පොත්වලින් හිත් සැනසූ මානවවාදී ලේඛකයා ලාල් ප්‍රේමනාත් ද මැල් | සිළුමිණ

පොත්වලින් හිත් සැනසූ මානවවාදී ලේඛකයා ලාල් ප්‍රේමනාත් ද මැල්

 

දිවිමඟ සටහන්

උපත - 1929 අගෝස්තු 16 දා පානදුර දිග්ගලදී

උප්පැන්නේ සඳහන් නම - ලක්ෂපති මහවිදානලාගේ ජයලාල් ප්‍රේමනාත් ද මැල්

භාවිත නම - ලාල් ප්‍රේමනාත් ද මැල්

පියාගේ නම - ජෝෂප් ද මැල්

මවගේ නම - ලිඩී සල්ගාදු

සොහොයුරු සොහොයුරියන් - දෙදෙනෙකි. ෂෙල්ටන් ද මැල්, ඩබ්ලිව්. එස්. ද මැල්

ඉගෙනුම ලැබූ පාසල් - මොරටුව සිරි විජය බොදු මිශ්‍ර පාසල, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මරදාන මධ්‍ය මහා විද්‍යාලය

වෘත්තීය ජීවිතය - ගුණසේන සමාගමට සාමාන්‍ය සේවකයකු ලෙස බැඳේ. කලක් ඇවෑමෙන් එහි අධ්‍යක්ෂ ධූරය දක්වා උසස්වීම් ලබයි

පළමු කෘතිය - හද රිදුම කාව්‍ය සංග්‍රහය- 1945

බිරිය - කුසුමා පියසීලී ප්‍රනාන්දු ගුණරත්න

දරුවන් - 3කි. සතිෂ් පෙම්රුවන්, සුන්දර නිහතමානී, සුභාෂණ මනරම්

මුනුපුරු මිනිබිරියන් - 2කි. සුරත් හා සුලක්ෂණා

1990 - කලාශූරී සම්මානය ලැබීම

1975 - අපූරු යාළුවෝ කෘතිය වෙනුවෙන් ප්‍රථම රාජ්‍ය යොවුන් සම්මානය

ලියූ කෘති සංඛ්‍යාව - 95 කි

අභාවය - 1998 ජූලි 14

 

වසරක් පාසා මහ ඉහළින් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය අද විලාසිතාවක් තරමට වර්ධනය වී ඇත. වත්මන මහා පරිමාණයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය එදා පටන් ගත්තේ පුංචි මිනිසකුගේ මහා ධෛර්යයක ප්‍රතිඵලයක් ලෙස ය. මෙතරම් මහා පරිමාණයෙන් නොවුණත් එදා ද පොත් ගන්නට ආ සෙනඟින් ගාල්ල පිරී තිබිණි.

ඒ පොත් ප්‍රදර්ශනයේ ඉතිහාසයයි.

මුල් ම පොත් ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ 1956 වසරේදී ය. ඒ ඇම්. ඩී. ගුණසේන සමාගමේ අනුග්‍රහයෙනි. මූලිකත්වය ගත් ජ්‍යෙෂ්ඨ ලේඛකයා බොහෝ අය හඳුනන්නේ ලාල් මහත්තයා ලෙසිනි. ලාල් ප්‍රේමනාත් ද මැල් ලොකු කුඩා සැම මුවඟ ප්‍රකට නාමයක් වූ මේ ලේඛකයා අද මහා පරිමාණයෙන් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ සමාරම්භකයා ය. එකල ඔහු ගුණසේන සමාගමේ සේවකයෙකි. ගාල්ලේ ගුණසේන පොත් හලේ කළමනාකරු වශයෙන් 1957 වසරේ පත් ව යන ඔහු ඉන් අනතුරු ව වසර ගණනාවක් තිස්සේ ගාල්ලේ පොත් ප්‍රදර්ශන පවත්වා ඇත. ජාතියක් කියවීමට හුරු කළ මේ කෘතහස්ත ලේඛකයාගේ ගිය මඟ අනතුරුව යන්නේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පවත්වනු ලැබූ රුසියානු පොත් ප්‍රදර්ශනයයි. මේ පොත් ප්‍රදර්ශනය මෙහෙයවා තිබුණේ කොමියුනිස්ට් පක්ෂය විසිනි.

1948 දී ගුණසේන සමාගමට ලාල් ප්‍රේමනාත් ද මැල් බැඳෙන්නේ කනිෂ්ඨ සේවකයකු ලෙස ය. සේවයට බැඳුණු මුල් අවදියේදී ශෝධ්‍ය පත්‍ර බලන ලද්දේ ද ඔහු විසිනි. හේ එය භාග්‍යයක් කොට සැලකීය. ක්‍රමයෙන් රැකියා පඩිපෙළේ ඉහළට නැඟුණු හේ ප්‍රකාශන හා අලෙවි කළමනාකරු, සාමාන්‍යාධිකාරී සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පත් වූයේ ය. වසර 45ක් තරම් දිගු කාලයක් ගුණසේන සමාගමේ සේවය කළ ලාල් නොහඳුනා ලේඛකයකු නොවී ය. ලේඛක හමුවීම් දෛනික ව සිදු වෙද්දී හේ ඊට ආසක්ත වන්නට ද ඇත. සියලු ලේඛකයන්ගේ හදේ ඔහු වෙනුවෙන් තිබුණේ අසීමිත හෘදය සංවේදී බැඳීමකි.

ඕනෑ ම කෙනකු මේ ලොවට එන්නේ යම්කිසි කාර්යයක් වෙනුවෙනි. ඒ කාර්යය නිවැරදි ව හා සාර්ථක ව ඉටු කිරීම ස්වකීය ජීවිතය වෙනුවෙන් යුතුකම් ඉටු කළා වෙයි. ඒ අර්ථයෙන් ගත් කල ලාල් උපන්නේ ම කියැවීමට හා ලිවීමට ය. සාහිත්‍ය වෙනුවෙන් බොහෝ කැපවීම් කළ ඔහු සාහිත්‍යකරණයේ නිරත ඕනෑ ම අයකුගේ මිතුරකු විය. පොත් ලියන අයටත් කියවන අයටත් හේ කල්‍යාණ මිත්‍රයෙක් විණි. දුර්ලභ පොත් ගැන ඔහු කෙතරම් නිපුණයෙක් ද යන්න ගැන ඔහු ඇසුරු කළ සියල්ලෝ දත්හ. පොතකට අදාළ යමක් සොයා ගැනීමට අවශ්‍ය ඕනෑ ම කෙනකු දෙවරක් නොසිතා ඔහුට කතා කළේ ය. සුපුරුදු නිහතමානීත්වයෙන් යුතුව ඒ සියල්ලන්ට ම ඔහු තමාට හැකි උපරිමය කළේ ය. ලොකු කුඩා සැමගේ ම හිතවතකු වූ ඔහුට තරාතිරමක් තිබුණේ නැත. ශාස්ත්‍රාභිලාෂීන් කවුරුන් හෝ වේවා ඔහු ඔහුට කළ හැකි උපකාරය කළේ දෙවරක් නොසිතා ය. විද්වතුන්, ගත්කතුවරුන්, විප්ලවවාදීන්, නවකයන් මේ ඈ සියල්ලන් ම ඔහුට සම ය. විවිධ හේතු දක්වමින් හෝ වෙන යම් කෙනකුගේ කේලම් බස් අසා ඔහු තමාට කළ හැකි දේ නොකර සිටින්නට තරම් කුහකයකු වූයේ ද නැත. අව්‍යාජ නිහතමානීත්වය විසින් ඔහුට එක් කළ ප්‍රභාව යුග යුග ගණන් රැව් දෙන්නේ ඔහු සතු මානවවාදී ගුණාංග නිසා ය.

ලක්ෂපති මහවිදානලාගේ ජයලාල් ප්‍රේමනාත් ද මැල් පානදුර කෙසෙල්වත්ත දිග්ගලදී උපත ලබන්නේ 1929 අගෝස්තු 16 දා ය. වතු පාලකයකු වූ ඔහුගේ පියා ජෝෂප් ද මැල් ය; මව ලිඩී සල්ගාදු ය. බොල්ගොඩ ගඟේ ඔරු පාරු ඔහුට හොඳට හුරු පුරුදු ය; ඔරු කාරයන්ගේ කතා ළමා ප්‍රේමනාත්ගේ සිතේ කුකුසක් මෙන් ම ගඟ ගැන ආදරයක් ද ඇති කළේ ය. ඔරු පාරු කවි ඔහුගේ සිතේ ආනන්දයක් ඇති කළේ ය. ළමා වියේ විචිත්‍රත්වයෙන් පිරුණු සිතැති කුඩා ප්‍රේමනාත් පරිසරයට ගහකොළට අසීමිත ව ආදරය කළේය. ක්‍රිස්තියානි පසුබිමක් තිබූ හෙයින් ඔහුගේ පියා ජෝෂප් පල්ලියේ නාට්‍යවල රඟපෑවේ ය; කැරොල් ගී ගැයුවේ ය. පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍ය සේම පියදාස සිරිසේන, ඩබ්ලියු. ඒ සිල්වා වැනි ලේඛකයන්ගේ කෘති ද ඔහුට මඟ හැරුණේ නැත. හේ කුඩා කල සිටම අසීමිත කියවන්නෙකි. නොතිත් කියැවීමේ ආභාසය ඒ අනුව පුතුට හිමිවන්නට ඇත්තේ ස්වකීය පියාගෙනි. හත්වැනි පන්තියට එනවිට කුමාරතුංගයන්ගේ හීන්සැරය, මඟුල් කෑම වැනි යොවුන් කෘති කියවා හමාර කරන්නට කුඩා ප්‍රේමනාත් පෙලඹෙන්නට ඇත්තේ කුමාරතුංග මුනිදාසයන්ගේ අනුගාමිකයකු වූ රිචඩ් විජයරත්න නිසා ය. ඔහු කුඩා ප්‍රේමනාත් මුලින්ම අකුරු කරන්නට ගිය මොරටුව සිරි විජය බොදු මිශ්‍ර පාසලේ ප්‍රධානාචාර්යවරයා විය. ඉහළ සාහිත්‍ය දැනුමක් තිබූ එතුමා වැන්නකුගේ ඇසුර කුඩා ප්‍රේමනාත්ගේ දිවියේ ඉදිරිය පිළිබඳ දැක්ම තීරණය කරන්නට බෙහෙවින් බලපෑවේ ය.

මොරටුව සිරි විජය බොදු මිශ්‍ර පාසලේ මූලික අධ්‍යාපනයෙන් පසු ප්‍රේමනාත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා මරදාන මධ්‍ය මහා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීය. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට යන අවදියේ ප්‍රේමනාත් පාසල් යෑමෙන් අනතුරුව හැන්දෑව ගත කළේ පන්සලේ ය. සිංහල, පාලි, සංස්කෘත ඉගෙන ගැනීමේ පාදම වැටෙන්නේ ඒ අයුරෙනි. පාසල් යන අවදියේ ම සිය පළමු කෘතිය වූ හද රිදුම කාව්‍ය සංග්‍රහය නිකුත් කරමින් හේ නිර්මාණ ලෝකයට පා තබන්නේ ය. ඒ ඔහුට වයස 16 දී ය. සිය මවගේ අකල් වියෝවත්, කලෙකින් පියාගේ නික්ම යෑමත් ඔහුගේ ජීවිතයට එක් කළ රිදුම ඒ කවි අතර සැඟවී තිබිණි. දක්ෂ කථිකයකු වූ ඔහු සමස්ත ලංකා කථික තරගවලින් පවා ජයග්‍රහණය ලබා ගෙන තිබේ. සිංහල බලය, නිදහස, ලංකාදීප ආදී පුවත්පත්වල ඔහුගේ නිර්මාණ නිරන්තර පළ විණි. පුවත්පත් පාඨකයන් අතර හේ ජනප්‍රිය චරිතයක් විය. ඔහුගේ නික්ම යෑමෙන් අනතුරුව කරන ලද සමීක්ෂණයකින් පසු හේ සිය ජීවිත කාලය පුරා විවිධ ප්‍රබේදවලට අයත් සාහිත්‍ය කෘති 95ක් නිකුත් කර තිබූ බව කීවේ ඔහු මද්දුම පුත් සුන්දර නිහතමානී ය.

ලාල් විවාහ වෙන්නේ කුසුමා පියසීලී ප්‍රනාන්දු ගුණරත්න සමඟින් 1950 දී ය. ඔවුනට පුතුන් තිදෙනෙකි. ඒ සතිෂ් පෙම්රුවන්, සුන්දර නිහතමානී හා සුභාෂණ මනරම් ය; සුරත් නමින් මුනුපුරකු හා සුලක්ෂණා නමින් මිනිබිරියක් ද වේ.

ගුණසේන පොත් සාප්පුවට ගොඩවන සෑම ලේඛකයකු ම ලාල් සමඟ වදනක් නොදොඩා යන්නේ නැත. ඔහු ද කුමන කාර්යයක නිරත ව සිටිය ද ඒ පයුරුපාසානය මග හැරියේ නැත. ළමයින්ට ලිවීම යන්න ගැන හේ නිරන්තර සිතුවේ ය. ඒ වෙනුවෙන් කැප වූයේ ය. ඔහු සිත වූ තර්කය වූයේ දරුවන් හැදුණොත් රටත් හැදේ ය යන්න ය. දිරිය මිනිසුන්ගේ චරිත දරුවන්ගේ ලෝකයට සමීප කරන්නට ඔහු උත්සාහ ගත්තේ ඒ නිසා ය. ගාල්ලේ ගුණසේන කළමනාකරු ලෙස සිටි කාලයේ ඔහු දකුණු පළාත ආවරණ කරමින් දරුවන් වෙනුවෙන් සංවිධානය කළ විවිධ වැඩසටහන්වල අරමුණ වූයේ ද පොත් දරුවන් අත ගැවසෙනු දැකීම ය. ගාල්ලෙන් කොළඹට එන ලාල් කොළඹ පොත් සමාජය නමින් දරුවන්ගේ කියැවීම වර්ධනය කිරීම වෙනුවෙන් ළමා පොත් සමාජයක් අරඹයි; අනතුරුව ව දරුවන්ට වට්ටමක් සහිත ව පොත් මිලදී ගැනීමේ පහසුකම් ද සම්පාදනය කරයි. එතැනින් නොනැවතුණු ඔහු පොත් කියවන දරුවන්ගේ විස්තර දවස පත්‍රයේ පළ කරන්නට මැදිහත් විය.

1959 වීර ළපැටියෝ ලියමින් ළමා කතාකරණයට පිළිපන් ඔහු 1997 නළාකාරයා ලියන විට ළමා පොත් පමණක් 17 ක් ලියා තිබිණි. යොවුන් පොත් තුනක් ලියා තරුණ පරපුර ඥානණය කිරීමේ ලා ඔහු පෙරමුණ ගත්තේ ය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළකදී යොවුන් සාහිත්‍යය වෙනුවෙන් පළමු රාජ්‍ය සම්මානය දිනා ගන්නේ ඔහුගේ අපූරු යාළුවෝ නිර්මාණයයි; ඒ 1974 දී ය. නවකතා 6ක් ලියන ඔහු සිය උපන් ග්‍රාමය වූ කෙසෙල්වත්ත දිග්ගල ප්‍රදේශය ගැන ලියූ ජීව තණ්හා නවකතාව ඒ ප්‍රදේශය අළලා ලියූ එක ම නවකතාව විය යුතු යැයි සිතේ. ධීවර ජීවිතය පසුබිම් කරගත් පළමු කතාව ලියන ලද්දේ ද ඔහු විසිනි. ඒ සාප ලද්දෝ ය. කෙටිකතා සංග්‍රහ තුනක්, නිබන්ධන 6ක්, චරිත කතා 14ක්, සාහිත්‍ය විචාර කෘති 6ක්, කථික විද්‍යා කෘතියක්, චිත්ත ධර්ම විද්‍යා කෘති 4ක්, පරිවර්තන 5ක් හා සංස්කරණ 3ක් ඔහු සිය ජීවිත කාලය පුරා හරි හම්බ කරගත් නිර්මාණ අස්වැන්නයි. ක්ෂේත්‍ර ගණනාවක් ම සුරු ව ඇසුරු කරමින් ස්වකීය ලේඛන ප්‍රතිභාව මැනවින් ජනගත කළ ඔහුගේ විශේෂත්වය වන්නේ ඒ සෑම නිර්මාණයකට ම අනන්‍යතාවක් සහිත වීම ය. බොහෝ විෂයයන් හේ සුරු ව ඇසුරු කළ ද ඔහු වඩාත් ආසක්ත වූයේ යොවුන් හා ළමා සාහිත්‍ය ක්ෂේත්‍රවල ය.

ප්‍රකාශන ක්ෂේත්‍රයේ ද බොහෝ සුරුකම් පෑ ඔහු එහි දිගුකාලීන අත්දැකීම් සහිත වූවෙකි. හේ 1979 දී පොත් නිෂ්පාදනය පිළිබඳ යුනෙස්කෝ ශිෂ්‍යත්වය ලැබී ජපානයේ පුහුණුවක් ද ලැබී ය. පොත් ප්‍රකාශනය පිළිබඳ ව ඔහුට තිබුණු අවබෝධය පිළිබඳ සාක්ෂිය නම් ලිහිණි පොත් බිහි වීමයි. ලේඛක පරපුරක් බිහි කිරීමට මෙන්ම ලේඛකයන්ට සාධාරණය ඉෂ්ට කරන්නට ද ඔහු බෙහෙවින් මැදිහත් විය.

ලේඛක, ප්‍රකාශක දෙඅංශයෙන් ම මෙන් ම ජනමාධ්‍යකරුවකු හා කවියකු වශයෙන් ද හේ ප්‍රචලිත විය. ගුණසේන වෙසක් කලාපය නිසා අවුරුද්දේ වෙසක් කාලයේ නිකුත් වෙන ලේඛන සංග්‍රහය කිහිපවතාවක් ම සංස්කරණය කළේ ඔහු විසිනි. ගුවන්විදුලි වැඩසටහන් රැසක් ද කළ ඔහු ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකතාව කොටස් වශයෙන් ගුවන්විදුලියට සකස් කළේ ය. සාහිත්‍ය සංවාද හා විචාර පිළිබඳ ව ඔහුගේ දැක්ම පුළුල් විණි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන, ඇම්. බී. ආරියපාල වැනි සුධීමතුන්ගේ සද්ජන ඇසුර ඔහුගේ ජීවිතයේ ආලෝකයට විසල් පිටුබලයක් සපයන්නට ඇත. විද්වත් සද්ජන ඇසුර තරම් කෙනකුට වටිනා අන් යමක් නැත. එය පෙර පින් බලයෙන් ලැබෙන්නකැයි සඳහන් වන්නේ ඒ නිසා ය.

පාඨක, ලේඛක හදවත්හි ගැඹුරු ම ලෙසින් සටහන් ලාල් ප්‍රේමනාත් ද මැල් දිවිමඬලෙන් සමුගැනීම වෙනුවෙන් සොවින් තැවුණු කලාශූරී අරීසෙන් අහුබුදු සූරීන් 1998 ජූලි 16 දා කව් පෙළක් ලියා තිබිණි. මේ ඉන් දෙපදයකි.

ලාල් ප්‍රේමනාත් ද මෙල් කප් තුර මරු ගෙන් කැපුණා

හීල් හුළඟ කලා පුරේ ගිනිමැලයක් සේ දැනුණා

සද්ජන නික්ම යෑම සිහිල් සුළඟ ගිනිමැලයක් සේ රස්නය දීමක් බැව් නියතයකි. සියලු හදවත් දයාලූ ආදරයෙන් නිවා ලූ නිර්මාණකරුවකුගේ සමුගැන්ම සහෘදය සිත් හඬවන්නකි. එහෙත් නික්ම ගිය ද නාමය අමරණීය නාමකරණයට ලාල් ප්‍රේමනාත් ද මැල් නාමය ද මුලින් ම එකතු වෙන බැවින් ඔහු වැන්නන්ට නික්ම යෑමක් නැත.

Comments