දුප්පතාගේ ක්‍රිකට් සමාජය පිළිබඳ වූ වර්ණපුර පරපුරේ කතාව | සිළුමිණ

දුප්පතාගේ ක්‍රිකට් සමාජය පිළිබඳ වූ වර්ණපුර පරපුරේ කතාව

'මේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුරයන් හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර සම්බන්ධයටත් වඩා ඔහුගේ පරපුර හා එම ක්‍රීඩා සමාජය අතර පවතින සම්බන්ධය ගැන කියැවෙන ලිපියකි.'

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර පසුගිය දා ජීවිත ගමනින් සමු ගත්තේ මෙරට ක්‍රිකට් වංශ කතාවට මතක සටහන් රැසක් තබමිනි. කොළඹ නාලන්දා විදුහලින් බිහි වූ වර්ණපුරයන් තුන් ඉරියව්වේ ක්‍රිඩකයකු, ක්‍රිකට් නායකයකු, පරිණත පුහුණුකරු, තරග තීරකවරයකු, පරිපාලන නිලධාරියකු සහ කණ්ඩායම් කළමනාකරුවකු ලෙස ඉහළම සේවා දායකත්වයක් ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දුන්නේ ය. එලෙසම ඔහු පුළුල් අවබෝධයක් තිබූ ක්‍රිකට් විචාරකයකු ද විය.

මෙලොවින් සමු ගන්නා තෙක් බන්ධුල වර්ණපුරයන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. පාසල් ක්‍රිකට් ජීවිතය නිම වූ සැණින් වර්ණපුර එක් වූයේ බ්ලූෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ය. ජීවිත ගමනින් සමු ගන්නා තෙක් ම බ්ලූම්ෆීල්ඩ් සමාජය ඔහුගේ “දෙවැනි ගෙදර” විය.

එදා බ්ලූම්ෆීල්ඩ් සමාජය ප්‍රකටව තිබුණේ “දුප්පත් මිනිසාගේ සමාජය” කියා ය. නවසිය හැට, හැත්තෑව සහ අසූව දශකවල දී ඉතා විශාල ක්‍රිකට් ලෝලීන් පිරිසක් මෙම සමාජය වටා රොක්ව සිටිය හ. ඒ ක්‍රිකට් වාරයේ සෑම සති අන්තයක දී ම බ්ලුම්ෆීල්ඩ් සමාජය සහභාගී වූ පළමු පෙළ “සරා” ශුරතා තරග නරඹමිනි. ඒ බන්ධුල ඇතුළු එදා ක්‍රීඩකයින් පෙන්නුම් කළ තරග දස්කම් නිසා ය.

බන්ධුල වර්ණපුරයන්ගේ ක්‍රිකට් හා බැඳුණු සුවිශේෂී අවස්ථා දෙකක් මෙහි ලා සටහන් කළ යුතු ය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය බන්ධුලට පිරි නැමුණේ 1982 පෙබරවාරි 17 වැනි දා ය. එදා ඔහු 29 හැවිරිදි වියේ පසුවූයේ ය. හරියටම ඊට අවුරුදු 39 කට පසු එනම් 2021 පෙබරවාරි 17 වැනි දා ඔහුට බ්ලූම්ෆීල්ඩ් සමාජයේ සභාපති පදවිය හිමි විය. එවිට ඔහුගේ වයස අවුරුදු 67 කි. එය ඔහුගේ නමින් පවතින අපුරු ක්‍රිකට් සිහිවටනයකි.

සභාපති පදවිය බාර ගැනීමෙන් අනතුරුව වර්ණපුරයන් බ්ලූම්ෆීල්ඩ් සමාජය වෙනුවෙන් ඉටු කළ යුතු වූ ප්‍රධාන කටයුතු දෙකක් ගැන පුවත්පත් සාකච්ඡාවක දී කරුණු පැහැදිලි කළේ ය. ඒ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ එහි ක්‍රීඩාංගණය තිබෙන ඉඩමේ බදු ඔප්පුව නැවත ලබා ගැනීම සහ බ්ලූම්ෆිල්ඩ් සමාජය මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගවල නැවත ඉහළ තලයට ගෙන

ඒම ය. මේ ප්‍රාර්ථනාවන් දෙක අනා-ගතයේ දී සම්පූර්ණ කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීම වර්ණ-පුරයන්ට කරන්නා වූ උපහාරයක් බව සිහිපත් කළ යුතු ය.

බන්ධුල වර්ණපුරයන්ගේ නායකත්වය යටතේ බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය එදා පැවති ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය වූ “සරා” ශූරතා තරගාවලියේ ශූරතාව දෙවතාවක්ම දිනා ගත්තේ ය. එදා ඔහු සමග එක්ව ක්‍රීඩා කළ මෙරට ජාතික කණ්ඩායම් වලට සුදුසුකම් ලැබූ ලලිත් කළුපෙරුම, සුනිල් ජයසිංහ, ශබිර් අස්ගරාලි, අජිත් ද සිල්වා, ඩී.එස්. ද සිල්වා, අනුර රණසිංහ, ජයන්ත සෙනවිරත්න සහ ෆ්ලේවියන් අපෝන්සු වැනි ප්‍රකටයින් අමතක කරන්නට බැරි ය. වර්ණපුරයන්ගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක් දින කණ්ඩායම්වලට වරම් ලැබූ ක්‍රීඩකයින් 50කට වැඩි ය. ඒ අතරින් බ්ලූම්ෆිල්ඩ් සමාජය හරහා පැමිණි බ්‍රෙන්ඩන් කුරුප්පු, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, කුමාර ධර්මසේන, මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන්, ප්‍රසන්න ජයවර්ධන, රුවන් කල්පගේ, නුවන් ප්‍රදීප්, තිලිණ කණ්ඩම්බි, ෆර්විස් මහරුෆ් සහ චාමර සිල්වා වාර්තාගත ක්‍රීඩකයෝ වෙති.

බන්දුල වර්ණපුරයන් වෙනුවෙන් “වර්ණපුර” නාමය ක්‍රිකට් පිටියේ රැන්දු එම පරපුරේ දෙදෙනකු මෙතැනදී සිහිපත් කළ යුතු වේ. ඉන් පළමුවැන්නා වර්ණපුරයන්ගේ පුත් මාධව වර්ණපුර ය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග වරම් නොලැබුව ද මාධව මෙරට ප්‍රීමියර් ලීග් තරගවලදී කැපී පෙනෙන පිතිකරුවෙකි. බ්ලූම්ෆීල්ඩ් පුමුඛ ව ක්‍රීඩා කළ මාධව අද ප්‍රමුඛ පෙළ තරග වලදී මීගමුව කණ්ඩායම නියෝජනය කරයි. 2013 දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් යුද හමුදා කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 200 මාධවගේ හොඳම ඉනිමකි. මේ හැර 2017-18 බදුරලිය කණ්ඩායමට එරෙහිව ඔහු රැස් කළ ලකුණු 138 තවත් අගනා ඉනිමකි.

මාධවට වඩා පියවර කිහිපයක් ඉදිරියට යමින් වර්ණපුර නාමය ඉහළින් රැන්දූ ක්‍රීඩකයා බන්ධුල වර්-ණපුරයන්ගේ සොහොයුරු උපාලි වර්ණපුරගේ පුත් මලින්ද වර්ණපුර ය. අන්තර් සමාජ මට්ටමින් ඉහළ දස්කම් මාලාවක් පෙන්වා ශ්‍රී ලංකා ටෙස්ට් සහ ශ්‍රී ලංකා එක් දින කණ්ඩායම්වලට ක්‍රීඩා කළ මලින්ද නමින් තිබෙන්නේ ඉහළ පිතිහරඹ දස්කමකි.

 

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments