මම කළේ මල නොතලා රොන් ගන්න වැඩක් | සිළුමිණ

මම කළේ මල නොතලා රොන් ගන්න වැඩක්

 

විවිධ අභියෝග රැසක් මැද ඉදිරිපත් කළ 2022 අයවැයෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් සිළුමිණ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය.

 

මෙවර අයවැය අභියෝග රැසක සිරවුණු අයවැයක් ද? එසේ නම් එයට හේතුව?

ඔව්. මේ අයවැය කාටත් ලොකු අභියෝගයක්. 1953 ට පස්සේ මේ රටේ ඉදිරිපත් වුණු සියලු අයවැයවල ආදායමට වඩා වියදම වැඩියි. හැමදාම අයවැය හිඟයක් තිබුණා. මේ වසරේත් ඒක ඒ විදියමයි. ඒ වගේම විදේශ විනිමය අයවැයත් ඒ අයුරින්ම සිදුවුණා. අපට ලැබෙන ආදායම අඩු වුණා. පිටරටින් අපේ අය උපයන ඩොලර් ප්‍රමාණය ඉක්මවා පිටරටින් බඩු ගේන්න අපි වියදම් කරලා තිබුණා. මේ දෙකම පියව ගන්නෙ බොහෝ වේලාවට පිටින් වෙනත් මාර්ගවලින් ණය අරන්. එමෙන්ම මෙවරත් දේශීය අයවැය හිඟය පියවීමට යම් යම් බදු හෝ ආදායම් මාර්ග සෙවීමට පෙලඹුණා. ඒකත් යම් පිරිසකගෙනුත් ගන්නවා වගේම බහුතරයෙනුත් ලබා ගත්තා. ඒ අභියෝගය අපට තිබුණා.

මෙවර කෝවිඩ් හා ආර්ථික ගැටලු තිබුණු නිසා වෙනදා වගේ පිටස්තර අයගෙන් ණය ගන්න බැරිවුණා. පිටරට ආයතනවලිනුත් අපි අවුරුදු ගාණක් ගොඩක් ණය අරන් තිබුණු නිසා තත්ත්වය දරුණු වුණා. ලෝකයේ ණය දෙන ආයතනවලින් අපිව ‘රේටින්’ වලින් පහළට දාලා තිබෙනවා. රටේ තිබුණු කොවිඩ් තත්ත්වය නිසා ජනතාවගෙන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් වෙනදා තරම් ණය ගන්න බැරි වුණා. ඔවුනුත් මේ කෝවිඩ් හා ආර්ථික ගැටලු නිසා ඉතාම අමාරු තත්ත්වයකයි සිටියේ. වෙනදාට අපි ණය ගත් ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් දැන් ‍‍අපෙනුත් සහන ඉල්ලනවා. මේ නිසා මේ අයවැය හදද්දි විශාල අභියෝග රැසකට මට මුහුණ දෙන්න සිදු වුණා. මම අභියෝගවලට කැමැතියි. නමුත් මේ අභියෝග මැද හොඳ අයවැයක් හදන්න මම උත්සාහ කළා.

මෙහිදී ‘මම කළේ මල නොතලා රොන් ගන්න වැඩක්‘. මම හිතන්නේ ඒ අභියෝග ජයගන්න මම හොඳම මාර්ගය පෙන්නුවා කියලයි. දැන් කළ යුත්තේ අපි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකතු වෙලා මේ අලුත් අයවැය යෝජනා ක්‍රියාත්මක කර ජය ගැනීමයි. මේක කිසිම ලෙසකින් මට විතරක් කරන්න බැහැ. සියලු ක්ෂේත්‍රවල අයගේ පූර්ණ සහාය මේ සඳහා අත්‍යවශ්‍යයි.

මෙවර අයවැයෙන් අපේක්ෂා කරන ආර්ථික වර්ධන මට්ටම කොපමණද?

කොවිඩ් වසංගතයත් එක්ක අපේ ආර්ථිකය ඍණ වුණා. නමුත් ඊට පෙර මහින්ද ජනාධිපතිවරයාගේ කාලයේ අපේ ආර්ථිකය ධන 7 ක ආර්ථික වර්ධනයක් පෙන්නුවා. 2014 ට පෙර අවුරුදු 3ක් ආර්ථික වර්ධනය ධන 7 ඉක්මවා තිබුණා.

නමුත් කෝවිඩ් නිසා ආර්ථිකය දුර්වල වුණා. කෙසේ වුවත් මේ අලුත් අයවැය අනුව අපි ලබන වසරේදී මේ වසරට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා.

මෙවර අයවැයෙන් රජයේ සේවකයන් විශ්‍රාම යාම අවුරුදු 65 දක්වා වැඩි කළා. ඉන් දෙවැනි පෙළ සේවකයන්ට ඉච්ඡාභංගත්වයකට ලක්වීමට ඉඩක් තිබේද?

‍එහෙම වෙන්නෙ නැහැ. මේ වැඩපිළිවෙළ නිසා දෙවැනි පෙළ නිලධාරින්ට මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඔවුන්ගේ ප්‍රවීණත්වය හා පරිණත බව අනුව උපදෙස් ලබා ගන්න පුළුවන්.

අද අපේ රටේ ජීවත්වීමේ වයස මට්ටම වැඩි වෙලා. ඒ නිසා ක්‍රියාශීලි රාජ්‍ය නිලධාරීන්ට තම පරිණත බව, ප්‍රවීණත්වය හා ජ්‍යෙෂ්ඨත්වය අනුව රටට කාර්යක්ෂම ලෙස දිගටම වැඩ කිරීමටයි මේ අවස්ථාව ලබාදීමට අපි හදන්නේ.

ඊට අමතරව පෞද්ගලික ආයතනවල, අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩලවල අයටත් දැන් අවුරුදු 60 වෙනකම් වැඩ කරන්න පුළුවන්. පවුල් ලක්ෂ ගාණකට මේකෙන් සෙත සැලසෙනවා.

රාජ්‍ය සේවය ඇත්තටම රටට බරක් ද?

ඒක එහෙමම නෙමෙයි. නමුත් රාජ්‍ය සේවය තනිකර මහජනතාවට සේවය කරන මහජන හිතකාමී සේවයක්ම විය යුතු ම යි.

දැන් බලන්න කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගත්තොත් ඒක එයාට බරක් තමයි. නමුත් ඒක ඊට වඩා ඒ අම්මාට සම්පතක්. ඒ අම්මා ඒ දරුවට හුඟක් ආදරෙයි. නිතරම වැඩ කටයුතු කරන්නේ නිරෝගී දරුවෙක් බිහි කිරීමටයි. අවශ්‍ය බෙහෙත් හේත් ආහාර ගන්නවා. අනවශ්‍ය ආහාරවලින් ප්‍රවේශම් වෙනවා. ඒ වගේ තමයි රාජ්‍ය නිලධාරීනුත් රජයට යම් බරක් වුණත් අපි ඒ අයව ආරක්ෂා කළ යුතුයි. රටට ඒ අයගෙන් ප්‍රයෝජන රැසක් තිබෙනවා.

නමුත් මෙතන තියෙන ලොකු ප්‍රශ්නය අද අපේ රටේ ප්‍රධාන වියදම් තුන්වර්ගයෙන් වැඩියෙන්ම වියදම් වන ක්ෂේත්‍රයක් තමයි රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්වලට යන වියදම. ඒක අති විශාල මුදලක්. ඊට අමතරව අපි කලින් ගත්ත ණය ගෙවන්න අපිට මුදල් වැය වෙනවා. ඊට අමතරව සහනාධාරවලටත් සමෘද්ධි හා පොහොර සහනාධාරවලටත් අති විශාල මුදලක් වැය වෙනවා.

