හිර ගෙවල් ඇතුළේ උග­තුන් ද අඩු­වක් නැතේ | Page 2 | සිළුමිණ

හිර ගෙවල් ඇතුළේ උග­තුන් ද අඩු­වක් නැතේ

 

න්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත වූ රැඳවියන් 19856 දෙනාගෙන් රැඳවියන් 1165 දෙනෙකුම අ.පො.ස. උසස්පෙළ සමත් වූ පුද්ගලයන්ය. මේ අය අතර උපාධිධාරීන් 56 දෙනෙකු ද සිටිති. බන්ධනාගාරගත වන්නේ උගත්කමින් අඩු අය යැයි සමාජය තුළ මතයක් තිබේ. ඉකුත් වර්ෂයේ සිරගත වූ රැඳවියන් 19856 දෙනාගෙන් කිසිම දිනක පාසල් නොගිය සිරකරුවන් සංඛ්‍යාව 590 දෙනෙකි. ඒ වර්ෂය තුළ බන්ධනාගාරගත වූ රැඳවියන් සංඛ්‍යාව හා සසඳා බැලීමේ දී එය සුළු සංඛ්‍යාවකි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් වර්ෂයේ බන්ධනාගාර ගතකොට ඇති උපාධිධාරි රැඳවියන් 56 දෙනාගෙන් 04 දෙනෙකු කාන්තාවන්ය. උපාධියට වඩා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබු සංඛ්‍යාව දෙදෙනෙකි. මේ අතර අ.පො. ස. සාපෙළ සමත් රැඳවියන් සංඛ්‍යාව 3845 දෙනෙකි. ඉන් 84 දෙනෙකු කාන්තාවන්ය. ඉකුත් වර්ෂයේ සිරගතවූ රැඳවියන් අතුරින් රැඳවියන් 7352 නෙකු අට ශ්‍රේණිය සමත්වූ අය වන අතර කාන්තාවන් සංඛ්‍යාව 83 දෙනෙකි. පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබු රැඳවියන් 2417 දෙනෙකුද 2020 වර්ෂයේ දී බන්ධනාගාරගතව ඇත. ඔවුන් අතර කාන්තාවන් 39 දෙනෙකු සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම 2020 වර්ෂයේ බන්ධනාගාරගත වූ රැඳවියන්ගේ වැඩිම පිරිසක් විවාහකයන් වන අතර එම සංඛ්‍යාව 12845 දෙනෙකි. මේ අය අතුරින් 272 දෙනෙකු කාන්තාවන්ය. බන්ධනාගාරගත වූ අවිවාහකයන් සංඛ්‍යාව 5920 කි. ඉන් 59 දෙනෙකු කාන්තාවන්ය. වැන්දඹු 279 දෙනෙකු බන්ධනාගාරගතව ඇති අතර ඉන් 20 දෙනෙකු කාන්තාවන්ය. දික්කසාද වූ 505 දෙනෙකු 2020 වර්ෂයේ දී බන්ධනාගාරගතව ඇති අතර ඉන් 16 දෙනෙකු කාන්තාවන්ය. මේ අතර නීතියෙන් වෙන්වූ පුද්ගලයන් 307 දෙනෙකු ඉකුත් වර්ෂය තුළ බන්ධනාගාරගතව ඇත. විදේශිකයන් 28 දෙනෙකු ඉකුත් වර්ෂය තුළදී බන්ධනාගාරගතව ඇත.

සැබවින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ආරම්භක යුගයේ දි සිදු කරනු ලැබුවේ සිරකරුවන්ට ආරක්ෂණය හා රැකවරණය ලබා දීමය. කෙසේවුවද වර්තමානයේ ඉන්න ඔබ්බට යමින් සිරකරුවන් මනා පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරන සමාජ ශෝධනාගාරයක් බවට බන්ධනාගාරය පත්ව ඇත්තේය. දිවයින පුරා ආරක්ෂිත බන්ධනාගාර 03ක්, රිමාන්ඩ් බන්ධනාගාර 19ක්, තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන 02ක් වැඩකඳවුරු 09ක්, විවෘත වැඩ කඳවුරු 02ක්, හා සිරමැදිරි 20ක් බන්ධනාගාර පාසල් 01ක් බන්ධනාගාර අධිකාරිවරුන් යටතේ පාලනය වේ.

