රට වටේ කට්ටඩි හොයන වෙලාවේ ප්‍රේත දොස් තමන්ම දුරු කරගන්න | සිළුමිණ

රට වටේ කට්ටඩි හොයන වෙලාවේ ප්‍රේත දොස් තමන්ම දුරු කරගන්න

 

නිතර දෙවේලේ අපේ නිවාස ඇතුළේ විවිධ දුර්ගන්ධයන් හමා එයි. ‘‘පුතාලගේ කඩෙත් එහෙමයි ගොම ගඳ, අල කොළ තම්බන ගඳ, මකුණු ගඳ එනවා. උයන කෑමත් රස නැහැ. අනික කෑමවලට ඉක්මනින් කූඹි එනවා. අපේ හාමුදුරුවනේ මේකට පිළියමක් කරලා දෙන්න.‘‘

මෙවන් කතාවන් මසකට අවස්ථා 10ක් හෝ 12ක් පමණ ගෙන එන පිරිස් සිටිති. ‘‘මනුස්ස ලෝකේ ජීවත් වෙලා උන් පින් කුසල් ගැන අනවබෝධයෙන් ලෝභය, ද්වේෂය, මෝහය, කුහකකම සහිතව අධික තණ්හාවෙන් මිය පරලොව ගිය අය ප්‍රේතව ඉපදී සිටින්නන් මෙසේ තම ඥාතීන්ට අසල්වැසියන්ට කරදර පීඩාවන් සිදු කිරීම හා පින් ගැනීමට හා ආහාර සොයා පැමිණීම, ද්වේශ සහගතව පළිගැනීමට පැමිණීම අද සමාජයේ සුලබ වශයෙන් දැකිය හැකි ගැටලුවකි.

මේ සඳහා බුදු ගුණ බලයෙන් සිදු කරන ප්‍රතිකර්ම හැර, ගුප්ත විද්‍යාවෙන් සිදුකරන ප්‍රතිකර්මවල අඩු ගුණයක් පවතී. ගුප්ත විද්‍යා ශාන්ති ක්‍රම මඟින් කටයුතු කළද ප්‍රේත දොළක් දී පුද කැපකර අවසානයේදී පැන් වැඩීම සිදු කොට ඥාති ප්‍රේතයාට පින්දීම අනිවාර්යෙන් කළ යුතුය. පැන් වැඩීම යනු බෞද්ධ පිළිවෙත් අනුව සිදුකරන පින් දීම, පින් අනුමෝදන් වීම සඳහා කරන පවිත්‍ර ක්‍රියාවලියකි. ප්‍රේත ලෝකවල සිටින අපගේ ඥාතීහු විවිධ අවස්ථාවලදී තම ඥාතීන්ගෙන් උදව් උපකාර, පින් බලාපොරොත්තුවෙන් නිවෙස්වලට අරක්ගෙන ශරීරවලට අරක්ගෙන සිටිති. එම අවස්ථාවලදී නිවාස, ව්‍යාපාරික ස්ථාන, ඉඩකඩම්වල පාළු මූසල ස්වාභාවයක් ඇතිවෙයි. එහි ජීවත් වන, රැකියා කරන අයගේ ස්වරූපය ද අලස හා මූසල ස්වභාවයක් ගනී. අපිරිසිදු කම ඉන් ප්‍රධාන වෙයි. ශරීරයේ ප්‍රබල දුර්ගන්ධයක් ඇති වෙයි. මුහුණ කට වෙනස් වෙයි. මේ මිනිසුන්ට ඇතිවන ප්‍රේත බැල්මයි.

නිවෙස් කොපමණ පිරිසිදු කළ ද ඉතා ඉක්මනින් අපිරිසිදු වෙයි. නිතර මූසල හෝ අඳුරු ගතියක් ඇති වෙයි. නිවසේ තෙත ගතිය වැඩි වී රෙදි තෙමුණ පල් ගඳ ඇතිවීමත් වවුල් ගඳ ගොම ගඳ ඇතිවීමත් නිතර සිදුවන ක්‍රියාවලියකි. මෙම පීඩාකාරී තත්ත්වයන්ට බුදු ගුණ බලයෙන් ශාන්තිය - යහපත - දියුණුව උදාකර ගත හැකිවෙයි. මෙම කරදරවලට සෙත් ශාන්ති සිදු කිරීමෙන් අනතුරුව කුසල කර්මයක් සිදුකොට පින් අනුමෝදන් කිරීම ද අනිවාර්යෙන් සිදු කළ යුතුවෙයි.

ඒ සඳහා අලුතින් කපා ගන්නා ලද ළිඳකින් ලබාගත් පිරිසිදු වතුර 7 වරක් පෙරා මැටි කළයක් පුරවා ගන්න. මෙම වතුර ලබා ගැනීමේදී කතා නොකර පාන්දර 4.30 ත් 5.00ත් අතර ගත යුතුයි. පිරිසිදු ආසනයක් සකස් කර ගත යුතුයි. ඒ මතට සුදු රෙද්දක් එළා කෙසෙල් දල්ලක් දමා පුවක්මලක් කැබලි කපා හතරවට යොදන්න. බුලත් කොළ 21ක් ඒ මැදට නෙළුම් මලක හැඩයෙන් අතුරා ගන්න. ඒ මැදින් දරනුවක් තබා පැන්කළය තැන්පත් කරන්න. වර්ග 5ක මල් ආසනයේ ඉඩ ඇති පරිදි විසුරුවා හරින්න. මෙයටම ලදපස්මල්, සමන් කැකුළු, සුවඳ වර්ග එක් කරන්න. කළයේ ඇතුළට කිසිම දෙයක් ඇතුළත් නොකළ යුතුයි. ආසනයේ තැන්පත් කරන්න. ආසනයේ 4 කොන පිරිසිදු පොල්තෙල් යොදා අලුත් මැටි පහන් 4ක් දල්වන්න. තුංපොට නූල් යාර 50 ක් පමණ පුවක් මල් කිනිත්තක වෙළා ගන්න. එක ‍කොනක් පැන් කළය තුළට දමන්න. තවදුරටත් පිරිතකට අවශ්‍ය දේවල් මේ සඳහා එකතුකර ගන්න.

 

•ප්‍රේත ධූපය

 

අබ මිටවල් 5යි, ගම්මිරිස් මිටවල් 3, කැටලුණු මිටවල් 4යි, වේළාගත් කො‍හොඹ කොළ මිටවල් 5යි, වියළා ගත් ගම්මිරිස් කොළ මිටවල් 2යි, දුම්මල කුඩු කාලයි. මේ සියල්ල ඉතා පිරිසිදුව ගෙන රාහු කාලය මඟ හැර කොටා ගන්න. දුම්මලකුඩු වෙනම තබා ගන්න. ඉතිරි සියල්ල ඉතා හොඳින් කොටාගෙන පසුව දුම්මල සමඟ මිශ්‍ර කර අලුත් මැටි බඳුනකට දමාගෙන පිරිත් පැන් කළය සකස් කරන ආසනයේම වම්පස තබා ගන්න. තෝරා ගත් නිදහස් දිනයකදී (බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා) ඉතා හොඳයි. අවම වශයෙන් 108 වරක් බලගන්වා ගත යුතුයි. 1000 වරක් නම් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙදිනම සෞභාග්‍ය උදාවීම සඳහා දේවධූපය ද සකස් කොට මල් ආසනයේ දකුණු පස තබා වීදුරු බඳුනක ලා පිරිත් කරවා බල ගන්වා ගන්න.

 

•දේව ධූපය

 

සාම්බ්‍රානි කුඩු කාලයි, සල් දුම්මල කුඩු කාලයි, බිම් දුම්මල කුඩු කාලයි, සුදුහඳුන්, රත්හඳුන්, දේවදාර, සැවැන්දරා, ඉගිනිඇට මද කුඩු, වෙනිවැල්ගැට, කුරුඳු කුඩු, එනසාල් කුඩු, කරාබුනැටි කුඩු මේ සියලු දේ ග්රෑම් 50 බැගින් ගන්න. වියළි සමන් පිච්ච මල් 100 පමණ කොල්ලන් කොළ මිටවල් දෙකක් පමණ (වියළා ගත්) හොඳින් පොඩිකර කුඩු කර ගන්න.

දේව ධූපයට අදාළ සියලු දේ ටික ටික එකට එකතු කර පිරිසිදු භාජනයකට දමා ඉතා පි‍රිසිදුව කලවම් කරන්න. එසේ කලවම් කරන අතරවාරයේදී ජය පිරිත කීම ඉතා හොඳයි. මෙසේ කලවම් කරගත් සියලු කළමනා, කට පළල් වීදුරු බඳුනකට දමා ගන්න. එය ද ආසනයේ දකුණු පසින් තබාගන්න.

රාහු කාලය අතහැර උදෑසන කාලයේ පිරිත් කිරීම ආරම්භ කරන්න. උදෑසන බුද්ධ පූජාව තබා පන්සිල් ගෙන තුන් සූත්‍රය 3 වරක් නොකඩවා කියන්න. ඉන් අනතුරුව මඳක් විවේකයක් ගෙන ‘සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා...‘ ගාථා පාඨය අඛණ්ඩව දහස්වරක් කියන්න.

දවල් 12 ත් සවස 2 ත් අතර කාලයේදී පිරිත නවතා නැවත 2 න් පසුව පිරිත් පුරවා ගන්න.

පිරිත නැවතීමේදි ‘සබ්බේ බුද්ධා බලත්පත්තා....‘ යන ගාථාව 7 වරක් කියා නතර කරන්න. නැවත ආරම්භ කිරීමේදී නමස්කාරය 7 වර කියා ඉතිපිසෝ ගාථාව 9 වරක් කියා කටයුතු ආරම්භ කරන්න. එක දිනකදී මෙම කාර්ය අවසන් කිරීමට වඩා දින 2ක් පුරා පිළිවෙත් ඉටු කිරීමෙන් විශාල බලයක් උදාකර ගත හැකිවෙයි. සවස 7 සිට රාත්‍රී 10 දක්වා කාලයේදී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්න. දෙවනුව මහාසමය සූත්‍රය දේශනා කරන්න. මෙය ඔබට සිදුකර ගත නොහැකි නම් පමණක් මේ සඳහා සවස 7 සිට 10 දක්වා කාලයේදී පිරිත් දේශනාව සඳහා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් හෝ සිල්වත් උපාසක මහතෙකුගේ සහය ලබා ගන්න.

7 සිට රාත්‍රී 8 දක්වා - දම්සක් පැවැතුම් සූත්‍රය දේශනාව ද

8 සිට රාත්‍රී 9 දක්වා - මහාසමය සූත්‍රය දේශනාව ද

9 සිට රාත්‍රී 10.30 දක්වා - ආටානාටිය පළමු දේශනාව ද

පිළිවෙළින් සකස් කර ගත් ආසනයේ ඉදිරිපස වාඩිවී පිරිත් නූල ගේවට කොට නැවත ආසනයට ගෙනවිත් පිරිත් කරන අය පමණක් අල්ලා ගත යුතුයි. මේ සඳහා බාහිර පුද්ගලයන් සම්බන්ධ කර ගන්නේ නම් පිරිසිදු අය පමණක්, විශ්වාසවන්ත අය පමණක් සීමාසහිතව සම්බන්ධ කර ගත යුතුයි.

ලක්ෂ ගණනක් මුදල් වියදම් කර ව්‍යාජ ගැලවුම්කරුවන්ට දුක කියන්නට ගොස් අමාරුවේ වැටුණු පින්වත් ලංකාවාසී බෞද්ධ ජනතාවට මෙය නොමිලේම තමන්ගේ ආරක්ෂාව හා දියුණුව සඳහා කරගත හැකි ප්‍රත්‍යක්ෂ විශේෂ ශාන්තිකර්මයකි. දින දෙකක් මෙම වතාවත් සිදුකර ගැනීමේදී ආසනයේ ඇති පරමල් පමණක් ඉවත් කරන්න. නිවස ඇමදීමෙන් පසු කුණු එළියට නොදමා සියලු පිළිවෙත් අවසන් වූ පසුව එම කුණු ඉවත් කර ගන්න.

දින දෙකකට පසුව පිරිත් පිරවීම අවසාන කොට සියලු දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. එදිනම රාත්‍රී 12 - 1 අතර කාලයේදී පිරිත් කර ගත් පැන් කොටස් බෝතලයකට දමා තබා ගෙන ඉතිරි පැන් තවත් බඳුනකට දමා පුවක් මල් කිනිත්ත ගෙන එයින් නිවසේ සියලු අහුමුලු - පෙට්ටගම් උඩ යට හැම තැනකටම හොඳින් ඉහින්න. ගෙදර ඉන්නා අයට ද ඉහින්න. වත්තට, ඉඩමට, මිදුලට හෝ අවටට හොඳින් ඉහින්න. එම අවස්ථා‍වේදී ඉතිපිසෝ ගාථාව නොකඩවා කියන්න.

ඇහි පොල්කටු 5ක් හොඳින් පුච්චා අඟුරු ගෙන නිවසේ සිටින සියලු දෙනා නිවසින් පිටතට ද යවන්න. තමන්ගේ නහයකට රෙදිකඩකින් බැඳ ගෙන - ප්‍රේත ධූපය අහුරක් අතට ගෙන අඟුරුවලට දමා පෙර පරිදි නිවස තුළ සියලු තැන්වලට අහුමුලු වලට - නානකාමර වලට වැසිකිළි ද ඇතුළත්ව දුම් අල්ලන්න. පසුව ගේ මැදට ඇවිත් අඟුර කබල බිම තබා නැවත අහුරු භාගයක් පමණ ගෙන කබලට දමා තමන් ද නිවසින් පිටතට යන්න. සැර දුමක් මෙයින් පිටවන බැවින් මෙම ක්‍රියාව ඉතා ඉක්මනින් අවසන් කළ යුතුයි. නිවසේ සියලු දෙනා විනාඩි 20 පමණ පිටත සිටිය යුතුයි. ඉන්පසුව අඟුරු කබල ගෙන වත්තෙත් දුම් අල්ලා වත්තෙන්, ඉඩමෙන් පිට කරන්න.

මෙදින මෙම පිළිවෙත අවසානයේ පිරිත් කර ගත් පිරිත් නූල් සියලු දෙනාගේ කරට පොටවල් 9ක් වනසේ පලඳවන්න. දේවධූපය සුරක්ෂිතව උඩකින් තබා ගන්න.

ඉදිරි දින 6 ප්‍රේත ධූපය දිනක් ඇර දිනක් රාත්‍රී 9 - 10 අතර කාලයේදි පෙර පරිදිම දුම් ඇල්ලීම කළ යුතුයි. ශරීරවල දෝෂ ඇති අයට පිරිත් පැන් උදේ හිස්බඩ දින 7ක් බීමට දෙන්න. දුම් ඇල්ලීම දින 6ක් සිදුකර අවසන් වී එක් දිනක් හැර (ප්‍රේත ධූපය සම්පූර්ණ දින 7කි) 9 වෙනි දින සවස 6 ත් 7ත් අතර කාලයේ ඇහි පොල්කටු 3ක් අඟුරු කරගෙන දේව ධූපය නිවසට, ව්‍යාපාරික ස්ථානයට දුම් ඇල්ලීම කළ යුතුයි.

මේ තුළින් කෝටියක් දෝෂ භංග වේයැයි පුරාණ පුස්තකවල සඳහන් වෙයි. එය එසේම සිදුවන බව අපගේ අත්දැකීම් තුළින් අවබෝධ කොට ගෙන ඇත.

බුදු ගුණ බලය අබිබවා යන කිසිඳු බලයක් මේ ලෝකයේම නැති බවත් සිතේ ඇති කර ගන්නා ශක්තිය හා විශ්ව බලය දෙවැනියට බලවත් බවත් සිතට ගෙන කටයුතු කිරීම තුළින් මෙලොව, පරලොව දෙකෙහිම සුගතිගාමී බව - දියුණුව උදාකර ගැනීමට හැකියාව ඇත.

 

(නමස්කාර පාඨයෙන් හා රතන සූත්‍රයෙන් කළ හැකි හාස්කම් මීළඟට බලාපොරොත්තු වන්න).

Comments