තණ/න වෙනස හදුනාගනිමු | සිළුමිණ

තණ/න වෙනස හදුනාගනිමු

 

ල - ළ අකුරු දෙක යෙදෙන නිවැරැදි අයුරුත් ඒ දෙක යෙදෙන බොහෝ වදනුත් හරි වහරින් පසු ගිය සතිවල දක්වනු ලැබිණ. ඉතින් මිනිසුනට මෙන් ම අකුරුවලටත් යුක්තිය ඉටු කළ මනා හෙයින් ණ - න දෙක ගැනත් යන්තම් හෝ යමක් ලිවීම මැනැවැ යි හැ‍ඟේ. කොරෝනාවෙන් පමණක් නොව බඩු මිලයෙනුත් හොඳින් ම තැළී පෙළී පණනල රැක ගන්නට කවුරුනුත් තැත් දරන මේ කාලයේ ණ න ල ළ කුමට දැ යි යමකු සිතිය නොහැකිත් නො වේ. එහෙත් කුමක් කරමු ද? බසෙහි පණනල රැකුමට ණ න ල ළ ත් වුවමනා ම නිසා එ ගැනත් නො විමසා සිටිය නොහැකි ය.

ණ - න යෙදුම ගැන කියන කල පිස්සන් ගැන ද කියන්නට සිදු වේ. වරෙක, ලංකා විශ්වවිද්‍යාලයයෙහි ආචාර්යවරයෙක් භාෂාව ගැන දෙසුමක් පවත්වන අතරෙහි ණ න ල ළ ගැනත් කීවේ ලු. එ කල සබයේ සිට නැඟී ගත්තෙක් පැනයක් නැඟූවේ ලු. පැනය නම් 'පිස්සා තන / තණ කයි' යන වැකියේ යෙදිය යුතු (මූර්ධජ) ණ ද, (දන්තජ) න ද යනු යි. මෙ කියන ආචාර්යවරයා වනාහි කිමෙහි බිණීමෙහි ද සමත් කම් ඇත්තෙක් විය. එ හෙයින් පිස්සා ගේ අභිමතය අනුව එහි (මූර්ධජ ණ) හෝ (දන්තජ) න හෝ යෙදිය යුතු යැ යි කීවේ ලු.

මුඛ පරම්පරාගතය අනුව ඒ ආචාර්යවරයා නම් ගුණපාල පියසේන මලලසේකර මහතා ය. පැනය නැඟූ තැනැත්තේ නම් සුබැසියෙකි. කාටත් තේරෙන ලෙසින් කිව හොත් හෙළ හවුල් කරුවෙකි. හෙළ හවුල් කරුවෝ නම් එ බඳු 'ලෙඩ අදින්නන්' ලෙස සුපතළ වූවෝ ය. ඒ හෙයින් ඒ මුඛපරම්පරාගතය ඇත්තන් විය හැක්කේ ය.

ඒ ‍කෙ සේ වුව ද, අර ආචාර්යවරයා කීයේ නම් ඇත්තක් ම ය. හෙළ හවුල් කරුවා ගේ පැනයේ එන වැකියෙහි ණ හෝ න හෝ යෙදිය යුතු පිස්සා ගේ අභිමතය අනුව ම ය. පියෙවි සිහියෙන් යුතු වූවෙක් නම් තන හෙවත් කාන්තාවන් ගේ ප‍යෝධර නො කයි. එ බන්දෙක් තණ කොළ ද නොකන්නෝ ම ය. එහෙත් පිස්සෙක්! පිස්සකුට කුමක් නම් නොකළ හැක්කේ ද? තනත් කෑ හැකි ය. තණත් කෑ හැකි ය. ඔහු කන දෙය හරියට ම දැනගත හැක්කේ එය හඟවන අරුතැති වදනට නිසි වූ ණ හෝ න හෝ යෙදුමෙන් ම ය.

මෙයින් හැඟැවෙන වැදැගත් කරුණ නම් (ල - ළ දෙක මෙන් ම) ණ - න දෙක ද යෙදෙන්නේ වදනෙක අරුත අනුව ම බව ය.

භාෂාවෙහි ප්‍රධාන ම කාර්යය වන්නේ නිවැරැදි ව අර්ථ ප්‍රකාශ කිරීම යි. ඒ සඳහා (වෙනත් කරුණු සේ ම) න - ණ අකුරු නිවැරැදි වැ යෙදීම ද අත්‍යවශ්‍ය වෙයි.

ණ - න (ල - ළ) යැ යි අකුරු හතරක් ඇවැසි නොවන බව කියන්නෝ ද වෙති. ඔවුන් නඟන එක් තර්කයක් නම් ණ - න යැයි අකුරු දෙකක් ද ල - ළ යැයි අකුරු දෙකක් ද සිංහල භාෂාවේ වචන උච්චාරණයේ දී නොයෙදෙන බව යි.

ඒ ඇත්තක් බව යන්තම් සිංහලය දන්නකුට පවා වැටැහෙනු ඇත. එ වුව ද ඒ අද වහරේ යෙදෙන සිංහලයේ ය. පැරැණි කල සිංහලයේ එ බඳු වෙනසක් මේ අකුරු උච්චාරණයේ වී දැයි නො වී දැයි කවුරු දනිත් ද? දන්තජ - මූර්ධජ යැ යි උපදනා තැන් අනුව මේ අකුරු නම් කොට තිබීමෙන් පෙනෙන්නේ එ බඳු වෙනසක් උච්චාරණයේ තිබෙන්නට ඇති බව යි. ඒ පසකට කරමු. කලින් ද කී යේ ලේඛනයේ දී අර්ථ භේදය - වදන් අරුත්හි වන වෙනස - දක්වන්නට මේ අකුරු යුවළ ඇවැසි වේ නම් ලේඛනයේ දී ඒ අත්‍යවශ්‍ය බවට වෙනත් සාධක නුවුව මනා ය. එ හෙයින් (ල - ළ වහර විමසා බැලුවාක් මෙන්) ණ - න වහර ද විමසා බලමු.

එ සේ මැනැවින් විමසා බලන කල පණ නල වත් රැක ගන්නට බැරි ව සිටින මේ කාලයේ අමාරුවෙන් වුව ද ණ න ල ළ රැක ගන්නේ කවර හෙයින් දැයි වැටැහෙනු නියත ය.

එක් කලෙක දී සිංහලයේ ණ - න, ල - ළ වහර ඇතුළු ව සමස්ත අක්ෂර වින්‍යාසය ම මහත් අවුලක් බවට පත් වැ තිබිණ. එය බොහෝ දුරට නිරවුල් කොට සකසන ලද්දේ විදුලකර මහ පිරිවෙන්පති වැ වැඩ සිටි රත්මලානේ ධර්මාරාම නා හිමිපාණන් විසිනි. උන්වහන්සේ ගේ සිරි නම ද සමරමින් අපි ණ - න වහර විමසා බලමු.

Comments