දිරියෙන් ජයගත් චන්දුල ජංගම වෙළෙඳසැල | සිළුමිණ

දිරියෙන් ජයගත් චන්දුල ජංගම වෙළෙඳසැල

 

‍රන්ජන් හඳුගොඩ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට පිවිස 25වන සංවත්සරය සමරනු ලබන මොහොතේ තමන් ආ ගමන් මඟ පිළිබඳව මෙසේ ආවර්ජනය කළේය.

ව්‍යාපාර ආරම්භ කරල අවුරුදු 27ක් වෙනවා. නමුත් මුළු ලෝකයම ආක්‍රමණය කරලා තිබුණු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 25වන සංවත්සරය සැමරීම අවුරුදු 02කින් කල් දාන්න සිදුවුණා.

පාසැල් දිවියට සමුදීලා මම කොළඹ ආවේ දියුණු වෙන්න ඕන කියලා හිතාගෙන. මුලින්ම කොළඹ ඇවිත් පෞද්ගලික ආයතනයක අවුරුදු එකහාමාරක් විතර වැඩ කළා. දියුණුවෙන්න කියලා හිතේ තිබුණු දැඩි ආශාව නිසාම තීරණය කළා සුළුවෙන් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම හිතල මුලින්ම නුගේගොඩ හන්දියෙ හයිලෙවල් පාර අයිනෙ ඇඹරැල්ලා වෙළඳාම් කළා. ඉන් පස්සෙ පලතුරු වර්ග වෙ‍ෙළදාම් කළා. වෙළෙඳාම ටික ටික සරුවෙන කොට පුත්තලම පැත්තෙන් කෙසෙල් හේනක් බද්දට අරගෙන කොළඹට කෙසෙල් ගෙනාවා. ඒ වනකොට මගේ සහයට ගෝලයෙකු ලෙස බෙලිඅත්ත ප්‍රදේශයේ පුවක් දණ්ඩාව ගම්මානයේ ප්‍රියන්ත කියලා මල්ලී කෙනෙක් උදව්වට ගත්තා. හයිලෙවල් පාරේ පැරණි කිරිමණ්ඩලය අසල පලතුරු තට්ටුව ප්‍රියන්ත මල්ලීට භාරදීල මම අලුත් අලුත් දේවලට අතගැහුවා. උත්සව සමයට අවශ්‍යය බඩු භාහිරාදිය පදික වේදිකාවේ වෙ‍ෙළඳාම් කළා. ඊට පස්සේ තොටළඟ තොරණ ළඟ ඉඳලා කළුතර බෝධිය ළඟට යනකල් හැම නගරයකම මගේ ගෝලයෝ 20-30ක් දාලා පදික වේදිකාවේ වෙළෙඳාම පුළුල් කළා.

ඒ වනවිට තට්ටුවල විකුණන බඩුවල මුදල් එකතු කිරීමට යන්න වාහනයක අවශ්‍යතාවය දැනුනා. මුලින්ම මෝටර් බයිසිකලයක් ගත්තා. මේ විදිහට ව්‍යාපාරය දිගටම කරගෙන යන කොට තවත් අදියරක් ඉදිරියට තිබ්බා. මම ගල්කිස්ස නගරයෙන් හිස් ඉඩම් කැබැල්ලක් බද්දට අරගෙන එතන සෙරමික් බඩු සේල් දැම්මා. 1999-2000 වගේ වසරවල බැනර් එකක් දාලා ආරම්භ කරපු මෙම ව්‍යාපාරය ඉතා සාර්ථක වුණා. නව මාදිලියේ වෙළෙඳාම් ක්‍රමයක් වූවත් ජනතාව ඒවායින් බඩු ගන්න උනන්දු වුණා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් කරන මෙම ජංගම වෙළෙඳාම් ක්‍රමයේ ආරම්භකයා මමයි. ඒ කියන්නේ නිර්මාතෘවරයා මමයි. සෙරමික් බඩුවලින් එම ව්‍යාපාරය පටන් ගෙන 1996 වසරේ දී ආරම්භ කල “චන්දුල” ජංගම වෙළෙඳසැල නමින් ලියාපදිංචි කළා. ගල්කිස්ස නගරයේ ඉන්න කොට මම දැකපු දෙයක් තමයි වැඩිම බස් ප්‍රමාණයක් පිටත්වෙන්නේ 255 ගල්කිස්ස - පිළියන්දල කියල. මට හිතුනා පිළියන්දල තියෙන්නේ කොහෙද කියලා බලන්න. එහෙම හිතල දවසක් 255 බස් එකේ නැගලා පිළියන්දලට ආවා. එතකොට හවස 6.00ට විතර ඇති වෙලාව. ඒක නිසා නැවතත් පහුවදා පිළියන්දලට ඇවිත් ව්‍යාපාරයට සුදුසු ස්ථානය සොයාගත්තා. ටික කාලයක් එක තැනක ව්‍යාපාරය කරලා තව ටික කලකට වෙනත් නගරයක වෙළඳාම ආරම්භ කලා. නගරයෙන් නගරයට ගොස් මෙම ජංගම ක්‍රමයට වෙළඳාම් කිරීමට බොහෝ දෙනා පසු කාලීනව පුරුදු වුනා.

Comments