැනීමට මංපෙත් විවර කිරීමටයි මම මේ ඔස්සේ උත්සාහ කළේ.

මෙහි ප්‍රස්ථාවනාවේ කුරුවිටබණ්ඩාරයන් මෙසේ සඳහන් කරන්නේ ය.

‘ශික්ෂිත සංවේදී, යුක්තිගරුක, කාරුණික මිනිසුන්ගෙන් සමන්විත සාධු සමාජයක් බිහි වන්නේ ප්‍රබල සංස්කෘතික මිනිසුන් සිටින්නේ නම් පමණකි.‘

‘ මම එහෙම ලිව්වෙ ඔවුන් තමයි මිනිසුන්ට සැඟවුණු මනුෂ්‍යත්වය ප්‍රධානය කරන්නේ. ඒ අය තව කෙනකුගේ දුකේදී උණුවෙන හදවතක් සහිත වූවන් විය යුතුයි. මේ දේවල් සමාජයට දුන් සාධු චරිත ගැන සමාජය දැනුම්වත් කරන්නයි මට අවශ්‍ය වුණේ‘.

නිර්මාණකරුවන්ට සිය නිර්මාණ වස්තු බීජය පහළ වෙන්නේ කවර වේලාවක කුමන හේතුවක් නිසාදැයි කිසිවකුත් නොදනී. එය ඕනෑම දෙයක් නිසා ඇති විය හැක්කකි. ලොව මුළුමනින් ම අලුත් දේවල් නැත. ඒවා වරින්වර විවිධ ලෙසින් සිදු වෙයි; සිදු කරයි. මේවා වරින්වර විවිධ වේශයෙන්, විවිධ ක්‍රමවලින් නිර්මාණ සඳහා උපස්ථම්භක වන්නේ ය.

මනමේ මුල්ගුරු: චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ නම් කෘතිය කුරුවිටබණ්ඩාරයන් ලියන්නේ සරච්චන්ද්‍රයන්ගේ මනමේ ඇතුළු නිර්මාණ සඳහා නිර්මාණකරණයෙන් දායක වූ නිර්මාණකරුවකුට සමාජීය සාධාරණය ඉටු කරනු වස් ය. සරච්චන්ද්‍රයන් පසුපස යෝධ සෙවණැල්ලක් ව චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සිටි බැව් නව පරපුර තියා පෙර පරපුරවත් හරියට දන්නේ නැත.

‘චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ වෙනත් සාමාන්‍ය නිර්මාණකරුවකුගේ වගේ නිහඬ ව මිය යෑම වැළකුණේ ඔහු සරච්චන්ද්‍රයන්ගේ ඇසුරට පත් වීම නිසයි. එතුමා සිංහල ගැමි නාටකය ලියන කාලේ චාල්ස් සිල්වා ගුරුන්නාන්සෙගෙන් හරියට ගුරු හරුකම් ගත්තා. නාඩගම් සුලමුල බොහෝ විස්තර සරච්චන්ද්‍රයන්ට ලබා දුන්නෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ. එතුමා බොහෝ ගරු කළා ගුරුන්නාන්සේ ට. ගුරුන්නාන්සේගේ ගායන කුසලතාවෙන් සරච්චන්ද්‍රයන් බෙහෙවින් ප්‍රයෝජනයට ගත්තා. සරච්චන්ද්‍රයන් නිතර කිව්වෙ මනමේ මුල්ගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ කියලයි. ඒකයි මම ඒ හැඳින්වීම ම යොදා ගත්තෙ‘

නිර්මාණකරුවකුට පාරම්පරික ඥානය ප්‍රතික්ෂේප කළ නොහැකියි. කෙතෙක් නූතන සම්ප්‍රදා ඇති වුව ද පැරණි සම්ප්‍රදායේ ඇසුර හා ආලෝකය එයට එක්කරන ප්‍රභාව මහත් ය.

‘එය සත්‍යයක්. ගොවිතැන උදාහරණයක් විදියට ගත්තොත් පාරම්පරික කෘෂිකාර්මික ඥානය නූතන විද්‍යාඥයන්ට තේරුම් ගැනීමට නොහැකි තරම් බලවත්. පාරම්පරික වෛද්‍ය විද්‍යාව ගත්තත් එහෙමයි. ඒනිසා පොඩි කොණ්ඩ ගෙඩියක් ගහපු, රෙදි බැනියම් ඇදපු චාල්ස් සිල්වා ගුරුන්නාන්සෙව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කැඳෙව්වා අයිවර් ජෙනිංග්ස් සමයේ.

අඩු තාල වැඩි තාල, බෙර පද , ගමන් තාල ආදී සියල්ල කියලා දීලා ගැමි නාට්‍ය කලාවේ සියල්ල ගුරු මුෂ්ටි තියා ගන්නෙ නැතිව ප්‍රදානය කළේ චාල්ස් සිල්වා ගුරුසිංහ ගුරුන්නාන්සේ.

මනමේ සාර්ථක වෙන්න ඒ ඒ තැන්වලට අදාළ තනු ඉදිරිපත් කළෙත් චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේයි. මේ සියල්ල ලියා තියන්න ඕන කියලා හිතුණා. මම අත්පත් කරගත් දැනුම ප්‍රමාණවත් නොවුණු නිසා චාල්ස් සිල්වා ගුරුසිංහ ගුරුන්නාන්සේගෙ මුනුපුරෙක් වන හේමපාල රන්හින්නත් මේ කාර්යයට සම්බන්ධ වුණා. ඒ කෘතිය බිහි වෙන්නේ එහෙමයි‘

රසය හැම දෙනාට ම හඳුනාගත හැක්කක් නොවෙයි. එය විඳිනට හැක්කේ සහෘදයනයට පමණී. එනම් සමාන හදවත් ඇත්තන්ට පමණී. රසය දැනෙන්නකි; එය ස්වකීය ආලෝකයෙන් ම බැබළෙන්නකි. චමත්කාරය පැනෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

තිලකරත්න කුරුවිටබණ්ඩාර නිර්මාණකරුවා මේ සොයන්නේ සහෘදය හදවත් ය. ඒවා සුවපත් කිරීම තරම් අන් යමක් නොවටිනා බැව් ඔහු හොඳින් ම දනී. නව පරම්පරාවක අරුණලු විහිදෙනු බලා හැමෝට ම සතුටු විය නොහැකි ය. හේ නව පරම්පරාවකට සංස්කෘතික වටිනාකම් පිළිබඳ ලියා තබා සතුටක් විඳින්නේ ය.

Comments