ජගත් ටෙස්ට් ශූරතාවේ ශ්‍රී ලංකා සටන අද ඇරැඹේ | සිළුමිණ

ජගත් ටෙස්ට් ශූරතාවේ ශ්‍රී ලංකා සටන අද ඇරැඹේ

 

‘කලකට පසු ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාවකට අද මුහුණ දෙයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ය. ජගත් ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ලෙස සැලකිය හැක්කේ මෙය ය. මේ අද ඇරැඹෙන දෙරට අතර ටෙස්ට් තරගාවලියේ ඉතිහාසය හා සූදානම සම්බන්ධව ය.’

ශ්‍රී ලංකාව යළි ටෙස්ට් තරගමාලාවක සමරාම්භය සනිටුහන් කරමින් අද (21) සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට ගාල්ලේ දී අවතීර්ණ වෙයි. මෙය 2021-2023 අයි.සී.සී. ජගත් ටෙස්ට් ශුරතා තරගමාලාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහභාගි වන මුල්ම තරගාවලිය ද වේ.

තරග දෙකකින් සමන්විත මෙවර තරගාවලියේ තරග දෙකම ගාල්ලේ දී පැවැත් වේ. ගාලු පිටිය සම්බන්ධයෙන් කතා කරන විට ශ්‍රී ලංකාව මෙම වසර මුල එංගලන්තය සමඟ එහි පැවැති තරගාවලියේදී මෙම පිටියේ එංගලන්තය සමඟ පැවැති තරග දෙකම පරාජයට පත් විණි. මන්දගාමී එමෙන්ම දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන ගාල්ල තණතීරුව මත එංගලන්ත දඟ පන්දු යවන්නන් ඉහළ දක්ෂතා පෙන්නුම් කළ හ.

වේග පන්දුයවන්නන් ද වාසිදායක බව අඩු වුවත් ගාලු තණතීරුවේ දී ශ්‍රී ලංකා පිතිකරුවන ට තර්ජනයක් වෙමින් කඩුලු දවාලූ හ. එහෙයින් අද ඇරැඹෙන ටෙස්ට් තරගමාලාව ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැක්කේ සංචාරක කොදෙව්වන් සතුව ද වේග පන්දු හා දඟ පන්දු විශේෂඥයන් රැසක් සිටින හෙයිනි. විශේෂයෙන් ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ තරග වැදී අත්දැකීම් ලබා ඇති ෂනොන් ගේබ්‍රියල්, ජේසන් හෝල්ඩර්, කෙමර් රෝච් වැනි වේග පන්දු යවන්නන් මෙවර ද කොදෙව් පිල නියෝජනය කරති.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් අතර ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ධනංජය ද සිල්වා වඩාත් කැපී පෙනෙයි.

මේ අතර වර්තමාන කොදෙව් පිල මීට පෙර ගාල්ලේ දක්ෂතා දැක්වූ එංගලන්ත හා නවසිලන්ත කණ්ඩායම් තරම් ප්‍රබල කණ්ඩායමක් නොවේ. එහෙයින් ඔවුනට මෙම තරගාවලියේ දී සටන් කිරීමට සිදුවනුයේ පරාජයෙන් ගැලවීමට ය. මෙම තරගමාලාවේ දී ශ්‍රී ලංකාව බොහෝවිට දඟ පන්දු යවන්නන් තිදෙනකුගෙන් සන්නද්ධව තරගාවලියට අවතීර්ණ වනු ඇති බවට විශ්වාස කළ හැකි ය.

අතීත තොරතුරු

අතීත වාර්තා දෙස බලන විට කොදෙව් පිලට ශ්‍රී ලංකා භූමියේ දී තවමත් ටෙස්ට් තරග මාලාවක හෝ තරගයක ජයක් අත්වී නැත. මේ දක්වා ගාලු පිටියේ ටෙස්ට් තරග තුනකට සහභාගි වී ඇති ඔවුහු 2001-02 හා 2015-16 තරග පරාජයට පත්වූ අතර 2010-11 පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගත් හ.

කෙසේ නමුත් 2010-11 තරගවාරයේ දෙරට අතර මෙම පිටියේ පැවති ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුව ද කොදෙව්වන්ට එය අමතක නොවන තරගයක් වූයේ ක්‍රිස් ගේල් ලබාගත් ත්‍රිත්ව ශතකය හේතුවෙනි.

2015-16 තරගමාලාවේ මෙහි පැවැති තරගයෙන් ද ජය හිමිවූයේ ශ්‍රී ලංකාවට ය. මේ දක්වා දෙරට අතර ටෙස්ට් ඉතිහාසය තරග 22 ක් දක්වා දිව යයි. ඉන් තරග 09 ක් ජය ලබා ඇත්තේ ශ්‍රී ලංකාව යි. ඉන් තරග හතක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ දී ම ය. කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 04 කින් පමණි. ඔවුන් එම ජය ලබාගෙන ඇතතේ ද තම රටේ තණතීරු මත දී ය.

ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු කොදෙව් පිතිකරුවන් අතර නායක ක්‍රෙග් බ්‍රත්වයිට් විශේෂ ය. ඔහුට අමතරව ජාර්මෙන් බ්ලෑක්වුඩ්, රෝස්ටන් චේස්, කයිල් මේයර්ස් ප්‍රධාන පිතිකරුවෝ ය. එමෙන්ම ජේසන් හෝල්ඩර් ද මෙහිදී අමතක කළ නොහැක.

පන්දු යවන්නන් වශයෙන් වඩාත් අවධානයට ලක් කළ යුතු පන්දු යවන්නා දකුණත් පිට දඟ පන්දු යවන්නා වන රකිම් කොන්වෝල් ය. අඩි හයහමාරක් පමණ උසැති යෝධ සිරුරකින් යුත් මොහුට දඟ පන්දු යවන්නන් හට වාසිදායක ගාලු තණතීරුව මත දී තම උස මැනැවින් උපයෝගී කර ගනිමින් පිතිකරුවන් හට වැඩි තර්ජනයක් එල්ල කිරීමේ අවස්ථාව තිබේ.

ඔහුට අමතරව වමත් දඟ පන්දු යවන්නන් වශයෙන් වීරසාමි පර්මෝල්, ජෝමෙල් වොරිකන් බොහෝ විට කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇති අතර මෙරට පිතිකරුවන් ප්‍රවේශම් විය යුත්තේ මොවුන්ගෙනි.

ක්‍රීඩකයින් 22ක ගෙන් සමන්විත දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින්ගෙන් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට මෙය වඩාත් අභියෝගාත්මක මෙන් ම තීරණාත්මක තරගාවලියක් ද විය හැක.

පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පිතිකරුවන් ලෙස ඇතුළත් වීමට ඉඩ ඇති අතර චරිත් අසලංක බොහෝ විට ටෙස්ට් වරම් ලබා ගැනීමට ඉඩ තිබේ.

අනිල් වීරසිංහ

Comments