ගමේ හඬ රටට ගෙනා වම් ඉවුරේ මාධ්‍යවේදියකුගේ සමුගැන්ම | සිළුමිණ

ගමේ හඬ රටට ගෙනා වම් ඉවුරේ මාධ්‍යවේදියකුගේ සමුගැන්ම

 

ල් පුන් පොහෝ දින ලද හදිසි දුරකථන ඇමතුමත් සමඟ හිත ගිනිගත්තා සේ දැණුනි. හදිසි පණිවුඩය වූයේ මාතොටට නිහඬ සේවයක් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජස්ටින් කොඩිකාර හදිසියේ රෝගාතුරවී මාතර මහ රෝහලේදී මියගොස් ඇති බවයි.

 

එම ආරංචියත් සමඟ සිත තුළ ඇතිවූයේ නොසන්සුන් බවකි. මා සිටි තැනම පඩිපේළිය මත ඉඳ ගත්තේය. අතීත මතකයන් රැසක් දම්වැලක පුරුක්මෙන් මතකයට නැඟෙන්නට විය. ඒ ජස්ටින් කොඩිකාර නම් ඒ සුන්දර හදවතක් තිබූ මාධ්‍යවේදියා සිදු කළ ජනතා මෙහෙවරත් සමඟය.

හතළිහ දශකයේ මැද භාගයේ කොළඹ කුප්පියාවත්තේදී උපත ලබා ඇති ජස්ටින් කොඩිකාර අධ්‍යාපනය ලබන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙනි. පාසල් කාලය හමාරකරන කොඩිකාර මුල්ම රැකියාව ලෙස ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ මිලදී ගැනීම් නිලධාරියකු ලෙස සේවය අරඹන්නේය. ඒ අතර මාධ්‍යකරණයට දැඩිසේ ප්‍රිය කරන ජස්ටින් කොඩිකාරට මාධ්‍යවේදියකු වන්නට අවස්ථාව ලබෙන්නේ අහඹු ලෙසය. ඒ අනුව ඔහු දවස පුවත්පතේ වාර්තාකරුවකු ලෙස වැඩ අරඹන්නේ තම සිත තුළ වූ ආශාව ද ඉටු කර ගනිමිනි.

ජස්ටින් සිය බිරිඳගේ 75 උපන් දිනය 2021 දී දරු මුණුපුරන් සමග සැමරු අවස්ථාව

මාතර, උයන්වත්ත, වේරගම්පිට පන්සල පාරේ නන්දසීලි රත්නපුලි (කාන්ති කොඩිකාර) සමඟ විවාහ වන කොඩිකාර කොළඹ අතහැර මාතර පදිංචියට එන්නේ මාධ්‍යකරණයට ඇතිවූ වැඩි නැඹුරුවක් ද සමඟය.

එතැන් සිට ලේක්හවුස් ආයතනයේ මාතර දිසා විශේෂ වාර්තාකරු ලෙස මාධ්‍යකරණය අරඹන කොඩිකාර සිරස එෆ්. එම්. ගුවන්විදුලි නාළිකාව ඇරඹීමත් සමඟ එහි මාතර වාර්තාකරු ලෙස ද කටයුතු කරන්නේ තමන් තුළ තිබූ හැකියාවන් උපරිමයෙන් පෙන්වමිනි. කොඩිකාර හදිසි සිදුවීම්, අපරාධ, ජනතා ගැටලු මෙන්ම දේශපාලන රැස්වීම් වාර්තාකරණයේදී හැබෑම දක්ෂයකු විය. ඒ නිසාම එකල ඔහුගේ වාර්තා වලට වැඩි ඉඩක් ලැබිණි.

පුතුන් සිව්දෙනෙකුගේ හා දියණියන් තිදෙනෙකුගේ පියාවන්නට වාසනාවන්තවූ කොඩිකාර තම වැඩිමහල් පුතු තිස් අවුරුදු යුද්ධයේදී යුද හමුදා සේවයට එක්ව මෙහෙයුම් අතරදී මියයාම පිළිබඳ නිතර කතා කළේ වේදනාවෙනි. එහෙත් එක් පුතෙකුවූ නුවන් කොඩිකාර දිනමිණ සම කර්තෘ ධූරය දක්වා ගිය ගමන පිළිබඳ ජස්ටින් කොඩිකාර හැම මෙහොතකම කතාකළේ මහා අභිමානයකින් යුතුවය.

