කියන්න තියෙන දේ පින්සලෙන් ඇඳි මොටාගෙදර වනිගරත්න | සිළුමිණ

කියන්න තියෙන දේ පින්සලෙන් ඇඳි මොටාගෙදර වනිගරත්න

 

සුන්දර වෙල් යායක්, ඔස්සේ ඇදී ගිය අතුරු පාරක් දිගේ ගමන් ගත් සුරේන්ද්‍රට කුඩා ගම්බද නිවසක් තුළදී හමු වූ මොට‍ාගෙදර නිහතමානි, ළදරුවෙකු තරමට මුදු මොලොක්, උඩඟුකම කිසිසේත් හඳුනානොගත් සරල තරුණයකු බව කියා තිබුණි.

“මොටාගෙදර වනිගරත්න” නමින් මුළු රටම හඳුනන ඔහු තමා උපන් මාතර ‘මොටාගෙදර’ට පමණක් නොව මුව රටට ම ආලෝකයක් දුන් මහා චිත්‍ර ශිල්පියෙකි. ඔහු වෙසක් තොරන් නිර්මාණයට ‘කප්’ ගැසූ ශූරයෙකි. පුවත්පත් චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔහුට ම ආවේණික සම්ප්‍රදායක් තිබුණි. ඔහු කම්බ චිත්‍ර (පොත් පිටකවර ශිල්පි) වලට නව ආරක් දුන් චිත්‍ර ශිල්පියෙකි. ගෝල බාලයන් දහසක් පණ බිහි කළ චිත්‍ර ශිල්පියෙකි. මෑත පරපුර තවමත් ඔහු හඳුන්වන්නේ පුවත්පත්වල “ගුරු-ගෝල” චිත්‍රය අඳින චිත්‍ර ශිල්පියා ලෙස ය. පෝස්ටර් නිර්මාණ ශිල්පියකු, මූර්ති ශිල්පියකු, කැටයම් ශිල්පියකු, බතික් නිර්මාණ ශිල්පියකු, වේදිකා රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පියකු, නාට්‍ය අංග රචනා ශිල්පියකු, බිතු සිතුවම් ශිල්පියකු ලෙස ද ඔහුගේ භූමිකා රැසකි.

1956 සම්බුදු ජයන්ති වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ ඉදිකරන ලද වෙසක් තොරන්වල ශ්‍රී විභූතියෙන් නගරය වර්ණවත් වූ ආකාරය ගැන 1956 වෙසක් සතියේ “සිළුමිණ” පුවත්පතේ විශේෂාංගයක් පළ වී තිබුණි. සිළුමිණ කර්තෘ මාණ්ඩලික ජී. ටී. වික්‍රමසිංහ (පසුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු දැරූ ඔහු වේදිකා හා චිත්‍රපට නළුවකු ද විය) විසින් ලියූ “අමුතු අමුතු වෙසක්” නම් විශේෂාංගයෙන් කොළඹ වරාය ජැටිය ඉදිරිපිට මොටාගෙදර විසින් ඉදි කළ තොරණ අනික් තොරණ් අබිබවා සිටීමට සමත් වූ බව කියා තිබුණි. ඒ තොරණේ මුළු උස අඩි 33ක්ද පළල අඩි 33ක්ද විය. විදුලි බල්බ් සංඛ්‍යාව දහසකි. එම නිර්මාණය තුළින් එතෙක් පැවති තොරණ හා තොරණ කලාවේ විප්ලවීය වෙනසක් කිරීමට තමාට හැකි වූ බව මොටාගෙදර ‘සිළුමිණ’ ට එදා කියා තිබුණි.

