පෙන්ෂන් ගියාට වැඩක් නෑ | සිළුමිණ

පෙන්ෂන් ගියාට වැඩක් නෑ

 

දුම්රියෙන් පැමිණ මරදානෙන් බැස ගත් මිනිසෙකු කඩිමුඩියේ දුම්රිය පොළෙන් පිට වූයේ ඒ වෙන විටත් ඔහුට බොහෝ ප්‍රමාද වී ඇති අයුරු මුහුණින් සහ අත් පා චලනයෙන් පෙන්වමිනි. ඔහු විටින් විට අත් ඔරලෝසුව දෙස බැලුවේ ඇදහිය නොහැකි කෙටි කාල අන්තර තබමිනි. අවම වශයෙන් විනාඩියකට විසි තිස් වතාවක්වත් ඔහු එය කරන්නට ඇත. තත්පර කටුවට වඩා කාර්යබහුලතාවයකින් ඔහුගේ නෙත ඔරලෝසුවට නාභිගත විය.

කදිමට ඔප දැමූ සපත්තු යුවළකින් සැරසී සිටි නමුත් එය පරණ මෝස්තරයේ එකකි. නමුත් ඒ පැරණි බවට ඉහළ වටිනාකමක් ලැබී තිබුණේ සපත්තු මනාව ඔප දමා තිබූ හෙයිනි. දිගු කලිසමකින් සහ ගමේ ටේලර් සාප්පුවෙන් මැසූ අත් දිග කමිසයකින් ඔහු සැරසී සිටි අතර කමිසයට හා කලිසමට කිසිසේත් නොගැළපෙන ටයි පටියක් පැලඳ සිටියේය. කොපුල් තල ඇට පෑදි තිබුණි. තට්ටයද මඳක් මතුව තිබුණු අතර වම් අතේ කාර්යාල බෑගයක් විය. එයද පැරණි පන්නයට අයත්ය. ඔහු කෙරෙන් විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකුගේ පොදු ලක්ෂණ ගණනාවක්ම දිස් වුණි.

මහ වැස්සකට පසු මඳ වැස්සක් ඒ මොහොතේ මරදානට වැටෙමින් තිබුණි. වැස්ස ගැන නොතැකූ ඔහු තමන්ටම අනන්‍ය වූ ලිස්සායෑමක් බඳු ගමනින් දුම්රිය අංගනයෙන් එළියට ආවේය. ඉක්බිති ඒ අසල නවතා තිබූ ත්‍රී රෝදයකට ගොඩ වූයේ “මීටර් ටැක්සි නේද?” යැයි විමසමිනි. “ඔව් සර්.” යැයි කී ටැක්සි රියදුරා මීටරය බින්දුව කර “කොහාටද?” යැයි විමසුවේය. “ගොඩගේ එක පැත්තට යං.” ටයි පටියක් පැලඳි මිනිසා කීවේය. ඒත් ඒ වහාම සිය අදහස වෙනස් කර “නෑ! බීඑම් අයි සී එච් එක පැත්තට.” යැයි කියමින් පෙර තීරණය වෙනස් කළේය.

තම රථයට ගොඩ වූ වයසක මිනිසා දෙස පැති කණ්ණාඩි ඇසින් බැලූ රියදුරා රථය පාරට දැම්මෙ අමුතු අඩ සිනාවක් දෙතොලේ නගාගෙනය. “සර් යන පාර හරි නේද?” ඔහු යළි විමසුවේ වයසක මිනිසුන් සමඟ කුලී ගමන් ගොස් ලබා ඇති අත්දැකීම් නිසාය. ඊට පිළිතුරු නොදුන් රථයට ගොඩ වූ මිනිසා එක්වරම “පොඩ්ඩක් හෝව්!” යනුවෙන් කෑ ගසා රියදුරාගේ උරිස් මත දකුණත බර කළේය. “මට ජංගම දුරකථනයට කාඩ් එකක් දා ගන්න ඕනේ, කොමියුනිකේෂන් එකක් ළඟින් නතර කරන්න.” යැයි කිවේය. ඔළුව වනා ඊට උත්තර දුන් රියදුරා විනාඩි දෙක තුනකට පමණ පසු පාරේ වම් පසින් තම රථය නතර කරමින් “සර් අතනට යන්න.” යැයි කීවේය.

