රැමිස් නිසා හාන්සි වෙයිද? | Page 3 | සිළුමිණ

රැමිස් නිසා හාන්සි වෙයිද?

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව
දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව

 

‘කිසිම
බදු අහිමි වීමක්
නැහැ. පසු­ගිය රජය මුදල් පනත සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් කළ නිසා
ඇති වූ ගැට­ලු­වක්
පම­ණයි‘

 

ටක ප්‍රධාන ආදායම් මාර්ග හැසිරවීමේ ප්‍රමුඛයන් ලෙස සැලකෙන්නේ ඒ රටේ මධ්‍යගත බැංකුව හෝ මූල්‍ය පාලන මධ්‍යස්ථානයත් එය රටේ බදු ආදායම් ඇතුළු රාජ්‍ය ආදායම් එක් රැස් කරන ආයතනයයි. ශ්‍රී ලංකාවේ නම් ඒ ආයතන දෙක ලෙසින් සැලකෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. රජයේ බදු ආදායම් එකතු කරමින් ආදායම් තර කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සැලසෙන සේවාව සුළු පටු නොවේ. එම නිසා නිරතුරුවම බදු ආදායම් එකතු කිරීමේ ක්‍රමවේද යාවත්කාලීන කිරීමට මෙන්ම නවීකරණය කිරීමට රජය විසින්ද පියවර ගනිමින් සිටී.

 

ඒ නවීකරණය කිරීමේ එක් පියවරක් ලෙස කෝටි 900 ක අතිවිශාල මුදලක් වැය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් (Revenue Administrative Management Information System)) නමින් ව්‍යාපෘතියක් ස්ථාපිත කරන ලදි. ‘රැමිස්‘ මෙන්ම ‘රමිස්‘ නමින්ද හැඳින්වූ මේ ව්‍යාපෘතිය හරහා ප්‍රධාන රාජ්‍ය ආයතන 32ක් පළමු අදියර යටතේ දෙපාර්තමේන්තුව හරහා ඍජුව සම්බන්ධ කරන ලදී. ඒ දෙපාර්තමේන්තු හා ආයතන අතර ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි මහජනයා සමඟ නිරතුරුව අධික මුදල් හුවමාරු වන ආයතන ඇතුළත් විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් පරිපාලන කළමනාකරණ ‍තොරතුරු පද්ධතිය පරිගණක ගත පද්ධතියක් හරහා ක්‍රියාත්මක කිරීමට අදාළ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මේ රැමිස් තාක්ෂණික ව්‍යාපෘති පරිගණක පද්ධතිය මෙරට ස්ථාපිත කරන ලද්දේ සිංගප්පුරු රජයේ දායකත්වයෙන් සිංගප්පූරු සමාගමක් විසිනි.

ඒ, සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිංගප්පූරුවට ගොස් ඇති අතර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සමාගමේ පරිගණක පද්ධතිය සම්බන්ධව විශේෂ පුහුණුවක් පිණිස මැලේසියාවට පවා යවා තිබේ.

2016 වසරේ මේ වෙනුවෙන් විශේෂිත පරිගණක 500ක් හා 2017 වසරේ තවත් පරිගණක 500ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබුණි. එහෙත් දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ දෝෂයකින් ඒවා නිසි වේලාවට ස්ථාපිත කිරීමක්ද සිදු නොවුණි.

මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ බදු අයකිරීම්වලදී හා බදු ගෙවීමේදී සිදුවන හා සිදු කරන වංචා දූෂණ හා අක්‍රමිකතා පාලනය කිරීමයි.

එහෙත් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ තනතුරු දැරූ නිලධාරීන් කිහිප දෙනෙක් විසින් සිදු කෙළේ රැමිස් පද්ධතියේ අඩුපාඩු ඇති බැවින් එය ක්‍රියාත්මක කිරිම අපහසු බවට වෘත්තීය සමිති සමඟ යම් ආකාරයක කසුකුසුවකට එක් වීමයි. පද්ධතියේ යම් යම් දෝෂ තිබුණු නමුත් එය මහා පරිමාණ අරගලයක් දක්වා යා යුත්තක් නොවීය.

අදාළ නිලධාරීන්ගේ අවශ්‍යතාව වූයේ රැමිස් පද්ධතියේ අඩුපාඩු පෙන්වා බදු වංචා කිරීමේ අවස්ථාව ලබා ගැනීම බව පසුව හෙළි විය.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාව සිටි අයිවන් දිසානායක සමඟ අවස්ථා ගණනාවකදී වෘත්තීය සමිති පවා ඒ සම්බන්ධව සාකච්ඡා කෙළේය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවස්ථා කිහිපයකදී ගන්නා ලදී. එහෙත් බොහෝ දෙනෙක් මේ ව්‍යාපෘතිය හරහා සිදු වන්නේ කුමක්දැයි දැන සිටියේ නැත.

රැමිස් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 2014 වසරේදීය. බදු ආදායම් සැඟවීම නොහැකි වීමට අමතරව ඒ යටතේ අපේක්ෂිත අරමුණු රැසක්ද විය. ඒ පරිපාලනය කාර්යක්ෂම කිරීමෙන් බදු ආදායම ඉහළ නැංවීම, ජාලගත තොරතුරු පද්ධතියක් ඇතිකිරීමෙන් තාක්ෂණය උපයෝගී කරගෙන බදු ජාලය පුළුල් කිරීම, බදු ගෙවන්නන්ට ඕනෑම ප‍්‍රාදේශීය කාර්යාලයකින් අවශ්‍ය සේවා ලබාගැනීමට පහසුකම් සැලැසීම, බදු ගෙවන්නන්ට අන්තර්ජාලයෙන් තමන් කැමැති භාෂාවකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් දවසේ ඕනෑම වේලාවකදී ලෝකයේ ඕනෑම තැනක සිට සේවා ඉටුකරගැනීමට පහසුකම් සැලැසීමද විය.

එහෙත් සැබැවින්ම මේ අරමුණු රැමිස් හරහා ඉටු වූවාද යන්න ගැටලුවකි.

සැබවින්ම රැමිස් පද්ධතිය හරහා Audit සහ Compliance වෙන වෙනම අංශ දෙකක් වෙත යොමු කරන්නේ බදු අය කිරීම් එක් නිලධාරියකු හරහා සිදුකරන විට සිදුවිය හැකි බදු වංචා අවම කරන්නටය. දුෂණ සිදුවීමට හැකි අවස්ථා සීමා කරන්නටය. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත පැරැණි බදු අයකිරීමේ පද්ධතිය වන ‘ලෙගසි‘ පද්ධතිය හා රැමිස් පද්ධතිය එකිනෙකට නොගැළපීම නිසා ගැටලු රැසක් ඇති විය. ලෙගසි පද්ධතියේදී එක් අයකු හෝ දෙදෙනකුට මේ කාර්යයන් සියල්ල පහසුවෙන් කළ හැකි විය.

රැමිස් පද්ධතිය සථාපිත කෙළේ 2016 වසර අවසන් වන විට ලෙගසි පද්ධතිය සම්පූර්ණයෙන්ම අවසන් කර රැමිස් පමණක් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කිරීමටය. එහෙත් වසර 5ක් ගතව ඇතත් මේ වනතුරුම ලෙගසි පද්ධතිය ක්‍රියාත්මක වේ. එය ඉවත් කිරීමද ලෙහෙසි පහසු නොවන තත්ත්වයක පවතී. එයට හේතු වී ඇත්තේ පැරැණි බදු සියල්ල ඒ ලෙගසි ක්‍රමවේදය හරහා ගෙවන්නට සිදුව තිබීමයි. ඇතැම් බදු ගෙවන්නන්ගේ නඩු කටයුතු මෙන්ම බදු නිසි වේලාවට නොගෙවීම ඇතුළු ගැටලු නිසා මේ පද්ධතිය ඉවත් කිරීමට නොහැකි වී තිබේ.

එමෙන්ම රැමිස් පද්ධතිය ස්ථාපිත කිරීමේදී ලෙගසි පද්ධතියයේ දත්ත ව්‍යුහය හෝ එහි ක්‍රියාකාරීත්වය යම් අයුරකින් මේ පද්ධතියට ඇතුළත් කිරීමට හැකියාවක් තිබුණා නම් මේ ගැටලුව ඇති නොවනු ඇත. කෝටි 900ක අතිවිශාල මුදලක් ගෙවා ස්ථාපිත පද්ධතියක් හරහා එවැන්නක් කරන්නට නොහැකි වීම සැබැවින්ම කනගාටුදායකය.

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව රැම්ස් පද්ධතියේ පුහුණුව සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1,000ක් මැලේසියාවේ පුහුණුවකට යොමු කරන ලද බවද පසුව හෙළි විය. එහෙත් පසුව වාර්තා වූයේ ඉන් කිසිදු පුද්ගලයකුට නව පද්ධතිය කෙරෙහි දැනුමක් නැති බවය. එය හෙළි වූයේ පසුගිය වකවානුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී පැවැති විමසීමකදීය. එවකට එහි සභාපති ධුරය දැරූ අමාත්‍ය ලසන්ත අලගියවන්නයන් විසින් දිගින් දිගටම කළ විමසීමකදී මේ බව හෙළි විය.

එහිදී එවකට නීති හා හිඟබදු ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ජී.ඩී.එස්.ජයරත්න, නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් රාජ්‍ය ගිණුම්කාරක සභාවට සිංගප්පූරුවේ අදාළ සමාගම සමඟ ගිවිසුම සම්බන්ධ විස්තර පවසන ලදී.

එහිදී අමාත්‍ය ලසන්ත අලගියවන්න විමසා සිටියේ එවකටත් අදාළ සමාගමේ ක්‍රියාකාරීත්වයේ තිබූ අදාළ ව්‍යාපෘතිය බාරගෙන කටයුතු කිරීමට දෙපාර්මේන්තුව සූදානමින් සිටිනවාද යන්න ගැනයි. එවකට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරයකු වූ ඩබ්ලිව්.සී.බණ්ඩාර එහිදී සභාවට පවසා සිටියේ දෙපාර්තමේන්තුව සතුව නිසි තොරතුරු තාක්ෂණයක් ඇති නිලධාරීන් නැති බවයි. තාක්ෂණය ගැන නොදන්නා නිලධාරීන් සමඟ මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි විමසූ විට නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි විසින් අනාවණය කෙළේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1000ක් මැලේසියාටව පුහුණුවකට යැවූ බවයි.

රුපියල් බිලියන ගණනක් වැය කොට එසේ නිලධාරීන් විදෙස් පුහුණුව පිණිස යවා තවත් රුපියල් කෝටි ගණනකට ආසන්න මුදලක් වැය කර මෙසේ ස්ථාපිත පරිගණක පද්ධතිය හරහා දැන් සිදුව ඇත්තේ කුමක්ද?

පසුගියදා අනාවරණය වූයේ රැමිස් පද්ධතිය නිසි ලෙසින් ක්‍රියාත්මක නොවීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 60,000කට අධික මුදලක් අහිමි වීමට යන බවයි. එය බිලියන වලින් පෙන්වා දෙන්නේ නම් රුපියල් බිලියන 600කි. එනම් රැමිස් ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට වැය කළ මුදල මෙන් 67 ගුණයකි. කෝටි 900ක් වැය කර තවත් කෝටි 60,000ක් අහිමි කර ගැනීම එක්තරා ආකාරයක විජ්ජා කතාවක් වැනිය.

උදාහරණයක් ලෙසින් පෙන්වා දෙන්නේ නම් ජාතිය ගොඩනැගීමේ බද්ද, වැට් බද්ද, ආදායම් බදු, මුද්දර ගාස්තු, ආර්ථීක සේවා ගාස්තු, (ESC)” රුපියල් මිලියන 50ට වැඩි ආදායමක් උපයන ආයතන පාඩු ලැබුවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු බදු ආදිය සඳහා වෙන වෙනම විෂයයන් යටතේ කටයුතු කළ යුතුය.

එක් බද්දක ගැටලුවක් ඇති වුවහොත් සමස්ත පද්ධතියම අකර්මණය වනු ඇත.

එය රැමිස් ව්‍යාපෘතියේ ඇති විශාලතම ගැටලුවකි. එමෙන්ම මෙහි විශාලතම ගැටලුව වන්නේ වරින් වර සිදු කරනු ලබන සංශෝධනයන්ට අදාළව එම සමාගමට ගෙවීම් සිදු කර ඒ කටයුතු නවීකරණය හෝ යාවත්කාලීන කර ගන්නට සිදුව තිබීමයි. උදාහරණයක් ලෙස දක්වනවා නම් වත්මන් රජය විසින් 15%ක්ව තිබුණු වැට් බද්ධ 8% දක්වා අඩු කළ විට එය යාවත්කාලීන කර පද්ධතිය සකස් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. එය අදාළ සමාගම හරහා සිදු කර ගත යුතුය.

මේ තත්ත්වය නිසා ඇතැම් යාවත්කාලීනයන් සිදු කර බදු අය කර ගැනීම ආරම්භ කරන විට වසර කිහිපයක් ගතව තිබෙන්නටත් පුළුවන.

රැමිස් පද්ධතිය පුහුණුවීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසකට විශේෂ ඉහළ දීමනාවක් ගෙවා කාර්යාල වේලාවෙන් පසුව එම කටයුතු පුහුණු වන ලෙස දන්වා ඇතත් ඔවුන් කාර්යාල වේලාවන්හිදීම එම පුහුණුව ලබා ගැන්මට කටයුතු කර ඇත්තේ අනෙක් කාර්යයන් අතපසු කර දමමනි.

දැන් අපට මතුව ඇති බරපතළම ගැටලුව වන්නේ රැමිස් පද්ධතියේ අකර්මණ්‍යතාව නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුට ඇත්තෙන්ම රුපියල් කෝටි 60,000ක් අහිම වේද? එසේ වේ නම් කළ යුත්තේ කුමක්ද යන්න ගැන විමර්ශනයයි.

විශේෂයෙන්ම හිඟ බදු මුදල් කෝටි 60,000ක් මෙසේ ලබා ගැන්ම ගැටලුවක් ව ඇති බව වාර්තා විය. විශේෂයෙන්ම 2018-2019 කාලයන්හි උපයන විට ගෙවීම් බදු මත තක්සේරු වාර්ත සහ රඳවා ගැනීමෙ බදු මත කක්සේරු වාර්තා නිකුත් කිරීමට නොහැකි වීම තුළ මේ අර්බුදය උද්ගතව තිබෙන බව අපට වාර්තා විය.

දැන් කඩිනමින් කළ යුත්තේ කුමන ක්‍රමයකින් හෝ මේ හිඟ බදු ලබා ගැන්මට අවශ්‍ය කටයුතු යෙදීමයි. ආර්ථික වශයෙන් රට විශාල වශයෙන් ගැටලුකාරී තත්ත්වයක තිබෙද්දී මෙවන් අතිවිශාල මුදලක් අහිමි වුවහොත් එය කිසිදිනක යළි සැකසිය හැකි පාඩුවක් නොවනු ඇත.

සිළුමිණ මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් එච්.එම්. ඩබ්ලිව්. සී. බණ්ඩාරගෙන් විමසුවෙමු.

“මමත් දැක්කා මාධ්‍යයේ එවැන්නක් පළවෙලා තියෙනවා. මාධ්‍ය නිදහස තියෙනවානෙ, ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න පුළුවන්. ඒත් මම අහන්නෙ කොතනින්ද ඒ බදු අය කර ගන්න බැරි වෙලා තියෙන්නෙ. මොන බදුද අය කර ගන්න බැරි වෙන්නෙ කියලා.

රැමිස් එකේ ප්‍රශ්න තිබුණා. රැමිස් ප්‍රමාද වෙලා තමයි ක්‍රියාත්මක වුණේ. ඇත්තෙන්ම ඒ තත්ත්වය උදා වුණේ පහුගිය රජයේ මුදල් පනත වෙනස් කිරීමත් සමඟයි. මේ රැමිස් ක්‍රමවේදය යටතේ අපි කරන්නෙ ඊට යොමු කළ මුදල් පනතේ ක්‍රමවේද අනුව කටයුතු කිරීමයි.

පසුගිය රජය මුදල් පනත 2018 අවුරුද්දෙ අප්‍රේල් 1 වැනිදා වෙනස් කළා. නමුත් අපිට රැමිස් හරහා එය ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නෙ ඒ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. එතනම මාස 9ක් විතර ගියා.

කැබිනට් අනුමැතිය ලැබූ පමණින් කාර්යයක් ඉටු කරන්න බැහැනෙ. ඊට පසුව ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. කැබිනට් අනුමැතියෙන් පසුව කමිටුවක් පත් කරනවා. ඒ අනුවයි කටයුතු කෙරෙන්නෙ. ඒ නිසා අවුරුද්දකට වැඩි කාලයක් ගියා මේ කටයුතු ක්‍රියාත්මක වෙන්න. ඒකට දෙපාර්තමේන්තුවට බැණලා වැඩක් නැහැ.

දැන් ඒ ක්‍රමවේදය නිසි පරිදි කෙරීගෙන යනවා. ඔය කියන විදිහෙ බිලියන ගණනක් අහිමි වෙන කතාවක් නැහැ. රැමිස් යටතේ අපි ගෙවීම් කරනවා, බාර ගැනීම් කරනවා. මැයි 30 වෙනකොට විගණන කටයුතු කරන්න ඕන. අපි ඒව නිසි පරිදි කරනවා.

මෙතන ගැටලුව වුණේ පහුගිය රජය මුදල් පනත සම්පූර්ණයෙන් අයින් කරලා අලුත් පනතත් ගෙන ඒමයි. ඒ නිසා වුණු ප්‍රමාදය තමයි මේ ඇති වෙලා තිබෙන්නෙ. ඒ මිසක් අපිට බදු අහිමි වීමක් වන්නේ නැහැ‘‘

කොමසාරිස් ජෙනරාල්වරයා පවසන පරිදි බදු අහිමි වීමක් නොවන්නේ නම් එය ගැටලුවක් නොවනු ඇත. එහෙත් යම් හෙයකින් මේ පද්ධතියේ ඇති ගැටලු නිසා බදු ප්‍රශ්නයක් ඇති වුවහොත් එය සමස්ත රටේ ආර්ථිකයටම බලපානු ඇත. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ රැමිස් නිසා වැඩ කටයුතු ප්‍රමාද වන බවකි. එක් අයකුට දෙදෙනක්ට කළ හැකි කාර්යයන්ට වැඩි පිරිසක් සිදු කරන්නට වීම නිසා ගැටලු ඇතිව තිබෙන බවයි. පරිගණක පද්ධතියක් හරහා වැඩ කටයුතු පහසු වීම නම් සිදුවිය යුතුමය. එහෙත් රැමිස් හරහා එය ඉටු වූ බවක් පෙනෙන්නට නම් නැත.

 

ඡායාරූප -

සාලිය රූපසිංහ

 

Comments