කෙසේවුවද බන්ධනාගාර තුළ ඇත්තේ අධික තදබදයකි. බන්ධනාගාරයේ ඉඩකඩ පහසුකම් ඇති ආකාරයට එක් එක් වර්ගයට අයත් සිරකරුවන් වෙන වෙනම රඳවාගත යුතුය. එහෙත් බොහෝ බන්ධනාගාරවල මේ අයුරින් සිරකරුවන් රඳවා තැබීමට නොහැකිවී ඇත්තේ එවායේ ඇති ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවිනි. මේ නිසා බන්ධනාගාරගත වන සිරකරුවෝ ගැටලු රැසකට මුහුණ දෙති. 2019 වර්ෂයේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන්ව ඇත්තේ මිගමුව හා කළුතර යන බන්ධනාගාරවල පැවති අධික තදබදය නිසා එක් එක් වර්ගයට අයත් සිරකරුවන් වෙන වෙනම රදවා තැබිමට නොහැකිවී ඇති බවය. මීගමුව බන්ධනාගාරයේ වාට්ටු 16ක වර්ග අඩි 18,853ක් තුළ බන්ධනාගාර ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවියන් හැකි රැඳවියන් සංඛ්‍යාව 350කි. එහෙත් මෙකී වර්ෂය තුළ අවස්ථා 05ක දී රඳවා සිටි රැදවියන් සංඛ්‍යාව 1695 දෙනෙකුගේ සිට 1843 දෙනෙකු දක්වා පරාසයක වී තිබුණි. කළුතර බන්ධනාගාරයේ වාට්ටු 22ක වාර්ග අඩි 17,126ක් තුළ බන්ධනාගාර ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 317 දෙනෙකි. එසේවුවද 2019 වර්ෂයේ අවස්ථා 06කදී රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව 1159 දෙනකුගේ සිට 1415 දෙනකු දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ කොයිහැටිවුවද බන්ධගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉකුත් වර්ෂයේ (2020) මෙරට බන්ධනාගාර තුළ බන්ධනාගාරගත කරනු ලැබු රැඳවියන් සංඛ්‍යාව 19856 කි. මෙකී බන්ධනාගාර රැඳවියන්ගෙන් කාන්තාවන් 395 දෙනෙකි. පිරිමි රැඳවියන් සංඛ්‍යාව 19461 දෙනෙකි. ඉකුත් වර්ෂයේ බන්ධනාගාරගත වූ සංඛ්‍යාව ලක්ෂයකට 91 දෙනකු බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. කෙසේවුවද 2019 වර්ෂයේ බන්ධනාගාරගත කරුණු ලැබු රැඳවියන් සංඛ්‍යාව හා සැසඳීමේ දී 2020 වර්ෂයේ බන්ධනාගාර ගතකොට ඇති රැඳවියන්ගේ විශාල අඩුවීමක් දක්නට ඇත්තේය. 2019 වර්ෂය තුළ රැඳවියන් 29 164 දෙනෙකු බන්ධනාගාරගත කොට ඇත. කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන රැඳවියන්ගේ අඩුවීමක් දක්නට ඇති බව ද සඳහන් වේ. 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ බන්ධනාගාරගත වූ රැඳවියන් පිළිබඳ විමසා බැලීමේ දි වැඩිම රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරගතව ඇත්තේ 2013 වර්ෂයේ දී ය. එම සංඛ්‍යාව 30760කි. ඉන්පසු මෙරට වැඩිම රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරගතව සිට ඇත්තේ 2019 වර්ෂයේ දී ය.

 

2020 බන්ධනාගාරගත වූ රැඳවියන් අතර උපාධිධාරීන් 56 දෙනෙක්; අ.පො.ස. උසස්පෙළ සමතුන් 1165ක්

 

ඉකුත් වර්ෂයේ (2020) මිනීමැරුම් සම්බන්ධයෙන් රැඳවියන් 48 දෙනෙකු, මිනි මැරුම් තැත් කිරීම සම්බන්ධයෙන් රැඳවියන් 57 දෙනෙකු, සාපරාධි මනුෂ්‍ය ඝාතනයට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රැඳවියන් 25 දෙනෙකු බන්ධනාගාරගතව සිට ඇත. සාපරාධි මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් 30 දෙනෙකු, පැහැර ගෙන යාම සම්බන්ධයෙන් 07 දෙනකු, ස්ත්‍රි දුෂණ සම්බන්ධයෙන් 87 දෙනෙකු, සුළු හා බරපතළ තුවාල සිදු කිරිම් සම්බන්ධයෙන් 175 දෙනකු බන්ධනාගාරගතව සිටිති.

මේ අතර සාපරාධි බලහත්කාරය හා බයගැන්වීම් සම්බන්ධයෙන් 38 දෙනකු, නිත්‍යානුකුල නොවන සංසර්ගය හා උත්සාහ කිරිම සම්බන්ධයෙන් 09 දෙනකු, සියදිවි හානි කරගැනීමට තැත් කිරිම සම්බන්ධයෙන් 03 දෙනකු, ගෙවල් බිඳීම හා කොල්ලකැම සම්බන්ධයෙන් 717 දෙනකු, අයුතු ලෙස ඇතුළු වීම ගෙවල් බිඳින උපකරණ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 384 දෙනකු ඉකුත් වර්ෂය තුළ බන්ධනාගාරගතව සිටිති. සොරකම් සම්බන්ධයෙන් 811 දෙනකු, පැහැර ගැනීම් හා මංකොල්ලකැම් සම්බන්ධයෙන් 284 දෙනෙකු හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් 16 831 දෙනකු බන්ධනාගාරගතව සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් සංඛ්‍යාව 93 දෙනෙකි. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හෝ අවසන් තීරණය ලිහිල් කිරිමට සිටින සිරකරුවන් සංඛ්‍යාව 93 දෙනෙකි.

බන්ධනාගාරගතව සිටි රැඳවියන්ගෙන් වැඩිම මරණීය දණ්ඩනය නියමු රැඳවියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ 2017 වර්ෂයේ දී ය. එම සංඛ්‍යාව 217 දෙනෙකි. 2015 වර්ෂයේ රැඳවියන් 186 දෙනකුට, 2016 වර්ෂයේ 180 දෙනකුට මරණිය දණ්ඩනය නියම වී ඇත.

2020 වර්ෂයේ දි දණ්ඩනයට පත්වන කාලය අනුව බන්ධනාගාරගත වන රැඳවියන් පිළිබඳ විමසා බැලීමේ දි මාසයේ සිට මාස 06 දක්වා කාලය තුළ වැඩිම රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරගත වී තිබේ. ඒ රැඳවියන් සංඛ්‍යාව 10958 දෙනෙකි.මාසයකට අඩුවෙන් බන්ධනාගාරගතව සිටි රැඳවියන් සංඛ්‍යාව 4677 දෙනෙකි.

මාස 06 සිට වර්ෂයක් කාලයක් සඳහා රැඳවියන් 2464 දෙනෙකු, වර්ෂයේ සිට වර්ෂ 02 දක්වා 1132 දෙනකු, වර්ෂ 02 සිට වර්ෂ 05 දක්වා 289 දෙනකු බන්ධනාගාරගතව ඇත. එමෙන්ම වර්ෂ පහේ සිට වර්ෂ දහය දක්වා රැඳවියන් එකසිය හයදෙනෙකු හා වර්ෂ දහයට වැඩි හා මරණීය දණ්ඩනයට ලත් රැඳවියන් සංඛ්‍යාව 230 දෙනෙකි. ඉකුත් වර්ෂයේ (2020) දිස්ත්‍රික්ක අනුව බන්ධනාගාරගත වූ සිරකරුවන් සංඛ්‍යාව අනුව වැඩිම සිරකරුවන් සංඛ්‍යාව බන්ධනාගාරගතව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 5973 දෙනෙකි. අඩුම සිරකරුවන් සංඛ්‍යාවක් බන්ධනාගාරගතව ඇත්තේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව තිස් දෙදෙනෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ සිරකරුවන් 2945 දෙනකු, කළුතර දිස්ත්‍රික්කයේ සිරකරුවන් 1700 දෙනෙකු බන්ධනාගාරගතව ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ සිරකරුවන් 834 දෙනෙකු බන්ධනාගාරගතව ඇත.

2020 වර්ෂයේ දි බන්ධනාගාරගත වූ රැඳවියන්ගෙන් 12.375 දෙනෙකු වයස අවුරුදු 16 සිට වයස අවුරුදු 40 දක්වා වයස් ඛාණ්ඩයේ පසුවන අය බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. අවුරුදු 41 සිට 60 දක්වා වයස් ඛාණ්ඩයේ පසුවන පුද්ගලයින් 6763 දෙනෙකු බන්ධනාගාරගතව ඇත. අවුරුදු 60 වැඩි වයස් කාණ්ඩයේ පසුවන අයගෙන් බන්ධනාගාරගතව ඇත්තේ 718 දෙනෙකි.

 

උපාධිධාරි රැඳවියන් 56 දෙනාගෙන් 04 දෙනෙකු කාන්තාවන්; උපාධියට වඩා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබු සංඛ්‍යාව දෙදෙනෙක්

 

ඒ කොයිහැටි වුවද බන්ධනාගාරගත වූ රැඳවියන්ගේ අධ්‍යාපන තත්ත්වය සලකා බැලීමේ දි මින් වැඩි පිරිසක් නුගතුන් නොවෙති. මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන්ගෙන් අප කළ විමසුමකදි ඔහු මෙසේ කීවේය.

මුල්‍ය වංචා අල්ලස් ගැනිම් හා ක්ෂණිකව ඇතිවන ආවේගය නිසා වන අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන වැඩි පිරිසක් උගත් අයයි. ඇත්තටම මේ සම්බන්ධව මනෝ විද්‍යාත්මක බැලීමේ දී ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් ඇතමුන් කුඩා කල සිටම අධ්‍යාපන තත්ත්වය අතින් ඉහළ තත්ත්වයක හිටියත් අධ්‍යාපනයේ කොටසක් වන නීතිය හා සාමයට සැලකීම, විනය ඒ අයගේ මනසේ දියුණු වෙලා නැහැ. මේ අය තුළ සමාජ වගකීමක් නැහැ. අන් අයට කරදරයක් වනවිට මේ අයගේ හිත උණුවන ගතියක් නැහැ. මේ අය තුළ සමාජ විරෝධි පෞරුෂත්ව සාධක තියෙනවා. සමාජ විරෝධි දේවල් ගණන් ගන්නේ නැහැ. මේ අයගේ සමාජ විරෝධි පෞරුෂත්ව සාධක උගත්කම නිසා යටපත්වෙලා තියෙන්නේ. මේ අය සමාජ විරෝධි සාධක නිසා නිතියට සමාජයට ගරු කිරීමක් නැහැ. ඇතමුන් කුඩා කල සිටම හොරකම හා වංචාව වැරදි දෙයක් ලෙස දකින්නේ නැහැ. මේ සඳහා අධ්‍යාපන තත්ත්වය පවුල් පසුබිම, දෙමව්පිය ආභාසය බලපානවා යැයිද මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments