විස්සේ අස්සේ සිහි වන මාස්ටර් බ්ලාස්ටර් ! | සිළුමිණ

විස්සේ අස්සේ සිහි වන මාස්ටර් බ්ලාස්ටර් !

 

"That went like a bullet.. Powerfull hit..There is no stopping jayasuriya here.."

ක්‍රිකට් ලොව ප්‍රබල රටවලින් එකක් වන ඉන්දියාව සෑම කාලයක දී ම පාහේ විවිධ ලෙස දස්කම් අතර සිටින්නට සමත් ය. නමුත් එකී කණ්ඩායමක ස්වර්ණමය කාලයක දී නායකයා පන්දු රකින විට නළල රැලි කර ගෙන කරකියා ගන්නට දෙයක් නොමැති ව බලා සිටී නම්

එය අසාමාන්‍ය සිද්ධියක්.

“සනත් ජයසූරිය !”

ඔහු විශේෂ වන්නේ එවන් වේලාවට.

කොකා කෝලා කුසලානය.

සිම්බාබ්වේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සහභාගී වූ තරගාවලියේ අව-සන් තරගයට ඉන්දියාව හා ශ්‍රී ලංකාව කලින්ම අසුන් වෙන් කර ගෙන තිබුණා. ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 4 ම ජයගෙන තිබුණා. 2000

වසරේ ඔක්තෝබර් 29 වනදා එක්සත් අරාබි එමීර් හි සාජා පිටිය සූදා-නම් වී තිබුණේ අවසන් තරඟය සඳහායි. කාසියේ වාසිය දිනූ සනත් පළමු ව පන්දුවට පහර දෙන්නට තීරණය කළ අතර නමෝ විත්ති-යෙන් සහීර් ඛාන්ගේ පළමු පන්දුවට ම හතරේ සීමාවට පන්දුව යැවූ ජයසූරිය පා ආවරණ දෙක සකසන්නේ ප්‍රේක්ෂකාගාරය දෙවනත් වද්දී.

නමුත් සැබවින්ම ජයසූරිය හැරුණු විට මුල් පෙළ කිසිවෙකුට ලකුණු අතරට එන්නට නොහැකි වුණා. කළුවිතාරණ ලකුණු 15 ක් ලබන අතර සංගා මහේල මාවන් තිදෙනාටම ලකුණු 10 සීමාවටවත් ළඟා වන්නට ඉන්දියානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. ජයසූරිය අනික් අන්තයෙන් අර්ධ ශතකයක් ලබා සිටියද ඔහුට ඉනිම ගොඩනඟන්න අනෙක් පසින් ස්ථිර සහයකයකු අවශ්‍ය වී තිබුණා.

ලොව මෙතෙක් ලියැවුණු සෑම විශිෂ්ට ඉනිමකට ම පාහේ වැඩිය කතා බහ නොවුණු සහයකයෙක් ඉන්නවා කියන එක ප්‍රකට කාරණයක්. මෙකී ඉනිමේ අනික් පස පුරුක පිටියට එන්නේ පන්දුවාර 28 ක දී ලකුණු 116 ක ට කඩුලු 4 ක් දැවී ගොස් තිබිය දී යි.

" ඒ වෙලාවෙ මගෙ ඔළුවෙ තිබ්බෙ මම ලකුණු ගහන්න ඕනැ කියන එක. මට අනික් පැත්තෙන් සහයක් ඕන වෙලා තිබුණා. රසල් ආර්නල්ඩ් කියන්නෙ අපිට ඒ කාලෙ හිටපු හොඳම මැදපෙළ පිතිකරුවෙක්. ඔහු උපායශීලියි. බුද්ධිමත්. ඔහු පන්දුවාර කිහිපයක් යනකම් මාත් එක්ක කතා කළා ඉනිම ගෙනයන විදිහ ගැන. ඔහු සමඟ ක්‍රීඩා කරන්න හරි පහසුයි.

ටික වේලාවකට පසු මං තීරණය කළා මගේ සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කරන්න. ඔහුගෙන් ලැබුණු සහය කියල නිමකරන්න බෑ. ඔහුට මේ

ඉනිමේ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුමයි."

සනත් ජයසූරිය තම හොඳම ඉනිමේ සහයකයා ගැන පසු කලෙක අදහස් දක්වන්නේ එලෙසින්

ලකුණු 95 ක් ලබා ශතකය ඔන්න මෙන්න සිටි සනත් එක්වරම පන්දු යැවූ සුනිල් ජෝශිට පෙරළා උඩ පන්දුවක් දුන්නා. අතේ වැදුණු පන්දුවට බිම වැටුණා.

" කෑවා.." ගංගුලි පය පොළවේ ගසමින් පුපුරන්නේ කඩුල්ලක් අහිමි වීමට වඩා සනත් ජයසූරිය දුන් අවස්ථාව වතුරේ දමා ගැනීම නිසා.

ඊට ටික වේලාවකට පස්සේ සනත් ජයසූරිය තම ශතකය සම්පූර්ණ කරන්නේ පන්දු 116 ක් වැය කරමින්. එයට හතරේ පහර 10 ක් හා හයේ පහරක් ඇතුළත් වී තිබුණා. " A Hundred in his wife's birthday..What a gift ! "

මා මෙතෙක් වේලා ඔබට විස්තර කෙරුවේ පූර්විකාවක් පමණි.

ඇත්තෙන්ම සැණකෙළිය පටන් ගන්නේ එතැන් සිට. 37 වැනි පන්දුවාරයෙන් පසු හදිසියේ ක්‍රියාත්මක වන සනත් ජයසූරිය ඉන්දීය පන්දු යවන්නන් මොන්ටිසෝරි උන් ගානට දානවා.

වෙන්කටේෂ් ප්‍රසාද්. ඔහුට නම් ගැලවිල්ලක් තිබුණේම නෑ.

"Oo yesss..Another six.. Jayasooriya is having the party of his life here " විස්තර විචාරක කුටියට නිදහසක් නැති ගානයි. අවසානයේ කර කියාගන්නට දෙයක් නැතිම වූ කල ගංගුලි පන්දුව අතට ගත්තා. වයිඩ් ඉර ගාවින් පන්දුව යවා සනත් ජයසූරියව ස්ටම්ප් කිරීමට හසුකරගන්නට ගංගුලි සමත් වන්නේ ද්විත්ව ශතකයක් බලන්නට සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ශකාගාරය නිහඬ කරමින්.

"What an innigs this is..This will be one of the greatest oneday knocks for another 10 years.." ඉන්දීය ප්‍රේක්ෂකයන් පවා අසුන්වලින් නැඟිට ආචාර කරන්නේ ඔවුනුත් එකී ඉනිමේ අසිරිය විඳ නිසා බවට නම් සැක නෑ. පන්දු 161 කින් ලකුණු 189 ක් ලබා ජයසූරිය දැවී යන්නේ තම යුතුකම ඕනෑවටත් වඩා හොඳට ඉටු කිරීමෙන් පසුවයි. එකී 189 ට හතරේ පහර 21 ක් හා හයේ පහර 4 ක් ඇතුළත් වුණා. ඒ ඔක්කෝටමත් වඩා ඔහුගේ අවසන් ලකුණු 89ට වැයවූ තිබුණේ පන්දු 44 ක් පමණයි. ඉතින් ගංගුලි අසරණ වූ අයුරු ගැන විස්තර කර කියන්නට ඕනෑ නෑ..

රසල් ආනල්ඩ්ගේ වටිනා නොදැවුණු අර්ධ ශතකයත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 50 අවසන් වන විට 299/5 ක් ලෙස දැක්වෙන්නේ කුසලානය ජයගන්නට නම් ලකුණු 300 ක ඉලක්කයක් ඉන්දියානු පිතිකරුවන් ඉදිරියේ තබමින්. එතෙක් වේලා ජයසූරිය කළ සේවය අපතේ නොයනනට නම් තරගය දිනන්නටම ඕනෑ. දිනන්නට ඕනෑ නම් මුල් පන්දුවාර කිහිපයේ ඉක්මන් කඩුලු දවාගත යුතුමයි. ඉතින් මිතුරනි අපිට වාස් ඇත. පන්දුවාර අටක් යද්දි ඉන්දීය ඉනිම 19/4 කි. වාස්ගේ තනියට මුරලිත් එකතු විය. ඉන්දියානු එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 11 සීමාව ඉක්මවන්නට නොහැකි වුණා. ඉන්දියාව සොච්චම් ලකුණු 54 කට දැවී යන්නේ සතුට දෙගුණ කරමින්. වාස්ට කඩුලු 5ක්.

පහසු ජයක් සමඟින් ශ්‍රී ලංකාව කුසලානය ඔසවද්දී තරගයේ හා තරගාවලියේ වීරයා සම්මාන දෙකම ජයසූරිය නමටයි. එදා ලියැවුණු 189 අදටත් එක්දින පිටියේ ශ්‍රී ලාංකිකයෙකු ලැබූ ඉහළ ලකුණයි. ජයසූරිය කුණාටුවට හසුවූයේ ඉන්දියාව පමණක් නොවේ. ඔහුගේ දිනයේ දී අඟහරුවලින් ඇවිත් පන්දු යැව්වත් ඔහුට වැඩක් නෑ. වගේ වගක් නෑ. ඔහුට පන්දු යවන කාටත් කන හරහා ගහන්නාක් වැනි අත්දැකීමක් නොමිලේ ලබන්නට හැකියි. අවිවාදයෙන්ම ඔහු ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ප්‍රහාරාත්මක ආරම්භකයායි. එකල ඔහු තැබූ වාර්තා පසු කලෙක කවුරුන් හෝ බිඳ හෙළනු ඇති.

ඔහුට වඩා ශතක හා ලකුණු දෙගුණයක් වැඩි ආරම්භක පිතිකරු-වන් ඉදිරියේ ලොව බිහිවන්නට හැකියි.

නමුත් සනත් ජයසූරිය ට මාස්ටර් බ්ලාස්ටර් කියන්නේ නිකමට නොවේ. ඔහු ඇතිකළ කලාව ලොව පුරා සැමගේම හිත් දිනාගන්නට සමත් වුණා. සනත් ගහනවා බලන්නට ම පිටියට යන ප්‍රේක්ෂකයන් මෙන් ම සනත් දැවී ගිය පසු ටීවි එක වසා දමන ප්‍රේක්ෂකයින්ද බිහිවී තිබුණා.

ඔහු වෙනස්. ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක පිතිකර-ණය උඩු යටිකුරු කළේ ඔහුයි. පවර්ප්ලේ, 20-20 ක්‍රිකට්, පිතිකරුවන්ට හිතකර තණතිලි ගැන සඳහනක් වත් නොවූ කාලයක ඔහු කිසිම ගේමක් නැතුව පන්දු 30 කින් 50 ක් ගැහුවා. ඒ සනත් ගේ හැටි.

ඔහු ක්‍රීඩා කළ මුළු කාලය තුළ ම ඔහු උපයාගත්තේ ලකුණු පමණක් නොවෙයි. ඔහු රැස් කළ සැබෑ ධනය ගැන දැනගැනීමට නම් කාගෙන් හෝ සනත් ජයසූරිය ගැන ඇසිය යුතුයි.

" හම්මෝ යකෝ එහෙම ගැහිල්ලක්..

ආයෙ එන්නෑ එහෙව් එකෙක්..!! " ගමට ගියොත් ආත්තලා, මුත්තලා කියන්නෙත් ඒක. මාමාලා, නැන්දලා වගේම අයියා අක්කලත් කියන්නේ ඒ දේමයි.

ලුසිෆර්

Chamindu Gihantha

Comments