මම කිව්වේ මූල්‍යමය පැත්ත. අනෙක් පැත්තෙන් ජනතාව රජයේ ආයතනයකට යම් සේවයක් අපේක්ෂාවෙන් ගියාම ඔහු ඒ සේවයෙන් සතුටු නොවනවා නම් ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. රජයෙන් වැටුප් ගෙවලා ඒ නිලධාරීන් තියා ගන්නේ ජනතාවට හරියට සේවය කිරීමටයි. ඒ අනුව මම යෝජනා කරලා තිබෙනවා රාජ්‍ය සේවාව ලබා ගන්න එන අය තෘප්තිමත් වන අයුරින් ඔවුන්ට අවශ්‍ය සේවය ලබා දිය යුතු බවට. ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයකම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් ආයතන පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ යුතුයි. මේ මඟින් රාජ්‍ය සේවය ජනතා හිතකාමී සේවයක් කිරීමට මූලික මඟ පෙන්වීමක් කරල තිබෙනවා. හැබැයි මේ කාර්යය සාර්ථක වීමට නම් රාජ්‍ය නිලධාරීන්ගේ මහජනයා පිළිබඳ හැඟීම වැදගත්. රාජ්‍ය සේවය නියම මහජන සේවයක් කළ යුතුයි. සියලු රාජ්‍ය නිලධාරීන් රජයෙන් වැටුප් ලබා ගන්නවා සේම රජයට විවිධ අයුරින් බදු ගෙවන මහජනතාවට සේවය කිරීම යුතුකමක්.

රටේ දැන් තිබෙන සියලු ප්‍රශ්නවලට හේතුව ඩොලර් හිඟය බව ඇතැමුන් පවසනවා. මේ ඩොලර් හිඟය ඇති වුණේ කොහොමද?

මේ ඩොලර් හිඟය යහපාලන කාලයේ ඉඳන් ක්‍රමයෙන් ඇති වෙමින් පැවතුණා. මේ කොවිඩ් නිසා ඩොලර් හිඟය දරුණු වුණා. විදේශ සංචාරකයන් ආපු නැති නිසා අපට ඩොලර් මිලියන 4500ක් අහිමි වුණා. පිටරට රැකියා කරන අයට රැකියා අහිමි වී අපේ රටට මුදල් එවන්න බැරි වුණා. ඒ වගේ කරුණු නිසා ඩොලර් හිඟයක් ඇති වුණා.

අද එළවුළු මිල ඉහළ යෑමක් සිදුවෙලා තිබෙනවා. ඒ එක්කම ගෑස් හා ඉන්ධන හිඟයක් ඇති වෙලා. පෝලිම් යුගයකුත් ඇවිල්ලා. මේකට හේතුවත් ඩොලර් හිඟය ද? නැත්නම් වෙළෙඳ මාෆියාවක් ද?

මේ දවස්වල එළවුළු මිල වැඩිවීමට නම් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එළවළු වගා කළ බිම් මහ වැස්සෙන් සහ ගංවතුරෙන් යට වීමයි. ගෑස් හිඟයටත් ඉන්ධන හිඟයටත් ඩොලර් ප්‍රශ්නත් තිබෙනවා. හැබැයි මේ දවස්වල මාධ්‍ය හුවා දක්වන ඉන්ධන හිඟයට නම් හේතුව ජනතාව බය කරන වෘත්තීය සමිතිවලින් කළ ප්‍රකාශ නිසා ජනතාව වැඩිපුර ඉන්ධන එක්රැස් කිරීමයි.

පසුගිය කාලයේ ලොක් ඩවුන් කරල තිබුණ කාලයේ මේසන් බාස් උන්නැහේලාට වැඩ තිබුණේ නැහැ. නමුත් ලොක් ඩවුන් ඉවත් කළ ගමන් එකපාරට ම මුළු රටේම ඉදිකිරීම් කාර්මාන්තය ආරම්භ වුණා. ඒ නිසයි සිමෙන්ති හිඟයක් ඇති වුණේ. ‍

ඉදිරියට රටේ ජීවන වියදම අඩු කිරීමට තිරසර වැඩපිළිවෙළක් තියෙනවාද?

ඔව්. අපි රටේ නිෂ්පාදනය වැඩි කිරීම මඟින් ජීවන වියදම අඩු කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා මෙවර අයවැය මඟින් යෝජනා රැසක් අපි ඉදිරිපත් කර තිබෙනවා.

දායකත්ව විශ්‍රාම වැටුපක් වයස 65ට වැඩි නි‍වසේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන්න මෙවර යෝජනා කර තිබෙනවා? එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

අපේ මුළු රාජ්‍ය සේවය ම ලක්ෂ 16ක් පමණයි. ඒ අයට පැන්ෂන් එක තිබුණත් වයස 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල ප්‍රමාණයකට ජීවත් වෙන්න නිසි ආදායමක් නැහැ. ඔවුන් කාගෙන් හෝ යැපෙන්නන් ලෙසයි ජීවත් වෙන්නේ.

දැන් ජීවත් වීමේ ආයු කාලයත් වැඩි වෙලා. පරමායුෂ වැඩි වෙලා. ඒ නිසා රටේ වැඩිහිටි ජනතාව වැඩි වෙනවා. ඒ අය සඳහා පිහිටක් වෙන්න තමයි අපි මේ අවුරුදු 65න් වැඩි අයට විශ්‍රාම වැටුපක් සකස් කරන්න යෝජනා කළේ.

ඒ අනුව අපේ රටේ සිටින වයස අවුරුදු 65ට වැඩි කිසිම විශ්‍රාම වැටුපක් හෝ ආදායමක් නොලබන සියලු දෙනා සඳහා ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරනවා. ලෝකයේ තිබෙන එවැනි විශ්‍රාම වැටුප් ක්‍රම අධ්‍යයනය කර මේ වැපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි අපි අදහස් කරන්නේ.

තේ - පොල් - රබර්වලට රසායනික පොහොර නොමැතිකම නිසා අස්වැන්නේ ඵලදායීතාව අඩු වෙන බවට විවිධ අය මත පළ කරනවා. එයට පිළියම් තිබේද?

කවුරුත් කෙසේ කීවත් තවම එවැන්නක් විද්‍යානුකූලව වාර්තා වෙලා නැහැ. කෙසේ වුවත් අපි ඒ අදහස් පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. ජනාධිපතිතුමා ඊට අදාළ ඇමතිවරුන්ට අවසර දීලා තිබෙනවා සුදුසු පරිදි කටයුතු කිරීමට. ඒ අනුව ඒ බෝගවල අස්වැන්න අඩුවීමක් හෝ ආදායම අඩුවීමක් සිදුවීමට ඉ‍ඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙනවා.

ඔබ ආර්ථික සංවර්ධන ඇමතිවරයාව සිටියදී මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රය පවා ලබා ගත්තේ නැහැ. මන්ත්‍රී විශ්‍රාම වැටුප අවුරුදු 10 දක්වා කල් දැමීමෙන් ඔබට මෙන්ම තවත් මන්ත්‍රීවරුන් ගණනාවකට ඒ වරප්‍රසාදය අහිමි වනවා නේද?

මේක ආර්ථිකමය වශයෙන් අපට ලොකු වාසියක් ලැබෙන දෙයක් නෙමෙයි. මේක දේශපාලනිකව ඉදිරිපත් කළ යෝජනාවක්. අපේ රටේ විවිධ සමාජ මාධ්‍ය මඟින් හා විවිධ අදහස් මඟින් මේ මන්ත්‍රී විශ්‍රාම වැටුපට විවේචන එල්ල වුණා. සමස්ත පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 ටම මේ නිසා යම් හිත් රිදීමක් ඇති‍ වෙන්න ඇති. ඒ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කළ කටයුත්තක් හැටියට තමයි මං මේ යෝජනාව කළේ.

මේ පිළිබඳව මහජන මතයකුත් ඇති වුණා. ඒ අනුව උඩුගම් බලා පිහිනීමට වඩා මෙතනදී මම හිතුවා පහළට යාම උචිතයි කියලා. ඒ අනුවයි මේ යෝජනාව ඉදිරිපත් කළේ.

මේ යෝජනාව නිසා ඉදිරියේ අපේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුටත් විශ්‍රාම වැටුප් අහිමි වෙයිද?

ඒක මට දැන්ම කියන්න බැහැ. ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් ගෙන ආ යුතුයි. එය අනුමත කිරීම හෝ පැරදවීම මන්ත්‍රීවරුන්ගේ කටුයත්තක්.

අවුරුදු ගණනාවක් තිබූ ගුරු වැටුප් විෂමතාව ඔබ හා අගමැතිතුමා එක්වී විසඳුවා. නමුත් ඇතැම් රජයේ වෘත්තීය සමිති නිලධාරීන් කියන්නේ මේ නිසා යළි රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවක් ඇති වෙයි කියලා. මේ පිළිබඳව ඔබගේ අදහස?

මේ ගුරු වැටුප් විෂමතාව අපි විසඳුවේ එලෙස යළි රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවක් ඇති නොවන විදියටයි. ඒත් විවිධ සංවිධාන විවිධ මත පළ කරනවා මමත් දුටුවා. ඒ ගැන අපේ අවධානය යොමු කරලා තිබෙනවා.

කෙසේ වුවත් ඉදිරි වසර තුළ මුළු රටේ ම රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව නැති කිරීමට අපි සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන් රජයේ වැඩ කරන වෘත්තීයවේදීන්ගේ වැටුප දැනට වඩා ඉහළ මට්ටමකට ගේන්න අපි කටයුතු කරනවා.

ඒ සමඟම සමස්ත රාජ්‍ය සේවය තුළම එක් එක් කණ්ඩායම් තෝරා ගන්නේ නැතුව රාජ්‍ය සේවයේ සියලු දෙනාගේම වැටුප් විෂමතා ඉවත් කිරීමට නව වැටුප් පරිමාණ ලබාදීමට රාජ්‍ය සේවා වැටුප් කොමිෂන් සභාවෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා තිබෙනවා. අයවැය මඟිනුත් ඒ යෝජනා අපි ඉදිරිපත් කරලයි තියෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව හැදුවේ ඔබයි. මෙහෙයුම්කරු ඔබයි. ජනපති ඇතුළු රාජ්‍ය බලය ලබා ගැනීමට පොහොට්ටුවට හැකි වූයේ ‍ඔබේ මෙහෙයවීම මතයි. තවමත් බහුතර පාක්ෂිකයන් පොහොට්ටුව සමඟ ද? පොහොට්ටුවට සම්බන්ධ විවිධ පක්ෂ විවිධ අදහස් ඉදිරිපත් කිරීම ගැන ඔබේ අදහස කුමක් ද?

අපේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ බලය එලෙසම තිබෙනවා. බහුතර ජනතාව තවමත් අප සමඟයි. අපට සම්බන්ධ විවිධ පක්ෂවල අය විවිධ අදහස් ඉදිරිපත් කරනවා. අපි විපක්ෂයේ ඉන්නකොටත් එහෙම තමයි. ඒ අදහස් අනුව අපි ශක්තිමත් වෙලා ඉදිරියට ගමන් කරනවා. අපේ ඉදිරි ගමනට ඒවා ඉවහල් කර ගන්නවා. අපේ පක්ෂ අතර කිසි ප්‍රශ්නයක් නැහැ.

දේදුන්නක් වුණාම ඒක ලස්සන වන්නේ ඒකෙන් විවිධ වර්ණ නිකුත් වන විටයි. ඒ වගේ තමයි අපේ පක්ෂය තුළ ඉන්න අයත් විවිධ අදහස් ඉදිරිපත් කිරීම නිසා අපේ “පොහොට්ටුවත්” හොඳින් අලංකෘත වී, ලස්සන වෙමින්, ශක්තිමත් වෙමින් ඉදිරියට ගමන් කරනවා.

“ගම සමඟ පිළිසඳර”ට මෙන්ම ග්‍රාමීය සංවර්ධනයට මෙවර අයවැයෙන් ලොකු මුදලක් යෝජනා කළත් විපක්ෂය කියන්නේ ඒ වැඩිපුර මුදල් යෝජනා කර තිබෙන්නේ ගමේ පොහොට්ටුවේ අයට කොන්‍ත්‍රාත් දෙන්න කියලයි. මේ පිළිබඳව ඔබේ අදහස?

එහෙම එකක් නැහැ. මේ සේරම වැඩ කරන්නේ විනිවිද භාවය ඇතිව. ගමේ වැඩ සේරම කරන්නේ ගමේ හාමුදුරුවෝ, ස්වේච්ඡා සංවිධාන නායකයෝ, ගමේ රාජ්‍ය නිලධාරීන් සමඟ එහි දේශපාලන නායකත්වය එකතු වූ කමිටුවකිනි. මේ යටතේ ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රිවරුන්ට දෙනු ලබන ලක්ෂ 40 මුදල රටේ සියලු පක්ෂවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ලැබෙනවා. ඒ අයටත් තමන්ට කැමති අයට වැඩ කටයුතු කරන්න දෙන්න පුළුවන්. අපේ අයටත් තමන්ගේ ගම්වල තිබෙන වැඩ හරියට කරන්න ගැටලුවක් නැහැ. මොකද “ගම සමඟ පිළිසඳර” වැඩසටහන ආරම්භ වුණේ පොහොට්ටුවේ ගමේ සංවිධානවල යෝජනා වලින් නිසා.

විමල් වීරවංශ ඇමතිතුමා කියල තිබුණා ඩොලර් හිඟයට විසඳුම දේශීය කර්මාන්ත දියුණු කිරීම කියලා. ඒ සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන ලබාදී තිබෙනවාද?

අපි විමල් වීරවංශ ඇමතිතුමා සමඟ මේ පිළිබඳව ඉතා සහයෝගයෙන් සාකච්ඡා කළා. මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය හා කර්මාන්ත ව්‍යවසායකයන් ඒ සඳහා එක්වුණා. ව්‍යවසායකයන් විශේෂයෙන් පැවසුවේ තමන්ට කර්මාන්තයක් ආරම්භ කිරීමට ඉඩම් නැති බවයි. ඉඩමක් තිබුණත් ඒකට පාර, විදුලිය, ජලය නැතිකමත් පොදුවේ අවසර ගන්න තිබෙන දුෂ්කරතා පිළිබඳවත් අපට පැවසුවා. ඒකට විසඳුමක් ලෙස ප්‍රාදේශීය වශයෙන් හා දිස්ත්‍රික් මට්ටමින් රට පුරා නව කර්මාන්තපුර 200ක් ඇති කිරීමට විමල් වීරවංශ ඇමතිතුමා යෝජනාවක් ගෙනාවා. ඒකට අපි අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කළා. මෙම කාර්යය සඳහා ඒ ඒ ප්‍රදේශවල සියලුම මහජන නියෝජිතයන්ගේ හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ගේ සහය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

මෙවර අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමතිවරයා වශයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වශයෙන් ඔබට ජනතාවට විශේෂ යමක් කියන්න තිබෙනවාද?

අපේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා කෙරෙහි තිබූ විශ්වාසය දිගටම එලෙසම තබා ගන්න. අපි ඔක්කොම එකතු වෙලා රටේ ගැටලු විසඳමු. මේ වසර අවසන් වීමට පෙර හා ලබන වසර ආරම්භ කරන කොට මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. එවිට මේ ගැටලු එකිනෙක ක්‍රමයෙන් විසඳේවි. හැබැයි මේක මට විතරක් තනියම කරන්න බැහැ. අපේ අයත් රටට හිතවත් අයත් මේ සඳහා එක්විය යුතුයි. එවිට අපි සේරටම මේ රට හදන්න පුළුවන් වේවි.

Comments