නිදහසෙන් පසු ලංකාවට ආ කොදෙව්වෝ පළමු සංචාරය 1949 දී | Page 2 | සිළුමිණ

නිදහසෙන් පසු ලංකාවට ආ කොදෙව්වෝ පළමු සංචාරය 1949 දී

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයකට පැමිණ සිටී. ඔවුන් මේ පැමිණෙන්නේ දසක හතරකට පසු එන නෑ ගමනකි. මේ පළමු වරට කොදෙව්වෝ ලංකා භූමියට ආ කතාවක සංක්ෂිප්ත මතකයකි.

1949 පෙබරවාරි 14 වැනි දා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයට විශේෂ සටහනක් තබූ දිනයකි. ප්‍රථම වතාවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමක් මෙරට ට පැමිණියේ එදා ය. ඒ දින 16 ක තරග සංචාරයක් සඳහා ය. 1949 දී මෙම කොදෙව් කණ්ඩායම මෙරටට පැමිණියේ ජෝන් හොවර්ඩ්ගේ නායකත්වය යටතේ ය.

ජෝන් හොවාර්ඩ් සමග එකල ජගත් කෙළිබිම නම රැන්දූ එවර්ටන් වික්ස්, ක්ලයිඩ් වෝල්කට්, ජෙෆ් ස්ටොල් මෙයර්, බොබ් ක්‍රිස්ටියානි, ඇලන් රේ, ජෝර්ජ් කැරෑ, ජෝර්ජ් හෙඩ්ලි, ඩෙනිස් ඇට්කින්සන්, ජෙරී හෝම්ස් වැනි ක්‍රිඩකයින් එම කොදෙව් කණ්ඩායමට ඇතුළත්ව සිටිය හ. වික්ස්, වෝල්කට් සමග සුප්‍රකට ‘ඩබ්ලිව්’ ත්‍රිත්වය ගොඩ නැගූ ප්‍රැන්ක් වොරල් පමණක් මෙම සංචාරයට පැමිණ සිටියේ නැත.

සංචාරයේ ප්‍රථම තරගය 1949 පෙබරවාරි 16 සහ 17 යන දිනවල ගාල්ලේ දී පැවැත් වුණේ කොදෙව් සහ ක්‍රිකට් මණ්ඩල කණ්ඩායම් අතරේ ය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක කොදෙව් පිල අර්ධ ශතක හතරක් සමගින් කඩුලු 9 ක් දැවී ලකුණු 435 ක් රැස් කළ අතර ක්‍රිකට් මණ්ඩල පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 234 ක ට දැවී ගිය හ. දෙවැනි ඉනිම සඳහා පිට පිට පන්දුවට පහරදීමට සිදුවූ නමුත් එහි දී කඩුලු 4 ක ට ලකුණු 65 ක් ලබා ගත්තෙන් තරගය විසඳුමකින් තොරව අවසන් විය. එවර්ටන් වික්ස් කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළේ යග එය 97 කි. එෆ්.සී. ද සේරම් ලකුණු 73 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළේ ය.

මීළඟට පෙබරවාරි 19, 20 සහ 21 යන දිනවල කොළඹ ඕවල් පිටියේ දී පැවැත්වුණේ ප්‍රථම නිල නොවන ටෙස්ට් තරගය යි. කොfදව්වෝ එම තරගය ඉනිමකින් සහ ලකුණු 22 කින් ජය ගත්තේ ය. පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 467 ක් රැස් කළ කොදෙව්වෝ එය ශතක ඉනිම් 3 කින් වර්ණවත් කළ හ. ඒ එවර්ටන් වීක්ස් නොදැවී 133, ක්ලයිඩ් වෝල්කට් නොදැවී 125 සහ ඇලන් රේ 116 ක් වශයෙනි. පළමු ඉනිමේ දී ලකුණු 122 ක ට දැවී ගිය ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ දී සාර්ථක පිති හරඹයක් දියත් කරමින් ලකුණු 318 ක් රැස් කළ හ. ඉතා අගනා ටෙස්ට් ශතකයක් වාර්තා කරමින් ආරම්භක පිතිකරු මහේෂ් රොඩ්රිගෝ නොදැවී ලකුණු 135 ක් ලබා ගත්තේ ය. කොදෙව්වන් වෙනුවෙන් ඉහළ වේග පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ප්‍රයර් ජෝන්ස් ලකුණු 62 ක ට කඩුලු 10 ක් දවාලී ය.

මීළඟ තරගය කොදෙව් සහ ඒකාබද්ධ විද්‍යාල අතර දෙදින තරගයක් ලෙස පෙබරවාරි 23 සහ 24 යන දිනවල කොළඹ ඕවල් පිටියේ දී ම පැවැත්වුණේ ය. එහි දී කොදෙව්වන් කඩුලු 7 කට ලකුණු 481 ක් රැස්කළ හ. ජෙෆ් ස්ටෝල්මෙයර් 118 සහ ජෝර්ජ් හෙඩ්ලි 100 ක් වශයෙන් ශතක ඉනිම් වලින් ලකුණු පුවරුව සැරසූ හ. දෙවැනි ඉනිමට කොදෙව්වන් කඩුලු 4 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 88 ක් විණි. ඒකාබද්ධ විදුහල් පිළ පළමු ඉනිමට ලකුණු 178 ක් රැස් කළේ වැඩිම ලකුණුලාභියා ලෙස ඕවන් දල්පදාදු 33 කින් ඊට දායක විය. පන්දු යැවීමෙන් ජෙෆ් ස්ටෝල්වේයර් ලකුණු 47 කඩුලු 5 ක් දවාලී ය.

දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය පැවැත්වුණේ පෙබරවාරි 26, 27 සහ 28 යන දිනවල ය. එය ද ඕවල් පිටියේ දී ම පැවැතිණිග එහි දී පෙරට වඩා දස්කම් පෙන්වමින් ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 381 ක් රැස් කළ හ. එහි දී එෆ්. සී ද සේරම් 94. අයිග ගුණසේකර 71 සහ සාති කුමාරස්වාමි 52 කින් දායක වූ අතර දෙවැනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබාගත් හ. එහි දී සාගෝ ජයවික්‍රම නොදැවී ලකුණු 50 ක් රැස් කළේ ය.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 513 ක් රැස් කළ හ. ඇලන් රේ 137. ජෙෆ් ස්ටෝල් මේයර් 93, බොබ් ක්‍රිස්ටියානි 96, ඩෙනිස් ඇටික්සන් 74, ක්ලයිඩ් වෝල්කට් 54 ලබාගනිමින් පිතිකරුවන් ලෙස කැපී පෙණුනි. එම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූයේ ය.

ඒ අනුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙරට අතර පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරග මාලාව ජයගත්තේ 1 - 0 කි නි.

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments