ලක්ෂෙට කොඩි දාන අයි.සී.සී. විනිසුරු පඩි ධර්මසේනට මාසයකට රුපියල් ලක්ෂ 16 ක්? | සිළුමිණ

ලක්ෂෙට කොඩි දාන අයි.සී.සී. විනිසුරු පඩි ධර්මසේනට මාසයකට රුපියල් ලක්ෂ 16 ක්?

 

'අනුන්ගේ පඩි අපිට මොකට ද? කෙනෙකුට සිතෙන්න පුළුවන. ඒත් ලෝකයම පිළිගන්නා මිනිසුන්ගේ පඩිය, නිවැරැදි සිංහලයෙන් කියන්නේ නම් වේතනය ගැන අසන්නට කවුරුත් අකැමැති වෙන්නේ නැත. තමන්ට නැතත් අනුන්ට ලැබෙන දේ ගැන සොයා බලන්නට අපේ සමාජයේ උදවිය දක්වන නොතිත් කැමැත්ත ඊට හේතුව ය. මේ කුමාර් ධර්මසේන හා රංජන් මඩුගල්ලේගේ අයි.සී.සී. පඩිය ගැන කතාවකි. එය නිල වශයෙන් කළ ප්‍රකාශයක් නොවූවත් ලෝකය තුළ කාන්දු වී ගිය ප්‍රවෘත්තියකි. අපිත් ඒ ගැන දැනුවත් වෙමු.'

'ලොව විශිෂ්ටතම විනිසුරුවෝ හා තීරකයෝ තෝරා ඔවුන් අතුරින් තෝරාගත් පිරිසක් ජාත්‍යන්තර වශයෙන් අයි.සී.සී. ය සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරග වෙනුවෙන් යොමුකිරීම සාමාන්‍ය පිළිවෙත ය. මේ අනුව ලොව හොඳම විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ඇතුළත් ව සිටින්නේ දීර්ඝ කාලයක සිට ය. ඔහුට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් විශිෂ්ටතම තරග තීරකයා ලෙස කීපවිටක් නම් කරනු ලැබූ රංජන් මඩුගල්ලේ ගේ සේවය ද දීර්ඝ කාලයක් තිස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ලබාදෙමින් තිබේ.

මෙතරම් විදෙස් තරගාවලි විනිශ්චය කරන, තීරකයන් වශයෙන් කටයුතු කරන්නවුන් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය කොතරම් මිලක් ගෙවනු ලබන්නේ ද? එය බොහෝවිට ප්‍රසිද්ධියේ කතාබහට ලක් වූයේ නැත. එහෙත් පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය කරගෙන තිබූ කාරණාවන් කීපයකට අනුව විනිසුරුවකු ජාත්‍යන්තර එක්දින තරගයක විනිශ්චය කටයුතු සඳහා යොදවා ගන්නේ නම් ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් තුන්දහසක මුදලක් ගෙවීම සිදුකරන බව සඳහන් ය. එය ටෙස්ට් තරගයක දී ඩොලර් පන්දහසක් දක්වා ඉහළ දැමෙන අතර විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් ඩොලර් 1500 ක දීමනාවක් පිරිනැමේ. අයි.සී.සී. විස්සයි විස්ස තරගාවලියේ තරගයක විනිශ්චයට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් තුන්දහසක් පිරිනැමෙන බවත් ප්‍රකාශිත ය.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අයි.සී.සී. විශේෂඥ විනිසුරු මඬුල්ලට ඇතුළත් ව සිටින කුමාර් ධර්මසේන වාර්ෂික අමෙරිකානු ඩොලර් ලක්ෂයක එනම් ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් ලක්ෂ දෙසිය දෙකක දීමනාවකට හිමිකම් කියන බව පැවසෙයි. එය ආසන්න වශයෙන් මසකට රුපියල් ලක්ෂ දහ හතක් පමණ වෙයි.

තරග තීරකයන්ගේ විශේෂඥ කමිටුවේ ප්‍රධානියාව සිටි රංජන් මඩුගල්ලේ වෙනුවෙන් වාර්ෂිකව අයි.සී.සී. ය ගෙවනු ලබන දීමනාව අමෙරිකානු ඩොලර් හතළිස් දහසක් එනම් රුපියල් අසූ එක් ලක්ෂයකට ආසන්න වේ. එය ගෙවනු ලබන්නේ එක්දින තරගයකට ඩොලර් 1500, ටෙස්ට් තරගයක් වෙනුවෙන් ඩොලර් 2500 ක් හා විස්සයි විස්ස තරගයක් සඳහා ඩොලර් 800 ක් ලෙස ය. ඒ අනුව අයි.සී.සී. ය මඟින් මාසිකව රුපියල් ලක්ෂ හයහමාරක පමණ දීමනාවක් තීරකයකු වශයෙන් කටයුතු කිරීම වෙනුවෙන් ඔහු වෙත ගෙවා දමනු ලබන බව පැවසෙයි.

කොහොම වුණත් අපි එක දෙයක් පිළිගත යුතුව ඇත. ඒ මේ වේතනය ඔවුන් ලබාගන්නේ ක්‍රිකට් සෙල්ලම ලෙල්ලමක් නොවෙන්නට උපරිම කැපකිරීම ලබාදීමෙනි. ඇස් රතුවෙන තුරු වෙහෙසකාරී අයුරින් කඩුල්ල දෙස, පිතිකරුවාගේ පිත්ත පන්දුව සමඟ ගැටෙන ආකාරය, පන්දුයවන්නාගේ කකුල සීමා ඉර පනින්නේ ද නැද්ද? පන්දුව නිසි දුරින්, නිවැරැදි ඉලක්කය මත පතිත වූවා ද, පන්දුව පතිත වුණේ කොතැන ද, කැපෙන්නේ කොහේට ද, පන්දු කීයක් යැව්වේ ද, පිතිකරුට ප්‍රවේශ විය නොහැකි තරම් දුරින් පන්දුව පතිත වූයේ ද ආදී අනේක විධ කාරණා තියුණුව සොයා බලන්නට විනිසුරුට සිදුවේ. ඔවුන්ගේ තීන්දු යළි අභියෝගයට ලක්කරන්න දැන් ඩී.ආර්.එස්. ක්‍රමවේදයක් ලෝකයට හඳුන්වා දී ඇති වටපිටාවක විනිසුරුවෝ සේවය කරති. අනාගතයේ අයි.සී.සී. ය ට හිතුණොත් රොබෝ විනිසුරුවන් ක්‍රීඩාංගණයට ගෙන ඒමට ඉඩ ඇත. පරිගණක මොළයෙන් වැඩ කරන එවැනි කෘත්‍රිම විනිසුරුවන් පැමිණියහොත් සජීවි විනිසුරුවන් ඉතිහාසයට ගිය මතකයක් වන්නටත් ඉඩ තිබේ. ඒ නිසා ඔවුන්ගේ වැටුප් ගැන අපි සටහනක් තැබුවාට ඒවා නිකං ලෙහෙසියෙන් ගන්න දේවල් නොවෙයි කියන කාරණය හොඳට මතක තබාගත යුතුම ය.

ලොව පුරා අයි.සී.සී.යෙන් වැටුප් ලබන විනිසුරුවන් හා තරග තීරකයෝ මෙසේ ය.

අයි.සී.සී. විශේෂඥ විනිසුරුවෝ හා ඔවුනගේ වාර්ෂික ආදායම (අමෙරිකානු ඩොලර්)

අලීම් ඩාර් 100000

බෲස් ඔක්ස්එන්ෆොර්ඩ් 100000

ක්‍රිස්ටෝපර් ගැෆනි 100000

ජොයෙල් විල්සන් 100000

කුමාර් ධර්මසේන 100000

මාරේස් එරාස්මුස් 100000

මයිකල් ගෆ් 100000

නයිජල් ලියෝන්ග් 100000

පෝල් රයිෆල් 100000

රිචර්ඩ් ඉලිංග්වර්ත් 100000

රිචඩ් කෙට්ල්බරෝ 100000

රොඩ්නි ටකර් 100000

තරග තීරකයෝ හා ඔවුනගේ වාර්ෂික ආදායම

ඩේවිඩ් බූන් 40000

ක්‍රිස් බ්‍රෝඩ් 40000

ජෙෆ්රි ක්‍රෝ 40000

රංජන් මඩුගල්ලේ 40000

ඇන්ඩ්‍රි පික්රොෆ්ට් 40000

රිචී රිචඩ්සන් 40000

ජවගල් ශ්‍රීනාත් 40000

(අන්තර් ජාලය ඇසුරිනි)

කාන්ති ජයසිංහ

Comments