නව පරපුරට නව ජවයක් එක්කිරීම අපේ අරමුණයි | Page 2 | සිළුමිණ

නව පරපුරට නව ජවයක් එක්කිරීම අපේ අරමුණයි

 

ලෝකයටම මුව ආවරණ පැලැන්ඳූ කොවිඩ් 19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව පුරා ද ශීඝ්‍රයෙන් පැතිර ගිය ඉකුත් මැයි මාසයේදී තරුණ සහ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහය හා අභ්‍යාසලාභීන්ගේ ශ්‍රම දායකත්වය ඇතිව ක්‍රියාත්මක වූ ‘දින 10ක් තුළ ඇඳන් 10,000ක්’ ව්‍යාපෘතිය රටේම පැසසුමට ලක්විය.

කොරෝනා වයිරසයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන්නන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ Blood to hope වැඩසටහන යටතේ ලේ බැංකුවට රුධිර පයින්ට් හතළිස් දාහකට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට ද ජාතික තරුණ සේවා සභාව කටයුතු කළේය. එපමණක් නොව නිරෝධායන ඇඳිරි නීතිය පැවති දිනවල මහල් නිවාස අවට ජනතාවට මානසික සුවය සැලසීම වෙනුවෙන් Be happy with you වැඩසටහන මඟින් සංගීත, නාට්‍ය සහ නර්තන රසාස්වාදනය ලබාදීමට ද ජාතික තරුණ සේවා සභාව තරුණ තරුණියන් පෙළගැස්වූයේ තාරුණ්‍යය වඩාත් සුන්දර වන්නේ එවැනි අරුත්බර ක්‍රියාවලින් බව යළි යළිත් පසක් කරමිනි. ඒ අරුත්බර තාරුණ්‍යයට තවත් වටිනාකමක් එක්කළ අපූරු සද් කාර්යයක් ජාතික තරුණ සේවා සභාවේ මැදහත්කමින් පසුගියදා සිදු විය.

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මඟපෙන්වීම මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ ගේ පූර්ණ මැදිහත්වීමෙන් යෞවන සමාජ සම්මේලනයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවූ නවීන පහසුකම්වලින් සමන්විත ‘අපේක්ෂාවේ යථාර්ථය’ වාට්ටු අංක 20 ඉකුත් නොවැම්බර් 9 වැනිදා විවෘත කෙරිණ.

ඉහත කී සියලුම කාර්යන් සඳහා ජාතික තරුණ සේවා සභාවට නායකත්වය ලබාදුන් නියමුවා වූයේ එහි සභාපති, අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස දමිත වික්‍රමසිංහ පත්කරනු ලබන්නේ ඒ වන විට නිද්‍රාවක ගිලී සිටි ජාතික තරුණ සේවා සභාව අවදි කර තාරුණ්‍යය බලගැන්වීමේ මහා වගකීම ඔහු මත පවරමිනි. වත්මන් ශ්‍රී ලාංකේය තරුණ පරපුර හමුවේ ඇති අභියෝග පිළිබඳ විමසමින් අප ඔහු හා පිළිසඳර ඇරඹීමු.

“තරුණ පරපුර හමුවේ ඇති අභියෝග පරපුරෙන් පරපුරට වෙනස් වෙනවා. කොවිඩ් 19 තත්ත්වය අප හමුවේ ඇති අලුත්ම අභියෝගයයි. වෙනස් වන ලෝකයට අනුව අනුගත නොවූවහොත් අප විශාල අසීරුතාවකට පත්වෙනවා. නමුත් ඒ සියලු අභියෝගයන්ට මුහුණ දිය හැකි ඡවයක් සහ විස්මිත නිර්මාණශීලී හැකියාවක් අපේ තරුණ පරපුර සතුව තිබෙනවා. තරුණ පරපුර සම්බන්ධයෙන් අප වටහාගත යුතු මූලිකම දේ අපට අවශ්‍ය විදිහට අපි දරුවන් සූදානම් කිරීමෙන්

ඵලක් නැහැ.

අනාගත ලෝකයට ගැළපෙන ආකාරයටයි ඔවුන් සූදානම් කළ යුත්තේ. දරුවකු තුළ තිබෙන දක්ෂතාව හඳුනාගෙන එය ජාත්‍යන්තර මට්ටම දක්වා දියුණු කර ගැනීමට ඔහුට මඟපෙන්වීම කළ යුතුයි. අපේ තරුණ පරපුර තුළ තිබෙන අඩුපාඩුවක් විදිහට මම දකින්නේ ඔවුන් සරල ජීවිත ක්‍රමයකට හුරුවීමෙන් ජීවිතය නිශ්චිත ඉලක්කයක් වෙත ගෙනයෑමට අපොහොසත් වීමයි. ” එම අපොහොසත් වීමට හේතු ලෙස ඔහු දකින්නේ තාරුණ්‍යය නඟා සිටුවීමට පිහිටා ඇති ආයතනවල අසමත් භාවයයි. පසුගිය කාලයේදී ජාතික තරුණ සේවා සභාව පැවතියේ එහි සතු ජීව ගුණයෙන් බැහැරවය. ඒ පිළිබඳ වත්මන් සභාපති දමිත වික්‍රමසිංහ පැවසුවේ මෙවැන්නකි.

“1970දී ජාතික තරුණ සේවා සභාවේ තිබුණු ආකෘතිය, ව්‍යවස්ථාව, තාක්ෂණය අතීතයට ගැළපුණාට එය වර්තමානයට හා අනාගත ලෝකයට ගැළපෙන්නේ නැහැ. ඒ ක්‍රමය අනුව වයස අවුරුදු 15දී යෞවන සමාජයකට ඇතුළත් වෙලා අවුරුදු 29දී එයින් එළියට යනකොට ක්‍රීඩා තරගවලට, සංදර්ශනවලට, කලා උලෙළවලට යෑම හැර ජීවිතය හදාගන්න වැඩපිළිවෙළක් සකස් වෙලා නැත්නම් ඊළඟ දවසේ සිට ජීවත් වෙන්නේ කොහොමද කියලා හිත හිත පසුතැවෙන්නට සිදුවනවා නම්, ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම අසමත්. ඒ තත්ත්වය වළක්වා ගැනීමට නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ ආශිර්වාදය සහ උපදෙස් මත අලුත් වැඩසටහන් රාශියක් අප මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් තරුණ තරුණියන් යෞවන සමාජවලට බැඳෙන්න නම් තරුණ සේවා සභාව හොඳ බ්‍රෑන්ඩ් එකක් බවට පත්කළ යුතුයි. බ්‍රෑන්ඩ් එක හොඳ නම් පහසුවෙන් විකුණන්න පුළුවන්. මම මේ ආයතනය භාරගන්න අවස්ථාවේදී ලක්ෂ 55ක් වන තරුණ ප්‍රජාවෙන් ලක්ෂ 4කටත් අඩු සංඛ්‍යාවක් තමයි යෞවන සමාජ සම්මේලනය තුළ සිටියේ. එහෙත් මේ මාස කිහිපය තුළ අපට එය ලක්ෂ පහමාරක් දක්වා වැඩිකර ගැනීමට හැකිවුණා. ලබන වසරේ පළමු කාර්තුවේදී යෞවන සමාජවල සමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ වීමට නියමිතයි. නමුත් හුදෙක් ප්‍රචාරණ වැඩසටහන් පමණක් සෑහෙන්නේ නැති බව මගේ විශ්වාසයි.”

එය වඩා ඵලදායී වීමට නම් යෞවන සමාජයකින් පිටතට යන තරුණ තරුණියන්ට සිය ජීවිතය සාර්ථක කරගැනීමේ මාවත සකස් වී තිබිය යුතුය. “රජයේ රැකියා මානසිකත්වයෙන් තරුණ තරුණියන් මුදාගැනීම නාමල් රාජපක්ෂ ඇමතිවරයාගෙත් මගෙත් මූලික සංකල්පයයි. ඒ වෙනුවෙන් මේ වන විටත් අපි ජාතික මට්ටමේ වැඩසටහන් තුනක් ආරම්භ කර තිබෙනවා.”

 

Hope to Srilanka නම් ව්‍යසායකත්ව වැඩසටහනෙන් නව ව්‍යසායකයන් 50,000ක් බිහි කිරීම අපේ බලාපොරොත්තුවයි. එහිදී ස්වයං රැකියා වගේම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් බිහි කිරීමට අපි කටයුතු කරනවා. ඒ අනුව ඒ ඒ ක්ෂේත්‍ර යටතේ ව්‍යාපාර ආරම්භ කරන තරුණ ව්‍යසායකයන්ට අවශ්‍ය තාක්ෂණය, පුහුණුව, ප්‍රාග්ධනය සහ වෙළෙඳපොළක් ලබාදීමට කටයුතු කරනවා. ග්‍රීන් හවුස් වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පමණක් ග්‍රීන් හවුස් 3,000ක් ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ වගේම වසරකදී තරුණ තරුණියන් 25,000ක් විදේශ රැකියාවලට යොමු කිරීමට කටයුතු කරනවා. මීට අමතරව ලක්ෂයකට ලක්ෂයක් නමින් වැඩසටහනක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක වෙනවා.

තරුණ ප්‍රජාවගේ අනාගතය ගොඩනැඟීමේ එවැනි පුළුල් වැඩසටහන් අතර වසර දෙකකින් පැවැත්වීමට නොහැකි වූ යෞවන ක්‍රීඩා තරග ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර පැවැත්වීම, කලක් ජාතික තරුණ සේවා සභාවේ සන්නාමයක් බවට පත්ව තිබූ ‘තුරුණු ශක්ති’ රියැලිටි සංගීත වැඩසටහන යළි ආරම්භ කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ද ජාතික තරුණ සේවා සභාවේ සරු අස්වනු බවට පත්වනු නිසැකය. ලබන නොවැම්බර් 26 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන යෞවන සම්මාන උලෙළේදී ‘තුරුණු ශක්ති ජෙනරේෂන් නෙක්ස්ට්’ නමින් නවීකරණය කළ තුරුණු ශක්ති වැඩසටහන නැවත දියත් කරනවා.

දෙසැම්බර් මාසයේ සිට එය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙනවා. එහිදී පෙර පැවති වැඩසටහනේ ගුණාත්මක භාවය එලෙසම රඳවා ගනිමින් ජාතික රූපවාහිනිය සමඟ අත්වැල් බැඳගෙන මෙරට රියැලිටි ගායන තරග අතර ප්‍රමුඛයා ලෙස එම වැඩසටන පැවත්වීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම තරුණ පාර්ලිමේන්තුවේ අලුත්ම සැසිය දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සමඟ පැවැත්වීමටත් යළි සෙනට් සභාව හඳුන්වා දී විවිධ ක්ෂේත්‍රවල සිටින තරුණ නායකයන් ඊට ඇතුළත් කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා.”

ඒ සියලු වැඩසටහන් අතර ජාතික තරුණ සේවා සමාගම විසින් එකම ආයතනයක් තුළ සහතික පත්‍ර මට්ටමේ සිට උපාධිය දක්වා ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළමු අදියර යටතේ සහතික පත්‍ර පාඨමාලා මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයට පණ පෙවීමේ අරමුණින් යොවුන් පරිගණක පාසලක් ද පසුගියදා ආරම්භ විය. මේ සියලු කටයුතු සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව සභාපති දමිත වික්‍රමසිංහ කෘතවේදීව සිහිපත් කළේය.

“තරුණ අදහස් තේරුම් ගත හැකි තරුණ ඇමැතිවරයෙක් අපේ රටේ තරුණ විෂය බාරව කටයුතු කරන්නේ පළමු වතාවටයි. නව ලෝකයට ගැළපෙන අලුත් විදියට හිතන, අලුත් චින්තනයක් තිබෙන ඇමැතිවරයෙක් සමඟ වැඩ කිරීමට ලැබීම මට විශාල ශක්තියක්. කිසිම සභාපතිවරයකුට නොලැබෙන ආකාරයේ වැඩ කිරීමේ නිදහසක් ඇමතිවරයා විසින් මට ලබාදී තිබෙනවා. එතුමාගේ දර්ශනය නිසා මේ අභියෝගාත්මක ගමන වඩාත් පහසුයි.”

ඒ නායකත්වයේ ආශිර්වාදයෙන් ජාතික තරුණ සේවා සභාවට නව ජීවයක් දීමට කැපවී ක්‍රියා කරන ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ සාර්ථක වෘත්තිකයෙකි. ජීවිතයේ සාර්ථකත්වයට හේතුවූ දැක්ම ගැන ද අප ඔහු විමසුවෙමු.

“පළමු දේ තමන් කරන දේ අවංකව හරියට කරන්න. කවුරු රැවටුවත් කෙනෙක්ට තමන්ව රවටන්න බැහැ. ඒ වගේම කැපවීමෙන් කරන ඕනෑම දෙයක් සාර්ථක කරගත හැකියි. අපි තරුණ තරුණියන්ට ආරාධනා කරනවා ජාතික තරුණ සේවා සභාවේ වැඩසටහන් සමඟ එකතු වෙන්න. රට හදන්න ඔබේ දායකත්වය අපට අත්‍යවශ්‍යයි. පටු දේශපාලන අරමුණු ඇතිව මේවා විවේචනය කරන, අකුල් හෙළන අයට එකතුවෙලා මේ වැඩසටහන් අසාර්ථක කරන්න දායක වෙන්න එපා. එහෙම වුණොත් විනාශ වෙන්නේ ඔබේත් මේ රටේත් අනාගතයයි”

 

ඡායාරූප- රුවන් ද සිල්වා

 

Comments