“මම පටන්ගත්තු ගමනේ මට යන්න බැරුවූ තැනට මගේ පුතා ගියා. මට ඒ හොඳටම ඇති” ඒ ජස්ටින් කොඩිකාර තම හිතවතුන් ඉදිරියේ මුවග රැඳෙන සිනා මැද නිතර කියනා කතාවයි.

“අපේ මහත්තය මාධ්‍ය වැඩවලට තිබුණෙ පුදුම උනන්දුවක්. කුමක් හෝ වැඩක් පැවරුවහොත් කෑම ගැනවත් හිතන්නේ නැතිව ඒ වෙනුවෙන් කැප වෙනවා. විවිධ අඩුපාඩුකම්, මිනිස්සුන්ගෙ ප්‍රශ්න රේඩියෝ එකේ ප්‍රචාරය කරල, පත්තරේ දාල ඒ අයට හරියට උදව් කළා. මොනතරම් වැඩ තිබුණත් දරුවො ගැන බලන එක අමතක කළේ නෑ. දරුවන්ට හොඳට ඉගැන්නුවා. රැකියාවල් වලට යන්න මඟ පෙන්නුවා ඒ හැම දෙයක්ම අපේ මහත්තයා හොඳටම කළා. එයාගෙ අසනීප වලට වඩා මගේ ගැන හොයා බැලුවා. හරිම සංවේදී කෙනෙක්. අපේ නුවන් පුතා පත්තරේ කර්තෘ මණ්ඩලයේ වැඩකරන්න පටන් ගත්විට තිබුණු සතුට කියන්න බැරි තරම්” - ජස්ටින් කොඩිකාරගේ බිරිය වූ කාන්ති කොඩිකාර පැවසුවාය.

මාතර දිස්ත්‍රික් මාධ්‍ය සග­යින් සමඟ ජස්ටින් කොඩි­කාර

මැතිවරණ සමයන්හි හා හදිසියේ ඇතිවන සිදුවීම් වලදී සිද්ධියවූ ස්ථානයේ සිට කොඩිකාර ගෙනඑන සජීවී තත්ත්ව වාර්තා ඔහු ජනතාව අතර තව තවත් ජනප්‍රිය වන්නට හේතුවිය. පසුකාලීනව බිහිවූ පෞද්ගලික ගුවන්විදුලි නාළිකා රැසක් ඔහුගේ සේවය ලබාගත්තේ පවරණ වගකීම නිසි ලෙස ඉටුකිරීම වෙනුවෙන් ඔහු තුළ තිබූ කැපවීම නිසාය.

කොඩිකාර සිදුකළ කැපවීම් හා මාධ්‍යයට සිදුකළ සේවය වෙනුවෙන් වරක් ඔහු නිසි ඇගයුමකට ද ලක්වූයේය. ඒ කලාභූෂණ සම්මානයෙන් පුදුම් ලැබීමයි.

ලෙක්හවුස් මාතර ප්‍රාදේශීය කාර්යාලය ආරම්භයේ සිට ජස්ටින් කොඩිකාර නිතර එහි පැමිණියේය. තොරතුරු රැසක් සොයාගෙන එන ඔහු එය කොළවල සටහන් කර තම ආයතනයට යැවීම සිදුකරන අතර ඒ තුළින් හොඳ මිතුරු ඇසුරක් ද ගොඩ නගාගත්තේය. මාධ්‍ය සගයන් එක්වූ ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය කාර්යාලයේ කර්තෘ අංශය රස කතාවලින් පිරී යන්නේය. එවන් රස කතා කියනන් අතර ජස්ටින් කොඩිකාර ප්‍රමුඛයෙකි.

“අපි කාලයක් තිස්සේ මාධ්‍ය කටයුතු වල නිරතව සිටියත් ගොඩාක්ම සමීපවුණේ මාතර ලේක්හවුස් ප්‍රාදේශීය කාර්යාලයේදි. ජස්ටින් අයිය ආවම ඉතිං එතන රස ගොඩයි. විහිළු කතා, එකිනෙකාට සිදුවෙච්ච රසවත් සිදුවීම් ඔහු කියා විනෝද වෙනවා. විනෝදයට බර වගේම අයුක්තිය ඉදිරියේ පුදුම විදයට තරහ යනවා. හැබැයි බොහොම ටික වෙලාවයි නැවත සන්සුන් වෙනවා ” - ජස්ටින් කොඩිකාරගේ සමකාලීනයකු වූ මාධ්‍යවේදී බන්දුල ගුණසේකර අතීතය ආවර්ජනය කරමින් අප සමඟ පවසා සිටියේය.

 

Comments