“එහෙනම් මම එනකල් ඔහොම ඉන්න.” යැයි පැවසූ මිනිසා ත්‍රී වීලරයෙන් බැස ඉදිරියට ගියේය. පොළොවට පය තබා අඩි කිහිපයක් ඉදිරියට යනවාත් සමඟම ඔහුගේ කකුල වතුර වළක වැටුණි.

පදික වේදිකාව අසලම වූ මෙම වතුර වළ මොහොතකට පෙර අැදහැලුන මහ වැස්සෙන් පිරී තිබුණි. එය වතුර වළක් වුවත් නිල් පැහැයවත් වැසි වතුර මෙන් අවර්ණ හෝ ගංවතුර මෙන් බොර පැහැගෙන නොතිබුණි. කුමක්දෝ අහේතුවකට කොළඹ වතුර වළවල් බොහොමයක් පරිදි මෙම වතුර වළද තනිකරම කළු තෙල් මෙන් කළු පැහැතිය. තාර පාරට අහසින් වැටෙන අච්චර පිරිසිදු වතුර මෙච්චර ඉක්මනට දෙවියන් වහන්සෙ වර්ණ විපර්යාසයකට පත් කරන්නෙ පොළොවේ දූවිලි කුණුවලින් පමණක් නොව දුෂ්ට, කපටි, කාමුක මිනිසුන්ගෙ සිත්වල ඇති කුණු පවා වර්ෂා දියට එකතු කර ඇති පරිදිය. ඒ කුණු වතුර පිරී ගිය වළේ වැදගත් මහතාගේ වම් කකුල ගිලී ගියේ වළලුකර දක්වාය. එහෙත් ඔහු එය එතරම් දුරට සැලකුවේ නැත. කකුල උස්සා කිහිප වරක් ගෙන්දගම් පොළොවේ පතිත කරමින් සපත්තුවේ පිරී ගිය කොළඹ කුණු ‘චරස්’ හඬ දෙමින් සපත්තු කටින් පිට කළේය.

ඉක්බිති කමියුනිකේෂන් එකට වැදී පෙර ගෙවුම් පතක් දමා නැවත ආවේ පෙර අවස්ථාවේදී මෙන් කුණු වතුර වළේ නොවැටෙන්නට පරිස්සම් වෙමිනි. ‘චරස් චරස්’ හඬින් සපත්තු කටින් වතුර පිටාර කරමින් කකුල අදිමින් එන වැදගත් මිනිසා දෙස ටැක්සි රියදුරා බලා සිටියේය. ඔහුගේ අඩ සිනාව පෙරට වැඩියෙන් මුවේ ඇඳුණේය. වයසක මිනිසා තම කුලී වාහනයට ගොඩ වෙනවාත් සමඟම “යන තැනකට ගිහින් ඉක්මනට කකුල හෝද ගන්ඩ සර්... මේ කොළඹ කුණු වතුර කියන්නෙම ලෙඩ රෝග. මොන ජරාවක්ද? අපිනේ රෑට හයර් දුවන්නෙ... හප්පෙ ඒ ජරාව.”

“එහෙමද? මේක නිකං වතුර වළකට කකුල ගියා පමණයි දරුවා.” යැයි ප්‍රතිචාර ලෙස වයසක වැදගතා කීවේය. ඊට මොකුත් නොකියූ රියදුරා ඉදිරිය බලා තුන්සක් රිය පැදවූයේය. “ඒත් මේස් කුට්ටම නම් හොඳටම බත් වුණා.” යැයි කියමින් වයසක මිනිසා මේස් අල්ලන්නට මෙන් මඳක් ඉදිරියට නැමුනේය.

“අතින්වත් අල්ලන්ට එපා සර්... ඕවා මහ කුණු ජරාව.” ත්‍රී රෝද රථ රියදුරා පැති කණ්ණාඩියෙන් බලමින් ආයෙත් කීවේය.

“මොකද හැබෑටම මේ කොළඹ පාරවල්වල වළවල්?” “වළවල් නෙමේ සර්... ඕවා වතුර බහින්ට බැස්ම හදලා තියෙන කටවල්. සර් කකුල දා ගත්තෙ ඒ වගේ කටකට. මේ හතර පැත්තෙන්ම හෝදගෙන එන ජරා කුණු වතුර පොළොව අස්සෙ කානුුවලට දාන විවරය තියෙන්නෙ එතැන. ඉතින් එතන ටිකක් වෙලා යනකල් වතුර පිරිලා තියෙනවා.”

“මොනවා! හතර පැත්තෙන්ම?”

