ශ්‍රී ලංකා පාපන්දුවේ විජයග්‍රහණයක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියෙන් | සිළුමිණ

ශ්‍රී ලංකා පාපන්දුවේ විජයග්‍රහණයක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියෙන්

 

ශ්‍රී ලාංකේය පාපන්දු වංශ කතාවට නව පරිච්ඡේදයක් එක් කළ "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන" ජාත්‍යන්තර සිව්කොන් පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සත්කාරක ශ්‍රී ලංකා පිල සමත්වි ය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මෙරට මුල්ම සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ දී මෙලෙස දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම විශේෂ සිදුවීමකි. පසුගිය 09 දින කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරග තරග පිටියේ ආරම්භ වූ මෙවර අග්‍රාමාත්‍ය කුසලාන පාපන්දු තරගාවලිය යටතේ මෙම සටහන තැබෙන විට ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ ය.

එහි කූටප්‍රාප්තිය දක්නට ලැබුණේ ඉකුත් 16 දින රාත්‍රියේ දී සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ප්‍රබල බංග්ලාදේශ පිලට එරෙහිව ගෝල් 02 - 01 ක් ලෙස පරාජය කරමිනි.

නිවැරදි රිද්මයට අවතීර්ණ වී සිටින මොහොමඩ් වසිම් රාසික් මෙම තරගයේ දී ද වීරයා වෙමින් බංග්ලාදේශය සහමුලින්ම පරාජයට පත් කරන්නට ගෝල දෙකකින් දායක වූයේ ය. ඒ අනුව මෙවර තරගාවලියේ තුළ ඔහුගේ නමින් ලියවුණු ගෝල් සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගියේ ය.

ජයපැරදුමෙන් තොර යි

මෙවර තරගාවලිය ආරම්භ කරමින් 09 දින සවස කොළඹ රීඩ් මාවතේ දී පවත්වන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර මුල්ම තරගය අතිශය තියුණු මුහුණුවරක් උසුලමින් ගෝල් 04 - 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වි ය.

තරගයේ ප්‍රථම භාගය අවසන් වන විට ගෝල් 03 - 00 ක් ලෙස පෙරමුණේ පසු වන්නට මාලදිවයිනට හැකි වූ නමුත් දෙවැනි භාගය ආරම්භයේ පටන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් විශිෂ්ට තරග නිමාවකට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා පිලට හැකි විණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දී වාර්තා කළ විශිෂ්ටතම තරග නිමාව ශ්‍රී ලංකා පිල වෙතින් එදින දක්නට ලැබුණි. එය මෙරට පාපන්දු ලෝලීන්ගේ ආදරය දිනා ගත් තරගයක් ද විය.

දකුණු කොරියාවේ දී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරාගැනීමේ වටයේ දී ලෙබනනයට එරෙහිව මනරම් ගෝල් 02 ක් රැස් කරමින් කැපී පෙනුණු ද්විත්ව පුරවැසි ලාභී මොහොමඩ් වසීම් රාසික් ප්‍රේක්ෂක ආදරය උපරීමයෙන් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කිරීමට සමත්වීම එහිදී විශේෂත්වයක් ගත්තේ ය.

තරගය ඇරඹී 07 වැනි මිනිත්තුවේ දී පළමූ ගෝලය ද 09 වැනි මිනිත්තුවේ දී දෙවන ගෝලය ද 33 වැනි මිනිත්තුවේ දී තෙවන ගෝලය ද 58 වැනි මිනිත්තුවේදී සිව් වැනි ගෝලය ද වාර්තා කරමින් ගෝල් 04 - 00 ක් ලෙස පෙරමුණේ පසුවූ මාලදිවයින එරෙහිව හඹාගොස් ප්‍රදර්ශනය කළ මෙරට දක්ෂතාවය මනරම් විය.

64.69.73 සහ 91 යන මිනිත්තු වලදී ක්‍රියාත්මක වූ මොහොමඩ් වසීම් රාසික් ශ්‍රී ලංකා කණ්ඩායම ට ගෞරවය එක් කරමින් ගෝල් 04 රැස් කිරීමට සමත් විය. වාර්තාගත ගෝල් රැස් කිරීමක නිරත වූ මොහොමඩ් වසීම් රාසික් පළමු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

සීෂෙල්ස් පරාජය

සීෂෙල්ස් කණ්ඩායම හමුවේ පසු බැසීමට ලක් වූ ශ්‍රී ලංකා පිලට ගෝල් 01 - 00 ක අමිහිරි පරාජයක් අත් විඳීමට ඉකුත් 13 දා සිදුවිණි. මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ට හිමි වූ පළමු පරාජය ද මෙය විය.

ඉකුත් අඟහරුවාදා (09) මාලදිවයින සමග පැවති තියුණු තරගයේ දෙවන භාගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 මෙම තරගයේ ආරම්භක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබිණි.

තරගය ඇරඹී පළමු භාගය තුළ දෙපිලම කරට කර සටනක නිරත විණි. එහි දෙවැනි භාගයේ 23 මිනිත්තුවේ දී සීෂෙල්ස් ක්‍රීඩක "වොරේන් එරික් මැලී" විසින් වාර්තා කරන ලද එකම ගෝලය තරගයේ ඉරණම තීරණය කළේ ය.

ඉන් අනතුරුව ප්‍රතිවාදී සීෂෙල්ස් ආරක්ෂක බල ඇණිය අභිබවා යන්නට ශ්‍රී ලංකාව උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

මෙවර පැවැති මූලික තරග ආශ්‍රිතව ප්‍රසාද ලකුණු පූරුවේ ඉහළටම පැමිණීමට සීෂෙල්ස් සමත්වූයේ ප්‍රසාද ලකුණු 05 ක් ලබාගනිමිනි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සතුවූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 04 කි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සම වීම හේතුවෙන් දෙපිල ලබාගත් ගෝල් පරතරය මත තීරණාත්මක අවසන් තරගයට වරම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවීම ද විශේෂත්වයකි.

ප්‍රසාද ලකුණු 02 කට හිමිකම් කියමින් සිව් ස්ථානයට පත්වන්නට මාලදිවයින ට සිදු වූයේ බලාපොරොත්තු නොවන ඉරණමකට ලක් වෙමිනි.

 

සපුමල් වීදිය බණ්ඩාර

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments