රූපවාහිනියට පෙරවදනක් | සිළුමිණ

රූපවාහිනියට පෙරවදනක්

ඇසිදිසිමානයේ රූපමය පෙළහර වෙනුවෙන් දිනයක් වෙන්වන්නේ 1996 වසරේදී ය. ලෝකය ම නිවෙසට ගෙනා රූපමය කතාව වෙනුවෙන් වෙන් වුණු ඒ දිනය වන්නේ නොවැම්බර් 21 දා ය. ඒ අනුව ලෝක රූපවාහිනී දිනය අදයි. 2021 වෙනුවෙන් වෙන් වුණු තේමාව වන්නේ "අද රූපවාහිනිය" යන්නයි. රූපවාහිනිය දැන් ඕනෑ ම වේලාවක, ඕනෑ ම උපාංගයකින් ඕනෑ ම තැනක සිට නැරඹිය හැකි බැවින් මෙම තේමාව අද සන්දර්භය ඇතුළත ඉතා වලංගු ය. වීඩියෝ පරිභෝජනයේ විශාලතම තනි මූලාශ්‍රය ලෙස රූපවාහිනිය අදටත් ස්ථානගතව පවතින්නේ ඒ නිසා ය.

 

එක් ඉතිහාසගත සිදුවීමකදී, ඇමරිකානු නව නිපැයුම්කරුවකු වන ෆයිලෝ ෆාර්න්ස්වර්ත් ඔහුගේ රූපවාහිනී භාවිතයෙන් ඩොලර් ලකුණක රූපය ප්‍රසිද්ධියේ සම්ප්‍රේෂණය කළේ සහෘදය නව නිපැයුම්කරුවකු විසින් අසන ලද "අපි මෙයින් ඩොලර් දකින්නේ කවදාද" යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසිනි. මෙතරම් විශාල ලෙස මුදල් ඉපැයීමට හැකියාවකින් යුක්තව අද පවතින ආකාරයේ ගෝලීය තොරතුරු රසාස්වාද මාධ්‍යයක් මෙන්ම ජාත්‍යන්තර දිනයක තේමාවක් බවට රූපවාහිනිය පත්වේ යැයි ඒ වන විට ඔවුන් දෙදෙනා ම දැන සිටියේ නැත.

ලෝක රූපවාහිනී දිනයේ 25 වන සංවත්සරය යෙදෙන මෙම වසරේදී අපි ලොව පුරා පවතින එක් සත්‍යයක් සමරන්නෙමු: “තිබුණාට වඩා රූපවාහිනිය බොහෝ දියුණු වී තිබේ”. වර්තමාන රූපවාහිනිය ඕනෑම වේලාවක පවතින්නකි. විටෙක සාමූහික බවක්ද තවත් විටක පුද්ගලාබද්ධ හැඟීමක් ද ඔබට ඉන් ලැබේ. එබැවින්, මෙම දිනය නම් කර ඇත්තේ ඉන් දැක්වෙන වස්තු බීජය සැමරීම සඳහා නොව, සන්නිවේදනයේ සංකේතයක් ලෙසින් එය නියෝජනය කරන ක්ෂේත්‍රය සැමරීමට බව තේරුම් ගැනීම වැදගත් ය. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ සැබෑ බලය සහ එය මහජන මතය හැඩගැස්වීමට උපකාරී වන ආකාරය පිළිබඳ මතක් කර දෙන්නක් ලෙස ලෝක රූපවාහිනී දිනය කියවා ගැනීම වැදගත් වන්නේ ඒ නිසා ය.

මෙම ගෝලීය සැමරුම් දිනය රූපවාහිනී විකාශන මාධ්‍යයේ කාර්යභාරය පිළිගැනීම උදෙසා වෙන් කෙරුණු එකකි. මාධ්‍ය සන්නිවේදනයේ දී රූපවාහිනිය ඉටු කරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දේශීය සහ ගෝලීය මට්ටමින් විවිධ ආකාරයේ සාකච්ඡා මෙදින සිදු වේ. එනයින් බලන කල මෙය රූපවාහිනී ව්‍යාපාරිකයන්ටත්, ක්ෂේත්‍රයේ නියැළුණු හා ඊට සම්බන්ධ සියලු පුද්ගලයන්ටත් මෙන්ම නරඹන්නන්ටත් වැදගත් දිනයකි. විවිධ මාධ්‍ය හා සම්බන්ධ ලේඛකයන්, මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන් සහ වෙනත් අය එකතු වී ජන ජීවිතයට වැදගත් දිනයක් ලෙස මෙදින හුවා දැක්වීමට පෙළ ගැසෙති. නැඟී එන සහ සාම්ප්‍රදායික රූපවාහිනී විකාශන ආකාර අතර සහසම්බන්ධයෙන් ලෝකයත්, ලෝක ප්‍රජාවත් විශාල වශයෙන් මුහුණ දෙන වැදගත් ගැටලු පිළිබඳව දැනුම්වත් කිරීමට හොඳ අවස්ථාවක් නිර්මාණය වන බව වර්තමානයේ දක්නට ලැබේ.

මහජන මතය පිළිබඳව දැනුම්වත් කිරීමට, මඟ පෙන්වීමට සහ බලපෑම් කිරීමට ප්‍රධාන මෙවලමක් ලෙස රූපවාහිනිය පිළිගැනේ. විවිධ ආකාරවල ගැටුම් කෙරෙහි අවධානය යොමු කිරීම, සාමයට සහ ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳ ව දැනුවත් කිරීම මෙන්ම සමාජ හා ආර්ථික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම රසාස්වාදය ලබා දෙනවාට අමතරව රූපවාහිනියෙන් මනාව ඉටුවෙන බව සැකයකින් තොර ය. අප සියල්ලන්ම පාහේ නිවෙස්වලට කොටු කළ COVID-19 වසංගතයේ නරකම කාල පරිච්චේදයේදී රූපවාහිනියේ වැදගත්කම බොහෝ සෙයින් දැනෙන්නට වූ බව අමතක කළ නොහැකිය. වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා ගැනීම පිළිබඳ ධනාත්මක සහ සත්‍යාපිත කතා බෙදා ගැනීමෙන් ජනතාව දැනුම්වත් කිරීමේ සහ සම්බන්ධ කර තබා ගැනීමේ වගකිවයුතු කාර්යභාරයක් මේ අර්බුදකාරී තත්ත්වයේදී රූපවාහිනී විකාශකයන් විසින් ඉටු කරන ලද අතර එය තව දුරටත් දිගටම ඉටුවෙමින් තිබේ.

ඉංග්‍රීසි Television යන වචනය පුරාණ ග්‍රීක “Tele”, “දුර” යන අර්ථයෙන් සහ ලතින් “Visio” යන්නෙන් “පෙනීම” යන වචන දෙක ඇසුරෙන් සැදුණකි. එය කිසියම් ශ්‍රව්‍ය-දෘශ්‍ය පැවැත්මක් විද්යුත් සංඥා බවට පරිවර්තනය කිරීම, එය විද්යුත් තරංග හෝ වෙනත් ක්‍රම මගින් සම්ප්‍රේෂණය කිරීම සහ තිරයක් මත ඉලෙක්ට්‍රොනිකව ප්‍රදර්ශනය කිරීම සඳහා වූ පද්ධතියකි. නිවසේදී රූපවාහිනිය යනු හුදෙක්ම ශබ්ද ගෙන එන ස්පීකර් සහිත විශාල තිරයක් සහිත උපාංගයක් වුවද එය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ පටන් සම්ප්‍රේෂණය කිරීම හරහා මිනිසුන් මිනිසුන්ටත් ව්‍යාපාරයන්ටත් සම්බන්ධ කරන විශාල කර්මාන්තයකි.

මුලදී රූපවාහිනී සංඥා බෙදා හරිනු ලැබුවේ අධි බලැති රේඩියෝ-සංඛ්‍යාත රූපවාහිනී සම්ප්‍රේෂක භාවිතයෙන් ගෘහස්ථ රූපවාහිනී ග්‍රාහකයන් වෙත සංඥා ලැබෙන පරිද්දෙනි. මෙවැනි සාම්ප්‍රදායික FTA නිදහස් විකාශනය හැරුණු විට වර්තමානයේ විවිධ වර්ගයේ රූපවාහිනී විකාශන පද්ධති තිබේ. ඒවා නම් කේබල් ටීවී, සැටලයිට් ටීවී, අයිපීටීවී “IPTV අන්තර්ජාල ප්‍රොටෝකෝල ටීවී” සහ නවතම එකතු කිරීම වන ඕටීටී “OTT ඕවර්-ද-ටොප්” වර්ග ය. FTA නොහොත් නිදහස් විකාශනය නොමිලේ සේවාවක් ලෙස ඔබ වෙත පැමිණියද අනෙක් විවිධ වර්ග ඔබට ලැබෙන්නේ ගාස්තු අයකරන රූපවාහිනී සේවා සපයන්නන් හරහා ය. මෙම PAY TV සපයන්නන්ට Rewind TV වැනි ඇතැම් විශේෂාංග සහිතව උසස් දෘශ්‍ය තත්ත්වයකින් හෙබි විවිධ ප්‍රභේදවල දේශීය මෙන්ම විදේශීය නාලිකා සැපයීමට හැකියාව ඇත. බොහෝ රූපවාහිනී ජාල වෙළඳපොලේ දක්නට ලැබුණද, අනාගතයේදී ප්‍රේක්ෂකයන් අපේක්ෂා කරන ආකාරයේ උසස් තත්ත්වයේ රූප හා අන්තර්ගතය සහිතව තෙවන පාර්ශ්වීය සේවා ඒකාබද්ධ කිරීම සඳහා හැකියාවක් ඇති එකම ක්‍රමය IPTV පමණකි.

ලෝක රූපවාහිනී දිනය අපට වඩාත් වැදගත් වන්නේ සංස්කෘතික මිනිසා ඒ මට්ටමින් නඩත්තු කරන අතරේ නව මිනිසා ද තැනීමට ගන්නා ද්විරූපී කාර්යය නිසා ය; නව ලොව මෙන්ම පැරණි ලොව ද එකසේ ආලින්දයට ගෙන එන නිසා ය.

Comments