“ඔව් මේ හැම වීදියකින්ම....”

කිසිවක් නොපැවසූ මිනිසා අදාළ ස්ථානයේ බැස ලෝබ නැතිව මුදල් ගෙවා දැම්මේය. “ටැප් එකකින් කකුලයි මේස් කුට්ටමයි හෝද ගන්ඩ සර්.” ත්‍රී රෝද රථ රියදුරා එසේ කියමින් “අපිනේ දන්නෙ මේ වගේ තියෙන කුණු කන්දරාව.” යැයි යළිත් පැවසුවේය.

ත්‍රී රෝද රථයෙන් බිමට බට මිනිසා තම දෙපා දෙස බැලුවේය. ‘හතර වටින්ම එන ජරාව, අපිනේ දන්නෙ මේවාගේ තියෙන විස බීජ...’ රියදුරාගේ වචන ඔහුගේ හිසේ දෝංකාර දෙන්න පටන් ගත්තේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ ගේට්ටුව අසලට ගිය ඔහු ඈතින් දිස්වෙන ධවල වර්ණ ‍ගොඩනැගිල්ල දෙස මඳක් බලා සිටියේය.

එය ඉදිරි පිට කොඩි කණු මුඳුනේ ජාතික කොඩි ලෙළ දෙන්නට විය. ඔහු කකුල දෙස බැලුවේය. ‘කොළඹ කුණු. අප්පෙ විස බීජ විමානේ... ඉක්මනට කකුල හෝද ගන්ට.’ ඔහු අලුතින් වචන එකතු කර සිතමින් ගේට්ටුව අසල මඳක් නතර වුණේය.

එහි සිටි ආරක්ෂක නිලධාරියා කිසිවක් කීවේ නැත. ටයි පටියක් පැලඳඳ පරණ කන්තෝරු බෑගයක් අත දරා අවුල්ව ගිය පැසුණු කෙස් කන අස්සෙ රුවන මිනිසා දෙස නිසොල්මනෙ බලා සිටියේය. මඳ වේලාවක් ගේට්ටුව ඉදිරියෙන් දෙතුන් වරක් සක්මන් කළ ඔහු තුංමුල්ල හංදිය පැත්තට ඇවිද ගියේය. එසේ ඇවිද යන අතරවාරයේ විටින් විට තම කකුල දෙසද බලන්නට විය. පාරේ යන එන ගැහැනු පිරිමි ඔහුව පසුකරමින් ඉදිරියටත් පසුපසටත් යන්නට වූහ. ඒ කිසිවෙකුත් මොහු දෙස ඇසක් ඇර බැලුවේ නැත. එහෙත් කොළඹ විස බීජ පිරිච්ච තමන්ගෙ ලෙදර් සපත්තුව දෙස බලනවා යැයි සිතමින් ඔහු ලැජ්ජාවට පත් විය. ඒ වෙන විට හිරු පායා කොළඹ උණුසුම් වී තිබුණත් ඔහුගේ තෙමුණු කුණු මේස් වියළී නොතිබුණි.

‘චරස් චරස්’ ශබ්දයක් ඇවිදිනකොට ඇසෙයි. මිනිසුන් ඔහුව පසු කරගෙන යද්දී ඔහු හෙමින් අඩි තබන්නටත් විටක නවතින්නටත් වූයේ එබැවිනි. ‘කොළඹ කුණු වතුර, හප්පෙ ඒවාගේ ජරාව... කකුල හෝද ගන්ට සර්.’ ඔහු නැවතී සපත්තුව දෙස බැලුවේය. සපත්තුව මතුපිටින් වියළී ඇත. ඒත් අර කොළඹ කුණු වතුර සපත්තුව අස්සට රිංගා චර චර හඬින් ශබ්ද දමමින් සිටී. ඒ ශබ්දය ඇසෙනවාත් සමඟම ඔහුගේ මනසද ඊට අනුලෝමව සෙලවෙන්නට විය. එතෙක් වෙලා තිබූ මුහුණේ ඉරියව් ක්‍රමයෙන් නරකට හැරෙන්නට පටන් ගත්තේය.

‘කොළඹ විසබීජවලට පණ ඇවිල්ලා... උන් සද්ද දාන්නත් පටන් ගෙන.’ ඔහු එසේ සිතුවේය. ටිකකින් ඒ එකම වාක්‍ය ආයෙ ආයේ මුමුණන්නට විය. රූපවාහිනි සංස්ථාව ඉදිරියෙන් ඔහු පාර දිගේ ඇවිද්දේද ඒ වාක්‍ය රහසේ මතුරමිනි. එක්වරම මොහොතක් නතර වී ඒ අසල පොකුණේ කරාමවලින් උඩට විදින වතුර මල් පෝලිම දෙස බලා සිටියේය. ඒ පොකුණේ වතුර පිරී ඇත. සපත්තුව.. විසබීජ... මේස් කුට්ටම... මේ සියල්ලම සෝදා ගැනීමට නිසි තැන එතැන. ඒත් ඒ අසලින් යන එන මිනිස්සු... දෙනෝ දාහක් මිනිසුන් ඒ ඉදිරියෙන් ඇවිද යති. තාර පාරද වාහනවලින් ආකූලය. මේ කාටත් හොරෙන් සපත්තුව ගලවා මේස් කුට්ටම සෝදා නැවත පැලඳිය නොහැක. ඒත් ඔහු පාර පැන එදෙසට පියවර මැන්නේය.

කිහිපවරක්ම ඒ ඉදිරිපිටින් යමින් හොර ගල් ඇහින්දෙ සපත්තුව ගලවා මේස් කුට්ටම සෝදා කකුලත් පිරිසිදු කර ගන්නට අවස්ථාවක් ලැබෙන තුරුය. එක් වරක ඔහු ලෙදර් සපත්තුවේ ලේස් පවා ලිහා දැමුවේය. ඒත් හරි ගියේ නැත. ලේස් කුට්ටම නැවත ගැට ගැසුවේද නැත. ලේස් තෙතබරිතව ඇත.

ඔහු ඇඟිලි තුඩු දෙස බැලුවේය. කොළඹ විසබීජ යකා ඇඟිලි තුඩු අගටත් ඇවිදින්ය. ඇඟිලි තුඩු රිදුම් දෙන්නට විය. දිවි මකුළුවෙක් විකුවා සේ ඔහු අත ගසා දැම්මේය. ඒත් වතුරේ තෙත පහව නොගියේය. ඔහු වහා සාක්කුවෙන් ලේන්සුව ගෙන අත පිහදා ගත්තේය. ඒත් ඒ සැනසීම මොහොතකටය. කොළඹ කුණු වතුරෙන් උපන් විසබීජ ලේන්සුවට මාරු වුණේය.

ඔහු ලේන්සුව බිමට අත් හළේය. අසල ජල පොකුණේ අත ඔබා අතැඟිලි සෝදා ගත්තේය. ඒ සමඟම ජල පොකුණ පුරා විසබීජ සත්තු පාවෙන්නට පටන් ගත්තේය. නොහිතන වේගයෙන් උන් මුළු පොකුණටම අරක් ගත්තේය. තත්පර ගාණක් තුළ ලක්ෂ ගණනින් පැටව් ගැසුවේය. එක පෝලිමට ඇති වතුර මල් දෙස ඔහු බැලුවේය. වතුර මල් සමඟ ඉහළට විසබීජ සත්තු උඩට පනිති. එසේ පැන යළි වතුරටම වැටෙති. නැවත උඩ පනිති. උඩ මතු වෙන හැම විටම ඔහුට විරිත්තයි. යළි වතුරටම වැටී සැඟවේ. ඔහු වටපිට බැලුවේය. ඈතින් පොලිස් ජංගම රථයක් එනු පෙනිණි.

පොකුණ අපිරිසිදු කරමින් විසබීජ බෝ කළාට දඬුවම්!!! ඔහු වහා එතැනින් ඉවතට ගියේය. ගියා නොව දිව්වා හා සමානය. ලිහා දැමූ සපත්තු ලේස් බිම දිගේ ඇදුණේය.

ඒ අතර බිම වැටුණු ලේන්සුවෙන් පොළොවට මාරු වූ විසබීජ සත්තු ගස් මැඩියන් මෙන් පනිමින් ඔහු පසුපස ආවේය. එය දුටු ඔහු වරක් දෙවරක් නොව තෙවරක්ම පය පැටලී බිම වැටෙන්නටද ගියේය. ආලෝක සංඥා ‍පුවරුව පවා මායිම් නොකළ ඔහු රතු එළි දැල්වී තිබියදී කහ ඉර තරණය කළේය. කොළඹ රියදුරෝ තම නළා නාද කළහ. ඒත් ඔහු නතර නොවුණි. ‘විසබීජ... හතර දිශාවෙන්ම එන කුණු කසළ දිය වෙලා.. මගේ සපත්තුව අස්සෙ උන් පැටව් ගහලා...’ ඔහු මුමුණන්නට විය. ගුවන්විදුලි සංස්ථාව අසලින් දකුණට හැරුණු ඔහු ඉදිරියට දිව්වේය. නැත පිස්සුවෙන් මෙන් ඇවිද්දේය. නැත. දිව්වේය. නැත, ඒ ගමන විස්තර කරන්නට සිංහල භාෂාවට පොදු වචනක් නොමැත. ටික දුරක් ගොස් යළි හැරී තුංමුල්ල හංදිය තෙක් ඔහු ගමනේ යෙදුණේය.

පදික වේදිකාව දිගේ පැන පැන ආ විසබීජ සත්තු මුහුණට මුණ ගැසුනත් උන් උඩින් ඔහු පැන්නේය. කිහිප විටකදීම ලේස් පටිය පය පැටලී ඇද වැටුණි. වැලමිට ඉන් තුවාල වූයේද නැද්ද යන්න හරියටම කිව නොහැකි වූයේ අත් දිගු කමිසය නිසාය. හති වැටී ඔහු නතර විය. තුංමුල්ල හංදියේ විශාල ගස් යට ඔහු ගිමන් හැරියේය. විඩාව ඉවසා ගත නොහැකි තැන ගසකට පිට දී බිමට රූටා ගියේය. ඉක්බිති බිම වාඩි වී දෙදණ නිකට දක්වා ගෙන ආවේය. ඒ සමඟම කුණු බිත්තර ගඳක් දෙපා මුලින් මතුවී ඔහුගේ නාසය තළා දැම්මේය. ගඳ පැමිණි දිශාවට ඔහු ඉව කළේය. දුඹුරු පාට ලෙදර් සපත්තුව අස්සෙන් කළු මේස් කුට්ටම විරිත්තුවේය.

ඔහු යන්ත්‍රානුසාරයෙන් මෙන් නැගිට්ටේය. අහසේ වලාකුළක් දෙකක් නිසොල්මනේ පාවී ගියේය. ඇදහිය නොහැකි පුදුම වේගයකින් ඔහු ඇවිද්දේය. හිරුගේ රැස් දහරින් කොළඹ නගරය සේදෙන්නට පටන් ගත්තේය. පිස්සු සුනඛයෙකු මෙන් මද්දහනත් ගෙවෙන තුරුම ඔහු අළාමුළාවෙන් ඇවිද්දේය.

හරියටම හවස පහ කිට්ටු වෙද්දී ගෙවල් බලා යන රාජ්‍ය සේවකයන්ගෙන් මරදාන දුම්රියපොළ පිරෙන්නට විය. ඒ මිනිසුන් අතර පරණ කන්තෝරු බෑගයක් එල්ලාගත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් පහළොස් වසරකට පමණ වේ යැයි උපකල්පනය කළ හැකි මිනිසාද විය.

ඔහුගේ එක් කකුලක දුඹුරු පාට සපත්තුවක් තිබුණු අතර ඉතිරි පය සපත්තුවකින් තොරව නග්නව තිබුණි. සපත්තුව ඇති පය මඳක් උසින් වැඩි බැවින් මොහුගේ ගමන නොණ්ඩිය. විකාර රූපිය. ඔහුගේ ගමන් විලාසය දැක දුම්රිය පොළේ දඩාවතේ ගිය බල්ලෙකු බුරමින් ඔහු පස පස පැන්නුවේය. ඔහුගේ ටයි පටිය සුළඟට කැරකී වම් කර උඩට පතිත විය. ඔහුට ඒ ගැන වගක් නැත. ඔහු සාක්කුවට අත දමා සල්ලි කොළයක් ගෙන ‘පේරාදෙණිය හංදිය’ යැයි කීවේය.

රාත්‍රී අටට පමණ නිවසේ ඉදිරි දොරට තඩි ගසන ශබ්දයෙන් ගෙහිමි කාන්තාව පැමිණ දොර විවර කළාය. තම සැමියා තනි සපත්තුවකින් නිවසට ඇතුළු විය.

“කෝ සපත්තු? අනිකට මක් වුණාද?

“විස බීජ! විස බීජ! ස්ස්ස් ” ඔහු හෙමින් කොඳුලේ දබර ඇඟිල්ල දෙතොල් මත සිරස්ව තබමිනි. ඔහු කෙළින්ම කාමරයට වැදුණේය. ඉතිරි සපත්තුව පයෙන් ගලවා ඉවත් කිරීමක් ගැන කල්පනා නොකළ ඔහු ‘විසබීජ.. බිසබීජ...’ යැයි ටික වේලාවක් මුමුණන්නට විය. ඉක්බිති එක්වරම කොහු මෙට්ටයකින් යුතු සයනට මත ඇද වැටුණේය. ගමේ බල්ලො බුරන්නට වූහ. ඒ හඬ ඇසී ඈත නියම්ගම්වල බල්ලො උඩු බුරන්නට වූහ.

නුවර සීතල දේශගුණය හේතුවෙන් පසුදා උදෑසන වන විට ඔහුට තදින් උණ ගත්තේය. සියොළඟ තදින් ගැහෙන්නට වූ අතර උණ විකාරයෙන් ‘විසබීජ... විසබීජ...’ යැයි දෙඩුවේය. විටින් විට ‘උන් යක්කු’ යැයි කීවේය. ‘හැම දේම යකාට ගියා... හැමදේම! ’ යැයිද පැවසුවේය. උණ විකාරය දහවල්වන විට වෛද්‍යවරයෙකු නොදැක උත්සන්න විය.

දරුවන් ඔහු ගැන නොතැකුවා නොවේ. තකන්නට ඔවුන් ලංකාවේ සිටියේ නැත. බිරිඳ විටින් විට පැමිණ පපුව උස් පහත් වෙනවාදැයි උලුවස්ස යට සිට දොර රෙද්ද මෑත් කර බැලුවාය.

එදින හවසත් ඇය එසේ බැලුවේ දහවල් වරුවම ඔහු නිදා සිටි බැවිනි. බටහිර අහසෙන් බැස යන හිරු කිරණ කදම්බයක් කවුළුවේ බිදී ගිය වීදුරුව අතරින් ඔහුගේ පපු මත්තට වැටී තිබුණි. පෙර අවස්ථාවලදී උස් පහත් වූ පපුව නිසොල්මනේ තිබෙනු හිරුගේ ඒ ආලෝක කිරණයෙන් ඇය දුටුවාය. ඒ වෙන විටත් ඔහුගේ දකුණු පයේ දුඹුරු පාට සපත්තුව තිබුණි.

එහි අඩියේ මඩ තල්ලියක් ඇලී තිබුණි. ටයි පටිය අති විස්මයට හේතුවන පරිදි පපු මැද්දෙන් නූලට, කලාවට, දශමෙට, තනි ඉරට තිබුණේ උඩුබැලියෙන් සිටි මිනිසාගේ පපු මැද්දෙනි. නිල මැස්සෙකු හුංකාර ගසමින් කාමරයට පැමිණ හුනු බදාම ගැලවී ගිය බිත්තියේ වැසුවේය.

“පෙන්ෂන් ගත්තාම සල්ලි ටික ඉවරවෙනකල් මෙයාගේ වැඩේ රට වටේ ඇවිදින එක. බස්වල, කෝච්චිවල ඔහේ අරමුණක් නැතිව ගියා.

එහේ මෙහේ ගිහින් හවස් වෙනකොට ගෙදර එනවා. අවුරුදු පහළොවක්ම කළේ ඒක. මගේ පෙන්ෂන් එක වියදම් කළේ එයාට බෙහෙත් අරගෙන දෙන්න. දරුවෝ රට ඉඳලා ආවහම අපි දෙන්නව එක්කරගෙන යන්න හැදුවත් මෙයා ඒ හැම පාරම බෑ කිව්වා. එදා කොහේ හරි ගිහින් ටිකක් රෑ වෙලා ආවා. එක කකුලක විතරයි සපත්තුවක් තිබුණේ. අනික් සපත්තුව ගැන මම අහද්දී මොනවත්ම කීවේ නෑ. විසබීජ... විසබීජ... කියලා මුමුණලා එහෙම්ම ඇඳට වැටුණා. ඒ වැටුණු වැටිල්ල ආයේ නැගිට්ටෙ නෑ.” මළගෙදරට පැමිණෙන හැමෝටම ඇය කීවේ එකම කතාවය.

 

ප්‍රවීණ හෝ ආධුනික වචන 2,000ට නොවැඩි ඔබේ කෙටිකතා පහත ලිපිනයට යොමු කරන්න.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකථනය: 011 2429265

[email protected]

 

Comments