 

•ස්වර්ණපාල මොටාගෙදර වෙයි

 

“මොටාගෙදර” නමින් ප්‍රකට වුවත් ඔහුගේ උප්පැන්නේ ඇති නම ස්වර්ණපාල අබේසිරි නාරායන වනිගරත්න ය. 1933 පෙබරවාරි 16 වෙනිදා මාතර දිස්ත්‍රික්කයේ කැකුණදුර - බටහිර ග්‍රාම සේවා වසමට අයත් මොටාගෙදර ග්‍රාමයේ ඔහු උපත ලැබීය. වනිගරත්න පවුලේ වැඩිමලා ස්වර්ණපාලය. එදා ගම්බද සමාජයේ වැඩි දෙනා තුළ තිබුණේ තම දූ දරුවන්ගේ අනාගතය ගැන එක සමාන අදහස් ය. මේ ස්වර්ණපාලගේ පියාගේ (අබේසිරි නාරායන වනිගරත්න) සිතැඟිවලට මව (සිරියාවතී දේවනාරායන) ද අනුබල දුන්නාය.

එහෙත් ස්වර්ණපාලගේ අනාගත සිහිනය ඊට වඩා විසිතුරු එකක් බව ඔහු අපට කලකට ඉහත කියා තිබුණි.

“මගේ එකම බලාපොරොත්තුව තිබුණේ කවදා හෝ දක්ෂ චිත්‍ර ශිල්පියකු වීමට. මම අපේ ගෙදර එල්ලා තිබූ සාර්ලිස් මාස්ටර්ගේ බෞද්ධ චිත්‍ර දිහා බංකුවක ඉඳගෙන භාවනානුයෝගිව බලා හිටිය. ඒ චිත්‍ර සම්ප්‍රදාය මගේ සිත් හොරා ගත්තා. පත්තරයක හෝ පොතක තිබුණ පින්තූරයක්, ඉවත වීසි කළ ජෑම් බෝතල්වල ලේබල්, සාඩින් ටින්වල ලේබල්, රට විස්කෝතු කවර දුටු විට මම ඒවා එකතු කරලා ඒවා එක්ක සෙල්ම් කළා. අපේ ගෙදර සෑම දෙනාටම වඩා මම යි ගමේ පන්සලට ගියේ. මම බුදුගෙය වටා බිත්තිවල තිබූ බිතුසිතුවම්, පිළිම දිහා බලා සිටීමෙන් සතුටු වුණා.”

පාසලේ ඔහුගේ ප්‍රියතම විෂය චිත්‍රකර්මය බව අමුතුවෙන් කිව යුතුද? වයස අවුරුද පහේ සිට ඔවුන් පදිංචිව සිටි “කොරටුගෙදර” පියා විසින් මැටි ගසා වරිච්චි ක්‍රමයට සාදා ගත් ගෙයක් හා කම්හලක් ඉදිකොට තිබුණි. අද ඔවුන් පදිංචිව සිටින ‘කලාකෙත’ ඉඩමට මීටර් 500ක් පමණ දුරිනි ඒ. ස්වර්ණපාල මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කැකුණදුර පාසල අද “මොටාගෙදර බණ්ඩාරනායක මහා විද්‍යාලය ය.

 

•රන් සාප්පුවෙන් ලංකාදීපයට

 

“‍මගේ පියා වලස්මුල්ලේ පඹුරාව නමැති ගමේ එවකට තෙදවත් පවුලක ගම්මුලාදෑනියකුගේ පුතෙක්. තාත්තාට හොඳ කාර්මික දැනුමක් තිබූ නිසා අපේ ගෙදර කම්හලක් තිබුණා. මම කුඩා කාලයේ නිතරම රෝගීව සිටි නිසා මගේ අම්මා බාරයක් වී තිබුණා මා ලොකු වූ පසු පන්සලට පූජා කරන්න. මගේ හතර කේන්දරය පාළු නිසා මහණ කරන්න හිතන්න ඇති. මේ අතර මාතර සර්වේෂස් විද්‍යාලයට ඇතුළත් කිරීමට ම‍ගේ සීයාට ඕනෑ වුණේ ඔහු හොඳට ඉංග්‍රීසි දැන හිටිය නිසා. මට හොඳට ඉගෙන ගන්න දක්ෂතාවක් තිබුණා. පුංචි කාලේ ඉංග්‍රීසි භාෂාවටත් සමතෙක්. සර්වේෂස් විද්‍යාලයේ දී මම වාර්තාවක් තැබූ ශිෂ්‍යයෙක් හැටියටයි සැලකෙන්නේ. මගේ ඉගෙනීමේ සමත්කම නිසා පන්ති 3කින් ඉහළ සාමර්ථයක් (Trible Promotion) හිමි වුණා. මුලින්ම චිත්‍රකලාව දියුණු කරන්න උදව් කළේ ගමේ පාසලේ විජේරත්න මහත්මයා. ඔහු රේඛා චිත්‍ර අඳින්න සමතා. ඉංග්‍රීසි විද්‍යාලයේ චිත්‍රකර්ම ආචාර්ය ජී. එල්. ධර්මදාස මහත්මයා මට චිත්‍රකලාව ක්‍රමානුකූලව උගන්නල මගේ දක්ෂතාව දැකලා මෙහෙම කිව්වා.

“ස්වර්ණපාලට තියෙන චිත්‍ර ඇඳීමේ හැකියාව නිසා ඒ පැත්තෙන්ම යන්න. අනාගතය තියෙන්නේ එතැන. මම මැරෙන්න ඉස්සර වෙලා මේ ළමයා රටේ ඉහළම කලාකාරයෙක් වෙන්න ඕනෑ.” “මේ වන විට මම J.S.C (Junior School Certificate) විභාගයෙන් සමත්ව වයස අවුරුදු 17 පමණ ශිෂ්‍යයෙක්. මට 1951දී කොළඹ කාර්මික විද්‍යාලයට බැඳිලා චිත්‍රකලාව වැඩිදුර ඉගෙනීමට මඟ පෙන්නුවේ ධර්මදාස මහත්තයා. මාපලගම විපුලසාර හාමුදුරුවොත් මගේ චිත්‍ර පන්තියෙ හිටියෙ. ඉන්පසු මම කොළඹ හෝර්ටන් පාරේ හේවුඩ් ආයතනයට (අද සෞන්දර්යය විශ්වවිද්‍යාලය) බැඳුණා. විදුහල්පති ජේ. ඩී. ඒ. පෙරේරා මහත්මයා. මගේ ගුරුවරුන් වූයේ ජාත්‍යන්තර කීර්තියට පත් මහා ප්‍රවීණ චිත්‍රශිල්පියෝ වූ ස්ටැන්ලි අබේසිංහ, ඩේවිඩ් පේන්ටර්, එස්. පී. සකලසූරිය. මම අඳින චිත්‍ර දැකලා විපුලසාර හිමියන් උන්වහන්සේගේ “ජාතික කලා පෙරමුණට බඳවා ගෙන 1953 වර්ෂයේ මගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්තුවා.”

ස්වර්ණපාල අබේසිරි ඉන්පසු “මොටාගෙදර වනිගරත්න” නමින් කලා ලෝකයේ බැබළෙන තරුවක් විය.

මොටාගෙදර මුලින් ජීවන වෘත්තිය අරඹා ඇත්තේ කොළඹ “වීරරත්න ජුවලර්ස්” ස්වර්ණාභරණ සාප්පුවේ රන් ආභරණ මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙස ය. ඒ 1951 දී ඔහුට ලැබී ඇත්තේ රු. 160ක මාසික වැටුපකි. ඒ කාලයේ හැටියට එය තරමක විශාල මුදලක්ලු. විපුලසාර හාමුදුරුවෝ දවසක් කියා ඇත්තේ “මොටාට සුදුසු පත්තරයක වැඩ කිරීම. ලංකාදීප කර්තෘ ධනපාල මහත්තයා මගේ හිතවතෙක්. අපි යමු උන්නැහේ හම්බවෙන්න.” කියා ඔහුව ටෛම්ස් ආයතනයට ගෙන ගියහ. ධනපාල මහතා තම මේසය මත තිබූ ලිපියක් මොටාගෙදරට දී “මේකට ශීර්ෂ පාඨයක් අඳින්නැයි” අභියෝගයක් දුන්නේය. ලිපියේ හෙඩිම “කපු පුළුන්” ය. එය එසේ මෙසේ අභියෝගයක් නොවීය. ඔහු මේසයක් ළඟට ගොස් බෑගයෙන් කඩදාසි රෝලක් ද “ඉන්ඩින් ඉන්ක්” බෝතලය ගෙන පත්‍රයට ගැළපෙන නව රිද්මයට හෙඩිම ඇන්ඳේය. මෙය දුටු ධනපාල මහතාගේ දල්වාගෙන තිබූ පීකොක් සිගරැට්ටුව වේගයෙන් දැවී ගියාලු. එසේ වන්නේ ඔහු සෑහීමකට පත්වූවා යයි කියන ඉඟියකි.

“හෙට ඉඳලම වැඩට එන්න. පටන් ගැන්මක් හැටියට මාසෙකට රු. 300ක් ‍ගෙවන්නම්.” මෙය නම් පරණ පිනක් යැයි කියා ඔහුට සිතිණි.

අනික 1952 වැනි කාලෙක මෙපමණ මුදලක්? ජී. එස්. ප්‍රනාන්දු හා සුසිල් ප්‍රේමරත්න යන මහා චිත්‍රපට ශිල්පීන් දෙදෙනා එවකට “ලංකාදීපෙ” අභිෂේක ලබා තිබුණි. ලංකාදීඵ - වනිතා විත්ති - රසවාහිනි පුවත්පත් හා සඟරා මොටාගෙදරගේ චිත්‍ර වලින් පෝෂණය විය. මොටාගෙදරගේ තෙලි තුඩින් මැවූ ලලනා රූපය සුවිශේෂය. ඔහුගේ සිතෙහි වූ ගැහැනිය වරෙක රාගාධිකය; වරෙක කරුණාබරය; වරෙක ළතෙත් ගුණ ඇත්තියෙකි; වරෙක දයාබර මවකි; මේ නිසා මොටාගෙදර චිත්‍රයට නැ‌ෙඟන ගැහැනිය අතිශයින් ජනප්‍රිය වූහ. පංච කල්‍යාණි චිත්‍රය මේ අතර විශේෂ ය.

අනික් චිත්‍ර ශිල්පීන්ට වඩා වෙනස් ලෙස කරුණාබරව ඔහු බුදුන්වන්සේ දුටුවේ ය. ‘රසවාහිනි’ සඟරාවේ වෙසක්, පොසොන් කලාප හා ගුණසේන වෙසක් කලාපය තුළින් වර්ණ ලිතෝ මුද්‍රණයෙන් ඔහුගේ ඒ බොදු චිත්‍ර දිදුලුණේ කරුණා රසය පතුරවමිනිය. 1956 මුල්ම ‘රසවාහිනි’ බුද්ධ ජයන්ති කලාපය ඔහුගේ ඉහත කී වර්ණවත් චිත්‍රවලින් පෝෂණය විය. ධනපාල මහතා ‘ලංකාදීප’ පත්‍රයෙන් ඉල්ලා අස් වී 1960 දී “දිවයින” (දැන් දිවයිනට කලින් තිබූ පත්‍රයකි) අරඹන විට ලංකාදීපයෙන් ගිය එකම චිත්‍ර ශිල්පියා මොටාගෙදරය. තමා ලැබූ ප්‍රමාණවත් වැටුප ගුරුවරයා වූ ධනපාල මහතා ආදරයෙන් දුන් සුළු වැටුපෙන් සෑහීමට පත් ඔහු අමතර මුදල් උපයා ගත්තේ මරදානේ ඕඩේ පන්සලේ පවත්වාගෙන ගිය චිත්‍ර පන්තිවලිනි. ඔහු ගෝලයන් සිය ගණනක් බිහි කළ අතර ඉන් අද ජීවත්වන ජී. එච්. ඤාණසිරි අපට අතීතය මෙසේ සිහිපත් කළේය.

“මොටාගෙදර මහත්මයා අපිට දෙවියෙක් වගෙ. ගෝලයන්ට සැලකුවේ තමාගේ දරුවන්ට වගේ. අපෙන් අය කළේ රුපියල් හතයි ශත පණහයි. සමහරුන්ගෙන් සල්ලි ගත්තේ නෑ. බෝඩ් එකක චිත්‍රයක් අඳින කොට නිතර මුමුණන හින්දි සින්දුවක් තිබුණා.” නා බොලේ නා බෝලේ නා බෝලේ රේ” කියන AZAAD හින්දි චිත්‍රපට ගීතය. හරි විනෝදෙන් අපිට ඉගැන්නුවේ.” ධනපාල මහතා 1961 දී දවස පත්‍රය ආරම්භ කරන විට එහි ප්‍රධාන චිත්‍ර ශිල්පියා මොටාගෙදර ය. මොටාගෙදර ඒ අතීතය සිහිකරමින් පැවැසුවේ,

“දවස පත්‍රයේ දී ප්‍රධාන සිරස්තලය සඳහා අකුරු මෝස්තර මම සකස් කළා. කර්තෘ මණ්ඩලය කිව්වේ ‘මොට ටයිප්‘ යන නම. දවස පත්‍රය 1961 අගෝස්තු 14 වෙනිදා මුල්ම පත්‍රය 98,412 මුද්‍රණය කළ අවස්ථාවේ මා විසින් අඳින ලද සීවලී මහරහතන් වහන්සේගේ ලිතෝ වර්ණ චිත්‍රය තෑගි ලෙස පාඨකන්ට ලැබීම සතුටක්. එය අඟල් 14 x 18 ප්‍රමාණයේ චිත්‍රයක්. තවමත් බෞද්ධ ගෙවල්වල මේ සිතුවම රාමුකොට එල්ලා තිබීම දැකීමෙන් මා කළ මහ පින්කමක් කියා අහිංසක නිහතමානි සතුටක් ලබනවා.”

 

•සීතා හා විවාහ වෙයි

 

මොටාගෙදරට ඔහුගේ අනාගත බිරිය හමුවන්නේ ‘දවස’ පුවත්පතේ සේවය කරමින් නාවල පාසල් මාවතේ කුලී නිවසක පදිංචි වී සිටි කාලයේදී ය. මේ 1962 වසර ය. මේ කාලයේ විපුල ධර්මවර්ධන, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, අබේනායක මේ නිවසේ මේ තාවකාලිකව නවාතැන්ගෙන සිටියහ.

“මේ කාලයේ මගේ නිවසට මඳක් නුදුරින් පිහිටි නාවල ගල්පොත්ත පාරේ පිහිටි නිවසක සීතා රණසිංහ නම් යුවතියක් පදිංචිව සිටියා. ඇගේ පියා කෝට්ටේ පුරාවිද්‍යා චක්‍රවර්ති, පුරාවිද්‍යා විශාරද ‘කෝට්ටේ පරණවිතාන’ නමින් ප්‍රකට ඩග්ලස් ඩී. රණසිංහ මහතා සහ එම මැතිනියගේ වැඩිමහල් දියණිය වන දෝන ඩොරීන් සීතා රණසිංහ ඇයයි. 1962 පෙබරවාරි මාසේ විවාහ වුණා. කලක් මම බුද්ධි කීර්තිසේනට අයත් කොස්වාඩියේ “බුද්ධි බතික්” ආයතනයේ වැඩ කළා. පසුව බිරිය හා සමඟ එක්වි මගේම බතික් ව්‍යාපාරයක් කරගෙන ගියා.” මොටාගෙදර අතීතය සිහිපත් කළේය. සීතාගේ මවු පාර්ශ්වයෙන් මහ කවි ජී. එච්. පෙරේරා ඥාතියෙකි. ඇය “ලංකාදීප” පංචකල්‍යාණි තරගයෙන් පස්වැනියා ද වූවාය. මාක්ස්වාදී අදහස් දැරූ මානව හිතවාදියකු වූ තවමත් ප්‍රගතිශීලි කඳවුරේ සිටින නිදහස් මතධාරි මොටාගෙදර තම ජීවිතයෙන් වැඩි කාලයක් වාමවාදී දේශපාලනය වෙනුවෙන් පොදු ජනතාව උදෙසා පින්සල මෙහෙය වූවත් බලයට පත් කිසිදු ජනතා හිතෛෂි වාමවාදි අදහස් දරන රජයකින් තමාට කිසිදු සෙතක් නොවූ බව පැවසීය. කොමියුනිස්ට් පත්‍රයේ නිල පුවත්පත වූ “ඇත්ත” පත්‍රය එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් සීල් තැබූ අතර එම පත්‍රයේ ප්‍රධාන කාටූන් ශිල්පියා ලෙස ඔහු විසින් නිර්මාණය කරන රජය විරෝධී කාටූන් නිර්මාණ හේතුවෙන් කිහිපවතාවක් රහස් පොලීසිය ‍විසින් හතරවැනි තට්ටුවට ගෙන ගොස් ප්‍රශ්න කර ඇත. ඒ අතීත සිද්ධි අතැඹුලක් සේ දැන සිටින ජ්‍යෙෂඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාරයන් මෙසේ ආවර්ජනය කළේය.

“මම ඉතා ළඟින් මොටාගෙදර ඇසුරු කළේ දවස ට වඩා ඇත්තේ දී ය. සති අන්ත පෝදා ඇත්ත පත්‍රයේ සංස්කරණ කටයුතු මට භාර වී තිබීමෙනුත් එහි පිටු සැකැස්ම මොහුට භාර වී මෙනුත්. දේශපාලන අර්ථවලින් යුත් චිත්‍රවලට අමතරව පෝදා ඇත්ත යන නමටත් ගැළපෙන පරිදි ධර්ම සාහිත්‍ය කතා ද මොහු විසින් චිත්‍රයට නැඟුවා. ඒ අතර මා විසින් කවියෙන් රචිත කුණ්ඩල කේසී, දිට්ඨ මංගලිකා, චක්ඛුපාල කතා ද විශේෂයි. ඔහු ලංකාදීප පත්‍රයෙන් ප්‍රකට වුවද මොහු චිත්‍ර කලාව පත්‍ර කලාවට සම්බන්ධ කළේ 1948 වසරේ සිට 1954 දක්වා කාලය තුළ සිංහල ජාතිය පත්‍රයෙනි. ඔහුගෙන් පත්‍රයට සේවයක් ලබා දීමට උනන්දු වූයේ එහි කර්තෘ මාණ්ඩලික සිරිල් බී. පෙරේරා බව මා දන්නේ එහි කර්තෘ මාණ්ඩලිකයකු ලෙස මා සිටි නිසයි. සිංහල ජාතිය පත්‍රයට මොටාගෙදර සැපයූ චිත්‍ර පළවූයේ මුල් පිටුවේය. හොඳටම පෙනෙන ලෙසයි. කොතරම් කැපී පෙනෙන ලෙස ද කිවහොත් පිටුවේ අකුරු තීරු අටෙන් පහක් ම දිග ප්‍රමාණයටයි.“ මොටාගෙදර මෙරට ප්‍රකට ලේඛකයන්ගේ ග්‍රන්ථවලට පොත් කවර නිර්මාණය කළ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියෙකි. ඒ අතර ඩේවිඩ් කරුණාරත්නගේ “ශ්‍රී නේරු චරිතය, ලෝක ඉතිහාස සිහිවටන, සිරිල් බී. පෙරේරාගේ නිඹුල්ලු, ටී.බී. ඉලංගරත්නගේ නිවෙන ගින්න, ගුණදාස ලියනගේ ගේ මකර රජුගේ දුව, ලීලරත්න කංකානම්ගේ ගේ පාළු කුඹුර මට මතක් වන ‍පොත් කවරය. ලෙස්ටර් ජේමිස් පිරිස්ගේ ගම්පෙරළිය ප්‍රමාණයෙන් විශාල චිත්‍රපට පෝස්ටරය හා කිංස්ලි රාජපක්ෂගේ සිඟිති සුරතල් චිත්‍රපට පෝස්ටරය ද සුවිශේෂය.

 

•ලේක්හවුසියට පැමිණීම

 

1993 දෙසැම්බර් මාසේ දිනක එවක සිටි ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් ලේක්හවුස් ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ චිත්‍ර ශිල්පියකු ලෙස මොටාගෙදර බඳවා ගත්තේය. පසුව ‘දිනමිණ’ මාරුවීමක් ලැබූ ඔහු 1999 ලේක් හවුසියෙන් සමුගෙන ඇත.

මොටාගෙදර වනිගරත්න හා බිරිය සීතාට පුතුන් හතරදෙනෙකි. දෙවෙනි පුතා වූ සංඛ වයස අවුරුදු 24 දී අකල්මරණයට පත්විය. ඔහු ද චිත්‍ර ශිල්පයට දක්ෂයකුව සිටියේය. ලොකු පුතා මූර්ති, පුද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයෙකි. තුන්වන පුතා තිමල් ජර්මනියේ දී විදේශ තරුණියක් විවාහ කරගෙන මෙරටට පැමිණ සංචාරක හෝටලයක් පවත්වගෙන යයි. බාල පුතා සිවුමල් මාතර මධ්‍ය විද්‍යාලයේ උපාධිධාරි ගුරුවරයකි. කලා විචාරකයෙකි.

මොටාගෙදර යුවළ දරු මුනුපුරන්, මිනිබිරියන්ගේ මී මිනුපුරන්ගේ ද ආදරය ලබමින් මාතර කැකුණදුර පදිංචිව සිටිති. මොටාගෙදර කලාකරුවාගේ ලොකු පුතා මූර්ති තම පියා ගැන මෙසේ කීවේය. “අපේ තාත්තා අන්තිමට සම්බන්ධ වුයේ ලංකා පත්‍රයටයි. ඒ ධර්ම ශ්‍රී කාරියවසම් සහෝදරයාගේ වචනය ඉවත දැමිය නොහැකි නිසා. තාත්තා ඇත්ත පත්‍රයේ වැඩ කළත් එම පක්ෂයේ සාමාජිකයෙක්ව හිටියේ නෑ. පත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ දූ පුතුන් රුසියාවට ගියාට තාත්තා අපිව එහි යවන්න උත්සහ කළේ නෑ. තාත්තා මුදලට වැඩ කළේ නෑ. ලැබූ දෙයින් සතුටු වුණා. 1965 රජය කාලේ තාත්තට රහස් පොලිසියේ හතර වෙනි තට්ටුවට යන්න සිදුවුණා.

සමහර දවස්වල අපි උදේ නැගිටින කොට රහස් පොලිසියෙන් ගෙදර ඇවිත් ඉන්නවා. බැරිම තැන තාත්තා ඩඩ්ලි අගමැතිවරයා අංතට්ටුවක් පැලඳගෙන තමාගේ (මොටාගෙදර දිහා) රූපයක් ඇඳලා, ඒ දෙස බලා සිටින විකට චිත්‍රයක් රහස් පොලිසියේ නිලධාරින්ට පෙනෙන ලෙස එල්ලා තිබුණා. එසේ වුණත් ඊට පස්සේ රහස් පොලීසියෙන් ආවෙත් නෑ. තාත්තාට කරදරයක් වුණෙත් නෑ. තාත්තා යාළුවන්ට කිව්වේ මොනව වුණත් “ඩඩ්ලි කියන්නේ හොඳ මහත්මයෙක්” කියලා. ඒ තමයි මගේ තාත්තා මොටාගෙදර වනිගරත්න”

Comments