බදාදා සිට විවෘත වන ලෝක කනිෂ්ඨ පිරිමි හොකී ශූරයනගේ සටන් බිම | Page 2 | සිළුමිණ

බදාදා සිට විවෘත වන ලෝක කනිෂ්ඨ පිරිමි හොකී ශූරයනගේ සටන් බිම

 

'සපුරාගත හැකි ඉලක්ක තිබේ. මේ ශ්‍රී ලංකාවට ද යම් සැලසුමක් සහිතව කටයුතු කරන්නේ නම් දිනෙක සපුරාගත හැකි ඉලක්කයකි. ඒ ලෝක ශූරතා කනිෂ්ඨ හොකී තරගාවලිය ය. මේ ඒ ගැන ය.

ලෝක කනිෂ්ඨ ශූරතා පිරිමි හොකී තරගාවලියේ 12 වැනි දිග හැරුම ලබන බදාදා (24) දින ඉන්දියාවේ බුබනේෂ්වර් නගරයේ දී ආරම්භ කිරීමට අන්තර් ජාතික හොකී සම්මේලනය පියවර ගෙන ඇත්තේ පවතින "කෝවිඩ් 19" ව්‍යසනයට අභියෝග කරමිනි.

රටවල් 16 ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය දෙසැම්බර් මස 08 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

අඛණ්ඩව දෙ වැනි වතාවටත් මෙවර තරගාවලිය සංවිධානය කිරීමේ හැකියාව ඉන්දියාව දිනා ගෙන තිබේ.

එය ඉකුත් වර ශූරයින් වන ඉන්දියාවට අමතර වාසියක්ව තිබේ. අන්තර්ජාතික හොකී සම්මේලනයේ මුල් පුටුව හොබවන ආචාර්ය නරේන්ද්‍ර බත්‍රා ඉන්දීය ජාතිකයෙක් වීම ඊට හේතුවී ඇතැයි විශ්වාස කළ හැකිය.

තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් රටක් ලෙස කනිෂ්ඨ ලෝක කුසලානයක ඕනෑම ආකාරයක රන් පදක්කමක් දිනා ගත් පළමු හා එකම රට බවට පත් වන්නේ ද ඉන්දියාව ය.

ඒ 2016 වසරේ ලක්නව් නගරයේ දී පවත්වන ලද 11 වැනි ලෝක කනිෂ්ඨ ශුරතා පිරිමි හොකී තරගාවලියට සහභාගි වූ ප්‍රතිවාදී රටවල් 15 ක් අභිබවමින් අදාළ කනිෂ්ඨ ලෝක කුසලාන ය තමන් සතු කරගැනීමට ඉන්දියා සමත්විය. ඒ බෙල්ජියම අභිබවමිනි.

කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් අන්තර්ජාතික හොකී සම්මේලනය විසින් සුභ නැකතින් බෞතිස්ම කරන ලද කනිෂ්ඨ ලෝක කුසලානයේ පළමුවැන්න කළ එළී දුටුවේ 1979 වසරේ දී ය. එහි අග්‍ර ඵලය නෙළා ගැනීමට සමත්වූයේ පාකිස්තානුවන් ය. එවර අවසාන මහා තරගයේදී ප්‍රබල ජර්මනිය අභිබවා යමින් ශූරතාව දිනා ගැනීමට පකිස්ථානයට හැකිවිණි.

කෙසේ නමුත් දෙවැනි වරට පැවැති මෙම තරගාවලියේ දී ජර්මානුවන් රන් පදක්කම දිනා ගත්තේ කනිෂ්ඨ ලෝක කුසලාන තරග මාලාවේ අපරාජිත දිගු ගමනක පෙර නිමිති මොනවට කියාපාමිනි. ඉන් අනතුරුව1982 දී මෙන්ම 1985, 1989 සහ 1993 යන සිව් වතාවේ දී පිට පිටම තම අපරාජිත බව තහවුරු කර ගනිමින් අඛණ්ඩව සිව් වතාවක් ලෝක කුසලාන ජය ගැනීමට ඔවුනට හැකිවිය. යළි ඔවුන් එම කුසලානයට හිමිකම් කීවේ 2009 වසරේ දී ය. යළිත් 2013 වසරේ ද ශූරතාව හිමි කරගැනීමට ඔවුන් සමත් විය.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක කරන ලද ලෝක කුසලාන 11 ආශ්‍රිතව 06 වතාවක් ශූරතාව දිනා ගැනීමට සමත් ව ඇත්තේ ජර්මනිය ය.

2001 සහ 2016 ශූරතා කුසලානය ඉන්දියාව දිනා ගන්නා අතර වාරයේ පකිස්තානය (1979), ඕස්ට්‍රේලියාව (1997) සහ ආර්ජන්ටිනාව (2005) එක් වතාව බැගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

1982,1989 සහ 2005 අනුශූරතාව ඕස්ට්‍රේලියාව සතුවන අතර වාරයේ 1985 සහ 2009 රිදී පදක්කම නෙදර්ලන්තයට හිමිවිණි.

ශ්‍රී ලංකාවට බැරි ඇයි?

ජවාධික භද්‍ර යෞවනයන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන හා ඔවුන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කෙරෙන කනිෂ්ඨ ශූරතා ලෝක කුසලාන සිහිනයට ළඟා වීමට මේ රට ක්‍රීඩකයින්හට එදා මෙදා තුර හැකියාවක් ලැබී නොමැත්තේ ඇයිදැයි ප්‍රශ්නයකි.

මෙරට හොකී ක්‍රීඩාවේ නිරත පාසල් 100 කට අධික සඛ්‍යාවක් වද්දීත්, දිස්ත්‍රික්ක අනුව ක්‍රියාත්මක සංගම් ද පවතිද්දී එවන් හැකියාවක් ප්‍රකට නොවන්නේ මක්නිසාද යන්න විමසිය යුතුව ඇත..

එහෙත් යම් සැලසුමකට හා නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව ද කනිෂ්ඨ ලෝක කුසලානයක ට ක්‍රීඩා කිරීම අපහසු ඉලක්කයක් නොවනු ඇතැයි පැවසිය යුතු ය.

ඒ සඳහා මූලාරම්භයක් ගැනීමේදී ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මුල් පුටුවට අභිනවයෙන් පත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා ට පැවරෙන වගකීම සුළුපටු නොවේ. ගැලරිය පිනවන්නට ගන්නා උත්සාහයෙන් මිදී සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව මෙරට හොකී ක්‍රීඩාව මෙහෙයවන්නට උත්සහ කළ හොත් ලෝක කනිෂ්ඨ ශූරතා තරග බිමට ප්‍රවිෂ්ට වීමේ හැකියාව දුර ඈතක නොවන බව කිවයුතුය.

ඒ සඳහා පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් බල ගැන්වීමත් විනිශ්චකරුවන් ශක්තිමත් කිරීමත් නිලධාරීන් නිවැරදි දිශානතිය තෝරා ගනීමත් අතිශයින් වැදගත් බව අවසන් වශයෙන් පැවසිය යුතු ය.

 

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments