ප්‍රතිවාදියාගේත් ආදරය දිනන නවසීලන්තයේ විලියම් පුතාණෝ | සිළුමිණ

ප්‍රතිවාදියාගේත් ආදරය දිනන නවසීලන්තයේ විලියම් පුතාණෝ

 

‘එයාගේ නමත් කේන්. අපි එයාව හඳුනාගත්තේ පුංචි කාලේ. ඒ කේන්ගේ නම ලියැවුණේ caine කියලයි. මෙයත් කේන් තමයි. හැබැයි එයාව හම්බවවෙද්දී අපි යම් පමණකට වියපත්. හැබැයි මෙයාගේ නම ලියන්නේ Kane කේන් කියලයි.

ලියන විධිහ වෙනස් වුණාට මේ කේන්ලා දෙන්නා ඇතුළෙම ඉන්නේ එකම එක කේන් කෙනෙක් කියලා හිතෙන වාර අනන්තයි. ඒකට අපිට කියන්න වෙන්නේ ආධ්‍යාත්මික සමහැඩති කේන්ලා කියලයි. අතීතයේ හිටපු කේන් චරිතය බිහි වෙන්නේ චීනයේ ෂැඔලිං පන්සලකින්. ඔහු සටන් කලාව ඉගෙන ඒ සටනේ පරතෙරට ගිය කෙනෙක්. ඔහු තමන්ගේ සටන් කලා ශිල්පය භාවිත කරන්නේ පීඩිතයාට පක්ෂව, බලවතාට එරෙහිව. ඒකත් නිකං නෙවෙයි නොවැළැක්විය හැකි අවස්ථාවක.

වර්තමානයේ අපිට හමුවන කේන් තමන්ගේ බලය භාවිත කරන්නෙත් ප්‍රතිවාදියාට එරෙහිව. එතැන දී ඔහු කායික හිංසනයක් විධිහට නෙවෙයි ඒක කරන්නේ. නමුත් ඔහු සිය නිසඟ විභවතාව එළියට දමා ප්‍රතිවාදියා මට්ටු කරද් දී ලොව සුවහසක් ප්‍රේක්ෂකයන් අත්තල නගනවා, හිනැහෙනවා. ඒ කියන්නේ ලෝකයක් සතුටු කරන්න පුලුවන් අපූරු කැරිස්මාවක් ඒ පරණ කේන්ට වගේම අලුත් කේන්ටත් තියෙනවා.

අපි ට එහෙම දැනෙන්නේ මේ කිසිම කේන් කෙනෙක් දේශ සීමාවන්ගෙන් ලඝු කරන්න කාටවත් හිතෙන්නේ නැති නිසයි. ගොඩාක් වෙලාවට තමන්ගේ රටත් එක්ක දෙවැනි කේන් සටන් වැදුණු මොහොතක වුණත් ඔහුගේ පරාජය ගැන සිතනවාට වඩා ඔහුගේ ප්‍රහාරයේ ඇති අලංකාර බව රසවිඳින්න ප්‍රතිවාදීන් අකමැති නෑ.

ඇත්තටම කවුද මේ කේන්? පළමු වැනි කුංග් ෆු නමැති සිනමා හා රූපවාහිනී නිර්මානයේ හමුවන කල්පිත චරිතය. ඊට සමරූපී ආධ්‍යාත්මයක් සහිත වර්තමාන චරිතය තමයි නවසීලන්ත ක්‍රිකට් පිලේ වර්තමාන නායකයා වන විලියම් පුතාණෝ. නමින්ම කියනවා නම් කේන් විලියම්සන්.

මොනතරම් පීඩනයක්, අභියෝගයක් ආවත් මේ කේන් සන්සුන්. එතකොට අපිට පෙනෙන්නෙම මේ කේන් අර ෂැඔලිං කේන් එක්ක ගැලපෙන බවමයි. ඔහු කඩිසරයි, කාර්යශූරයි. ඒත් හැඟීම් මුහුණෙන් ප්‍රකාශ නොකර තරගයක දී ප්‍රතිවාදී කණ්ඩායමට උපරිම පීඩනය ලබාදෙන අයුරු ප්‍රශංසනීයයි.

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව අතින් පරාජය ලැබූවත් කේන් විලියම්සන් දියත් කළ ඉනිම කාලයකට අමතක නොවෙන ආකාරයේ ඉනිමක්. ඔහු පිත්ත ළෙලවද් දී පන්දුව ස්ථානගත කළයුත්තේ කෙසේ ද?, පහර පාලනය කළ හැක්කේ කොහොම ද ? කියන එක පිළිඹිඹු කළා.

කේන් ගේ තවත් හුරුපුරුදු ස්වරූපයක් එක්වරම අපට පේනවා. ඒ තමයි අපේ සුපිරි පිතිකරුවකු වුණු මාවන් අතපත්තු ගේ ක්‍රීඩා රටාව ඇතැම් අවස්ථාවල දී කේන් තුළින් ප්‍රදර්ශනය වීම. මාවන් වගේම කේන් විලියම්සන් අන්තර් ජාතික තරග ආරම්භ කරන්න පටන් ගත්තේ ම බිංදුවෙන්.

එකපාරක් නම් මදැයි දෙවැනි තරගයේ දී ත් ඔහුට බිංදුවෙන්ම සැනසෙන්න සිද්ධ වුණා. හැම දිග ගමනක්ම, හැම සාර්ථක වැඩක්ම බිංදුවෙන් පටන් ගන්න ඕනෑ. අන්න ඒ බව සනාථ කරමින් කේන් බිංදුවෙන් පටන් අරගෙන තරග තුනකට පස්සේ 2010 වසරේ දී ම බංග්ලාදේශයට එරෙහිව එක්දින ශතකයක් රැස්කළා. ඔහු ඉන්දියාවේ දී තම පළමු ටෙස්ට් තරගයට ඉන්දියාවේ දී ක්‍රීඩා කරමින් මංගල ඉනිමේ ම ශතකයක් රැස් කරන්නත් සමත් වුණා.

ඔහු අද වනවිට ලෝක ක්‍රිකට් පෙතේ බොහෝ දුර ගිහින් ඉන්නවා. ඔහුගේ විශිෂ්ට පිතිහරඹය වගේම සන්සුන් බවින් යුක්ත, කල්පනා කරලා තීරණ ගන්න නිර්භය නායකත්වය ගැනත් අද හැමෝම කතාකරනවා.

අද වෙනවිට කේන් කියන්නේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කියන තරග රටා තුනේම දක්ෂතා දක්වන නවසීලන්තයේ ප්‍රබලම ක්‍රීඩකයා. ටෙස්ට් තරග 85 ක දී ශතක විසි හතරක්, එක්දින තරග 151 ක දී ශතක 13 ක්, විස්සයි විස්ස තරගවල දී ත් දක්ෂතා දක්වමින් සිටිනවා.

මෙතැන දී අපි දකින සුවිශේෂත්වය තමයි කේන් ක්‍රීඩකයකු වශයෙන්, නායකයකු ලෙස භාවාතිශය නොවීම. ඔහු හරියට ක්‍රිකට් පිටියේ හැසිරෙන්නේ යම් ධ්‍යානයක් උපයාගත්තෙක් වගේ. නොසැලෙන ගුණය ඔහු ප්‍රගුණ කරනවාක් වැනියි.

තමන් ජයගත් විට දැඩිව සතුටු වීම හෝ පරාජය වූ විට දුක්වීමක් ඔහුගෙන් ප්‍රකට වෙන්නේ නැති තරම්. ප්‍රතිවාදියාගේ ජයග්‍රහණයට හදවතින් ස්තුති කරන්න ඔහු සූදානම්. පුංචි සිරුරක් සහිත වූවත් කේන් විලියම්සන් අපි පුංචි කාලේ කුංග් ෆු කතාමාලාවේ දැකපු කේන් ට බොහෝ දුරට සමාන වන්නේ ඒ නිසයි.

ක්‍රීඩාව කියන්නේ මිනිසුන් ආවේග සම්පන්න කරන තැනකට වඩා ජවය භාවිත කළ මිනිසුන්ගේ මනස සන්සුන් කරන තෝතැන්නක්. ඊට කේන් විලියම්සන් කදිම නිදර්ශනයක්. ලෝකය ඔහුට ආදරය කරන කැරිස්මාව තමයි ඒක. ඔහු තුළ ජීවත්වන ආධ්‍යාත්මික මිනිසාගේ තැන්පත් භාවය කේන් සමඟ තවත් මිනිසුන් ළං කරවනවා.

ඊට කදිම නිදර්ශනයක් විධිහට මෙවර ලෝක කුසලානය අවසානයේ ඔහු සිය කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදුවීම ගැන මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස් දක්වන්න පිළිවන්. එම ප්‍රකාශය තුළ ඇත්තේ ඔහු ජීවිතය දකින්නේ කොහොම ද කියන එක කියලයි අපිට හැඟෙන්නේ. එය කේන් කියූ ආකාරයෙන්ම ලියනවා නම්,

'විටෙක ඔබ දිනනවා. තවත් විටෙක ඔබ පරදිනවා. ඒක ඕනෑම දවසක වෙන්න පුළුවන් දේවල්. ඔබට යම් තරගාවලියක් දිනන්න අවශ්‍ය වෙනවා. නමුත් අනිත් කණ්ඩායම් අපේක්ෂා කරන්නෙත් කෙසේ හෝ තරගාවලිය ජයගන්නයි. ඒක තමයි යතාර්ථය. ඔබ අවසන් තරගයට ආවට පස්සේ ඕනෑ දෙයක් වෙන්න පුළුවන්.' යනුවෙනුයි.

ඔහු ට දැන් තිස් එකයි ඒ නිසා ඔහුගේ නමින් තවත් බොහෝ වාර්තා බිහිවෙන්න නියමිතයි. දැනට කිවහැක්කේ එච්චරයි.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

 

Comments